රාවය

ඇමතිවරු යති. එති ක්‍රීඩාව එතැනමය.

ඇමතිවරු යති. එති ක්‍රීඩාව එතැනමය.

ටිරන් කුමාර බංගගමආරච්චි

තෙවසරක් ගෙවන යහපාලන ආණ්ඩුවේ තෙවැනි ක්‍රීඩා ඇමති පත්කර ඇත. ඒ අමාත්‍ය ෆයිසාර් මුස්තාපාය. මීට පෙර අමාත්‍ය නවීන් දිසානායක මෙන්ම අමාත්‍ය දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍ය ධුරය දැරීය. පහුගිය ඉතිහාසය පුරාම ආණ්ඩු මාරුවීමත් ඊට සාපේක්ෂව ක්‍රීඩා අමාත්‍යවරු මාරුවීමත් දක්නට ලැබුණි. කාලයෙන් කාලයට ක්‍රීඩා අමාත්‍යවරු පත්වීම, ඉවත්වීම නැවත පත්වීම විගඩමක් වී ඇත. ක්‍රීඩා අමාත්‍යවරු ආව ගියද ක්‍රීඩාව එක තැනය. බරපතළම ගැටලුව නම් එයය.
ක්‍රීඩා අමාත්‍යවරු එන කල එන්නේ හොඳම ක්‍රීඩා ඇමති තමන් වන බවත් අන් කිසිවකු නොකළ වැඩ කොටසක් කරන බවත් පාරම්බාමිනි. එහෙත් යන කල පුස්ස බින්දා සේ කිසිවක් නැතිය.
ඩන්කන් වයිට්, සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම් දිනූ ඉතිහාසයක් අපට ඇත. ඒ ඉතිහාසය නිර්මාණය වුණේ මෙරට ක්‍රීඩා පරිපාලනයේ අමුතු දක්ෂතාවක් නිසා නොව ඊට එහා ගිය අතුරු කතා නිසාය. සුසන්තිකා වුව ඇමරිකාවේ පුහුණුව නොලබන්නට ඇයට ඔලිම්පික් දිනිය නොහැකි වනු හැකිය. ඒ නිසා අප දැන්වත් කළයුතුයැයි යෝජනා කරනුයේ කවුරු ක්‍රීඩා ඇමති වුවද නිවැරදි වැඩපිළිවෙළක් සකසන ලෙසය. අවැසි ලෙසය. එය ආණ්ඩුව වගකීමක් ලෙස ගෙන කළ යුතු මහඟු කාර්යයකි. ලොව දියුණු රටවල ආණ්ඩු මාරු වුවද අමාත්‍යවරු මාරු වුවද වැඩපිළිවෙළ වෙනස්වන්නේ නැත.
එහෙත් ලංකාවේ සිදුව ඇත්තේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට ක්‍රීඩා ඇමතිගෙන් ඇමතිට විවිධ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමය. මේ නිසා කිසිවකුට එකක් නැත. ඒ නිසා ක්‍රීඩාව නගා සිටුවන්නට නම් ස්ථිර වැඩපිළිවෙළක් පැවතිය යුතුය.
දියුණු රටවල ආදර්ශයන් ගෙන එය වත්මනෙහි හෝ කඩිනමින් කළ යුතුය. ඉතාම වැදගත් දෙය නම් එයය. ඉන්පසු කවුරු ඇමති වුවද ඔහු ක්‍රියාවට නැගිය යුත්තේ ඒ වැඩපිළිවෙළය. කිසිවකු එකවර විශ්වවිද්‍යාලයට නොයන්නා සේ ඊට පෙර පහ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ උසස් පෙළ කඩඉම් පසුකළ යුතුවා සේ ක්‍රීඩාවෙන්ද ක්‍රමානුකූලව එන ක්‍රමයක් විද්‍යාත්මකව සැකසිය යුතුය. එලෙස එන ක්‍රීඩකයන් රැකගන්නා ක්‍රමයක් තිබිය යුතුය. එය අමාත්‍යවරු මාරුවූ කල මාරුවන ප්‍රතිපත්තියක් නොවිය යුතුය. ඔවුන්ට අවැසි මෙරට පුහුණුව මෙන්ම විදෙස් පුහුණුව ලබාදෙන කෙටිකාලීන මෙන්ම දීර්ඝකාලීන වැඩසටහනක් අවැසිය. එයද ඉහත වැඩපිළිවෙළෙහි අන්තර්ගත විය යුතුය. මේවා අලුත් දෑ නොවූවද දැනට සිදුවන්නේ අමාත්‍යවරු මාරුවන සැරේට ප්‍රතිපත්ති වෙනස්වීමය. ප්‍රතිපත්ති යනු එලෙස හිසේ ඇම්මට කොට්ට මාරු කරන්නා සේ මාරු කොට සුවය ලැබිය හැකි නොවේ. එයට දැක්මක් අවැසිය.
ක්‍රීඩා ඇමතිවරු කොතරම් ආ ගියද ඒ බොහෝ අය සමග වැඩ කළ අය අදද සිටිති. ක්‍රීඩා අමාත්‍යාංශය නම් මහා ගොඩනැගිල්ලක විශාල කාර්ය මණ්ඩලයක් වෙනම අමාත්‍යාංශයක් ඇමති කෙනෙක් ඒ මදිවට නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමතිවරයෙක් මේ කවර තත්ත්වයක් යටතේ වුව ක්‍රීඩකයන්ට ක්‍රීඩාවට සෙතක් වී ඇද්ද?
අඳින්නට සපත්තු ජෝඩුවක් නැති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපමණය. කන්නට හරිහමන් කෑම වේලක් නැතිය. එහෙත් දක්ෂතා පෙන්වා කෙසේ හෝ ඔවුන් ඉදිරියට ආවද අනාගතයක් නැතිය. විදෙස් තරගාවලියක් වුව ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් ළඟ හිඟමන් යැදිය යුතුය. මේ නම් කවර තත්ත්වයක්ද?
ක්‍රීඩා ඇමති, ක්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම ක්‍රීඩා නිලධාරීන් ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයන් නැත්නම් කුමකටද? අංක එක ක්‍රීඩාව සහ ක්‍රීඩකයා බව බොහෝ නිලධාරීන් මෙන්ම ආ ගිය ඇමතිවරුද අමතක කළේය. ක්‍රීඩකයන් සමග ගැටුණු ක්‍රීඩා ඇමතිවරු ඔවුන්ගෙන් පන්න පන්නා පළි ගත්හ. මේ සැම වන්නේ දැනට ඇති ක්‍රමවේදය නිසාය. ක්‍රීඩා ඇමති සිතනුයේ ඔහු ක්‍රීඩාවේ විධායක ජනපති කියාය. එවැනි බලයක්ද ඔහු ආරෝපණය කරගෙන සිටී. එහෙත් ඒ බලය ක්‍රියාත්මකවන්නේ ක්‍රීඩාවේ අභිවෘද්ධියට නොව ඔවුන්ගේ පැවැත්මටය.
එබැවින් තවදුරටත් ක්‍රීඩා අමාත්‍යවරු මත්තේ එල්ලී සිටීම පළක් ඇති වැඩක්ද යන්න සිතිය යුතුය. කඩිනමින් සිදුවිය යුත්තේ රටේ ඉහළම අය මැදිහත් වී හෝ ස්ථිරසාර වැඩසටහනක් ආරම්භ කිරීමය. එය නොමැතිව ඇමතිවරු ආවා ගියාට සිදුවන සෙතක් නැත. මුල් කාලයේ ඇමතිවරු ක්‍රීඩා සංගම්වලින් යැපුණේය. අද වනවිට පිට්ටනිවලින් යැපෙන්නේය. එහෙත් අදටත් අපට සුගතදාස ක්‍රීඩාංගණය ඇරුණු කොට සම්පතක් නැත්තේය. එයද වැඩි කාලයක් අලුත්වැඩියාය. දියගම ක්‍රීඩා සංකීර්ණයක් හදන බව දයාසිරි සමයේ කතාබහය. ඇමතිවරු මාරු වූ පසු ඒවාට මොනවා වන්නේද? කවුරු දනිත්ද?
ක්‍රීඩාවට අවැසි නිවැරදි උපදෙස් දෙන යාන්ත්‍රණයක් අවැසිය. එසේ නොවුණහොත් හැම ක්‍රීඩා ඇමතිවරුන්ගේම පඩික්කම සේ සිටි නිලධාරීන් ටිකම ඉදිරියටත් මේ විදිහටම එන එන ඇමතිට පන්දම් අල්ලමින් ඔහු ඉතා ඉහළ බවට අගයමින් රට සවාරි යෑම පමණක් සිදුවනු ඇත. මේවායින් ක්‍රීඩාවට සිදුවූ ඉටිගෙඩියක් වේද?
අද අවශ්‍යව ඇත්තේ නිවැරදි සැලැස්මකි. එසේ නොමැතිව ඔළුගෙඩි මාරුවීම නොවේ. එය ආණ්ඩුවක් ලෙස සකස් කළ යුතු නිවැරදි දැක්මකි. පත්වන ඇමතිවරු කළයුත්තේ තම ප්‍රදේශයේ පිට්ටනි සාදා ඡන්ද වැඩිකර ගැනීම හෝ ගාණක් යටිමඩි ගැසීම නොව සැලැස්මට අනුව වැඩකිරීමය. කවුරු ඇමති වුවද ඉන්පසු පළක් නැතිය. සියල්ල සිදුවන්නේ නියමිත ක්‍රියාවකටය. එය කඩිනමින් සකස් වේවායි අපගේ හැඟීමය.
ක්‍රීඩා ඇමතිවරු නම් එනවා. යනවාය. ඔවුන් ක්‍රීඩා ඇමති කළ කයිවාරු දුසිම් ගණන් ඇද බෑවද එම තනතුරින් ඉවත් වූ කල ක්‍රීඩාව ගැන වචනයක් නොදොඩති. තත්ත්වය එයය ක්‍රීඩාව ගැන නිවැරදිව හිතමු. දියුණු සැලැස්මක් හදමු. ඇමතිවරු කවුරු ආවද ගියද කම් නැත. අවැසි ක්‍රීඩාව සහ ක්‍රීඩකයාය. ඇමතිවරු නම් ඕනෑතරම් සොයාගත හැකිය.