රාවය

එළැඹෙමින් තිබෙන්නේ මහජනයාගේ කාලයයි

එළැඹෙමින් තිබෙන්නේ මහජනයාගේ කාලයයි

කාලිංගගේ දේශපාලන විග්‍රහය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ආණ්ඩුවේ 16 දෙනා ඉවත් කොට කැබිනට් මණ්ඩලය වෙනස් කළ පමණින් බෙලහීන තත්ත්වයකට පත්ව තිබෙන ආණ්ඩුව ශක්තිමත් වන්නේ නැතිවා සේ ම එය රට මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේද නැත. ජනාධිපතික්‍රමය සංශෝධනය කිරීම හෝ අහෝසි කිරීමද ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත. ඊළඟ මැතිවරණයෙන් යහපාලන ආණ්ඩුව පරාජය කොට නැවත රාජපක්ෂ ආණ්ඩුවක් ඇතිකර ගැනීමද ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත. දෑහිතකාමී ඒකාධිපති පාලකයෙකු ඇතිකර ගැනීමද ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත.
ලංකාව ඇද වැටී තිබෙන අවාසනාවන්ත තත්ත්වයට බලපා තිබෙන ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැක්කේ සමාජයේ පවතින වර්ග, කුල හා ආගම්භේද තුනී කොට සමාජය ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස නූතන ජාතිය ගොඩ නගා ගැනීමට අසමත්වීමය. එහෙත් දැන් එම ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමෙන් පමණක් රටේ අර්බුදය ජයගත නොහැකිය. ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම නිසා ප්‍රචණ්ඩ ගැටුම් හා ලේ වැගිරීම්වලින් යුතු දීර්ඝකාලීන අශීලාචාර වටාපිටාවක් තුළ ජීවත්වීමට රටට සිදුවිය. ඒ පසුබිම තුළ සමාජය පමණක් නොව රාජ්‍යයද රාජ්‍යයේ සියලු ආයතන ක්‍රමද දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරීන්ද ගඳගහන තරමට කුණුවන තත්ත්වයක් ඇතිවිය. ඒ කුණුවීමට හසු නොවූ කිසිවක් රටේ ඉතිරි වී නැති තරම්ය. දැන් තිබෙන අර්බුදය සැලකිය යුත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
රටේ ඇතිවී තිබෙන කුණුවීම තුළ සියලු ආයතන ක්‍රම තිබෙන්නේ කුණුවූ තත්ත්වයකය. රාජ්‍ය පාලනයට සම්බන්ධ දේශපාලකයන්ගේ සිට රාජ්‍ය නිලධාරීන් දක්වා වන සියලුදෙනා සිටින්නේද කුණුවූ තත්ත්වයකය. මෙම කුණුවූ තත්ත්වය එසේ තබාගෙන ඊට අලුතෙන් එකතු කරන සියලු දේවල්ද ඉක්මනින් කුණුවු දේවල් බවට පත්වන්නේය. තොරතුරු පනත හා තොරතුරු කොමිසම ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. තවත් නිදර්ශන අවශ්‍ය නම් 19 වැනි සංශෝධනය යටතේ ඇති කරන ලද ආයතන ක්‍රම නිදර්ශනයට ගත හැකිය. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය යටතේ අලුතෙන් තනතුරුවලට පත් කළ පුද්ගලයන් හෝ ඒ යටතේ ඇති කරන ලද ආයතන ක්‍රම අමුතු හෝ වර්ණවත් වැඩ කොටසක් ඉටුකිරීමට සමත් වී නැත.
අධිකරණය නිදර්ශනයට ගතහොත් අගවිනිසුරු පත් කෙරුණේ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය යටතේය. උසස් අධිකරණයට අලුතෙන් පත් කෙරුණු සියලු විනිසුරුවරුන් පත් කෙරුණේද අධිකරණ සේවා කොමිෂන් සභාවට සාමාජිකයන් පත් කෙරුණේද ඇති කරගත් ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය යටතේය. එහෙත් ඒ සියලු දේ නිසා අධිකරණයේ ඇතිව තිබූ කුණුවීම නැතිවූයේ නැත. ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය යටතට වැටෙන සියලුම ආයතන ක්‍රමවල පවතින තත්ත්වය ඊට සමානය. යහපත් විපර්යාසයක් සිදුවූ කිසිම තැනක් නැති තරම්ය. ඉන් තේරුම්ගත යුතුව තිබෙන්නේ රටේ අර්බුදය තිබෙන්නේ බොරු පැලැස්තර එලා විසඳාගත හැකි තත්ත්වයක නොවන බවය.
මෙවැනි අර්බුදයකදී අන් සියලු දේ අහිමි කරනවාට අතිරේකව සමාජයට තිබෙන විචාර බුද්ධියද විශාල ප්‍රමාණයකට අහිමි කර තිබෙන බවද තේරුම් ගත යුතුය. අභ්‍යන්තර යුද්ධය අවසන් කිරීමෙන් පසු ආපසු හැරී බලන තැනකට යමින් රටට අවශ්‍ය ව්‍යුහමය වෙනස්කම් ඇති කරන තැනකට යෑමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් වී නම් 2015දී මහජනයා ඔහුව පරාජය කරන්නේ නැත. ඉන්පසු බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ නායකයන්ද ඒ දේ කරන්නට සමත් වී නම් ඔවුන් අද ඇද වැටී සිටින හාස්‍යජනක තත්ත්වයට ඇද වැටෙන්නේ නැත. එම නායකයන් දෙදෙනාට දේශපාලන ප්‍රඥාවේ කළඳක් හෝ තිබුණේ නම් සාධාරණ සමාජයක් සඳහා ඉදිරිපත් කළ ප්‍රායෝගික නොවන ලද බොළඳ ප්‍රතිසංස්කරණ වැඩසටහන අවිවේචනාත්මකව බාරගන්නේ නැත.
විචාර බුද්ධිය අහිමි කරගෙන තිබෙන තරම පෙන්නුම් කරන නිදර්ශන කිහිපයක් මෙසේය. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට සැලසුම් කර තිබුණේ ජනමතවිචාරණයකට නොගොසිනි. ව්‍යවස්ථාවක ව්‍යුහය වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අතිරේකව ජනමතවිචාරණයක අනුමැතිය අත්‍යවශ්‍ය බව ආණ්ඩුවේ නායකයන් හා එම සංශෝධනය හැදූ ඊනියා ව්‍යවස්ථා විශාරදයන් දැන නොසිටියේද? ව්‍යවස්ථා සංශෝධනයක්වත් විධිමත්ව හදාගන්න දන්නේ නැති පිරිසක් අලුත් ව්‍යවස්ථාවක් හදාගන්නේ කෙසේද?
ඒ සඳහා දැක්විය හැකි දෙවැනි නිදර්ශනය පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා සකස් කළ නීති සම්පාදනයයි. එම නීති සම්පාදනයේ තිබූ අවුල්සහගතභාවය සේ ම එහි ඇති කරන්නට නියමිත අවුල්සහගත ප්‍රතිඵල කල්තියා දකින්නට පාර්ලිමේන්තුව, නීතිපති, මැතිවරණ කොමිසම හා අධිකරණය යන සියලු ආයතන අසමත් විය. ලංකාව බුද්ධිමය අර්ථයෙන් ඇද වැටී සිටින බංකොළොත්භාවයේ තරම ඉන් තේරුම් ගත හැකිය. ආණ්ඩුව පළාත් සභා ඡන්ද ක්‍රමය හා පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමයද වෙනස් කිරීමට අපේක්ෂා කරයි. ඒවා ඇති කරන ප්‍රතිඵලයන්ද පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීමෙන් ඇතිවූ ප්‍රතිඵලයට සමාන වුවහොත් විය හැක්කේ කුමක්ද?
ඒ සඳහා දැක්විය හැකි තුන්වැනි නිදර්ශනය වනුයේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම අරබයා තොරතුරු කොමිසම ලබාදී තිබෙන තීන්දුවයි. තොරතුරු කොමිසමක් ඇති කොට එය මහජන වියදමෙන් පවත්වාගෙන යන්නේ තොරතුරු ලබාගැනීමට මහජනයාට ලබාදී තිබෙන අයිතිය ආරක්ෂා කිරීම සඳහාය. වත්කම් බැරකම් ප්‍රකාශන ලබාගැනීමේ අයිතිය මහජනයාට ලැබුණේ තොරතුරු පනතින් නොව වත්කම් බැරකම් ප්‍රකාශ නීතියෙනි. මහජනයාට එම විෂයෙහි හිමිකර දී තිබූ අයිතියත් තොරතුරු කොමිසම විසින් සීමා කරන්නේ නම් හෝ අහිමි කරන්නේ නම් තොරතුරු කොමිසම ප්‍රගතිශීලී කාර්යභාරයන් ඉටු කරන කොමිසමක් ලෙස සැලකිය හැක්කේ කෙසේද? දැන් ලංකාව තිබෙන්නේ ව්‍යවස්ථාවක් තබා ගැසට් නිවේදනයක්වත් හරිහැටි කෙටුම්පත් කරගැනීමට දන්නේ නැති තරමේ බුද්ධිමය වශයෙන් අන්ත බංකොළොත් තත්ත්වයකය.
ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීමට අවශ්‍ය නම් මේ දක්වා ගොඩනගා ගැනීමට නොහැකි වී තිබෙන නූතන ජාතිය ගොඩනගා ගැනීමට පුළුවන් වන ආකාරයටත්, රාජ්‍යයේ හා ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීම ජයගනිමින් රාජ්‍ය ප්‍රතිනිර්මාණය කරගත හැකි ආකාරයේ ව්‍යුහමය ප්‍රතිසංස්කරණ සඳහා වන වැඩසටහනකට රට යොමු කළ යුතුය. එවැනි වැඩසටහනක් සම්පාදනය කිරීමේ බුද්ධිමය හැකියාවක් රටේ දේශපාලකයන්ට නැත. ඒ නිසා එය මහජනයා මහජන සංවාදයක් ඔස්සේ මහජනයා විසින්ම ගොඩනගා ගත යුතුව තිබෙන දෙයක් ලෙස සැලකිය හැකිය. එවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරවා ගැනීමද මහජනයා විසින් කළයුතු දෙයක් වන අතර එම වැඩසටහනේ සුක්කානම හැසිරවීමේ කිසියම් විශාල ප්‍රමාණයක බලයක් මහජනයා තමන්ගේ අතට ගැනීමද අවශ්‍යය. එවැනි වැඩසටහනක් සඳහා වඩා සුදුසු යහපාලන ආණ්ඩුවක් වැනි පක්ෂ කිහිපයකට සීමාවූ ආණ්ඩුවක් නොව සර්වපාක්ෂික ආණ්ඩුවකි. සමාජ පෙළගැස්මේ ඇති බෙදීම් නැති කොට සමාජය ඒකාග්‍ර කළ හැක්කේ එවැනි ආණ්ඩුවකටය. එය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීමේ අරමුණින්ම ගොඩනගා ගන්නා තාවකාලික ආණ්ඩුවක් විය යුතුය.