රාවය

මාලිංගට පල නොකියා පලා බෙදීම

මාලිංගට පල නොකියා පලා බෙදීම

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යළිත් ලසිත් මාලිංග වෙත යෝකර් පන්දුවයක් යවා තිබේ. ඒ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ය.
“අපි මාලිංගට දන්වා තිබෙනවා ඔහුව තෝරා ගන්නවා කියලා. ඔහු අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමකට පවා නම් කර තිබෙනවා. ඔහු දැන් දැනගත යුතුයි ලංකාවට ඇවිත් මෙහේ සෙල්ලම් කරන්න. ඔහු අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළේ නැත්නම් ඔහුගේ දක්ෂතා ගැන තේරීම් කමිටුවට සලකා බලන්න බැහැ.” පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ආයතනයේ විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කර තිබුණි.
ඈෂ්ලි ද සිල්වා මේ ප්‍රකාශය කරන්නේ මේ ඊයේ පෙරේදා ය. එය හුදෙක් ම ලසිත් මාලිංග අරබයා ම ක්‍රියාත්මක වෙන කැරැල්ලක ඇරඹුමක් ලෙසිනි අපට නම් හැඟෙනුයේ.
එහෙත් මේ ප්‍රකාශය හුදෙක් ම මාධ්‍ය වෙනුවෙන් ම පැවැසූවක් විනා සත්‍ය තත්ත්වය නොවන බැව් ය ක්‍රිකට් ප්‍රේමීන්ගේ මතය. ඊට වඩාත් ම බලපා ඇත්තේ මාලිංග පසුගියදා නිකුත් කර තිබූ වීඩියෝවක් ය.
“මම පසුගිය වසරේ විස්සයි විස්ස තරගවල කඩුලු ලබා ගත් ක්‍රීඩකයන් අතර ලෝකයේ තුන්වැනියට සිටියා. ඒ වගේ ම ලංකාවේ ක්‍රීඩකයන් අතර පළමුවැනියට හිටියා. එහෙම ඉන්න කොට තමයි අලුතින් ආපු තේරීම් කමිටුව මට එකම තරගයක් හෝ ලබා නොදී විස්සයි විස්ස තරගවලින් ඉවත් කළේ. මම මේ ගැන ඔවුන්ගෙන් ප්‍රශ්න කළා. ඔවුන් පැවැසුවේ 2019 වෙනුවෙන් ක්‍රීඩකයන් ගැන බලන නිසා පොඩි ටූනමන්ට්වලදී අපි අලුත් ක්‍රීඩකයන් බලනවා. ඔයා විවේක ගන්න ඕනෑ කියලා.” මාලිංග පවසා තිබුණි.
ඒ විවේක ගැන්වීම තවමත් ක්‍රියාත්මක වේ. මේ කාලයේ දී දේශීය ක්‍රීඩා සමාජ පිටියට පිවිසි මාලිංග ඒ තරගවල දී ද දක්ෂතා දක්වන්නේ ය. ඔහු සුපුරුදු රිද්මයට පැමිණ පිටියේ තවදුරටත් තමන්ට යමක් කළ හැකි බැව් පෙන්නුවේ ය. එහෙත් තේරීම් කමිටුවට එම දක්ෂතා ප්‍රමාණවත් නොවන්නට ඇත.
“මාව විවේක ගන්වා සිටිද්දි තමයි මට ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ පුහුණු උපදේශකයෙක් ලෙසින් කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ. මම එම කණ්ඩායමේ වසර 10ක් ක්‍රීඩා කළා. ජාත්‍යන්තර තරගවල අවුරුදු 15ක් ක්‍රීඩා කරල තිබෙනවා. එම අත්දැකීම් සහ මගේ පන්දු යැවීමේ ආකාරයේත් සංකලනයන් සමගින් අලුතින් එන ක්‍රීඩකයන්ට වගේ ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමගින් ඒ අත්දැකීම් බෙදා ගන්න තීරණය කළා.”
මාලිංගගේ එම කාලය නිමාවෙන්නේ මේ මාසයේ අග භාගය වන විට ය. එතෙක් ඔහුගේ කාලය වැයවෙන්නේ ඉන්දියාවේ ය. ඒ අල්ල පනල්ලේ ය, පළමු ව කිසිදු කණ්ඩායමකට නම් නොකරන ලද මාලිංග අන්තර් පළාත් සීමිත පන්දුවාර තරගාවලියේ කණ්ඩායමකට නම් කෙරෙන්නේ සහ පැමිණ ක්‍රීඩා කළ යුතු යැයි නීති පැනවෙන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් යනු පාලකයන් විසින් අත්තනෝමතික ව පාලනය කරනු ලබන ආයතනයක් බැව් නැවත වතාවක් සනාථ කිරීමකි මේ කර ඇත්තේ. ක්‍රිකට් පාලකයෝ මේ වන විට හොඳාකාරයෙන් ම දන්නා කාරණයකි ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ පුහුණු උපදේශකයෙක් ලෙසින් සේවය කරන බැව්. එසේ වෙත්දීත් ඔවුන් මාලිංගට පවසනුයේ මේ දිනවල මෙරට පැවැත්වෙනු ලබන අන්තර් පළාත් සුපිරි හතර තරගාවලියට සහභාගි වන ලෙසයි.
මේ නම් යන්නට නොකියා යන තැනට වැඩ සිදුකරන පලා බෙදීමක් ම වන්නේ ය. ක්‍රිකට් තේරීම් කමිටුවට මාලිංගව සිහිවෙන්නේ කණ්ඩායම් නම් කිරීමෙන් ද පසුව ය. මාලිංගගේ නම හෝ අන් නම් දැමීම ද සලකා බලමින් ඔවුන් සිදුකරන්නේ චාමර සිල්වා සහ තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්මත් කණ්ඩායම්වලට එක් කිරීම ය.
මාලිංග අන්තර් පළාත් සීමිත පන්දුවාර තරගාවලියට සුදුස්සෙක් වී නම් ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් ඔහු ව පළමු ව නම් කළ කණ්ඩායම්වල සාමාජිකයෙක් විය යුතු ය. ඒත් එසේ වෙන්නේ නැත. ඒ කුමන හේතුවක් නිසා දැයි කිසිදු තැනක සඳහන් වූයේ ද නැත. එසේ ඉවත ලූ ක්‍රීඩකයා නැවත කණ්ඩායමක සංචිතයට පිවිසෙන්නේ ය. දැන් පාලකයන් කටමැත දොඩන්නේ එකී පත් කිරීම ගැන උදම් අනමිනි. ඊටත් වඩා තමන් ඔහුගේ සහභාගිත්වය බලාපොරොත්තු වන බැව් ද එසේ නොවන්නේ නම් අනාගතය අවිනිශ්චිත බැව් ද පවසන්නේ ය. ඒ ඔවුන් මාලිංග එක් අතකින් බදා ගන්නා ගමන් ම අනෙක් අතින් පිහියෙන් අනින්නට සූදානමිනි.
මාලිංගට තේරීම් කමිටුව විසින් මේ ආකාරයෙන් බෙදද්දී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසන්නේ ඔහු ව විස්සයි විස්ස තරගවලට තවදුරටත් වලංගුදැයි තමන් ඇතු`ඵ කණ්ඩායම විමසිල්ලෙන් සිටින බවයි.
“මාලිංග අපි ඉවත් කරල නැහැ. ඔහු තවදුරටත් විස්සයි විස්ස තරගාවලියට ප්‍රයෝජනයක් ගන්න පු`ඵවන් ක්‍රීඩකයෙක්.” මේ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල කියූ කතාවකි.
මේ කතාව කියන විට ජාත්‍යන්තර ක්‍රිකට් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස පිටියේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානය ය. මැයි මස 2 වැනි දා නිකුත් කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම අනුව අප කණ්ඩායම සිටිනුයේ ඇෆ්ගනිස්තානයටත් වඩා පහළිනි.
මේ ගැන කතා නොකරන ක්‍රිකට් පාලකයන් සිදුකරනුයේ ක්‍රීඩකයන් වෙත නීති පනවමින් තමන්ගේ තරම පෙන්වීමට ක්‍රියා කිරීම ය. අතීතයේ දී සිදුවූ එවන් දේවලින් අපට අහිමි වූ ක්‍රීඩකයෝ බොහෝ ය. වර්තමානයේ දී ද සිදු කිරීමට වලිකන්නේ එය ම කිරීමට ය.
ලසිත් මාලිංග ද එම ගොඬේම වළ දැමීමට ගන්නා උත්සාහයේ පළමු පියවරය මේ ගෙන තිබෙන්නේ.
ක්‍රිකට් පාලකයන් විසින් බදා වැළඳ ගනිමින් පිහියෙන් ඇණීමේ බෲටස් න්‍යාය පාලකයන්ට මිස ක්‍රීඩකයන්ට නම් නොගැළපෙන්නේ ය යන්න එකී පාලකයෝ තේරුම් ගත යුතුය. මක්නිසාදයත් ක්‍රිකට් පැවැතෙන්නේ පාලකයන්ගෙන් නොව ක්‍රීඩකයන්ගේ දක්ෂතා මත ම පමණක් වන නිසා ය.