රාවය

එක අත්තේ වසනුරිසි කුරුල්ලෝ දැන් සිටිති

එක අත්තේ වසනුරිසි කුරුල්ලෝ දැන් සිටිති

විමලනාත් වීරරත්න

නව කැබිනට්ටුව සකල දෝෂ නිවාරණය කරනු ඇතැයි සිතිය හැකිද? සමහර විට මුල සිටම සහයෝගිතා වැඩපිලිවෙළ භේද ඇති කිරීමට යම් යම් පියවර ගත් දහසය දෙනාගේ කණ්ඩායම ඉවත්ව යාමෙන් පසු ශ්‍රීලනිපයේ ඉතිරි පිරිස යහපාලනය නම් වූ තේමාව වෙතට ගමන් කිරීම ගැන සිතන්නට පුළුවන. එම පිරිස ආරම්භයේ පටන්ම කිසියම් සහයෝගිතා අදහසක ක්‍රියා කළෝ වෙති. මේ පසුබිම මුලදීම ඇතිකරගත යුතුව තිබුණු තත්ත්වයකි. එහෙත් ජනාධිපතිවරයා විසින් පටන් ගැන්මේදීම පරාජිතයන් කිහිප දෙනෙකුගෙන් සිය කණ්ඩායම ශක්තිමත් කර ගැනීමට ගත් අඳූරදර්ශී පියවර නිසා අවසානයේදී ලොකුම අර්බුදයකට ගියේ ඔහුය. ඇතැම් විටක එම පිරිස සම්මුතිවාදී පාලනයට සම්බන්ධ කර ගත්තන් ඔවුන් සමග මෙම ගමන යා නොහැකි බව ජනපතිට පසුව තේරුම් යන්නට ඇත. විශ්වාසභංගයේදී ජනපතිවරයා තමාට වාසිදායක ප්‍රතිඵල දෙකක් ගැන සිතන්නට ඇත. එකක් සිය කණ්ඩායමේ මැදිහත් වීමෙන් අගමැති පරාජය කිරීමය. දෙවැන්න යහපාලනයට අකුල් හෙලන, මහින්ද පිලේ කකුලක් තබාගෙන සිටින පිරිස ලොකු අර්බුදයකින් තොරව පිටමං කර දැමීමය. පළදුන්නේ දෙවැනි අපේක්සාවය. අතු දෙකක් අල්ලාගෙන සිටින විට එක අ්තක් බිඳී ගියහොත් අනෙක් එක අල්වාගත හැකිය. දැන් ජනපතිට අගමැති සමග යන ගමන ඇත්ත යහපාලන හිතවාදීන් සමග යා හැකිය. මෙම අලුත් පසුබිම තුළ අලුත් ඇරඹුමක් සහිතව වැඩ කිරීමට ඇමති මණ්ඩලයේ නව වෙනසද උපකාරී කර ගත හැකිය. බොහෝ විට මෙය ඔවුන්ට ලැබෙන අවසාන අවස්ථාව වන අතර එක අත්තේ වහන්නට කැමති කුරුල්ලන් සමූහයකටත් තවදුරටත් අපේක්ෂිත ගමන යා නොහැකි නම් ආණ්ඩුව විසුරුවා හැරීම හැර අන් විකල්පයක් තිබිය නොහැකිය.

ජනපතිගේ තේරුම් ගැනීම

මෙහිදී ජනපතිගේ තේරුම් ගැනීම ඒකමානී නම් ඔහුගේ අනාගතය බරපතළ අඩියකට වැටෙනු ඇත. එනම් සහයෝගිතා ආණ්ඩුව පවත්වාගෙන යාමට ඇති ශ්‍රීලනිපය පැත්තේ එකම සුදුසුකම එක අත්තේ වහන්නට රිසි වීම පමණක් නොවේ. එක අත්තේ වහන අතරම සහයෝගිතා දේශපාලනයේ අන්තර්ගතය කෙබඳුද, අන්තර් නිර්මිතය කෙසේ විය යුතුද යනාදී කරුණු ගැන පළල් අවබෝධයක් ඔවුන්ට තිබීම වැදගත්ය. එජාපය ගතහොත් එය ඉකුත් වසර තුන තුළ ශ්‍රීලනිපයට සාපේක්ෂව බලන විට ඒකත්වයක සිටියේය. ඉන් අදහස් වන්නේ එජාපය මුළුමනින් සහයෝගිතා වැඩපිළිවෙළ තුළ ප්‍රබුද්ධව ක්‍රියා කළ බව නොවේ. ඔවුන් ප්‍රබුද්ධ වූයේ නම් මහ බැංකු මගඩිය වැනි ක්‍රියාවකට මඟ සලසන්නේ නැත. අනතුරුව වැරැදි වසා ගැනීම සඳහා වැරයොදා, ක්‍රියා කරන්නේ නැත. බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනයේදී කෝප් කමිටුව තුළ අනවශ්‍ය පරිදි ගැටෙන්නේ නැත. එජාපයට යහපාලන අදහස බිඳ ගැනීමට ශ්‍රීලනිපයට නොමැති එවැනි හේතු බලපෑවේය. ශ්‍රීලනිපයට තිබුණේ මුග්ධ හිතුවක්කාරකමකුත් රාජපක්ෂ රෙජීමයට දැක්වූ අන්තේවාසිකබවකුත් පමණි. දැන් ඒ දෙකෙන්ම තොරව ඉදිරි වසර දෙක ගෙවා ගැනීම පිළිබඳව දෙපිරිසට සිතිය හැකිය. එනම් යහපාලනය ප්‍රබුද්ධ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කර ගැනීම ගැන සිතිය හැකිය. ඊට පෙර වැරැදි ගැන ස්වයං විවේචන තත්ත්වයක්ද අවශ්‍යය. නැතහොත් ලක්ෂ හැට දෙක අබ්‍යන්තරයෙන් නාය ගොස් ඇති තත්ත්වය මාපිළිසකර කළ නොහැකිය.

අමැති ධුර

පොදුවේ ආණ්ඩුව අතිනුත් එජාපය හා ශ්‍රීලනිපය අතිනුත් හැමවිටම සිදුවූයේ කන්දක් විළිලා මී පැටවකු වැදීමය. විශ්වාසභංගයෙන් පසු සිදු වූ කැබිනට් සංශෝධනයත්, මැයි 01 සිදු වූ කැබිනට් සංශෝධනයත් මී පැටවකු වැදීමට දෙවැනි නොවේ. මෙවර ආණ්ඩුවේ ප්‍රධානීයන් කීවේ විiාත්මක පදනමකින් ඇමතිධුර ලබා දෙන බවය.
විජයදාස රාජපක්ෂ මේ ආණ්ඩුවේ පුද්ගලයකු බැවින් ඔහුට ඇමති ධුරයක් ලබා දීමට සිදුවෙයි. එහෙත් ඔහු මීට පෙර ඉවත්වී ගියේ ආණ්ඩුවේ සිටීම ලැජ්ජාවට කාරණයක් බව කියමිනි. ඔහුගේ පෙර තනතුර වූ අධිකරණ විෂය පථය ඔහු පිළිගත හැකි අයුරින් හැසිරවූ බවත් නොපෙනුණි. බොහෝ දෙනෙකුගේ දෝෂාරෝපණයට ලක් වන තත්ත්වයක් ඔහු ඉක්මනින් උදාකර ගත්තේය. නව කැබිනට් සංශෝධනයේදී ඔහුට උසස් අධ්‍යාපන අමාත්‍යධුරය හිමි විය. ඔහු උගතකු නිසා තනතුරට ගැලපේ. එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරය උගත් කමින් පමණක් කළමනාකරණය කර ගත නොහැකිය. විශේෂයෙන්ම එම විෂය මහත් වූ බාධකවලින් තොරව කිරීමට නම් රටකට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ද අවශ්‍යය. සයිටම් ප්‍රශ්නය නිදසුනකට ගතහොත් ලංකාවේ සිටින්නේ එක්කෝ උග්‍ර සයිටම් විරෝධීහුය. නැතහොත් උග්‍ර සයිටම්වාදීහුය. පුද්ගලික අධ්‍යාපනය නිසා මතු වූ අර්බුදයට මේ දෙක අතරමැද විසඳුමක් සොයන පාර්ශ්වයක් නැත. අනෙක් අතට පෞද්ගලික වෛi විiාල අධ්‍යාපනය ප්‍රමිතිගත විය යුතු බව කිව්වත් එය පිළිගත හැකි මධ්‍යස්ත සූත්‍රයක් ලෙස ඉදිරිපත් කිරීමට කිසිවකුටත් නොහැකි විය. විජයදාස රාජපක්ෂට මේ ගැන සිතා බැලිය හැකිය. හැරල්ඞ් ලැස්කි කියන ආකාරයට ඇමැතිවරයාටත් ස්වයං දැනුම අවශ්‍ය වන්නේ එවැනි කාරණාවලදීය. වසර තුනකට පසු උසස් අධ්‍යාපනය හා මහා මාර්ග විෂය වෙන වෙනම තැබීමට ආණ්ඩුව විiාත්මකවීම පැසසුම් කටයුතුය. අමරවීරට කෘෂිකර්ම විෂය ලබාදීම මෙන්ම දුමින්දගේ තනතුර මාරු කිරීමෙහි මොන විiාවක්වත් නොපෙනේ. මොනරාගල සොයිසාට ධීවර ඇමැතිධුරය ලබාදීම විiාත්මක වන්නේ කෙසේදැයි ඇතැම්හු ප්‍රශ්න කරති.

විෂය අවබෝධය

අමැතිවරු සිය විෂය පිළිබඳ පරිපූර්ණ නොවිය හැකිය. එහෙත් අමාත්‍යවරයකු ලෙස කාලයක් වැඩ කරන විට ඕනෑම කෙනෙකුට සැලකිය යුතු පළපුරුද්දක් ඇති වීම නිතැතින්ම සිදුවන්නකි. ඒ පළපුරුද්ද විෂය තුළ පරිපූර්ණ වීමට උපකාරී වෙයි. අනෙක් අතට ලාංකාවේ ඇමැතිවරුන් තම විෂයට අදාළව කරන ගෙදර වැඩ හා හැදෑරීම් හොඳටම අඩුය. ඇන්.ඇම්. පෙරේරා, ලලිත් ඇතුලත්මුදලි වැනි ඇමතිවරුන් තම තමාගේ විෂයයන්හි පරිපූර්ණව සිටියෝය. එපමණ දුර නොගොස්, මිය ගිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වැනි අමතිවරයකු ඉදිරිපිට පැය භාගයක් වාඩිවී බලා සිටින්නකුට ඔහු තම විෂයට අදාළ වැඩ කිහිපයක් රකවර කරන අයුරු දැක ගත හැකිය. බලසම්පන්න ඇමැතිවරුන් ලෙස ෆීලික්ස් ඩටස්, බණ්ඩාරනායක සහ බැසිල් රාජපක්ෂ වැඩකාරයෝ ලෙස ප්‍රසිද්ධව සිටියහ. වර්තමාන ආණ්ඩුවේ විශේෂ බලසම්පන්න ඇමැතිවරයකු දක්නට නැතත් මලික් සමරවික්‍රම වැනි අය විෂය තුළ සක්‍රිය බවක් ප්‍රකට නොකරයි. ඒ සමහරු අගමැතිගේ මිත්‍ර සබඳතා තුළ අභ්‍යන්තර කැබිනට්ටුවක දිගටම සිටින ආකාරයක් පෙනේ. මොන කැබිනට්ටුවේ සිටියත් වැඩකාරයකු නොවේනම් බහුතර පිරිසකගේ අවධානයට ලක්වන්නේ නැත.
ඇමැතිවරුන්ට විෂය අවබෝධය නිකම්ම ලැබෙන්නේ නැත. සොයිසා මාළු ගැන නොදන්නවානම් දැන් ඒ ගැන හැදෑරිය යුතුය. අලි ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට තමා ක්‍රියා කරන බව වනජීවී ඇමැතිවරයා ලෙස වැඩභාරගත් සරත් ෆොන්සේකා කීවේය. ඔහු එසේ තම විෂය ප්‍රදේශයට ඇතුළු වීමට යත්න දැරීම ධනාත්මක කාරණයකි. අලි වැට වෙනුවට තල් ගස් වැට ක්‍රමය හා තල් ගස් වැට ක්‍රමය භාවිත කළ නොහැකි ප්‍රදේශවලට වෙනත් දෙයක් අත්හදා බැලීමට දැන් ඇමතිවරයාට අවධානය යොමු කළ හැකිය. මන්ද විදුලි වැට ක්‍රමය දැන් යල් පැන ගොස් ඇති බැවිනි.

ප්‍රශ්න මොනවාද

අගමැති වික්‍රමසිංහ මහතා ආණ්ඩුව පිහිටුවා ටික දවසකින් කීවේ කිසිම ඇමැතිවරයකු, මන්ත්‍රීවරයකු තමාට පාර්ලිමේන්තුවේ පුස්තකාලයේදී හමු නොවන බවය. සරත් ෆොන්සේකා සිරගතව සිටි සමයේ දිනක් ඔබට මෙය හැදෑරීම් සඳහා ස්වර්ණමය අවස්ථාවක් කර ගත හැකි යැයි මම කීවෙමි. ඔහු ඒ ගැන අවදානය යොමු කළා දැයි යන්න නොදනිමි. අගමැතිවරයාගේ කතාව නම් සම්පූර්ණ ඇත්තක් බව ලංකාවේ දේශපාලනඥයන් කරන විකාරවලින් තහවුරු වෙයි. පොතපත කියවා කිසියම් විෂය ගැඹුරක් අත්පත් කරගත් අයකු තුළ දැකිය හැකි ශික්ෂණය අපේ අමැතිවරු තුළ නැත. ඊළඟට මේ බොහෝ දෙනෙක් විශේෂයෙන් තරුණ මැති ඇමතිවරු බටහිර අධ්‍යාපනය ලබා, උපාධි සහිතව පැමිණ ඇතැයි ඔවුන්ගේ ජීව දත්ත සටහන් පරීක්ෂා කරන විට දක්නට ලැබුණත් ඔවුන් කරන කිසිම සාකච්ඡාවක හෝ දෙසුමක එක විෂයක් ගැන හෝ තියුණු දැනුමක් ගැබ් වන බවක් දක්නට නැත. නිදසුනක් ලෙස නීතිඥයකු වුවත් නාමල් රාජපක්ෂ කිසිදාක විෂය කරුණක් ගැන හෝ වෙනත් සාරගර්භ කතාවක් කරනු දැක නැත. එජාපයත් බටහිර අධ්‍යාපනය ලද මන්ත්‍රීවරු අතර එවැනි අය සිටිති. මන්ද ලංකාවේ සිටින්නේ බටහිර අධ්‍යාපනය ලබා පැමිණි ඇන්.ඇම්. ලලිත් වැනි අය ගැන දන්නා ප්‍රජාවකි.

නායකයන්ගේ වගවීම

නායක දෙපළ මෙතෙක් අත්හල වගකීම වන්නේ සිය අරමුණ කරා ආණ්ඩුව මෙහෙයවා ගැනීමට දැක්වූ දුබලතාවයි. ඔවුන්ට ඇත්තේ තවත් වසර 11/2ක් වැනි කාලයකි. එම කාලය තුළ හෝ කිසියම් සාධනීය වැඩසටහනක් සඳහා පියවර නොතැබුවහොත් මෙය ඔවුන්ගේ අවසාන ජවනිකාව වනු ඇත. අමැති ධුර ලබාදීමේදී තමාට අභියෝගයක් වන සිදුවීම්වලට අතගසනු ඇතැයි සිතිය හැකි ඇමැතිවරු සඟවා තබන ප්‍රතිපත්තියක් ජනපති අනුගමනයකර ඇතැයි මීට පෙරත් චෝදනා එල්ල විය. නිදසුනක් ලෙස ෆොන්සේකාට නීතිය හා සාමය ඇමැතිධුරය ලබා දුනහොත් ඔහු තමාගේ ශ්‍රීලනිප පවුරු පදනම්වලට හානි ගෙන දෙන ක්‍රියාවක නිරතවනු ඇතැයි ජනපති සිතනවා වන්නට පුළුවන. එහෙත් එසේ වන්නේ නැත. ෆොන්සේකාට පසුගිය ආණ්ඩුවේ දූෂිතයන් ගැන නිසි පරීක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට හැකි වූවා නම් එය ජනපතිගේ ව්‍යාජ පවුරු පදනම්වලට විකල්පව සැබෑ පවුරු පදනම් ස්ථාවර වන වැඩපිළිවෙළකි. ලක්ෂ හැට දෙක ඉන් යම් පමණකට සෑහීමකට පත් වන්නට ද තිබුණි.
“ඔබට එය කළ හැකිද? ධනපති පන්තියේ එකඟතා විසින් ඔබ වලක්වනු ඇත” යනුවෙන් පසුගිය සතියේ ෆොන්සේකාගේ රාවය නැගූ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දී තිබුණේ ! ‘ඒත් මම උත්සාහ කර බලනවා යනුවෙනි. වැඬේ කළ හැකි වුවත් නොහැකි වුවත් එය සාධනීයය. යහපාලනය සාර්ථක කර ගත හැකි වන්නේ වැඩ කැරෙන විදියක් විමසාබැලීමෙන් මිස වැඩ නොකෙරෙන විදිය ගැන සිතමින් කල් මැරීමෙන් නොවේ.