රාවය

අලුත්ගමගේ අපි නොදන්න චෙස්

අලුත්ගමගේ අපි නොදන්න චෙස්

ටිරාන් කුමාර බංගගමආරච්චි

අද දවසේ සියල්ල සිදු වන්නේ සිදුවිය යුතු ආකාරයට නොව සිදු කරනු ලබන ආකාරයටය. යහපාලනය මත වන පාලනයක් බව එහි ඇත්තෙන්ම සත්‍ය බව පසක් කොට ඇත්තේය. දැන් කුමන නීති දැම්ම ද මේ අය අපාගත වී ඇති බව සැබෑය.
රාජපක්‍ෂලා යහපාලනය නිසා කොතරම් පරාජිත වූයේද යත් ඒ අය පහුගිය කාලේ කිසිවක්ම කළාද යන්න ඒ අයටත් සැක සහිතය. කවුරු හෝ රාජපක්‍ෂලා හොරු කියන්නේ නම් ඒ කියන අය හොරු විනා රාජපක්‍ෂලා හොරු නම් නොවෙති. ඒ තරමට මේ යහපාලනය ඒ අය සෝදා පිරිසිදු කොට කහ වතුර ද ඉහ වස් දොස් ද කපා අහවරය. මෙය අගමැති පමණක් නොව ජනපතිද වගකිව යුතු අංක එකේ තක්කඩිකමකි. තව වසර දෙකක් ඇති බවත් ඒ තුළ හොරු හොඳ වෙමුයැයි කීම පැනලා ගිය ඇතැමුන් පින්සෙණ්ඩු වී ගෙදර ගෙනවිත් ආයේ වැරදි නොකරන්නැයි කීමට එහා දෙයක් නොවේ. අපට නම් යහපාලන ආණ්ඩුව රැකුණත් නොරැකුණත් එකය. මන්ද මේ කිසිවක් අපි ගෙනා හෝ අප රැකගන්නා ආණ්ඩු නොවන බැවිනි.
කිව යුතු කතාවට පෙර එළිපැන්න කතාව මදකට නවතා කිව යුතු කතාව කිවයුතුය. මේ වන විට මහින්දානන්ද අලුත්ගමගේ ද නියම චරිතයක් වී ඇත. රාජපක්‍ෂලා නොව ඊට ගෑවුණු තක්කඩි ද දැන් ආණ්ඩුව නටවන කට්ටඩි බවට පත් වී ඇත.
කැරම් හා දාම්බෝඞ් මිලදී ගැනීමේදී රජයේ මුදල් මිලියන 39ක් අවභාවිතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් FCID යෙන් අත්අඩංගුවට පත්විය. පසුව ඇප ලැබුණි. මේ වන විට ඔහු කළ දෙයක් නැති තරම්ය. ඔහුට විරුද්ධව චෝදනා නැඟූ FCID යට හෙනම ගැසිය යුතුය මන්ද මෙතරම් අවංක දේශපාලකයන් වැරදිකරුවන් කරන්නට උත්සාහ කිරීමද පාපයක් වන බැවිනි.
මේ බබාලා සැබැවින්ම අවංක ද ? මේ යහපාලන තොත්ත බබාලා මේ බබාලව අවංක කළාද ? යන්න දැන් සිතිය යුතුද නැත. සියල්ල සිදු වන්නේ සිදු කරන ආකාරයට වන බැවිනි.
මෙම ගනුදෙනුව ගැන යන්තමින් යමක් කිව යුතුය. කැරම් බෝඞ්, දාම් බෝඞ් ගෙන්වනුයේ සතොසය. සතොස සමාගම් පනතේ ලියාපදිංචි නිසා එය සමාගම් දේපළක් වන අතර පොදු දේපළ ගණයට නොවැටේ. තර්කය එහි විනා වෙන කිසිවක් අලුත්ගමගේ සඳහා කිරීමට හේතු නොවේ.
සතොස බඩු ගෙනාවේ ක්‍රීඩා අමාත්‍යංශයේ ඉල්ලීමටය. ඒ ගෙනා බඩු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරු භාරගත් බවට ද කට උත්තර ඇත. එහෙනම් සමාගමක් යටතේ වුව ගෙන් වූ බඩු ක්‍රීඩා අමාත්‍යංශයට භාරගත් පසු ඒවා ක්‍රීඩා අමාත්‍යංශය සතු නොවේද ? පෞද්ගලික සමාගමකින් ගෙන්වූ ෆොටෝ කොපි මැෂිමක් ආණ්ඩුවේ ආයතනයක් මිලදී ගතහොත් ඉන්පසු එහි අයිති කාවද? මේවා රටම හිනස්සන පැනය. වැඬේ නම් මහින්දානන්දලා රටටම හිනාවෙන්නෙ මෙවැනි දෑ කරති. ඒවාට හූ මිටි තියන්නට දයාසිරි ජයසේකරලා ද යෑම හරහා හෙළි වන්නේ එක අත්තේ වහනුයේ එක කුරුල්ලන් බවය. හොරු හොරු නියමෙට මැච් වෙන බවය. රාජපක්‍ෂ ආණ්ඩුව මෙන්ම යහපාලන ආණ්ඩුවද කම්බ හොරුය. හොරු රැක ගැනීම හොරා කෑමට වඩා ලොකු හොරකමක් යැයි කීවෝ අමතක නොකළ යුත්තේ මේ අය හොරු ආරක්‍ෂා කරනුයේ නිකමට නොවන බවය. මොවුන් තවදුරටත් හොරු රැක ගනුයේ තමන්ගේ රැකවරණය ද වෙනුවෙනි. හොරකම් ගැන කතා කිරීමට අද දවසේ විලි ලැජ්ජා නැති වැඩක් වී ඇත. හොරු නැති ආණ්ඩු, ආණ්ඩු නොවන බවට අද වන විට පත් වී ඇත.
මහින්දානන්දගේ සිද්ධිය ගැන ලොකු කතා අනවශ්‍යය. එහෙත් කිව යුතුම දෙයක් ඇත. එනම් රජයේ විගණන අංශයට නියෝජ්‍ය විගණකාධිපති ඒ.එම්.එම්. එල් අඹන්විල මහතා ඉදිරියේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා භාරකරු පහළ ගෙදර අජිත් නිශාන්ත ගුණසේකර ලබා දුන් කට උත්තරය FCID එකේදි වෙනස් වූයේ කෙසේද ? නිතිපති දෙපාර්තමේන්තුව මේ නිවැරදි දත්ත ගැන නොසලකා හැරියේ ඇයි ? දැන් හැම මහත්හොරෙක්ම මහත්මයෙක් වී ඇත. අප කියනුයේ පාඨකයන්ට ගබඩා භාරකරුගේ කටඋත්තරය කියවන ලෙසය. ඒ හරහා ඇත්තටම අලුත්ගමගේ නිවැරදිද ? අලුත්ගමගේව නිවැරදි කරනුයේ කවුද? නීතිඥයකු වන දයාසිරි ජයසේකරත් මේ කට උත්තරයද කියවා තමන් රෙදි නැතිව කඬේ යනුයේ ඇයිද? යන්නත් නිවාඩු පාඩුව සිතා බලන්නැයි ඉල්ලමු. අලුත්ගමගේ සම්බන්ධයෙන් සියල්ල වටහා ගැනීමට මේ කතාවට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. මේ ඒ සම්පූර්ණ කතාවය.
පහළ ගෙදර අජිත් නිශාන්ත ගුණසේකර වන මම පහත සඳහන් ප්‍රකාශය කරමි.
මාගේ පුද්ගල ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත් අංකය 761691350v වේ. මාගේ ස්ථීර පදිංචි ස්ථානය, අංක 21, අත්කම් නිවාස, කුරුඳුවත්ත කඩවීදිය, ගම්පොල වන අතර දැනට මා තාවකාලිකව පදිංචිව සිටින්නේ, අංක 17/16 සුභූතිපුර මාවත, බත්තරමුල්ල වන අතර මාගේ ජංගම දුරකතන අංකය – 0714315420 විගණන විසින් අද දින විගණකාධිපති දෙපාර්තමේන්තුවට කැඳවා ලංකා සතොස ආයතනය මගින් අමාත්‍යංශය වෙනුවෙන් මිලදීගෙන ඇති කැරම් සහ දාම් බෝඞ් 14,000ක් බෙදාහැරීම සම්බන්ධයෙන් මාගෙන් ප්‍රශ්න කරන ලදී. ප්‍රශ්න කිරීමට පෙරාතුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල පිළිබඳව මා හට පැහැදිලි කළ අතර මා දන්නා සියලුම කරුණු නිරවුල්ව, නිවැරදිව සත්‍ය වශයෙන් ප්‍රකාශ කිරීමට හා බැඳී ඇති බව අවබෝධ කර ගතිමි. අසත්‍ය ප්‍රකාශයක් ප්‍රකාශ කිරීම අපරාධ වරදක් මෙන්ම මා හට නිතී්‍යනුකූල කටයුත්තක් කිරීමට පදනම් වන බට මා හට පැහැදිලි කර දුන් අතර එය මා අවබෝධ කරගෙන මා දන්නා සියලුම කරුණු වසන් කිරීමකින් තොරව කිසිදු බලපෑමකින් තොරව ස්වෙච්ඡාවෙන් පහත සඳහන් කරමි. මා ප්‍රථමයෙන්ම රජයේ සේවයට බැදුණේ 2000 අගෝස්තු 21, රජයේ සේවයේ මා විසින් භාරගත් තනතුර වූයේ එවකට කාර්යාල කාර්ය සහායක ලෙස මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුනි. ඉන් පසුව කළමනාකරණ සහකාර සේවා විභාගය සමත්ව කළමනාකරණ සහයක ලෙස 2009 පෙබරවාරි 02 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගඟ ඉහළ කෝරලය – ගම්පොළ මාගේ රාජකාරි විෂය වූයේ සමාජ සේවා, පරිසර බෞද්ධ කටයුතු, පරිවාර ළමා රක්‍ෂණ යන විෂයන් වේ. ඒ අවස්ථාවේ ප්‍රාදේශීය ලේකම් වශයෙන් ක්‍රියා කළේ රංජනී ජයකොඩි මහත්මිය වේ. ඉන්පසුව 2011 ජුනි මස වනතුරු මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කටයුතු ඉටු කළ අතර ඉන්පසුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආයතන අංශයේ, නඩත්තු කටයුතු, දුරකතන බිල් ගෙවීම සහ ගිණුම් අංශයේ වැටුප් සැකසීමේ කටයුතු සිදු කිරීමත්, 2012 දෙසැම්බර් මස ගබඩා භාරකරු විශ්‍රාම යාමත් සමග මා එම තනතුරට පත් කරන ලදී. එතැන් සිට අද දක්වා එම රාජකාරි කටයුතුවල නිරත වේ. ගබඩා භාරකරුවෙකු වශයෙන් මා හට ඉටු කිරීමට ඇති රාජකාරි වනුයේ, ගබඩාවේ ඇති භාණ්ඩ ආරක්‍ෂා කිරීම, ගබඩාවට රැගෙන එන භාණ්ඩ නිවැරදිව භාරගැනීම, අදාළ පොත්පත්වල නිවැරදි සටහන් කරගැනීම සහ භාණ්ඩ නිකුත් කිරීමේ කටයුතු වේ. ඊට අමතරව මට ලැබෙන නියෝග අනුව ගබඩාවට ලැබෙන භාණ්ඩ යම් යම් ස්ථානවලට බෙදාහැරීම් ද කරනු ලැබේ. එහිදී පිට පළාත්වලට ද වෙනත් ආයතනවලට ද ක්‍රීඩා භාණ්ඩ බෙදාහැරීම කරනු ලැබේ. කාර්යාල කාර්ය සේවකයන් මට සහය වනු ඇත. විගණනය විසින් මා හට ප්‍රශ්න කරන ලද ලංකා සතොස ආයතනය විසින් ආනයනය කර බෙදාහරින ලද බව කියන කැරම් බෝඞ් භාරගැනීම සම්බන්ධයෙන් මා දන්නා කරුණු සත්‍ය හා නිවැරදිව පහත සඳහන් කරමි. 2014.11.18 වැනි දින නිශාන්ත ගුණතිලක නමින් සහ 761991350v සහ තනතුර යටතේ පී.එම්.ඒ.එස්. වශයෙන් විස්තර සඳහන් වන ලේඛනය මා හට පෙන් වූ අතර එය මා මැනවින් පරීක්‍ෂා කර ලැබුවෙමි. එහි කැරම් බෝඞ් භාරගැනීම යන ශීර්ෂය යටතේ මුළු ටැංකි ප්‍රමාණය 06ක් වශයෙන් සවිස්තරව විස්තර සඳහන් වන අතර එම අංක නමින් ලැබුණු කැරම් බෝඞ් තොගය ක්‍රීඩා අමාත්‍යංශයේ නිශාන්ත ගුණතිලක යන මා විසින් භාරගත් බවට සඳහන් වේ. එහි ඒ.එන්. ගුණසේකර යනුවෙන් අත්සනක් ද ඇත. මේ සම්බන්ධයෙන් මා හට කීමට ඇත්තේ එහි යොදා ඇති අත්සන මාගේ වන අතර අනෙකුත් විස්තර එනම්, ගුණතිලක යන නම සහ හැඳුනුම්පත් අංකය වැරදිය. කෙසේ වුවත් මෙම අත්සන යොදන අවස්ථාවේදී මෙම විස්තර මා නිරීක්‍ෂණය නොකළ අතර බඩු භාරගත් බවට මා අත්සන් කළ බව ස්ථීරවම ප්‍රකාශ කරමි. මෙයට හේතු වූයේ එම බඩු භාරගැනීම සඳහා එවකට අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ රංජනී ජයකොඩි මහත්මිය එම ලේඛනයේ අත්සන් කරන ලෙස මාගෙන් ඉල්ලා සිටි අතර එයට අමතරව ලේකම්තුමාගේ කාර්යාලයෙන් ද දුරකතන ඇමතුමක් මගින් මා හට දැනුම් දුනි.
කෙසේ වුවත් මෙම ලේඛනවල මා අත්සන් කරන වේලාවේදී මෙම කැරම් බෝඞ් බහලුම් කිසිවක් මා දුටුවේ නැත. මා විසින් කළේ ලේඛනයට අත්සන් තැබීම පමණි. මා එම අත්සන තැබුමේන් ටොරින්ටන් චතුරස්‍රයේ පිහිටි අංක 33, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පැරණි ගොඩනැගිල්ලේදීය. එසේම 2014.11.22 දින ද මුළු ටැංකි ප්‍රමාණය 04ක් වශයෙන් නම් සඳහන් වන ලේඛනයටද මා අත්සන් කළ අතඑ එහි මා මාගේ කෙටි අත්සන මා යොදා ඇති බව පිළිගනිමි. එහි 2014.11.22 යනුවෙන් දිනය සඳහන් කර ඇත්තේ ද මා බව මා පිළිගනිමි. තවද එම ලේඛනයේ ද මාගේ නම වැරදියට එනම්, ගුණතිලක වශයෙන් හා හැඳුනුම්පත් අංකය වැරදියට සඳහන් කර ඇති බව මා පිළිගනිමි. ලේඛනයට අත්සන් කරන අවස්ථාවේදී මෙම දෝෂ සහගත තත්ත්වයන් මා නිරීක්‍ෂණය නොකළ අතර එය බරපතළ වරදක් බව මාහට පැහැදිලි වේ. තවද 2014.12.01 දින මුළු ටැංකි ප්‍රමාණය 04ක් යනුවෙන් විස්තර නම සඳහන් වන ලේඛනයට ද නිශාන්ත ගුණසේකර යනුවෙන් මාගේ අත්සන මා යෙදූ අතර එහිදී එම ලේඛනයේ ද කලින් සඳහන් කළ පරිදි නම සහ මාගේ හැඳුම්පත් අංකය වැරදියට සඳහන් කර ඇති බව මා දැක හඳුනාගතිමි. එසේම 2014.12.06 වැනි දින කැරම් බෝඞ් භාරගැනීම යනුවෙන් සඳහන් කර ඇති ලිපියේ කැරම් යන්න කපාහැර දාම් යනුවෙන් සඳහන් කර ඇති අතර එය ලියා ඇත්තේ බාහිර පුද්ගලයකු බව මා සඳහන් කරමි. එය කපා අලුතින් ලිවීමක් මා කළේ නැත. එම ලිපියේ 2014.12.06 යනුවෙන් ලියා මා කෙටි අත්සනක් යොදා ඇති බව මා පිළිගතිමි. තවද එම ලිපියේ මාගේ නම සහ හැඳුනුම්පත් අංක සාවi ලෙස සඳහන් කර ඇත. තවද 2014.12.11 දින දාම් බෝඞ් භාරගැනීම යනුවෙන් විස්තර සඳහන් වන මුළු ටැංකි ප්‍රමාණය 02ක දාම් බෝඞ් භාරගත් බවට සහතික කර කෙටි අත්සන යොදා ඇත්තේ මම වන අතර එයට 2014.12.11 යනුවෙන් දිනය යොදා ඇත්තේ ද මා බව මා පිළිගතිමි. එහිදී මාගේ නම ගුණතිලක වශයෙන් වැරදියටද හැඳුම්පත් අංකය 761991350v යනුවෙන් වැරදියට ද සඳහන් කර ඇති බව මා දැන් මෙම අවස්ථාවේදී දැක හඳුනාගතිමි. කෙසේ වුවද, මා ලිපියට අත්සන් කරන අවස්ථාවේදී මෙම සාවi විස්තර නිරීක්‍ෂණය නොකෙළෙමි. එය බරපතළ නොසැලකිල්ලක් බව මා පිළිගනිමි. මේ සියලුම ලිපිලේඛනවලට මා අත්සන් කළේ මාගේ කාර්යාලයේදී නොවන අතර ටොරින්ටන් ක්‍රීඩා සංවර්ධන පැරණි දෙපාර්තමේන්තුවේ මුරකුටිය අසලදීය. මේ සියලුම කරුණු පිළිබඳව සමස්තයක් ගෙන බැලීමේදී මාගේ රාජකාරි ජීවිතයේ දී මෙවැනි අවිධිමත් නීතියට පටහැනි කාරණාවකට මා සම්බන්ධ වී නැති අතර මෙවැනි ගනුදෙනුවකට මා සම්බන්ධ වීමට සිදුවූයේ මාගේ දෙපාර්තමේන්තු ප්‍රධානියා වන හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්තුමිය වන රංජනී ජයකොඩි මහත්මියගේ නියෝග පැහැර හැරීමට නොහැකි නිසා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්තුමාගේ කාර්යාලයෙන් මා හට ලබාදුන් නියෝගය පැහැර හැරිය නොහැකි වීම නිසාත් එම නියෝගය මා හට ලබාදුන් ලේකම් කාර්යාලයේ පුද්ගලයා නිශ්චිතවම මාහට නම් සඳහන් කළ නොහැකි බවත් පසුව ඒ පිළිබඳව පරීක්‍ෂා කර බලා විගණනයට දැනුම් දෙන බව මා පොරොන්දු වෙමි. තවද තොග භාරගැනීමේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් පරිබාහිර වූ මෙම කටයුත්ත පිළිබඳව මාගේ ඇමතුම් දිනපොතේ සඳහන් කළ බව මාහට මතක ඇති බවත් මාගේ ඇමතුම් දිනපොත මා විගණනයට ලබාදෙන බවත් පොරොන්ද වෙමි. තවද දැනට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්තුමා කැරම් බෝඞ් සහ දාම් බෝඞ් මිලදී ගත්තා ද යන්න මාගෙන් විමසා සිටින ලදී. එහිදී ගබඩාවට එවැනි භාණ්ඩ ලබානොගත් බව මම එතුමාට දන්වා සිටියා. කෙසේ වුවද මෙම ලිපි ලේඛනවලට අත්සන් කළ බව හා මේ ගනුදෙනුවල සම්බන්ධතාව පිළිබඳ කිසිවක් මම එතුමාට හෙළිදරව් නොකෙළෙමි. මෙම මුළු ගනුදෙනුවේ වටිනාකම රු. 39,061,290.17(රු. මිලියන තිස් නවයයි හැට එක් දහස් දෙසිය අනූවයි ශත දාහතක්) බව විගණනය විසින් පෙන්වා දුන් ලිපි ලේඛනය මා දැක හඳුනාගතිමි. මෙවැනි විශාල මුදලක් හා ගනුදෙනුව සම්බන්ධයෙන් යම්කිසි වැරැද්දක් හෝ වංචාවක් සිදු වී ඇති නම් එය බරපතළ වරදක් බවත් ඉහළ නිලධාරියාගෙන් සිදුවූ බලපෑම මත මෙම ගනුදෙනුව නොදැනුවත්කමින් මා සම්බන්ධ වී ඇති බව මා ප්‍රකාශ කරමි. කෙසේ වුවද රජයේ නිලධාරියෙක් වශයෙන් විශේෂයෙන් ගබඩා භාරකරුවකු වශයෙන් මා විසින් බැඳී ඇති වෘත්තීය ආචාරධර්ම පද්ධතිය අනුව මෙය බරපතළ වරදක් බව මා පිළිගතිමි. මේ සම්බන්ධයෙන් දැනට ඉහළ කරුණුවලට අමතරව කිසිවක් මාහට දැනුම්දීමට නොමැති අතර යම්කිසි කරුණක් වේ නම් එය පසුව විගණනයට දන්වන බව මා පොරොන්දු වෙමි. ඉහත සඳහන් ප්‍රකාශය මැනවින් කියවා බලා කිසිදු බලපෑමකින් තොරව මෙම ප්‍රකාශය මා සිදු කළ බවත් මා විසින් දන්නා වූ සියලුම කරුණු විගණනයට මා ප්‍රකාශ කළ බවත් මා සත්‍ය වශයෙන් ප්‍රකාශ කර සිටිමි.

පහළ ගෙදර අජිත් නිශාන්ත ගුණසේකර
ගබඩා භාරකරු (ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව)