රාවය

ඇමරිකානු X ලියැවිල්ල ලාංකික වාර්ගිකත්වයේ කැඩපතක් ලෙස

ඇමරිකානු X ලියැවිල්ල ලාංකික වාර්ගිකත්වයේ කැඩපතක් ලෙස

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

වහලාගේ ‘පැවැත්ම’ වහල් හිමියා සතු හුදු ‘පෞද්ගලික දේපළක්’ ය යන තැනට ලඝු කරලා තිබ්බ සහ මිනිස් ජීවිත අඩු ම ඩොලරයට ලංසුගත කෙරුණ, මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද කූඨ ම කුමන්ත්‍රණ ලෙස දියත් වුණු ඇමරිකානු වහල් ක්‍රමයත් – වහල් වෙළෙඳාමත් ගැන අපි දන්නවා. ඒ සමාජය තුළ වහලා නම් මිනිසාගේ ජීවිතයේ ‘සාරය’ පිළිබඳ බලපවත්වනු ලැබූ ඛේදනීය ඉරණමත් ගැන අපි කියවා තියෙනවා. 12 Years a Slave (2013), Django Unchained’ (2012) සහ Amistad වැනි හොලිවුඞ් සිනමා කෘතීන් රාශියකින් අපි අත්විඳලා තියෙන්නෙත් ඒ යථාර්ථ ය.
American History X සිනමා පටය කලින් කී සිනමාපටවලට වඩා තරමක් පැරණි නමුත් (1998), කතාවෙන් දිගහැරෙන දේශපාලනික අවකාශය අරිට වඩා අලුත්. කොටින්ම කියනවානම් මේ කෘතියට වස්තු වන්නේ ඇමරිකානු සිවිල් යුද්ධයත්, වහල් ක්‍රමය පිළිබඳ ලින්කනියානු ප්‍රතිසංස්කරණයනුත් (හා ලින්ඩන් ජොන්සන් ගේ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රතිසංස්කරණ) පසුකර ගිය මෑත දේශපාලනික අවකාශයක්. එසේම, වහල් ක්‍රමය පිළිබඳවත් සමානාත්මතාව පිළිබඳවත් මධ්‍යම රජය විසින් ලබාදෙන ලද ප්‍රතිපාදන ඇමරිකානු ප්‍රාන්ත රාජ්‍යයන් තම ප්‍රාන්ත ව්‍යවස්ථා තුළින් කළු ජාතිකයින්ගෙන් කූඨ ලෙස උදුරා ගනිමින් සිටින විට ඊට හෙරෙහිව ලූතර් කිං ආදීන් මහා පාගමන් ගිය කාලයටත් මෙහා “වර්තමාන” දේශපාලනික අවකාශයක්.
වාර්ගික අගතීන් හා ප්‍රචණ්ඩත්වයන් ඒවා නිවීමට ගන්නා ලද කවර ක්‍රියාමාර්ග හමුවේ වුවද අළු යට ගිනි පුපුරු මෙන් සැඟවී තිබී මේ ඛේදනීය යථාර්ථය American History X සිනමාපටය ඒත්තුගන්වනවා.
චිත්‍රපටය පටන් ගන්නේ කතා නායකයා – ඩෙරක් තම කාර් රථය පැහැර ගැනීමට උත්සාහ කළ කළු ජාතිකයින් දෙන්නෙක් ඝාතනය කිරීමේ රූපරාමුවක් තුළින්. ඔහු එය නිර්වචනය කරන්නේ තම පියා කළු ජාතිකයින් අතින් ඝාතනය වීමේ පළිය ජාතියට ජාතියේ ලෙයින් ගැනීමක් හැටියට. (කෙසේවෙතත් ඩෙරක්ගේ මේ කළු විරෝධී ගිනි පුළිඟු එතනින් පටන් ගත්තක් නොව ඊට වඩා ඈතට ගිය එකක් බව කතාව අවසානයේදී පේනවා) ඝාතන සිදුවීමෙන් පසු ඩෙරක් පොලිස් මාංචුවට යටත් වන්නේ ඒ පිළිබඳ අභිමානයත් එක්ක. පොලිස් නිලධාරියකු වූ ඔහුගේ පියා ජාවාරම්කාර කළු ජාතිකයින් පිරිසක් අතින් වෙඩී වැදී මිය ගොස් තිබුණේ මත්ද්‍රව්‍ය වැටලීමට යෑමේදී.
තම දේශපාලනික වුවමනාවට අනුකූල වන විදිහට එය ‘කල්ලන්’ කළ ඝාතනයක් හැටියට හිතන්න ඩෙරක් හුරු කරනු ලබනවා. ඒ වාර්ගික අගතීන්ට න්‍යාය සපයමින් ප්‍රචණ්ඩ කල්ලි බිහිකරන්නන් විසින්. ඇත්තටම ඩෙරක් අයත් වන්නෙත් ‘වැනීස් බීච් කල්ලිය’ කියන එවන් කල්ලියකට. වැනීස් බීච් කල්ලියට කල්ලන් පිටුදැකීමේ දෘෂ්ටිවාදයන් සපයන න්‍යායාචාර්යවරයා ‘කැමරන් ඇලෙක්සැන්ඩර්. වැනීස් බීච් කල්ලියේ අචල චාලකයා ඔහුයි.
කැමරන් තම දෘෂ්ටිවාදයන් ව්‍යාප්ත කිරීමේ ප්‍රමුඛ වාහකය හා ඒවා ක්‍රියාත්මක කිරීමේ කාරකය අනාරක්ෂිත සහ අසරණ තරුණයින් හැටියට දැකීමට තරම් සටකපට කල්පනාවක් තියෙන කෙනෙක්. පියා අහිමි අසරණ පවුලක පාසල් වියෙහි සිටි දක්ෂ තරුණයකු වන ඩෙරක් (පසුව ඔහුගේ මල්ලිත්) මේ සඳහා තෝරගන්න ඔහු සූස්කට්ට වෙන්නෙ ඒකයි.
එහෙත් ‘කැමරන් ඇලෙක්සැන්ඩර්’ කළු ජාතිකයින්ට (සහ සෙසු සංක්‍රමණික ජාතීන්ට) එරෙහි සියලු ප්‍රචණ්ඩ ක්‍රියා රහසින් සංවිධානය කරනවා විනා ඒ සිදුවීම්වලට මැදිහත් වෙන්නෑ. කොටින් ම පොලීසිය පවා ඔහු ගැන දන්නේ නෑ.
වැනීස් බීච් කල්ලියේ තරුණයින් පොදු බාහිර ලක්ෂණයක් ලෙස තට්ටය ගාගෙනයි ඉන්නේ. ඒ වගේම හිට්ලර්ගේ ස්වස්තිකය ශරීරයේ පච්චා කොටාගෙන ඉන්නවා. ඩෙරකුත් හරියටම හදවතට උඩින් පපුවේ ස්වස්තිකය (තම කල්ලි සලකුණ හැටියට) කොටාගෙනයි ඉන්නෙ. හිට්ලර් සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටි වීරයෙක් බව ඒ අය හිතනවා. ඔවුන්ට අනුව තම ජීවිතයේ උදාවී තියෙන සෑම ප්‍රශ්නයටම හේතුව කළු ජාතිකයින්.
“හැම තැනම නීතිවිරෝධී සංක්‍රමණිකයින්. රජය මිලියන් ගාණක් වැය කරනවා උන් සම්බන්ධ වැඩ කරන්න. උන්ට සහනාධාර දෙන්න. අපරාධකරුවන් සිරගත කරන්න විතරක් ආණ්ඩුව මිලියන ගාණක් වැය කරනවා. මුං ඔක්කොම අපරාධකරුවෝ. රජය මහන්සි වෙන්නේ පුරවැසියන් ගැන නෙමෙයි කොහෙවත් ඉන්න කල්ලන්ගේ අයිතිවාසිකම් ගැන” ඔවුන් හිතනවා.
“මේ බිමේ අයිතිකරුවන් වන අපි මේ වෙලාවේ මැදිහත්වෙන්න ඕනෑ ඒකයි” ඔවුන් වාර්ගික ප්‍රේමයේ වගකීම තමන්ට පවරා ගන්නේ එහෙම.
වාර්ගිකත්වය යනු ප්‍රචණ්ඩත්වයේ එක් ව්‍යාජ මුහුණක් පමණක් බවත්, ප්‍රචණ්ඩත්වයේ සැබෑ මුහුණුවර තමන්ගේම වර්ගයාටම පීඩා කිරීම දක්වා ඔඩු දුවන බවත් කතාවෙන් පෙන්වනවා. කතානායකයා තම ජාති ප්‍රේමයේ නාමයෙන් තමන්ගේම සහෝදරියට සහ සහෝදරයාට පහරදීම, මවට අපහාස කිරීම සහ කළු ජාතිකයින් ඝාතනය කිරීම නිසා සිරගතව සිටියදී ඩෙරක්ට එරෙහිව ඔහුගේම සහෝදර ලීගයේ අය එරෙහිවීම වගේ තැන්වලින් කතා තේමාව ඒ සංකීර්ණ ආස්ථානයට ඔසවා තබනවා.
කළු ජාතිකයින් ඝාතනය කිරීම, ඔවුන්ගේ වෙළෙඳ සැල්වලට පහරදීම, කළු ජාතික ස්ත්‍රීන් අතවරයට පත් කිරීම ආදී දේ තුළින් වැනීස් බීච් කල්ලිය තම ජාති ප්‍රේමයේ මෙහෙවර කරද්දී, ජාතිප්‍රේමී කළු ජාතික කල්ලිද ඒ අයුරින්ම ඉස්මතු වෙනවා. අවසානයේ කතා නායකයාගේ මල්ලී වන ඩැනී ඝාතනය කරන්නේ පාසලේ ඔහු සමග ගැටුණු ඒ විදිහේ කළු කල්ලියක් අතින්. වැනීස් බීච් කල්ලියේ නැගී එන තරුණයකු වූ ඩැනී කළු අන්තවාදී කණ්ඩායමක් අතින් එසේ ඝාතනය වන්නේ මේ අගතීන්හි සැබෑ තත්ත්වය තේරුම් ගෙන එයින් ඉවත් වී ඒ පිළිබඳ ලියන ලද නිබන්ධනයjk American History X තම ගුරුවරයාට බාර දීමට යන විට වීම එක්තරා අතකට සංකේතාර්ථ දනවනවා.
මේ මේ අපූර්ව සිනමාපටයේ සමස්ත කතාව නොවේ. කතාව දෙස එළඹිය හැකි එක් කෝණයකින් අඩක්. තිස් වසරක් පැවති යුද්ධයක් සහ වාර්ගික – ආගමික අන්තවාදී කණ්ඩායම් දිවා රෑ තම දේශපාලනික උවමනාවන් සහ පැවැත්ම සපුරා ගැනීම සඳහා වර්ගවාදයත්, ජාතිවාදයත් ආගම්වාදයත් මූලෝපාය හැටියට භාවිත කරන ලංකාවේ පොළව මත American History X පිහිටුවන්නට පුළුවන් ද? එය සිදු කළ හැකි දැයි චිත්‍රපටය නරඹා බලන්න.