රාවය

දේශපාලන කැඩපත කැබලි වන 2020 තුන්කොන් සටනේ දෙවන මනාපය

දේශපාලන කැඩපත කැබලි වන 2020 තුන්කොන් සටනේ දෙවන මනාපය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ.

2020 දී තමන් විශ්‍රාම නොයන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මඩකලපුව – චෙංකලාඩි හි මැයි 07 වන දා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියේ දී ප්‍රකාශ කිරීමත් සමඟ 2019 අග කැඳවිය යුතු 2020 ජනාධිපතිවරණය පිළිබඳ අලුත් වටයකින් කතාබහ ඇරඹිය යුතුව තිබේ. මෙයින් ජනාධිපතිවරයා අදහස් කළේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී දේශපාලනයේ රැඳී සිටීම විය නොහැකිය.
ඔහුගේ වචන මෙසේය.
“සමහර අය බලාපොරොත්තු වනවා බලය ගන්න. වැඩපිළිවෙළක් නැතිව. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වෙනවා පසුගිය කාලයේ ලැබූ මේ අත්දැකීම් සමඟ ජනතාවට අලුත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න. සමහර අය මගෙන් අහනවා මම 2020 දි විශ්‍රාම ගන්නවද කියලා. මේ දවස්වල සමාජ වෙබ්අඩවිවල යනවා 2020 දි මම විශ්‍රාම ගන්නවා කියලා. මම 2020 දි විශ්‍රාම යන්නෙ නැහැ. කරන්න වැඩ හුඟක් තියෙනවා. අද සමහර අය සිහින මවනවා 2020 අලුත් ආණ්ඩුවක් හදන්න. මම දැක්කා අපේ ආණ්ඩුවේ සමහර අය 2020 ගැන කතා කරනවා. ඒ හිටපු අයටයි ඉන්න අයටයි ඔක්කොටම කියනවා මේ රටේ අවංක දේශපාලනඥයෙක් විදියට ඒ සඳහා සුදුසු අය එකතු වෙන්න කියලා.”
මේ ජනතාව ජනාධිපති මෛත්‍රීපාල මහතා නිකම් කටට ආවට කියු කතාවක් විය නොහැකිය. මෙහි ඇති අර්ථය විමසා බලන්නකුට 2020 ඔහුගේ මූලිකත්වයෙන් ශ්‍රීලනිප සම්බන්ධ ආණ්ඩුවක් හැදීමට ඔහු තුළ ඇති අරමුණ පැහැදිලිව පෙනේ. “වැඩපිළිවෙළක් නැතිව බලය ගන්න බලාපොරොත්තු වන පිරිසක්” ගැනත් “2020 අලුත් ආණ්ඩුවක් හදන්න සිහින මවන පිරිසක්” ගැනත් ඔහු කියා සිටී. එම පිරිස් දෙක එක ම කණ්ඩායමක් හෝ කණ්ඩායම් දෙකක් විය හැකිය. දෙකම එක් කණ්ඩායමක් නම් ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ඒකාබද්ධ විපක්ෂය හා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) වීම අවශ්‍යයෙන්ම විය යුතුය. කණ්ඩායම් දෙකක් නම් අනෙක් කණ්ඩායම විය යුත්තේ 2020 දී තනිවම ඡන්දයට ඒමට සූදානම පෙන්වමින් සිටින එක්සත් ජාතික පක්ෂය විය යුතුය.
මේ මැයි 08 නව සන්ධාන ආණ්ඩුව (එජාප, ශ්‍රීලනිප කොටසක්) ඉදිරි වසර එකහමාර ඇතුළත සැලසුම් කර ඇති වැඩපිළිවෙළ පසුගිය අඟහරුවාදා (08) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය. ඒ හා සමඟම ශ්‍රීලනිපයේ පූර්ණ ප්‍රතිසංවිධානය ද ආරම්භ විය. ඒ අනුව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ ‘අතීතය’ එජාප, ශ්‍රීලනිප හවුල් ආණ්ඩුවේ වුවද ‘අනාගතය’ හවුල් ආණ්ඩුවේ වැඩපිළිවෙළට වඩා ජනාධිපතිවරයා සිතන වැඩපිළිවෙළ බව අනුමාන කළ හැකිය. මෙමඟින් පමණක් නොව ශ්‍රීලනිපයේ හා එජනිස මහ ලේකම්වරුන් හරහා ජනාධිපති මෛත්‍රීපාල මහතා තමන් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට තවදුරටත් සාධක සපයයි.
අනෙක් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තුළින් ම තමන් වැටී ඇති වළෙන් ගොඩ ඒමට මාර්ගයක් සාදා ගැනීමේ සූක්ෂම උත්සාහයක නිරත වී සිටින බව පෙනේ. ඔහුගේ සමීපතමයන් (අඛිල විරාජ්, ලක්ෂ්මන් කිරිඇල්ල වැනි) හරහා ඔහු කියවන්නට පටන්ගෙන ඇත්තේ 2020 ජනධිපතිවරණයට ඔහු ඉදිරිපත් වන බවය. ඔහු මේ බව කියවන්නේ නායකත්වයෙන් ඉවත් වන ලෙස හා ඊළඟ මැතිවරණයේ දී ඔහුගේ නායකත්වය යටතේ ජයග්‍රහණයක් නොමැති බව එජාපයේ පසුපෙළ බොහෝ පිරිසක් එළිපිට හා ඇතැම් ජ්‍යෙෂ්ඨයන් රහසින් ගෙන යන ව්‍යාපාරය ගැන ද ඉතා හොඳ දැනුමකිනි.
ඔහුට ඇති එක් විසඳුමක් වන්නේ 2020 දි ජනාධිපතිවරණය නොකැඳවා ගැනීමයි. ඒ සඳහා පිහිටට පැමිණීමට නියමිතව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන බව කියන විධායක ජනාධිපති ධුරයේ බලතල බොහොමයක් කප්පාදු කිරීමේ. පාර්ලිමේන්තුවෙන් ජනධිපති තෝරන බව කියන 20 වන ව්‍යවස්ථා සංශෝධනයයි. එය ඔහුගේ අනුදැනුම මත ගෙන එන්නක් ලෙස ද සැලකිය හැකිය. එහෙත් ඒකාබද්ධ විපක්ෂය හා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) හෝ ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට ගිය ශ්‍රීලනිපයේ 16 දෙනා හෝ ආණ්ඩුවේ ශ්‍රීලනිපය (ජනාධිපති) මෙම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීම සිදුවිය හැක්කක් නොවේ. එපමණක්ම නොව රවුෆ් හකීම් ද (මුස්ලිම් කොන්ග්‍රසය) හා මනෝ ගනේෂන් ද (සී. දිගම්බරන් රාධක්‍රිෂ්ණා සිටින දෙමළ ප්‍රගතිශ්‍රීලී පෙරමුණ) මෙම සංශෝධනයට සහය නොදක්වන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. ඒ අනුව මෙය ජයගත නොහැකි මාවතක් බව පෙනුනහොත් ඉන් ඉවත්වීමට රනිල් වික්‍රමසිංහ එජාප නායකයාට ද සිදුවනු ඇත. එහි අවශ්‍යම ප්‍රතිඵලය වන්නේ ඔහුට (එජාපයට) 2020 ජනාධිපතිවරණයට මුහුණදීමට සිදුවීමයි.
අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය 2020 ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා පමණක් නොව ඒ කවුරුන්ද යන්න සාකච්ඡා දැනටමත් කරළියට ගෙනවිත් තිබේ. විමල් වීරවංශ උදය ගම්මන්පිල යන පක්ෂ නායකයන් මෙන්ම ඒ සෙවණේ සිටින ජාතික සංවිධාන එකමුතුව ආදී සිවිල් සංවිධාන ද ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා දැනටමත් තෝරාගෙන අවසන්ය. ඊළඟ විකල්පය වන්නේ බැසිල් රාජපක්ෂය. ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන කුමාර වෙල්ගම පසුගිය සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතට කියා තිබුණේ මෑත කාලයේ බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳ සුවිශාල පැහැදීමක් තමන්ට ඇති වූ බවයි. එතැනින් නොනැවතී ඔහු කියන්නේ “බැසිල් මහත්තයා නියම පාලකයෙක්. නියම වැඩකාරයෙක්…. මහින්ද මහත්තයාගෙ ප්‍රතිරූපයට මිනිස්සු ආදරෙ වුණත් බැසිල් මහත්තයා තමයි පොහොට්ටුව මෙතනට ගෙනාවෙ. ” බැසිල් සිය කණ්ඩායමේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා විය යුතු බව ඔහු නොකීවත් ගෝඨාභය ඉදිරිපත් කිරීමට අකැමැති කණ්ඩායමක් ඒකාබද්ධ විපක්ෂයේ සිටින බව පැහැදිලිය. එසේම ගෝඨාභය, බැසිල් යන දෙදෙනාටම අකැමැති පිරිසක් සිටිති. චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයාගේ නම මතුරන්නේ ඔවුන්ය.
නියමිත වෙලාවට සිය කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීන්දු කරන බව මහින්ද රාජපක්ෂ මහතාට කියන්නට සිදුව ඇත්තේ ද මේ ජනාධිපති අපේක්ෂක නළුවන්, එක් එක් අධ්‍යක්ෂවරයා විසින් වේදිකාවට හඳුන්වා දෙමින් සිටින නිසාය.
2020 ජනාධිපති තරඟයට ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම ද නොසලකා හැරිය නොහැකිය.
රනිල් මෛත්‍රී, ගෝඨාභය තුන්කොන් තරගයක් එළඹේ නම් ජවිපෙ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සම්භාවිතාව ඉතා ඉහළය. සටන 2015 මෙන් රාජපක්ෂලා සහ පොදු අපේක්ෂකයෙකු අතර වේ නම් අනතුර වළක්වා ගත් රියදුරකුවීමට ජවිපෙට පහසු අවස්ථාවක් උදාවනු ඇත. එහෙත් දැනට පවතින දේශපාලන සාධක මත එවැන්නකට අල්ප ඉඩක්වත් ඉතිරි වේ යැයි සිතිය නොහැක. ඒ 2020 දී රාජපක්ෂ විරෝධී කඳවුර සඳහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අවස්ථාවට තවදුරටත් වලංගුතාවයක් ඉතිරි කරන්නට රනිල් – මෛත්‍රී හවුල් ආණ්ඩුව අවම හෝ ඉඩකඩක් ඉතිරි කර නොමැති නිසාය.
දැන් බොහෝ දුරට එළඹෙනු ඇත්තේ එකම කරළියේ තුන්කොන් තරගයකි. දේශපාලන සිද්ධි මේ ආකාරයට පෙළ ගැසුනහොත් මේ ආකාරයට පෙළ ගැසුනහොත් මේ කිසිදු අපේක්ෂකයෙකු 50% ඉක්මවූ ඡන්දයක් ලබා ගනීවි යැයි සිතිය නොහැක. එවිට සිදුවන්නේ දෙවන මනාපය ගණන් කරන තැනකට මෙරට ජනාධිපතිවරණය ඉතිහිසායේ පළමුවරට ගෙන ඒමට මැතිවරණ කොමිසමට සිදුවීමය. එහි දී පළමුවැන්නා හා දෙවැන්නා අතරින් කවුරුන් 50% ඉක්මවා ඡන්දයක් ලබා ගත්තද නොගත්තද එයින් පෙන්නුම් කෙරෙන්නේ යම්තාක් දුරකට හෝ අල්ලා රඳවාගෙන සිටි මෙරට දේශපාලන ස්ථාවරත්වය නැමැති කැඩපත කෑලි කෑලිවලට බිඳී, මුහුණ බැලූ විට රූපයක් වෙනුවට රූප ගොඩක් පෙනීමේ චංචල යථාර්ථයයි. එය රට කඩා වැටීමෙන් කූටප්‍රාප්තියක් වීමේ ඉඩකඩ විශාලය. ජඩ පාලනය, යහපාලනයට හරවන්නේ යැයි කියා රට බාරගත් අණ්ඩුවකට අවුරුදු පහක් ඉඩදීමේන් පසුවත් එසේ බිඳී විසුරුණු රටක් යළි බාරගැනීමට පුරවැසියා සූදානම්ද? ඉරණම වෙනස් කිරීමට හෝ එය යළි සකස් කිරීම සඳහා ආශ්චර්යයක් සිදුවන්නේ නම් ඒ සඳහා ද ඉතිරිව ඇත්තේ මාස 18කි.