මම ගෙම්බා අනෙක් අය ගෝනුස්සෝ

ටිරන් කුමාර බංගගමආරච්චි
ඡායා – අසංග රූපංජන

පසුගිය සතිය හා සබැඳේ.

රොහාන් එක්ක ගිය ගමන කෙළවර වන්නේ කොහොමද?

රොහාන්ගෙයි මගෙයි ඇසුරේ කාලය මම කියන්නම්කෝ. අනූවේ ඉඳලා අනූපහ වෙනකම් අවුරුදු පහක් වගේ කාලයක්. මෙතනදී කියන්න ඕනෑ රොහාන් ඇති කළ අපගමනයත්. ඒක හරිම වැදගත්. 90-95 වෙනකම් මම තමයි රොහාන්ගේ දේශපාලනයේ ප්‍රධාන සංවිධායක. හරියට රෝහණ විජේවීරට ගමනායක වගේ. රොහාන් නායකයා මම ඕගනයිසර්. මම සෑහෙන අලුත් සාමාජිකයෝ පිරිසක් ගෙනාවා.
එක වෙලාවකදී මෙයා මට කියනවා දීප්ති අප මේක කළයුත්තේ පරිසර සංවිධානයක් හැටියටයි කියලා. ඒක මට තේරුම් ගන්න බැරිවුණා. මට ඕන වුණේ ජවිපෙට වඩා හොඳ සංවිධානයක් හදන්න. එහෙම හදන්න අපි කැපවෙන කොට රොහාන් කියනවා. අපි පරිසර සංවිධානයක් හදලා හෝටන් තැන්නට යනවා. ඒ ගිහිල්ලා හෝටන්තැන්නේ පස්වල ඉඳලා ඒකේ වෙසෙන සතා සිව්පාවා ගැන අධ්‍යයනය පටන් ගන්නවා. අවුරුදු පහක්ම ඔය වැඬේ කරනවා. අන්තිමට අපි හෝටන්තැන්න ගැන විශ්ව කෝෂයක් හදනවා. ඒකට අවුරුදු පහක්ම කාලය ගතවුණා. ඒ කළාට පස්සේ තමයි මට තේරුණේ මේක අදාළ නැහැ නේද කියලා.
හැබැයි මෙතනදී පැහැදිලිවම කියන්න ඕනෑ. මේක රැවටීම නෙමෙයි. මොකද රොහාන් දන්නෙත් නැහැ. අර කතාවට කියනවනේ ගැහැනුන්ගේ ආශාව ගැහැනු දන්නෙත් නෑ කියලා. පිරිමි පස්සෙන් යනවා ඒ ඇයි කියලා ඒ අය දන්නෙත් නෑ. රොහාන් පස්සේ යන අයටත් වුණේ ඒක. මට වුණෙත් ඒක. අපි හිතනවා රොහාන්ගෙත් ආශාව මෙන්න මේකයි කියලා. මොකද එහෙම හිතන්න එයා අමුතු වැඩ කරනවා. අරක්කු බෝතලයට ඔරේන්ජ් බාර්ලි බෝතලයක් දාලා බොනවා. එහෙම නැත්නම් අයිස් කෝපි දාලා බොනවා. ඉතින් අපි බලනවා එයාට තව තව මොනවාහරි දෙන්න. අපි පලතුරු දෙනවා. කෝපි වෙනුවට වෙන මොනවාහරි දෙනවා.
ඔන්න එයා කියනවා. දීප්ති බ්ලූ ෆිල්ම් බලද්දී ළඟ ඉඳලා බලන්න එපා ඈත ඉඳලා බයිනො එකකින් බලන්න කියලා. එතකොට ලොකු රූප පේනවා. ඒකත් මරු. අපි එහෙම බලනවා. ඇත්තටම මේවයේ කිසිම සම්බන්ධයක් නැහැ දේශපාලනයට. ඒත් මේවා පස්සේ එක එකා දුවනවා. විශාල පිරිසක් එහෙම දිව්වා.
හැබැයි පරීක්ෂණය මට නම් හරවත්. ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පන්ති දේශපාලනයෙන් අනන්‍යතා දේශපාලනයට හැරෙන හැටි මට වැටහෙන්නේ එතනදී. ස්ත්‍රී දේශපාලනය පරිසර දේශපාලනයට හැරෙන්නේ කොහොමද? ඒවා වාර්ගික අරගල දක්වා ව්‍යාප්ත වෙන්නේ කොහොමද කියලා මම තේරුම් ගන්නවා. 95දී මම තීරණය කරනවා මම තවදුරටත් රොහාන් එක්ක ඉන්නේ නැහැ කියලා. හිටපු කාලය හොඳටම ඇති කියලා. මම ඉවත් වෙනවා.

රොහාන් ඒ වෙනකොට ප්‍රබලවන්නේ ඇයි? ඔහුගේ දේශපාලන භාවිතාව මොකක්ද?

ඒක කියන්නම වටින කතාවක්. මොකද රොහාන් පෙරේරා ලංකාවට ගෙනා අලුත් දේශපාලනයක් තියෙනවා. එයා කිව්වා මානව වර්ගයාගෙන් භාගයක්ම ගැහැනු, ගැහැනු වෙනුවෙන් වැඩසටහනක් වාමාංශික ව්‍යාපාරයට නැහැ කියලා. මේක සෑහෙන සිත්ගන්නා කතාවක්. මේ ස්ත්‍රීවාදී දේශපාලනය ලංකාවේ පටන් ගත්තේ රොහාන්. ඒක ක්‍රියාත්මක කළේ සුනිලා අබේසේකර. මමත් මේකට එකඟයි. මමත් අත ඉස්සුවා. ගැහැනු වෙනුවෙන් දේශපාලනය අවශ්‍යයි. මෙන්න මේ දේශපාලන භාවිතාව තමයි රොහාන්ව ප්‍රබල කළේ. ඔබ හොයලා බලන්න අනූ ගණන්වල ස්ත්‍රීවාදී දේශපාලනය වගේ එකකට චැලේන්ජ් කරන්න බෑ. ඒත් මම ඒ අභියෝගය භාර ගත්තා.
මම මෙතනදී තේරුම් ගත්තා සාරාත්මක වශයෙන් ගැහැනිය කියලා කෙනෙක්ව නිර්වචනය කරන්නේ කොහොමද? මගේ න්‍යායික අධ්‍යයනය ඇතුළේ මට වැටහුණා ස්ත්‍රිය කියන්නෙම සාරයක් නැති දෙයක්. ඒක තමයි එයාගේ නිදහස. පිරිමි තමයි එක එක සාර ආරෝපණය කරන්නේ. ඔක්කොම පිරිමි අර්ථකථන. මේ වටහා ගැනීමත් එක්ක මම රොහාන්ට කිව්වා. මට මේකේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තවදුරටත් ඔයාගේ ස්ත්‍රී දේශපාලනයේ ඉඳීම මට වැඩක් නෑ. මම අයින් වෙනවා කියලා. ඒ කියලා මම අයින් වුණා.

අයින් වෙලා මොකද කළේ?

ධම්මගේ කාමරයට යන්න පටන් ගත්තා. හෝටන්තැන්න නෙමෙයි දේශපාලනය කියලා මට වැටහුණා. ලංකාවේ පීඩිත මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න ඕනෑ. ඒගොල්ලන්ට අවශ්‍ය විප්ලව න්‍යායක් හදන්න ඕනෑ කියලා මම කල්පනා කළා. ඒකයි මගේ අරමුණ කියලා මම තේරුම් ගත්තා. ඒ අනුව තමයි ‘ඞ‘ කණ්ඩායම හදන්නේ. ධම්මගේ කාමරයේ තමයි මේක පටන් ගත්තේ. සමන්ත හිත්තැටිය සහ ධම්ම තමයි මුල්ම සාමාජිකයෝ. ඔය කාලේ අපි ධම්මගේ කාමරේ පන්ති තියෙනකොට නිර්මාල් ඇවිත් ඔළුව දාලා යනවා. නිර්මාල් සංවිධානයේ නෑ.
එතකොට ධම්ම මට හැමදාම කියනවා “ගන්න එපා මිනිහා භයානක මිනිහෙක් කියලා. ඒක හරි රූපිකයි. ගන්න එපා. ගන්න එපා කිව්වට මම ගත්තා.
පසුකාලීනව ඔහු ඔබගේ හොඳ මිතුරෙක්. ඔහු භයානකද? ඇත්තටම.
ඇත්තටම නෑ. නිර්මාල්ව මම දකින්නේ දේශපාලන සත්වයෙක් විදිහට නෙමෙයි ජනප්‍රියවාදය පිටුපස යන කෙනෙක් විදිහට. එයා තුළ හර පද්ධතියක් නෑ. සාරධර්ම නෑ. ඔබ කිව්වා වගේ ඔහු මගේ හොඳ මිතුරෙක් වෙලා හිටියා. ඒත් එයා මාව පාවා දුන්නා. සිරි රණසිංහට. සංවිධානය ඇතුළෙ කියන්න ඕනෑ දේවල් සිරි රණසිංහට කියනකොට මම වටහා ගත්තා එයාට ඕනෑ ජනප්‍රියකම කියලා. එහෙම බලපුවහම මෙයා භයානක නෙමෙයි අසරණ මනුෂ්‍යයෙක්. පොඩි කාලේ කවුරුවත් මෙයාව නරඹලා නෑ. එහෙම වුණහම එහෙම ප්‍රශ්න වෙනවා. ලොකුවෙලා අනෙක් අයට නරඹන්න වැඩ කරනවා. අද එහෙම අය ගොඩක් ඉන්නවා. ඒ අයව පොඩි කාලේ නරඹලා නෑ.

x කණ්ඩායමේ ගමන ගැන කතා කරමු.

මේක ධම්මගේ කාමරයේ පටන් ගත්තා වගේම කොළඹ විශ්වවිද්‍යාලය පදනම් කරගෙන තමයි මේක හැදුණේ. මේකට මුලදී සෑහෙන මුදල් වියදම් කළේ නිර්මාල්. ධම්ම ඒක කළේ නෑ. මේකේ අසමතුලිතයත් තියෙනවා. ධම්ම අතන හොඳ වුණාට නිර්මාල් මෙතනදී හොඳයි. ඒ වගේ අසමමිතික පොළොවක තමයි මට යන්න වුණේ.
ඔබ ඉගැන්නුවේ විශ්විද්‍යාලයේ අයට වුවත් පසුකාලීනව මේ අයම ඔබ විශ්වවිද්‍යාලයට ගියේ නෑ කියන චෝදනාවෙන් දමලා ගැහැව්වේ නේද?
ඒ කතා නම් දිගටම එනවා. ඒත් දැන් ඒක ඉවරයි. මොකද මගේ ලියවිලි දිහා බලපුවම විශ්විද්‍යාලවල අයටත් ඒ වගේ ලියන්න බැහැ කියලා තේරෙනවා. ඒ වගේම අද විශ්විද්‍යාලවල මගේ දේවල් උගන්වනවා.
දැන් තියෙන අවුල මගේ ‘උගුර පෑදීම.’ ඕක නැතිව මම නෑ වගේනේ. හිස්නේ. දැන් ඒකට ගහනවා. වමේ කණ්ඩායම් කැඩුණොත් ඒවයේ අනෙකා මම. අද කෙනෙකුට සිනමා විචාරයක් ලියන්න බෑ. මගේ ආභාසය නැතිව. ඒකට කමක් නැහැ. ඒක හොඳයි. ඒ වගේම තව සමහරු මම මැරෙනකම් බලාගෙන ඉන්නවා. මොකද මම ඉන්නකම් ඒ අයට පැවැත්මක් නැහැ.

ඇයි ජවිපෙට ආකර්ෂණය නොවුණේ?

ජවිපෙ පන්ති පහ පොත කළේ කීර්ති. මම ඒක හොඳට බැලුවා. ඒ වගේම මම ඔය වමේ පක්ෂවලට ගියානේ. මොනවද දකින්න තියෙන්නේ. දූවිල්ලයි, මකුළුදැලුයි විතරයි. මම යෝජනා කළහම මේවා කඩමු කියලා. අපෝ එපා සහෝදරයා මෙහෙම තියනකොට තමයි මිනිස්සු ආකර්ෂණය වෙන්නේ කියනවා. ඉතින් එහෙව් දේශපාලනයක් මට හරි යයිද? ඉස්හොරි, අළුහම්, දූවිලි, මකුළු දැල් එක්ක මට ගමනක් නැහැ. ඒකයි ආකර්ෂණය නොවුණේ. කොහොම වුණත් මගේ දේශපාලන ව්‍යාපාරය හරි ගියා. මගේ වාසනාව.

දීප්ති වාසනාව පිළිගන්නවාද?

ඔව්! අනිවාර්යයෙන්ම. මොකද දන්නවද? වාසනාව කියන්නේම ‘රියල්’ එහෙම නැත්නම් සැබෑවට. මොකද වාසනාව හැර කිසිම දෙයක් නෑ. මට මේ ගැඹුරු තැන් තේරුම් ගන්න. සමහරු මට කියනවා ඔයා ‘ලකී’ කියලත්. මම ලංකාවේ වෙන වාමාංශික නායකයන්ට වඩා ආගම දිහා බලන්නේ වෙන විදිහකටයි. මට හැමතැනම හම්බවෙන්නේ මිථ්‍යා දෘෂ්ටිකයන්. කිසිදෙයක් විශ්වාස නෑ. මම පන්සල් යනවා. පන්සල් යනවා කියන්න මම බය නෑ. හැබැයි මම පන්සල් යන්නේ ඇයි වඳින්න නෙමෙයි. වඳින අය දිහා බලන්න. ඒකට හේතුව මට හැමතැනම හම්බවෙන්නේ මිථ්‍යාවට එරෙහි කිසි දෙයක් විශ්වාස නැති මිනිස්සු. නරුමයෝ. දේශපාලනය තුළ, කලා පර්ෂද තුළ බොහෝ කුලකවල ඉන්නේ එහෙම අය. කොටින්ම මේ අය තමන් කරන දේවත් විශ්වාස කරන අය නෙමෙයි.
හැබැයි අමතක කරන්න එපා පන්සලකට, දේවාලයකට ගියහම පුදුම භක්තිමත් මිනිස්සු හම්බ වෙනවා. අනාගත කොමියුනිස්ට්වාදය කියන්නෙත් මේ භක්තියටම තමයි. මම බලන්නේ අධ්‍යයනය කරන්නේ ඒ හැසිරීම්. ඒක මම විශ්වාස කරනවා. අපේ මේ විද්‍යාත්මක ඥානය භක්තිය බවට පරිවර්තනය කරන්න ඕනෑ. පන්සල්, කෝවිල් යන අයට හිනාවෙන අය දන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම පාරභෞතික ලෝකයක් අවශ්‍යයි. ධනවාදී ලෝකයේ දැනටමත් භෞතික සම්පත් දිනාගෙන යනවා. ඒ නිසා අනාගත කොමියුනිස්ට්වාදය යම් පමණකට පාරභෞතික ලෝකයක් හදන්න ඕනෑ. ජයග්‍රහණය සඳහා දේව ධර්මයත් අවශ්‍යයි. ලතින් ඇමරිකාව මේක අත්හදා බැලුවා.
පන්සල වගේම ජාතිවාදය නැති භික්ෂු සමාජයටත් මම කැමතියි. විනය පිටකය බලන්න. ඒ විනයම නේ පක්ෂයටකටත් ඕනෑ. කොමියුනයක් ඇතුළෙ තියෙන්න ඕනෑ ඒ විනය. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම කියලා තියෙනවා මගේ සූත්‍රවලින් පිටත ඕන ඕන දේවල් කියවන්න එපා කියලා. ඕකමනේ හැමතැනම වෙන්නේ. එක එක්කෙනාට හිතෙන දේවල් කියන කරන එකනේ. ඒකනේ පක්ෂ වුණත් කඩා වැටෙන්නේ. මම කියන්නේ අපි බෞද්ධ දර්ශනයේ සාරධර්ම උපරිම ගන්න ඕනෑ. බෞද්ධ ශිෂ්ටාචාර දේවල් උකහා ගන්න ඕනෑ. මේක සුප් එකක් නෙමෙයි. අවුරුදු 20ක් අධ්‍යයනය කරලා වැඩ කරලා අවබෝධ කරගත්ත දෙයක්. ඇයි පන්සල් යන්න ලැජ්ජ. මිනිස්සු භක්තිය ඉස්සරහා හැසිරෙන හැටි ඉගෙන ගන්න ඕනෑ. පන්සලට කෝවිලට ගරහන අය කැත වැඩ තොගයක් කරන අය. එහෙම කරලයි මිනිස්සුන්ගේ භක්තියට හිනාවෙන්නේ.

අවස්ථා කිහිපයකදීම ඔබගේ ගෝලයෝ ඔබව දාලා ගියා. ඒ ඇයි?

ඒකට හේතුව මට වද දෙනවා. හෙට කියවගෙන එන්න ඕනෑ දේවල් කියවගෙනම එන්න ඕනෑ. ලේසි නෑ මාත් එක්ක වැඩ කරන්න.
ඒ වගේම කවුරුහරි මට ළංවුණොත් එයා වගේම මාත් එයාට ළංවෙනවා. අපි අතිශය පෞද්ගලික කාරණා පවා බෙදා ගන්නවා. ඒ අයගේ ජීවිතවල දියුණුවට ගතයුතු තීරණවලට පවා මම උදව් කරනව. පසුකාලීනව ඒ අයගේ ජීවිත ඇන ගත්තහම ඒ අය හිතනවා ඒ මම නිසා කියලා. අනෙක මේ ගොඩක් අය මට වසඟවෙනවා. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ. ඒ වගේම මේ ගොඩාක් අයගේ නෝනලාට මේක දරාගන්න බැරිවෙනවා. ඒ අයට වඩා දීප්ති තෝරා ගැනීම දරාගන්න බැරිවුණහම ඒ අය කොහොමහරි අරයව කඩනවා. ඇත්තටම මෙතන තියෙන්නේ ලව් ප්‍රශ්න. ඒක තමයි අන්තිමට වෛරයට පෙරළිලා අහවර වෙලා තියෙන්නේ.

ඒ යන අය ඔබට පෙරළා ගහනවා.

ඕකට කියන්න ඕනෑ ගෙම්බගෙයි, ගෝනුස්සගෙයි කතාව. ගෙම්බා කියනවා ගෝනුස්සට මම උඹව එගොඩට ඇරලවන්නම්, හැබැයි දෂ්ට කරන්න එපා කියලා. ගෝනුස්සා කියනවා අනේ නැහැ, එහෙම කළොත් දෙන්නම මැරෙනවානේ. ගෝනුසු ගුණය මොකක් වුණත් මේ පාර නම් මම ගහන්නේ නැහැ කියලා. ගඟ මැදට ගිය ගමන් ආයේ ගහනවා. ගෙම්බා කියනවා මෝඩයා දැන් අපි දෙන්නම මැරෙනවනේ කියලා. එතකොට ගෝනුස්සා කියනවා මොනවා කරන්නද ඒ මගේ ගෝනුසු ගුණයේ හැටි කියලා. ඒ වගේ මම ගෙම්බා. ඒ අය ගොනුස්සෝ. ගොඩක් අය එගොඩ කරන්න බැලුවා. මගදි ගහනවා. හැබැයි ගෙම්බා උඩ පාවෙනවා. ගෝනුස්සා යට යනවා. සමහර වෙලාවට මම කරන්නේ මැරිලා වගේ ඉන්නවා.
මම ගාව ඉඳලා ලියපුවයි, මගෙන් කැඩිලා ගිහිල්ලා අද ලියන ඒවයි බලන්න ඒ අයගේ. කිසිම වෙනසක් නැහැනේ. මොකද එතැනින් එහාට අඩියක් තියලා නෑ.

ඒ ගොඩක් අය කියන්නේ ඔබ ඉවරයි කියලනේ.

ගොඩක් අය එහෙම හිතන්න ආසයි. ඒත් ඉවර මම නෙමෙයි. ඒ අයයි. මම වැරදි නම් විවාදයකට ඇවිල්ලා ඔප්පු කරන්න කියන්න. මම ලියපුවා වැරදියි කියලා. හරියට එකක් පෙන්වන්න කියන්න. බොරු විවේචන මිසක් පදනමක් නෑ.

ඔබගෙනුත් අලුත් හැදෑරීම් අපි දකින්නේ නැහැනේ.

අලුත් චරිත මම හැදෑරුවා. ඒත් ඒ නම් දාන්නේ නෑ. දාපු ගමන් ඒ නම් අරගෙන කට්ටිය විකාර නටනවා. ඒ නිසා නම් දෙන්නේ නෑ.

දැන් එතකොට ගෝනුස්සො එගොඩ කරන්නේ නැද්ද?

කරනවා. දැනටත් කරනවා. හැබැයි ගෙම්බා යකඩ ඇඳුමක් ඇඳගෙන ඉන්නේ. මගදී ටාන් ටාන් ගහලා ගහනවත් ඇහෙනවා. ඒත් දැනෙන්නෙ නැහැ. ඔබ බලන්න අද මම ඇරුණහම වෙන අය කතා කරන්නේ නැහැ. ඒ මොකද මම කතා කරන්න දෙන්නේ නෑ. දුන්න ගමන් දරාගන්න බැරිවෙනවා. ඒ අත්දැකීම් මම ලබලා තියෙන නිසා දැන් තත්ත්වය වෙනස්.
ඔබගෙන් ඈත්වුණු ගොඩක් අයට ඔබ ස්ත්‍රී ආශාව ගැන කියලා දමලා ගහනවා. ඔබටත් ඒ චෝදනාව සමහරු කරනවා. අහවලා, අහවලා කියලත්.
මම නැවත අභියෝග කරනවා. මේ චෝදනාව ඔබගේ නොවුණත් ඔබට ඇහෙන දෙයක්නේ මට යොමු කළේ. එහෙම කෙළින්ම දාපු එකට මම කැමතියි. ඔබ එක නමක් මට කිව්වා. එයා ගැන කියන්නම්කෝ. මගේ පන්ති පසුබිම අනුව මට එයා මැජික් එකක් නෙමෙයි. එයා මැජික් එකක් කරගත්ත අයට මේක අප්සට් ඇති. හැබැයි මට කවදාවත් එයා ගැන ආශාවක් ඇතිවෙලත් නෑ. ඇතිවෙන්නෙත් නෑ. ඔබ කිව්ව අනෙක් නම ගැන කියනව නම් මට එතනදී කියන්න යමක් තියෙනවා. මොකද මම කාලයක් දැඩිව ආදරය කළ ගැහැනු ළමයෙක් හිටියා. මම හිතනවා ඇයට මම අදටත් ආදරෙයි. කොහොමහරි මේක අත ඇරෙනවා. ඒත් මතකයේ රැඳෙනවා. මෙන්න මේ රූපයටම සමාන කෙනෙක් මගේ ළඟට ඉගෙන ගන්න එනවා. මට අර ළමයම තමයි මතක්වෙන්නේ. ඒක මම මේ ළමයට කියලත් තියෙනවා. මගේ යාළුවන්ටත් කියලා තියෙනවා. හැබැයි ඒක එච්චරයි. ඊට එහා දෙයක් නැහැ.
ඔබ හොයලා බලන්න මගේ දේශපාලන ඉතිහාසය තුළ මම කාට හෝ අතවර කරලා තියෙනවද කියලා. හොරෙන් ගැහැනු අරන් ගිහින් තියෙනවද කියලා. ගෙදර ගෑනිට ඇර කාටවත් ලව් කරලා තියෙනවද කියලා. හැබැයි මම ඒ හිටපු විදිහ ගොඩක් අයට ක්ෂිතිමය අත්දැකීමක්. සමහරු කිව්වේ ඒක මගේ අයිතියක් කියලා. ඇත්ත නම් ඔය ගොඩක් අයට මම විදිහට ඉන්න බැරි එක තමයි දුක. මගේ අදහස ලව් කරන්න පුළුවන් එක්කෙනෙකුට විතරයි. ඒ නිසා මට ඔය වගේ කතා හැංගිලා කිව්වට ඒ අයම දන්නවා ඒවයේ පදනමක් නෑ කියලා.

කට්ටිය ඔබව දාලා ගියහම දුක හිතුණේ නැද්ද?

ගොඩක් අය හිතනවා මම ගාණක් නැතිව හිටියා කියලා. ඇත්තටම මගේ ශරීරයට වෙලා තියෙන ඩැමේජ් එක තවම පෙන්නුම් කරලා නෑ. මොකද මේ හැමෝම මගේ මිතුරෝ. ඉතින් මේ අය මාව අත ඇරියම ඒක ගොඩක් බලපෑවේ මගේ දුවට. මොකද එයා අහන්නේ කෝ අර මාමා කියලා. ඇයි එයා දැක්කේ මෙතන දේශපාලන සම්බන්ධයක් නෙමෙයි. මිතුරු සම්බන්ධයක්. මගේ බිරිඳටත් එහෙමයි. මගේ බිරිඳගේ මැදිහත්වීම නොවෙන්න මට මේ තත්ත්වයන් දරාගන්න බැරිවෙන්න ඉඩක් තිබුණා. මොකද මට හිටියේ බිරිඳ විතරයි. ඒත් ඒ හැමදේටම මුහුණ දෙනවා. අත ඇරෙන අය අත අරින්නම ඕනෑ.

ඔබට ‘මංගල සමරවීර’ හරි සමීපයි නේද?

මංගල මගේ හොඳ යාළුවෙක්. මංගලට වඩා ළඟින් හිටපු යාළුවන්ට වඩා මංගල හොඳ යාළුවෙක් කියලා මම අද දන්නවා. කිසිම වාමාංශිකයෙක් මගේ වැඬේ කරන්න ඉඩ දෙයිද? හැබැයි මට ඉඩ දුන්නේ මංගල. ‘මාතොට’ හරහා. ඊළඟට ‘මව්බිමට’ ඉඩ හැදුවෙත් ඔහු. මංගල මට සෑහෙන උදව් කරලා තියෙනවා. ඔහු සමීපයි. ඇත්තටම.

ඔබ ඡන්දය ඉල්ලුවා. වැඩක් නැහැ නේද?

ඡන්ද ටිකයි තියෙන්නේ. ප්‍රචාරණයට අවශ්‍ය මුදල් අපිට තිබුණේ නැහැ. හැබැයි ඉදිරියේදී මම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකින් එකකින් එනවා. මාව ඔබ දකියි ප්‍රසිද්ධ වේදිකාවල. ඒක ඉස්සරහට වෙයි. මොකද ගොඩක් අයට මාව ඕනෑ.

ඔබ ඒ වෙනුවෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?

එකම දෙයයි. අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිකම. මට සැලැස්මක් තියෙනවා. ඒක හදලා ගන්න. පිටරටින් සහ මෙරටින් ඒ සඳහා දැනුම මම උපයෝගී කරගන්නවා. ඒ පදනම හදපුවහම ප්‍රශ්න අඩක් ඉවර වෙනවා. විසි වසරක සැලැස්මක් මට තියෙනවා. නිර්මාල්ලා වගේ අය තියාගන්නේ නෑ. තියාගන්නවා නම් බරපතළ පුහුණුවක් දීලා තමයි තියාගන්නේ. (හිනා)

ගෝඨාභය සමග වුණත් වැඩ කරන්න ලෑස්තිද?

ඔව්. මගේ අදහස්වලට එකඟ නම් මම ඔහු සමග වැඩ කරනවා. හැබැයි මගේ ඉල්ලීම්වලට අනුවයි.

මම කිව්වොත් ඔබත් ඒකාධිපතියෙක් කියලා.

ඔව්! පක්ෂයේ මධ්‍යගත දේශපාලනය පිළිගන්න කෙනෙක් මම. එතනදි මම කෲර ඒකාධිපතියෙක් තමයි. පක්ෂයෙන් ඕනෑම කෙනෙකුට වැදගත් විදිහට යන්න පුළුවන්. ඒ දොරගුළු ඇරලා තියෙන්නේ. හැබැයි නරක විදිහට ගියොත් නම් එලව එලවා ගහනවා. ඒ මගේ හැටි.