රාවය

මුස්ලිම් ප්‍රජාව, අන්තවාදය සහ අභියෝග

මුස්ලිම් ප්‍රජාව, අන්තවාදය සහ අභියෝග

සුනන්ද දේශප්‍රිය

මෙරට සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් අන්තවාදී පිරිස් සිටින බවට පිළිගැනීමක් එම සමාජයන් දෙකෙහිම තිබේ. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි අන්තවාදයක් ඇත්දැයි අප මුස්ලිම් ප්‍රජාවගෙන් ඇසුවහොත් ඊට පොදු පිළිතුර වනු ඇත්තේ නැතය යනුය.
සිංහල සමාජයෙහි මෙන්ම දෙමළ සමාජයෙහිද ආගමික මෙන්ම වාර්ගික අන්තවාදයන්ට සහ ආගමික මූලධර්මවාදයන්ට එරෙහිව කැපී පෙනෙන සමාජ දේශපාලන ක්‍රියාකාරකම් පවතී. එසේ නමුත් මුස්ලිම් සමාජයෙහි එවැනි අන්තවාද විරෝධී සමාජ දේශපාලන මතවාදයක් හෝ ක්‍රියාකාරකම් දක්නට නැත. නැත්නම් අතිශයින් දුර්ලභය.
දිගන මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයන්ගෙන් මසකට පසු අප යෙදුණු නීරීක්ෂණ චාරිකාවෙහිදී මෙම අන්තවාදී, අනෙක් ප්‍රජාවන් හෙළා දකිනසුලු අදහස් උදහස් මුස්ලිම් අය අතුරෙන් අසන්නට ලැබුණි.
කලක් ප්‍රගතිශීලි අදහස් දැරූ මුස්ලිම් උගතකු අප හා කීවේ මුස්ලිම් ජනයා අතර අරාබිකයේ අඳින පළඳින ආගමික ඇඳුම් පැළඳුම් ව්‍යාප්තවීම සැලකිය යුත්තේ මුස්ලිම් සමාජය අධ්‍යාත්මිකකරණයවීම ලෙස බවයි. කලක් කළිසම සහ කමිසය හැඳි ඔහු දැන් උරහිසෙහි සිට දෙපතුළ දක්වා වැටෙන සුදු පැහැති ඉස්ලාමීය කබාය පළඳී.
මුස්ලිම් ස්ත්‍රීන් කළු ලෝගුව සහ මුස්ලිම් පිරිමින් සුදු සහ අළු පැහැති ලෝගු ඇඳීම සංස්කෘතිය වී තිබුණේ බොහෝ කොටම අරාබිකරයේ පමණි. අරාබිකරයේද සිරියාව, ඉරාකය වැනි රටවල කළු ලෝගු ඇඳීම පොදු ලක්ෂණය නොවීය. එපමණක් නොව ප්‍රධාන පෙළේ මුස්ලිම් රටක් වන සෞදි අරාබි පාලක කුමරා මෑතදී කියා සිටියේ හිස පළඳනා හෝ ඇඳුම හෝ නීතියක් නොවන බවයි. ආසියානු මුස්ලිම් ජනයා ඒ ඒ රටවල දේශගුණයට සහ සංස්කෘතියට අදාළ ඇඳුම් ඇන්දෝය. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ස්ත්‍රීන් හිස පළඳනාව ලෙස යොදා ගත්තේ සාරියයි. මුස්ලිම් ඇමතිවරියන් පවා හිස පළඳනාව ලෙස සාරිය යොදා ගනු මෑත කාලයක් වන තුරුම දැකිය හැකි විය.
ලොව පුරාම මුස්ලිම් ජනයා ඉස්ලාමීය කළු ලෝගු සහ කබා හැඳිය යුතු බවට නියෝග කරන ලද්දේ තලේබාන්, අල්කයිඩා, අයිසිස්, බොකෝ හරාම් වැනි ආගමික අන්තවාදී ප්‍රචණ්ඩ ව්‍යාපාරයන් විසිනි. මෙම ප්‍රචණ්ඩ ව්‍යාපාර සියල්ලම වාගේ අතිශයින් ස්ත්‍රී විරෝධී විය. එමෙන්ම ඔවුන් සිය විරුද්ධවාදීන්ගේ හෝ මිථ්‍යා දෘෂ්ටික යැයි සලකුණ ලබන ආගමික ප්‍රජාවන්හි ස්ත්‍රීන් ලිංගිකව කෙළෙසීමද සලකන ලද්දේ ආගමික වතාවතක් ලෙසය.
එය කිසිසේත්ම ආධ්‍යාත්මික දියුණුවක් විය නොහැකිය.
ප්‍රගතිශීලි අදහස් දැරූ මුස්ලිම් උගතකු පවා ඇඳුම් පැළඳුම් ඉස්ලාමීයකරණය හෝ අරාබිකරණයවීම ආධ්‍යාත්මික දියුණුවක් ලෙස සලකමින් එය ප්‍රචාරය කරන විට එය වක්‍රව අන්තවාදයට සහායදීමක් බවට පත්වෙයි. ඊටත් වඩා එහි ඇති බියජනකකම නම් එවැනි ප්‍රවණතාවක් ආධ්‍යාත්මික වර්ධනයක් ලෙස සලකන කල එය සමස්ත සමජය මතම අරෝපණය කිරීමට ද මග පෑදීමයි.
මෙවැනි මතවාද මගින් සිදුවන්නේ මෙරට මුස්ලිම් ජනයා සාම්ප්‍රදායික ලෙස හැඳි පැළඳී ඇඳුම් අඳින පිරිස් ආගමික ද්‍රෝහීන් ලෙස සැලකෙන්නට පටන් ගැනීමයි. අද ඇත්ත වශයෙන්ම නම් මුස්ලිම් සමාජයෙහි ප්‍රගතිශීලි අදහස් දරන පිරිස් මෙවැනි අන්තවාදී ප්‍රවණතාවන්ගේ දැඩි පීඩාවට ලක්ව තිබේ. විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයන් නැගෙනහිර පළාතෙහි පෘථුලය.

අපි ශ්‍රී ලාංකික සමාජයේ සුළුතර අයිතීන් සහ බහුත්වවාදී ස්වභාවය රැකගැනීම සහ ආගමික අයිතීන් වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පෙනී සිටි දේශපාලන ධාරාවට අයත් වෙමු. දෙමළ ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම නිසා අප කිසිවිටෙකත් දෙමළ සමාජයෙහි පැන නැගි අන්තවාදී දේශපාලනයන් සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් විවේචනය කිරීම අතහැරියේ නැත. ප්‍රජාවක් සංඛ්‍යාත්මක සුළුතරයවීම නිසා විෂම සැලකීම්වලට ලක්වන විට අන්තවාදී දේශපාලනයට ඇදීයාම සාධාරණවන්නේ නැත.
දෙමළ සමාජය අද මුහුණදී සිටින පෙනෙන මානයක දේශපාලන විසඳුමක් නැති යථාර්ථයට එල්ටීටීඊ සංවිධානයේ අන්තවාදයද බලපෑවේය. දේශපාලන විසඳුමක් සඳහා තිබූ අවස්ථාවන් නැතිවී යාමට එල්ටීටීඊ යුදවාදයද තරමකට වගකිව යුතුය. මුස්ලිම් සමාජය වෙළා ගනිමින් පවත්නා ඉස්ලාමීය අන්තවාදී අදහස් උදහස් ද අවසානයේ එම සමාජයේ ප්‍රගමනයට හේතු නොවනවා ඇත.
අප ශ්‍රී ලංකාවේ බහුතර සිංහල ප්‍රජාවට අයත් වන නිසා සංඛ්‍යාත්මක සුළුතර ප්‍රජාවන්හි අන්තවාදී සමාජ දේශපාලන වර්ධනයන් විවේචනය නොකර සිටිය යුතු යැයි කිසිවකුටත් කිව නොහැකිය.
සෞදි අරාබිය, ඉරානය, කටාර් රාජ්‍ය යන රටවලින් ලොව පුරාම විවිධ ඉස්ලාමීය කණ්ඩායම්වලට ආධාර ලැබෙන බව රහසක් නොවේ. එමෙන්ම සෞදි අරාබිය විසින් සිය ඉස්ලාම් ධර්මය වශයෙන් ප්‍රචාරය කරන වහාබ්වාදය ඉතා සාම්ප්‍රදායික එකකි. ඇත්ත වශයෙන්ම නම් ඉස්ලාමීය අන්තවාදය පැන නැගුණේ වහාබ්වාදය ඇසුරෙනි. සෞදි අරාබිය ලොව පුරාම වහාබ්වාදය පතුරවණු පිණිස බිලියන ගණනින් මුදල් වැයකරන අතර වහාබ් මදරාසා නොහොත් ඉස්ලාමීය පාසල් පවත්වාගෙන යාමට ද ආධාර කරනු ලැබේ.
ශ්‍රී ලංකාවෙහිද ධනවත් අරාබි රටවලින් ආධාර ලබන ඉස්ලාමීය ආගමික සංවිධාන තිබේ. එම රටවලින් ලැබෙන ආධාර නිසාම මුස්ලිම් දේශපාලන පක්ෂද නිහඬව සිටිති. සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර අන්තවාදී දේශපාලනය විවේචනය කරන දේශපාලන සමාජ ප්‍රවණතා තිබේ. එහෙත් මුස්ලිම් සමාජය තුළ එවැනි පිරිස් සිටිය හැකි නමුත් ක්‍රියාකාරී ප්‍රවණතා නැති තරම්ය. මුස්ලිම් ළමා විවාහ තහනම් කරන සේ මුස්ලිම් කාන්තා කණ්ඩායම් කිහිපයක් ගෙනයන උද්ඝෝෂණයට අඩුම වශයෙන් මුස්ලිම් දේශපාලන පක්ෂ පවා සහාය දෙන්නේ නැත.
මෙරට මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් සිංහල සහ දෙමළ සමාජයන් දෙකෙහිම බියජනනය කරන මතවාද පවතී. මෙම මතවාද පැන නැගී ඇත්තේ අසත්‍ය කාරණා මතය. එම මතවාද සමහරක් කාලාන්තරයක් පුරා තිබූ ඒවා වන අතර සමහරක් අලුත්ය. වඳ පෙති කාලයට අනුව ගළපන ලද එවැනි ව්‍යාජ කතන්දරයකි. අපට දිගනදී එවැනි කතා අසන්නට ලැබුණේ සමාජ ආගමික ප්‍රභූන්ගෙනි. ඔවුහු එම කතා අවංකවම විශ්වාස කරති. මෙම ව්‍යාජ කතන්දර අප සිතනවාට වඩා සිංහල සහ දෙමළ සමාජයන් අතර පෘථුලය. බිය විසින් ප්‍රචණ්ඩත්වය ඇති කරන බව අප අමතක නොකළ යුතුය.
එවැනි ව්‍යාජ මතවාද සමග කළ එළියේ වාද විවාද කර ඒවා පරාජය කරන ක්‍රියාකාරකම් අද අප සමාජයට අත්‍යවශ්‍යය. එවැනි ව්‍යාපාර සාර්ථක කරගත හැක්කේ අප සමාජයේ සියලුම ප්‍රජාවන්ගේ සාමූහික ප්‍රයත්නයන් මගිනි.
මෙම වඳපෙති කතාව ගැන සිතන්නේ කුමක්දැයි දිගන දේවස්ථානයකදී ඔවුන්ට එල්ල වූ ප්‍රහාර ගැන විස්තර කරමින් සිටි අයකුගෙන් අපි නිකමට ඇසුවෙමු. ඔහු ගත් කටටම “ඒ සිංහලයින්ට දරුවන් වදන්න බැරි නිසා වෙන්න ඇති. ඔන්න මම නම් පස්දෙනෙක්ම හදලා තියෙනවා.” යනාදී වශයෙන් හෑල්ලක් කියාගෙන ගියේය. ඉන් පෙන්නුම් කැරැණේ සිංහල සහ දෙමළ සමාජයන්හි මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් පැතිර යන දුර්මත ගැන එම පුද්ගලයා තුළ තිබූ අසංවේදී බවයි. එය හුදෙක් ඔහුගේ අදහසක් පමණක් විය නොහැකිය.
නුවර අවට ජීවත්වන බොහෝ මුස්ලිම්වරුන්ට සිංහල වාසගම් තිබුණේ මහනුවර රජුගේ අවසරයෙන් සිංහල කාන්තාවන් විවාහ කරගැනීමට සියවස් ගණනාවකට පෙර ඔවුන්ට අවස්ථාව ලද නිසාය. එහෙත් අද එම වාසගම් බොහෝ කොටම අහෝසි වී ගොසිනි. එය හරියට ප්‍රජාවන් දෙක එකිනෙකින් දුරස්වීමේ සංකේතයක් වැන්න. මෙරට මුස්ලිම් ප්‍රජාව එන්න එන්නම සිය ප්‍රජාව තුළටම සීමාවීම දැන් වේගවත් වී තිබේ. ඊට ඉස්ලාමීයකරණය මෙන්ම සිංහල අන්තවාදී පිරිස් කෙරෙන් එල්ලවන තර්ජනද හේතු වී තිබිය හැකිය. සමාජීය අන්තර්ග්‍රහණය වෙනුවට සිදුවන්නේ දුරස්වීම සහ හුදකලාවීමයි.
අප කුඩා කල ජීවත් වූ අම්බලන්ගොඩ, කලකට පෙර දෙමළ අය පවත්වාගෙන ගිය කඩපහ හයකට වඩා තිබුණි. අප සිල්ලර බඩු ගත්තේද රීගල් සිනමාහල පසුපස වූ එවැනි දෙමළ කඩයකිනි. අද එම නගරයෙහි එකද දෙමළ කඩයක් හෝ නැත.
එකල යාපනයේ බේකරි පවත්වාගෙන ගියේ සිංහල ව්‍යාපාරිකයින්ය. අද ඒ කිසිවකු එහි නැත. අප එන්න එන්නම බෙදී යන ජාතියක් බවට පත්වෙමින් සිටිමු. යාපනයේ ජීවත් වූ සිංහල පවුල්වලට හෝ අම්බලන්ගොඩ වැනි පෙදෙස්හි ජීවත් වූ දෙමළ පවුල්වලට හෝ යළි පැරණි ව්‍යාපාර කරා යළි පැමිණිය නොහැක.
දැන් මතුවෙමින් එම මුස්ලිම් – සිංහල විරසකය මීටත් වඩා අනිටු විපාක ඇති කරන්නට ඉඩ තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ ආණ්ඩුකරණය අවුලින් අවුලට යන තත්ත්වය යටතෙහි වර්ගවාදී මතවාද වඩා ඉදිරියට එනු ඇති අතර පැතිරුණු වර්ගවාදී ගැටුම් ඇතිවීමට ඉඩක් නැතැයි කීමට නොහැක. එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට සාමූහිකව මැදිහත්වීමට මුස්ලිම් සමාජයටද වගකීමක් තිබේ.
සිංහල සමාජයේ මහජාතිවාදය මෙන්ම සුළුතර සමාජයන්හි අන්තවාදයන්ද එකවිට හෙළා දකින සහ සියලුම ප්‍රජාවන්හි ඉදිරිගාමී පිරිස් එකාබද්ධව ගොඩනැගෙන ව්‍යාපාර සහ ක්‍රියාකාරකම් අද මෙරටට අත්‍යවශ්‍යය. මුස්ලිම් සමාජය තුළ පවත්නා අන්තවාදී ප්‍රවණතාවන්ට එම ප්‍රජාව තුළින්ම විවේචනයක් මතුවීම ද ඒ සඳහා අත්‍යවශ්‍ය බව සටහන් කිරීම අපේ වගකීමකි.