රාවය

තිලංග නොටඅවුට්ද?

තිලංග නොටඅවුට්ද?

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල්දමා තිබේ. එකී කල් දැමීම මේ මස අග දක්වා බැව්ය කියැවෙනුයේ.
මේ වනවිට සභාපති තිලංග සුමතිපාල සූදානම් ශරීරව සිටිනුයේ තමන් නැත්නම් තම අනුප්‍රාප්තිකයා හෝ ක්‍රිකට් මහ පුටුවේ වාඩි කිරීමට සූදානම්වය. ලැබෙන ආරංචි මාර්ග අනුව නාමයෝජනා බාර දීමේ දී මොහාන් ද සිල්වා සභාපති තනතුරට සේ ම, ලේකම් තනතුර වෙනුවෙන් ද නාමයෝජනා බාර දී ඇති බැව්ය පැවැසෙනුයේ. මේ අතර තිලංග පාර්ශ්වය නියෝජනය කරන උප සභාපති කේ. මතිවානන්, භාණ්ඩාගාරික ශම්මි සිල්වා යන අය ද නැවත වතාවක් තිලංග පාර්ශ්වයම නියෝජනය කරනු ඇත. මේ අතර තවත් ක්‍රිකට් ප්‍රබලයෙක් වන නුෂ්කි මොහොමඞ් ද ඉහළ පෙළේ තනතුරක් සඳහා අලුත් ස`ඵපිළි පැළඳ ක්‍රිකට් පාලනයට එක්වීමට සූදානමින් සිටී.
අනෙක් පාර්ශ්වයෙන් තරගයට පිවිසෙන ප්‍රධානියා නිශාන්ත රණතුංග බැව්ය ආරංචිය. මේ වෙද්දී අමාත්‍ය අර්ජුන රණතුංග තිරය පිටුපසට වී සිටින භූමිකාවකි ක්‍රිකට් අරබයා ආරංචි ය. විද්වත් ගණයේ ලා සැලකිය හැකි ක්‍රිකට් වෙනුවෙන් දායකත්වය දැක්වූ කිහිප දෙනෙකුටම තනතුරු සඳහා ආරාධනා කළද කිසිවෙක් පවතින ක්‍රිකට් දේශපාලනය මත ඉදිරියට පැමිණීමක් අපේක්ෂා කළ නොහැකි බවකි ආරංචි ය.
එහෙත් දේශපාලනයේ ඉහළ ම අයෙකුගේ ආශිර්වාදය ඇත්නම් ක්‍රිකට් අතුරු කමිටුවක් හරහා ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට කැමැති කිහිප දෙනෙක් ද වෙති. ඒ අතරට ක්‍රිකට් වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් සේ ම පරිපාලකයෙක් ද වන බවයි ආරංචි ය. ඔහුගේ අභිප්‍රාය ඉටුවෙන්නේ නම් ක්‍රිකට් පරිපාලනයේ ස්වර්ණමය යුගයේ සිටි කිහිප දෙනෙක් ද ඊට එක්වන බවකි ආරංචි ය.
කෙසේ වෙතත් මේ වෙද්දී තිලංග පාර්ශ්වය වඩාත් බලවත්ව සිටිනු බවයි ආරංචිය. ඒ සඳහා දේශපාලනයේ ද පූර්ණ ආශිර්වාදය හිමි බවකි කියැවෙනුයේ.
අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙනෙන තුරුම තිලංගට ක්‍රිකට් මාතෘකාවෙන් ඉවත් වෙන බවට බලපෑම් කළෝ බොහෝ ය. තිලංග ද ඇතැම් තැනක දෙතැනක පවසා තිබුණේ තමන්ට පැවැරී ඇති දේශපාලනමය වගකීම් හේතුවෙන් ක්‍රිකට් සභාපති තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවයි.
ඒ සියල්ල නිර්මාණය වෙන්නේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් තිලංග වෙත ගෙනා දූෂණ චෝදනාවන්ය. එම චෝදනාවන් ගෙන ඒමට අමතරව රංජන් රාමනායක තමන් විසින් මාධ්‍ය මගින් ගෙන ගිය අරගලය දැන් එෆ්සීඅයිඩී ය වෙත ද ගෙන ගොස් හමාර ය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශාල ලෙසින් මුදල් අවභාවිත වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලමිනුයි මේ චෝදනා ගොනු කළේ. ඒත් මේ සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ කෙසේ ද යන්න පසු විපරමෙන් සිටීමට අපට සිදුවෙනවා. මොකද අපේ රටේ මේ දේවල් සිදුවෙන්නේ ඉතා ම දුර්වල මට්ටමෙන්.” දූෂණ චෝදනා සහිත ලිපිගොනු එෆ්සීඅයිඩී ය වෙත බාරදුන් පසු රංජන් රාමනායක මාධ්‍ය වෙත පවසා තිබුණි.
මේ සෑම තැනකම සිටියේ රංජන් රාමනායක ම පමණි. බහුතරයක් බලා සිටියේ රංජන් රාමනායක සමගින් පසු පෙළෙන් සිටගන්නේ කවුදැයි බලා ගැනීමට ය. රංජන්ගේ මෙම අරගලය පිටුපස ජනතා ආකර්ෂණයට සහ විශ්වාසයට පත් එක් හෝ ක්‍රීඩකයෙක් නොමැති නම් ක්‍රිකට් පාලකයෙක් සිටියේ නම් මේ චෝදනාවේ බලපෑම තවත් බලවත් වන්නේ ය.
එසේ නොවුණ තැනය රංජන්ගේ මේ අරගලය දේශපාලන උවමනා එපාකම් මත සිදුවෙන්නේ යැයි පැවැසීමට තරම් තිලංග පාර්ශ්වයට හැකියාව ලැබී තිබෙන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු හා හූවක් නොනැගෙන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද කිසිවක් ම සිදු නොවූ අයුරින් තම කටයුතු සිදු කරගෙන යන්නේ ය.
යෝජිත දිනයේ වූ නිලවරණය අහෝසි කරන ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් පරිපාලනය ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක කිරීමට අතුරු කමිටුවක් පත් කරන්නේ ය. එහි මුල් පුටුව සේ ම අනෙකුත් සෙසු තනතුරු ද හිමිවෙන්නේ හිටපු නිලධාරීන්ට ම ය.
අඳෝමැයි; චෝදනාලාභීන්ම තනතුරුවල හිඳුවන දේශපාලනයකි ක්‍රියාත්මක වෙන්නේ.
මේ පත්කිරීමත් සමගින් සිදුවූ එකම සිදුවීම නම් ක්‍රිකට් ආයතනයේ ලිපිගොනු අන් අය වෙත ලැබුණේ කෙසේදැයි යන්න විමර්ශනය කිරීමේ අවකාශය චූදිතයන්ට ම ලැබීම ය.