රාවය

යහපාලනය සහ ජනපතිගේ කතා

යහපාලනය සහ ජනපතිගේ කතා

ටිරන් කුමාර බංගගමආරච්චි

ජනපති මෛත්‍රීපාල සිරිසේන රටේ නායකත්වයේ වගකීම භාර ගත්තේ දළදා මාලිගය ඉදිරිපිට බරසාර කතාවක් පවත්වමිනි. එයට රටම රැවටුණා යැයි කීවද දැන් නම් වරදක් නොපවතී. ජනපති එදා කීවේ තමා නායකයා නොව ජනතාවගේ සේවකයා බවය. යහපාලනය හරහා අලුත්ම යුගයක් උදා වූ බව එදා මේ කතාව හරහා යහපාලනයට උරදුන් සැවොම සිතුවා පමණක් නොව රාජපක්ෂලාගේ කඳවුර තක්බීර් වූවාද නොඅනුමානය. එහෙත් ඒ සියල්ල කතා පමණක් බව ජනපති ඊට පසු අද වන තෙක් කියූ කතා දෙස බැලූ කල පැහැදිලිය. ජනපති යනු හුදු කතා සාප්පුවක් පමණක් බවට දැන් නිට්ටාවටම තහවුරුය. මේ මෑතකදී ජනපතිගේ කතාය. ඒ කතාවලට ඉන්පසු අරුතක් ඇත්ද යන්න ඔහු නිකමට හෝ හැරී නොබලනවා නියතය. එසේ නොවේනම් මේවා මෙසේ වනු ඇත්ද?
ජනපති රටේ නායකයාය. ඔහු බලසම්පන්න බව වත්මන් ජනපති තෙක් පැවති මතයය. එහෙත් වත්මන් ජනපති කියන එකදු දෙයක් හෝ කර ගැනීමට ඔහු අසමත් ඇයි? වටහා ගැනීම් දෙකකි. එක්කෝ ජනපති මේ කතා කියනුයේ ගැලරිය පිනවීමටය. නැතහොත් ජනපතිව කිසිවෙක් නොතකන්නෝය. දෙකින් එකක් හෝ දෙකම සිදුවන බව නම් පැහැදිලිය. දැන් අප ජනපති මෑතකදී කී කතා දෙස බලමු.

මුතුරාජවෙල සිද්ධිය

ජනපති පරිසරයට ආදරය කරන පරිසර හිතකාමියකු බව පෙනෙන්නට ඇත. ඒ නිසාමදෝ මාර්තු මාසේ 22 වැනිදා ජනපති රටට වැදගත් තීන්දුවක් ගත්තේය.
ඒ ලංකාවේ දැනටමත් විනාශවෙමින් පවතින සුවිශේෂීම පරිසර පද්ධතියක් පිහිටි මුතුරාජවෙල අභය භූමිය තුළ සිදුකළ කැලෑ විනාශය, ගස් කැපීම, ගොඩ කිරීම් සහ ඉදිකිරීම් තහනම් කර දැමීමය. මීට විරුද්ධව පරිසර සංවිධාන කොතරම් මැදිහත් වුවද බලධාරීන් හිතුමතේට සියල්ල කළ අතර ජනපති මැදිහත් වී මේ තීන්දුව ගනු ලැබුවේ කිසිවක් සිදු නොවන බව ජනපතිට වැටහුණු නිසා විය යුතුය. මෙම තීන්දුවත් සමග ජනපති කෙරෙහි විශේෂ අවධානයක් යොමුවිය. ඒ අතර ඇගැයීමක්ද විය.
එහෙත් අභාග්‍ය නම් රටේ නායකයා ගත් එම තීන්දුව මසක් ගෙවෙන තැන අභියෝගයට ලක්වීමය. ජනපතිගේ තීන්දුව පසෙකලා මුතුරාජවෙල හෙළි පෙහෙළි කොට පොල් පැළ ඉන්දවීමක් සිදුකර ඇත.
මාර්තු 22 වැනිදා ජනපති මුතුරාජවෙල සංචාරයක නියැලෙන විට අක්කර 406ක භූමියක් පුරා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට හෙළි කර ඇති බව දැකබලා ගන්නේය. ඒ විනාශය දැක කම්පා වන ජනපති එම භූමිය ඇතුළු සමස්ත මුතුරාජවෙල භූමිය තුළම සංවර්ධන කටයුතු සිදු කළ නොහැකි ලෙසට නීති පැනවීම සිදු කරන්නේය.
එහෙත් මාසයක් ගෙවෙන තැන ඒ නීතිවලට සිදුවූයේ කුමක්ද? මුතුරාජවෙල සේ ම එම නීති ද ඩෝසර් කළේ කවුද? ජනපතිගේ අණ නොතකා එහි පොල් පැළ සිටවූයේ කවුද? එදා නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා හෙළි පෙහෙළි කළ භූමියේ අද පොල් පැළ ඉන්දවූයේ ජනපති දැනුවත්වද?
මේ කරුණ දෙස බැලීමේදී පැහැදිලි වන්නේ විධායක ජනපති එකක් කියා තව එකක් කරන බව හෝ විධායක ජනපතිගේ වචන මායිම් නොකර වෙනත් පිරිසක් ඊට වඩා බලපුළුවන්කාරයන් වී ඇති බවය.

පොලිතින්
මීට අමතරව පොලිතින් ගැන කයිවාරුවද යහපාලන ආණ්ඩුවේ සැර කතාවක් විය. මහ පොළොවේත් පරිසරයේත් සතා සිව්පාවාගේ ආරක්ෂාවටත් මෙන්ම මිනිසාගේ සෞඛ්‍යය ගැන සිතා දිරාපත් නොවන පොලිතින්, ලන්ච් ෂීට්, ආහාර අසුරන රිජිෆෝම් පෙට්ටිය භාවිත කිරීම ආනයනය කිරීම 2018 ජනවාරි 1 වැනිදා සිට තහනම් කෙරුණි. නීතිය තදට බලපවත්වන බවට රාවයක් පැවතිණි.
මෙරට නිෂ්පාදකයන්ද දිරාපත්වන අමුද්‍රව්‍ය යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනයට ද පෙළැඹිණි. එහෙත් අද වන විට සුපුරුදු පරිදි දිරාපත් නොවන ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් බහුලව වෙළෙඳපොළ තුළ දක්නට ලැබේ. පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුයයි නීති ගෙනෙන අතරම අනෙක් පසින් පරිසරය වනසන ඊට පෙර තිබූ භාණ්ඩවලට ද පවතින්නට ඉඩ හැර ඇත. බදු සහන ලබා නොදීම මත දිරාපත් වන ලන්ච් සීට් එකක් අලෙවි වන්නේ රුපියල් දෙකත් තුනත් අර මුදලකටය. එහෙත් දිරාපත් නොවන ලන්ච් ෂීට් අලෙවි වන්නේ ශත 20ක් වැනි මුදලකටය.
දිරාපත් වන ෂොපින් බෑගයක් රුපියල් දෙකක් – තුනක් අතර අලෙවි වන විට දිරාපත් නොවන ෂොපින් බෑගයක් අලෙවි වන්නේ රුපිලත් එකයි පනහත් අතරය. ඇතැම් ව්‍යාපාරික ස්ථානවල දිරාපත් වන බෑගය ලබාදීම වෙනුවෙන් මුදල් අය කරන අතර දිරාපත් නොවන බෑගය ලබාදෙන ව්‍යාපාරික ස්ථාන ඒවා නොමිලේ ලබා දේ.
දැන් නීතියක් ගෙනා බවත් එය ක්‍රියාත්මක කළ යුතු බවත් ආණ්ඩුවට මතක නැති ගාණය. වෙළෙඳුන් තොගයක් නීතිය රකින අතර ඊට වඩා බහුතරයක් නීතිය කඩමින් සිටිති. ජනතාවත් දිරන නොදිරන ගාණය. ඕනෑ එකක් එකය.

ඇස්බැස්ටෝස්

යහපාලන ආණ්ඩුව ඇස්බැස්ටෝස් තහනම ගැන කතා කළේ 2016 වසරේදීය. ඒද නිකන් නොවේ. ඇස්බැස්ටෝස් හරහා පිළිකාකාරක ඇතිවන බව කියමිනි. ඒ නිසා 2018 ජනවාරි 1 වැනිදා සිට ඇස්බස්ටෝස් සෙවිළි තහඩු භාවිතය, ආනයනය කිරීම සහ බෙදාහැරීම තහනම් කරන බවට උදම් ඇනීය.
මෙම අදහස මුලින්ම ඉදිරිපත් කළේද වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනය. ජනපති වේදිකාවක් වේදිකාවක් ගානේ ගොස් මේ බව දැනුවත් කළේය. එහෙත් 2016 එලෙස කියූ රජය 2017 දෙසැම්බර් 17 වැනිදා කියනුයේ රුසියාව සමග එකඟ වූ එකඟතාවක් මත ඇස්බැස්ටෝස් තහනම ඉවත් කරගන්නා බවය.
මෙරටට වැඩිම ඇස්බැස්ටෝස් ගෙන එනුයේ රුසියාවෙනි. එමෙන්ම මෙරට තේවලින් වැඩිපුරම මිලදී ගනුයේද රුසියාවය. ලංකාවේ තේවලට කුරුමිණියකු රිංගන්නේ මේ අල්ලපනල්ලේය. අවසානයේ ඇස්බැස්ටෝස් තහනම ඉවත යන අතර මුලදී පිළිකා හැදෙනවා යැයි කී ආණ්ඩුව ඉන්පසු නිහඬව සිටිනුයේ කුරුමිණියා ගාණටය. ඇත්තටම ආණ්ඩුව ජනතාවට විනකටින කුරුමිණියකු බව මෙවැනි දෙබිඩි කතාවලින් පැහැදිලි කර ඇත. ඒවාට අභියෝග කරන ජනතාවක් නැති බැවින් ප්‍රශ්නයක්ද නැත. පිළිකා හැදුණද නොහැදුණද දැන් ප්‍රශ්නයක් නැත. ආණ්ඩුවට රුසියාව සමග තිබූ ප්‍රශ්නය අහවරවීම ප්‍රමාණවත්ය. මෙයට අපි යහපාලනය යැයි කියමු.

ග්ලයිෆොසෙට්

කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගයට හේතුව ග්ලයිෆොසෙට් බව කීවේ මේ ආණ්ඩුවේම ඇත්තෝය. රතන හිමි ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට නොව ආණ්ඩු පෙරළීමට වුව සූදානම්ය. අනෙක් අතට මේ අදහස ගෙන ආවේ අද ඊයේ නොව 2013 වසරේදීය. ඒ නිසාම එදා සිටම ග්ලයිෆොසෙට් තහනම ගැන ලොකු කතාබහක් වගකිවයුත්තන් අතර විය. කතාබහ කොතෙක් ප්‍රබල වුවද රාජපක්ෂ පාලන සමයේදී එය තහනම් කිරීමට නොහැකි විය. එය රාජපක්ෂ පාලනයට විශාල කැළලක් වූ නිසාදෝ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබූ 2014 දෙසැම්බර් මාසයේ ග්ලයිෆොසෙට් තහනමද ක්‍රියාවට නැගුණි.
ඉන්පසු ඔහු පරාජය වී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනපති වීම නිසා එම තහනම දිගටම නොපැවැත්වුණි.
එහෙත් රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවීමත් සමග 2015 වසරේ ජූනි මාසයේදී ග්ලයිෆොසෙට් පූර්ණ වල්නාශකය මෙරට තුළ භාවිතය බෙදාහැරීම සහ ආනයනය කිරීම තහනම් කැරිණි.
එහෙත් අදත් ලංකාවේ බොහෝ තැන්වල මේ වල් නාශකය අලෙවි කෙරෙති. ගල්යිෆොසෙට් තහනම් වන විට එය මෙරට පැවතියේ දියරයක් ලෙසය. ඉන්පසු එය කුඩු සහ කැට ලෙස වෙළෙඳපොළට ආවේය.
තහනම් කළද ඒවා අලෙවි කිරීමේ කිසිදු තහනමක් නොවීය. පෙර ලෙසට ඒවා අලෙවි විය. එහෙත් නැවත මේ තහනම ඉවත් කළ යුතුයැයි හඬක් නැග ආ අතර එය ඉවත් කරන්නේ නම් රතන හිමි මේ ආණ්ඩුව ගෙදර යවන බවටද තර්ජනය කළහ. ඇත්ත නම් තහනම තිබුණද මේවා තහනමකින් තොරව අලෙවි කිරීමය. එහෙත් දේශපාලනයේදී කාලෙන් කාලයට මේ දේවල් බොරු සටන් පාඨ නම් වී ඇත. අප කියනුයේ ග්ලයිෆොසෙට් තහනම් කළ යුතුද නැද්ද නොව රටක නීති මෙලෙස හෑල්ලු වීම තුළ හෑල්ලුවන්නේ රටම නොවේද යන්නය. ආණ්ඩුවේම ප්‍රබල ඇමතිවරු මෙයට විරුද්ධ වන විට තව සමහරු පක්ෂ වෙති. එමෙන්ම තහනම් කළ නීතියක්ද රටේ පවතී. නීතිය බල්ලට ගොස් ඇති බව පැහැදිලිය. මේ වෙනුවෙන් එදා කතා කළ නීතිගෙනා ජනපති අද අග්ගලා කෑ ගොළුවකු සේ සිටී. ජනපති වූ පසු ඔහුට බොහෝ අය අග්ගලා කවති. එහෙත් ඔහු ගොළුවකු වූයේ ඇයිද යන්න අප නොදනිමු.

දුම්කොළ

මේ අතර දුම්කොළ මිනිස් සිරුරට ඉතාම අහිතකර බවට වාද විවාද පැවැත්විණි. මෙහි වඩා ප්‍රබල කතාබහ ඇතිවන්නේද රාජපක්ෂ සමයේ මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිව සිටින සමයේය. සිගරට් පැකට්වල රූපමය අවවාද ඇතුළත් කිරීමටද ඔහු අරගල කළා මතකය. එය සාර්ථකද විය. එයින් නොනැවතුණු වත්මන් ජනපති 2018 වන විට දුම්කොළ වගාව ක්‍රමානුකූලව නවතා දැමීමට සැලසුම් හැදුවේය. මේ නිසා දුම්කොළ වගාකරුවෝ එයට ආයුබෝවන් කියන තැනටද තල්ලු වී සිටිති. එයින් සිගරට්, බීඩි කර්මාන්ත නැවතී නැත. ඔවුන් කරනුයේ ඒ සඳහා අවශ්‍ය දුම්කොළ පිටරටින් ගෙන්වීමය.
රූපමය අවවාද දැක දුම්පානය කොතරම් අඩාල වී ඇත්ද යන්න වෙනම අධ්‍යයනය කළ යුතුය. දුම්පානය කරන අය පැකට් ලෙස මිලදී ගන්නවාද අවමය. ඒ නිසා රූපමය අවවාද දැකීමද අවමය. එය දුටුවද දුම්බොන අයට අදාළද වනු නොපෙනේ.

පැණි බීම

පැණි බීමවල අධික සීනි නිසා ලෙඩරෝග පවතින බවට කතාබහක් විය. එයට යහපාලන ආණ්ඩුව අපූරු වැඩපිළිවෙළක් ගෙන ආවේය. එනම් පැණි බීම බෝතල්වල සීනි ප්‍රමාණය ලකුණු කිරීමය. අද ඕනෑම බීම බෝතලයක සීනි ප්‍රමාණය දැක්වෙන ලකුණ දැකිය හැකිය. එයින්ද නොනැවතී බෝතලයේ ඇති සීනි ප්‍රමාණය අනුව බදු අය කිරීමද ආණ්ඩුව අගේට කරයි. සීනි වැඩිවන තරමට ආණ්ඩුවේ බදු ඉහළ යයි. යහපාලනය යන්න නමට ඇති ආණ්ඩුව සැබෑ යහපාලනයක් ගැන හිතන්නේ නම් සීනි ලකුණු කිරීම වෙනුවට සීනි අවම කරන ලෙසට නීතගෙන ආ යුතුය. කරනුයේ සීනිවලින් බදු ගැසීමත් සමාගම් බද්ධ ජනතාවගෙන් අය කිරීමත්ය. අවසානයේ සිීනි ලබාගෙන ඇත්තේත් බදු ගෙවා ඇත්තේත් ජනතාවමය.
දැන් සීනි රහිත බීමද වෙළෙඳපොළේ ඇත. එහෙත් රස එකමය. ඒ සීනි වෙනුවට රසකාරකයක් භාවිත කිරීමය. මෙය කුඩා දරුවන්ට අහිතකර බව බෝතලයේම ඉංග්‍රීසියෙන් ඉතා කුඩාවට සටහන් කර ඇත. ඒවා කියවා බලා බොන්නේ කවුද? සීනි නැත යන්න පමණක් විශේෂ වී ඇත. මේ තත්ත්වයන් ආණ්ඩුවට වගේ වගක් නැත.

මයිලෝ

ජනපති මයිලෝ පැකට් එකක් පෙන්වා සීනි වැඩිම ඇත්තේ මෙම පැකට්ටුවේ බවත්, තමා නිර්භයව මෙය පෙන්වන බවත් මෙය පානය නොකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීය. ඉන් නොනැවතී තමා රට වටා රැගෙන ගොස් එය ප්‍රචාරය කරන බවද කීවේය. ජනතාවට දෙකොණින් සිනා නැගුණේ මේ නායකයෙක් නේද යන්නය. එය අහිතකර නම් තහනම් නොකොට ජනපතිවරයා මෙවැනි විහිළු කරනුයේ ඇයි? එහි ඊට වඩා ඉළ ඇදෙන විහිළුව වූයේ ජනපති මයිලෝ නොබොන්නැයි රටට කියන විට ජනපති දියණිය කුඩා දරුවන්ට මේ පානය ලබාදීමය. මෙය සමාජ ජාල තුළ ප්‍රසිද්ධ පුවතක් විය. තාත්තාට අහිතකර දේ දියණිය රටේ කුඩා වුන්ට පොවන එක හරිද? මේ විහිළු සපයනුයේ කාටද?
මෙලෙස කතා කළ හැකි බොහෝ දෑ තිබේ. බියර් මිල පහත හෙළුෑ විට ජනපති ඊට එරෙහි විය. එහෙත් ඉහළ දැමීමක් තවම නොවීය. තැබෑරුම් අරින වහන වේලාවද ජනපතිට ප්‍රශ්නකාරී විය. හැමදේකදීම ජනපතිගේ පෙනී සිටීම නොසෑහෙන සද්භාවයක් පෙන්වනමුත් එයට පසුව විකාරසහගත ස්වරූපයක් පත්වී ඇත. එයින් පෙනෙනුයේ යහපාලනයේ විකාරසහතභාවයමය.
ජනපතිගේ විධායක බලය 19 වැනි සංශෝධනයත් සමග අවම වී ඇතැයි පාරම්බෑවද අඩුවී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලය සහ අගමැති ඉවත් කිරීමට තිබූ බලයය. ඒ ඇරුණු කොට තවමත් විධායක බලය බලසම්පන්නමය. එහෙත් ජනපති එය වෙනම තබාගෙන නිවට නියාලු ප්‍රතිපත්තියක යෙදෙනුයේ තමා සුදනා තමන් ජනතාවට ආදරයමුත් අන් අය නැති බව පෙන්වීමට විය යුතුය. එහෙත් මේ වසර තුන තුළ වඩාත්ම පිරිහීමට ලක්ව ඇත්තේ ඔහුය. ඒ ඔහුගේ මේ ව්‍යාජ රංගනය නිසාය. ජනපති කී කතා කොපමණද? ඉන් රටට වූ යහපත කුමකද? ජනපති ගෙනා නීති කුණු කූඩයට වැටුණේ කෙසේද? අවසානයේ ඔහු කුණු බක්කියට වැටෙන දිනය වැඩි ඈතක නොවන බව පෙනෙන සත්‍යයය.