රාවය

“අධිකරණයේ ස්වාධීනත්වය” ගැන තවදුරටත්

“අධිකරණයේ ස්වාධීනත්වය” ගැන තවදුරටත්

ජයදේව උයන්ගොඩ

“මෙපමණ කාලයක් පැත්තකට වෙලා ඉඳලා දැන් ද ඇහැරිලා තියෙන්නේ?” යන විවේචනයට ලක්වීමේ අනතුර තිබියදීත්, “අධිකරණයේ ස්වාධීනත්වය” යන ගැටලුව ගැන තවදුරටත් ලියන්නට මට සිතිණ.
මගේ පසුගිය ලිපියේ සඳහන් කළ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්බුදය, ලංකාවේ අප මහත් උනන්දුවෙන් අවධානය යොමු කළ යුතු කරුණකි. එයට හේතු කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න මගේ දැනුමේ හැටියට මුළු ආසියානු මහාද්වීපයේම, ස්වාධීන ආයතනයක් ලෙස ශක්තිමත්ම අධිකරණය තිබෙන්නේ ඉන්දියාවේ නිසාය. දෙවැන්න, එම අධිකරණය ද හීලෑ කිරීමට මීට පෙර කොංග්‍රස් පක්ෂය ගත් ප්‍රයත්න සහ දැනට බී.ජේ.පී. ආණ්ඩුව ගන්නා ප්‍රයත්න ඉදිරියේ, ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට ‘සටන් කිරීමේ’ සම්ප්‍රදායක් ගොඩනැගී ඇති නිසායි. දැන් අනතුරේ තිබෙන්නේ ඉන්දියානු අධිකරණයේ ස්වාධීනත්වය පමණක් නොව එහි ඉහත කී සටන් කිරීමේ සම්ප්‍රදායද වෙයි.
ඉන්දියාවේ වර්තමාන විවාදය තුළ ලංකාවට ද අදාළවන, කාරණා කිහිපයක්ම තිබේ. ඉන් පළමු වැන්න, අධිකරණය ස්වාධීන විය යුත්තේ කාගෙන්ද? යන්නයි. දෙවැන්න, ස්වාධීන විය යුත්තේ මක් නිසාද? යන්නයි. තුන් වැන්න, ස්වාධීන විය යුත්තේ කෙසේද? යන්නයි. දැන් අපි මෙම කාගෙන්ද? මන්ද? සහ කෙසේද? යන ප්‍රශ්න තුන කෙටියෙන් විමසා බලමු.
ඊට පෙර අප සටහන් කර ගත යුතු කරුණක් තිබේ. දේශපාලන සංකල්පයක් හැටියට ‘අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය’ යන්න ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමුහාණ්ඩුවාදී දේශපාලන සම්ප්‍රදායන්ට පමණක් අයත්වන එකක්ය යන්නයි. සමූහාණ්ඩුවවාදය රෝම යුගයේ සිට යුරෝපයේ පැවැත එන්නක් වන අතර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය 17 සියවසේ දෙවන භාගයේ සිට පැවැත එන්නකි. 18 වැනි සියවසේදී යුරෝපයේ සහ ඇමෙරිකාවේ දී මේ සම්ප්‍රදාය දෙක එකතු විය. කෙනකු විශ්වවිiාලයේදී සහ නීති විiාලයේදී ඉගෙන ගන්නා, අධිරණ ස්වාධීනත්වය පිළිබඳ මූලධර්ම හා ආප්තෝපදේශ මෙම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමූහාණ්ඩුවාදී දෘෂ්ටිමය උරුමයන් වෙතින් පැන නගින ඒවාය.

කාගෙන්ද?

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය තුළ, අධිකරණය ‘ස්වාධීන’ විය යුත්තේ ව්‍යවස්ථාදායකයෙන් සහ විධායකයෙනි. සාමාන්‍ය ජනතාවගේ භාෂාවෙන් කියන්නේ නම්, ආණ්ඩුවෙනි. මේ අතර, නූතන ලෝකයේ තිබෙන ප්‍රධාන ප්‍රවණතාවක් නම් ව්‍යවස්ථාදායකයට වඩා විධායකය, එනම් ජනාධිපති/ අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කරන ප්‍රධානතම ආයතනය වීමයි. ඉන්දියාවේ වර්තමාන විවාදයේ තිබෙන්නේද විධායකය සහ අධිකරණය අතර සම්බන්ධතාව පිළිබඳ ගැටලුවයි. ලංකාවේ අත්දැකීමද ඉන්දියාවේ අත්දැකීමට සාමාන්‍ය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ඇති වන ආරවුල්වලදී පවා බොහෝ විට ඒවාට මූලය වන්නේ විධායකයයි. ශිරාණි බණ්ඩාරනායක සිදුවීමේදී අපට දකගත හැකි වූයේ, විධායකයේ උවමනාව පිට, ව්‍යවස්ථාදායකය අධිකරණය සම්බන්ධව, අධිකරණයේ ස්වාධීනත්වයට හානිකර පියවරක් ගැනීමකි.
අධිකරණයට බලපෑම් කිරීමට විධායකය මෙහෙය වන ප්‍රධාන හේතුවක් තිබේ. එය නම් විධායකයේ හිතුවක්කාර බලය පාලනය සහ සංවරණය කිරීමට, බලය සහ අධිකරණය ආණ්ඩුවකට දේශපාලන වශයෙන් අවාසිවන තීන්දුවක් දුන් විගසටම, විධායකයේ ප්‍රතිචාරය වන්නේ ‘එකට එක කිරීම’යි. අධිකරණය හීලෑ කිරීමට තැත් කිරීමයි. ඉන්දියාවේ වර්තමාන අර්බුදයෙන් නිදසුනක් ගන්නේ නම්, එම අර්බුදයට එක හේතුවක් වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවකු ලෙස උත්තර්ඛාන්ද් මහාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර කේ. එම් ජෝසෆ් නඩුකාරතුමා පත්කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය කළ නිර්දේශය, ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමයි. මීට මාස කිහිපයකට පෙර බී.ජේ.පී. ආණ්ඩුව උත්තර්ඛාන්ද්හි කොංග්‍රස් ප්‍රාන්ත ආණ්ඩුව විසුරුවා හැරිවිට, එම විසුරුවා හැරීම නීති විරෝධී යැයි තීන්දු කළේ ජෝසප් විනිසුරුවරයාය.
ඉන්දියාවේ, ලංකාවේ මෙන්ම බොහෝ අනෙක් රටවලද අත්දැකීම නම් නූතන ආණ්ඩු පාලකයින් ස්වාධීන අධිකරණ සම්බන්ධව දක්වන්නේ මද කැමැත්තක් බවයි. නූතන විධායකය සිතන්නේ ‘රාජ්‍ය ය මමයි. මම රාජ්‍යයයි’ කියාය. එවැනි විධායකයක අණම්‍යශීලී ආකල්ප ඉදිරියේ තම ස්වාධීනත්වය රැක ගැනීමට අධිකරණයකට හැකිවන්නේ, ආත්ම ශක්තියෙන්, අවංකත්වයෙන් සහ චර්යාධාර්මික කැපකිරීමෙන් අනූන විනිශ්චයකාරවරුන් සිටින විට පමණි, ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ මොහොතේ පරීක්ෂා කෙරෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට කොතෙක් දුරට නොසැලී සිටිය හැකිද? යන කාරණයයි.
මන්ද?
රටක ස්වාධීන අධිකරණයක් තිබිය යුත්තේ මන්ද? යන්නට බොහෝ හේතු තිබිය හැකිය. ඒ සියලු හේතු, අවසාන එක හේතුවක් බවට ලඝු කළ හැකිය. එය නම්, පුරවැසි නිදහසේ අවසාන බලකොටුව අධිකරණය වන නිසායි. මේ ගැන අධිකරණයක විනිශ්චකරුවන් සවිඥානක නොවන්නේ නම්, එම අධිකරණයට ස්වාධීනව සිටීමට පදනමක් නැත. මන්ද යත්, ස්වාධීනව නොවී සිටීමට විනිශ්චයකරුවන්ට ඒනෑතරම් වැරැදිහේතු තිබෙන නිසාය. පශ්චාත් – විශ්‍රාමික රැකියා සහ කීර්තිමත් ජාත්‍යන්තර තනතුරු යන කරුණ ඉන්දියාවේ විනිශ්චයකරුවන් පිළිබඳව වක්‍රව සාකච්ඡා ව කරුණකි. ලංකාවේ විනිශ්චයකරුන්ට දෙන වෘත්තීය පුහුණුවේදී, නූතන ප්‍රජාතන්ත්‍රවාදය තුළ අධිකරණය සතු අනුපමේය කාර්යභාරයත්, එම කාර්යභාරය ඉටු කිරීමේී මනුෂ්‍යයන්ද වන විනිශ්චකාරවරුන් මුහුණ දෙන සංකීර්ණ අභියෝග ගැන කොයිතරම් දුරට සාකච්ඡා වන්නේද යන්න ගැන පුරවැසියන්වන අපි කිසිවක් නොදනිමු. එහෙත් මට පෙනෙන හැටියට නම් විනිශ්චකරුවන්, නීතිඥයින් සහ පුරවැසියන් අතර මේ ගැන විවෘත සාකච්ඡාවක් ඇතිවිය යුතුය. පුරවැසි නිදහසේ අවසාන බලකොටුවේ නිදහස ආරක්ෂා කිරීම සමාජයේ විවෘත සාකච්ඡාවක් වන තරමට යහපත් වන්නේය යන්න මගේ අදහසයි. එවැනි විවෘත සාකච්ඡාවක් සිදු වන විට අධිකරණය පිළිබඳ මහජන ගෞරවය සහ විශ්වාසයට හානි වන්නේය යනු යල් පැන ගිය තර්කයකි.
කෙසේද?
කෙසේද යන්නට පිළිතුරක් ඉහත ඡේදයෙන්ම යෝජනා විය. එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් කෙනෙකුට කිව හැක්කේ අධිකරණයේ පාරදෘශ්‍යභාවය සහ වගවීම පිළිබඳ කරුණ ගැන අලුතෙන් සිතිය යුතු බවයි. මේ පිළිබඳ සාකච්ඡාවක් ඉන්දියාවේ දැනටමත් ආරම්භවී තිබේ. ජ්‍යෙෂ්ඨ මෙන්ම තරුණ නීති වේදීන් මෙන්ම මාධ්‍යවේදීහුද, බුද්ධිමත්තුද, මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීහුද එම සාකච්ඡාවේ ඉදිරියෙන්ම සිටිති.
මෙම සාකච්ඡාවේදී ඉන්දියාවෙන් අපට ඉගෙන ගත හැකි වැදගත් පාඩමක් තිබේ, එනම් පාරදෘශ්‍යභාවයේ සහ වගවීමේ ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගෙනඒමයි. ඉන්දියාවේ ඒ සඳහා පාවිච්චි කරන්නේ ‘මහජන වටිනාකමක් ඇති නඩුකර ’ (Public Interest Litigation) නම් යාන්ත්‍රණයයි. ලංකාවේ තිබෙන අඩුවක් නම් එවැනි ආයතනික යාන්ත්‍රණයක් නොමැති වීමයි.
අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලුව සාකච්ඡා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයද සම්බන්ධ කර ගන්නා යාන්ත්‍රණයක් තිබීම, එක් ප්‍රධාන කරුණක් නිසා වැදගත් වෙයි. රාජ්‍යව්‍යුහයේ තිබෙන සුවිශේෂ ආයතනයක් ලෙස අධිකරණය සතු කාර්යභාරය කෙතරම් විශාල සහ උත්තරීතර / උතුම් එකක් වුවත් අධිකරණය යනු තමන්ට, හෘද ශාක්ෂියට සහ සම්ප්‍රදායන්ට හැර වෙන ආයතනයකට හෝ බලවතෙකුට වගනොකියන බලව්‍යුහයක්ද වීමයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයේ තිබෙන එක්තරා උභතෝකෝටිකයක්ද පිළිබිඹු කරන්නකි. ඉන්දියාවේ අග්‍රවිනිශ්චකාර දීපක් මිස්රා සම්බන්ධ විවාදයේදී පසුගිය දිනවල ඉතා ප්‍රබලව මතු වූ මෙම උභතෝකෝටිකය නම් රටක ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන මුරදේවතාවා වන ශ්‍රේෂ්ඨාධිකරණය, මහජනතාවට වග නොකියන, මහජනතාවට වගවීම යන මූලධර්මයට යටත් නොවන බලාධිකාරයක් වීමයි. විධායකයේ මතුවන ප්‍රශ්නය වඩාත් තියුණු ලෙස ප්‍රකාශවන්නේ මෙම උභතෝකෝටිකය සමග සම්බන්ධ කර බලන විටය. බලයේ සිටින ආණ්ඩුවල විධායකය උත්සාහගන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණය වගවන එකම බලධරධා තමන් බවට වක්‍රාකාරයෙන් පත්වීමටය. ජේ.ආර්. ජයවර්ධන සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් යටතේ විධායකය උත්සාහ ගත්තේ, ලංකාවේ විධායකය සහ අධිකරණය අතර ආයතනික සම්බන්ධතාව එම ආකාරයට සංශෝධනය කිරීමටය. ලංකාවේ නැවත ඇතිවීම වැළැක්විය යුත්තේ මෙම ප්‍රවණතාවයටය. ඉන්දියාවේ දැනට අරගලය තිබෙන්නේද මෙම ප්‍රවණතාව සම්බන්ධයෙනි.
“ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන අවසාන මුරදේවතාවා ප්‍රජාතන්ත්‍රවාදී නොවීම’ සමාජ සහ මහජන ආයතනයක් හැටියට අධිකරණයේ පමණක් ඇති සුවිශේෂ ලක්ෂණයකි. අධිකරණය ආයතනයක් ලෙස ස්වාධීන විය යුත්තේ සහ විනිශ්චයකරුවන් එම ස්වාධීනත්වය අතරමග සමාදානයෙන් තොරව ආරක්ෂා කළ යුත්තේ ඒ නිසායි. එම කාර්යය විනිශ්චකරුවන්ට තනිවම කළ නොහැකිය. ස්වාධීන අධිකරණයක් පිළිබඳ ප්‍රබල මහජන සාකච්ඡාවක් සමාජයේ තිබිය යුතුය. එම සාකච්ඡාවට සම්බන්ධ වීමට විනිශ්චකරුවන් සාමාන්‍යයෙන් කැමැත්ත දක්වන්නේ නැත. එම සාකච්ඡාව හරවත් සහ ගැඹුරු කිරීම වෘත්තීය නීතිවේදීන්ගේද, නීතිඥයින්ගේ වෘත්තීය සංවිධානවල ද වගකීම වන්නේ එනිසාය.