රාවය

අර්බුදයේ ඇතැම් ලක්ෂණ

අර්බුදයේ ඇතැම් ලක්ෂණ

වික්ටර් අයිවන්

රටේ වැදගත් කොට සැලකිය හැකි හැම අංශයක්ම අර්බුදයට ලක්ව තිබීම ලංකාවේ අර්බුදයට ආවේණික වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. රාජ්‍යයේ ප්‍රධාන බලමණ්ඩල තුන ලෙස සැලකෙන ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය තිබෙන්නේ ලොකු අර්බුදයකය. රාජ්‍ය පාලනයේ සිව්වැනි බලමණ්ඩලය ලෙස සැලකිය හැකි ජනමාධ්‍ය තිබෙන්නේද අර්බුදයකය. රටේ ආර්ථිකය, වෙළෙඳාම, කර්මාන්ත, කෘෂිකර්මය හා ව්‍යාපාර යන අංශ තිබෙන්නේද අර්බුදයකය. එම අර්බුදයේ තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ ඒ හැම වැදගත් අංශයකම නායකයන් ලෙස සැලකිය හැකි විශේෂයෙන්ම දේශපාලන, ආධ්‍යාත්මික හා බුද්ධිමය අර්ථයෙන් නායකයන් හෝ මගපෙන්වන්නන් ලෙස සැලකිය හැකි අය සිටින්නේ විචාර බුද්ධිය මුළුමනින් අහිමි කරගත් බංකොළොත් තත්ත්වයකය.

බදු අර්බුදය

ආර්ථිකය තිබෙන්නේ පාලනය කළ නොහැකි අවුල් ජාලයකය. වාර්ෂිකව විදේශ වශයෙන් ලබාගෙන ඇති ණය වාරික ඒවාට අදාළ පොලී සමග කරන්නට සිදුවී තිබෙන ගෙවීම රජයේ වාර්ෂික ආදායමට සමානය. රජයට ලැබිය යුතු බදු ආදායම් එකතු කරගැනීම සඳහා මහජන වියදමෙන් පවත්වාගෙන යන දැවැන්ත ආයතන ක්‍රමයක් රටේ පවතී. මෙම ආයතන ක්‍රමය අකාර්යක්ෂම වනවා සේ ම අන්ත දූෂිතද වේ. ලැබිය යුතු බදු ආදායම්වලින් ලොකු පංගුවක් යන්නේ භාණ්ඩාගාරයට නොව බදු එකතු කරන නිලධාරියාගේ සාක්කුවලටය. පුද්ගල ව්‍යාපාර ගණයේ ලා සැලකිය හැකි රටේ තිබෙන කඩ සාප්පු සංඛ්‍යාව පමණක් ලක්ෂ 5කට වැඩිවිය හැකිය. වෘත්තීයවේදීන් ගණයේ ලා සැලකිය හැකි අයද ලක්ෂයකට වැඩි පිරිසක් සිටින්නේය. එහෙත් ලංකාවේ පුද්ගල ආදායම් බදු සඳහා තිබෙන ලිපිගොනු සංඛ්‍යාව ලක්ෂ 5කටත් අඩුය. ලංකාවේ ධනවතුන් ආදායම් බදු ගෙවන්නේ ගෙවිය යුතු බදු මුදලෙන් 10%ක් තරම් විය හැකිය. ඒ පහසුකම ඔවුන්ට ලබාදී තිබෙන්නේ ආදායම් බදු නිලධාරීන්ය. එම පහසුකම වෙනුවෙන් ධනවතුන් ආදායම් බදු නිලධාරීන්ට විශේෂ ගෙවීමක් කරයි. ආණ්ඩුවට ලැබෙන බදු ආදායමෙන් ඍජු බදු වශයෙන් ලැබෙන බදුවල වටිනාකම සියයට 18කි. සියයට 82ක්ම ලැබෙන්නේ වක්‍ර බදුවලිනි. රටේ ධනවතුන් අඩුවෙන් බදු ගෙවන විට වැඩියෙන්ම බදු ගෙවන්නන් බවට පත්ව තිබෙන්නේ ධනවතුන් නොවන සාමාන්‍ය ජනයාය.
ආණ්ඩුවට ලැබෙන බදු ආදායම් වියදම් කරන ආකාරයේද ලොකු අවුලක් පවතී. දේශපාලනතන්ත්‍රය හා ඉහළ නිලධරතන්ත්‍රය නඩත්තු කිරීම සඳහා අතිවිශාල වියදමක් දරන්නට සිදුවී තිබේ. විශ්‍රාම ගිය ජනාධිපතිවරු තමන්ගේ පුද්ගලික නිවාස බදු දී රජයෙන් ලබාගත් මන්දිරවල ජීවත් වෙති. නිල බලයක් ඇති දේශපාලකයන් පරිහරණය කරන්නේ ලක්ෂ 400-500ක් අතර වටිනාකමක් ඇති සුඛෝපභෝගී වාහනය. සුපිරි ගණයේ නිලධාරීන්ට පරිහරණය කරන්නට ලබාදී ඇත්තේ රුපියල් ලක්ෂ 300-400ක් අතර වටිනාකමක් ඇති සුඛෝපභෝගී වාහනය. දැන් රටේ යුද්ධයක් නැතත් දේශපාලන නායකයන් ගමන් යන්නේ ආරක්ෂක වාහන ගණනාවක් පිරිවරාගෙනය. සමහර නායකයන්ගේ වාහන පෙරහැරට ගිලන් රථයක්ද ඇතුළත්ය. දේශපාලන නායකයන් තමන්ගේ උජාරුව හෝ මහන්තත්ත්වය ප්‍රදර්ශනය කිරීම සඳහාද ලොකු වියදමක් වැය කරති.
රජය මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුදය ජයගැනීම සඳහා බදු අයකරගත හැකි ඕනෑම මාර්ගයකින් බදු අයකර ගන්නා පිළිවෙතක් අනුගමනය කිරීමට මුදල් ඇමතිවරයාට සිදුවී තිබේ. පුද්ගලික අංශයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ටද ඒ වෙනුවෙන් ලොකු බදු මුදලක් ගෙවන්නට සිදුවී තිබේ. වකුගඩු රෝගයකට මැදිවූ ස්වාමිපුරුෂයෙකුගේ බිරිඳක් සිය සැමියාට ප්‍රතිකාර ලබාදීමේදී රජයට ගෙවන්නට සිදුවූ බදු මුදල් ප්‍රමාණය ගෙනහැර දක්වමින් වකුගඩු සැත්කම හා අනෙකුත් ප්‍රතිකාර සඳහා අවශ්‍ය වියදම් සොයා ගන්නේ ඉතා අමාරුවෙන් බවත් මේ ආකාරයට රෝගීන්ගෙන් බදු මුදල් අයකර ගන්නා ක්‍රමයක් සාධාරණ විය හැක්කේ කෙසේදැයි මගෙන් ප්‍රශ්න කළාය. එවැනි රෝගීන්ගෙන් බදු අය කරන ක්‍රමයක් යහපත් නොවනවා සේ ම ඒ ආකාරයට එකතුකර ගන්නා බදු මුදල් ඵලදායී නොවන නාස්තිකාර දේවල් සඳහා වැය කිරීම අපරාධයක් ලෙස සැලකිය හැකිය.
දුරකතන සඳහා අය කෙරෙන බදුවල ප්‍රමාණය කිසිසේත්ම සාධාරණ වේ යැයි කිව නොහැකිය. එයද අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ස්ථිර තැන්පතුවලින් රුපියල් ලක්ෂ 15ක සීමාවක් සඳහා සියයට 15ක පොලියක් ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. මුදල් අමාත්‍යාංශය දැන්වීම් පළකරමින් කියන්නේ ඉතුරුම් සඳහා වාර්ෂිකව රුපියල් ලක්ෂ 15ක් හෝ ඊට අඩු පොලී ආදායම් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කිසිවෙක් බදු ගෙවීම අවශ්‍ය නොවන බවය. එහෙත් රුපියල් දශ ලක්ෂයක ස්ථිර තැන්පත්කරුවකු එම තැන්පතුවට අදාළ ලියවිලි පෙන්වාදෙමින් කියා සිටියේ ඊට ලැබිය යුතු පොලී ආදායම රුපියල් 150,000ක් වුවත් තමන්ට ලැබුණේ 142500ක් බවත් බැංකුව පොලී ආදායමෙන් රුපියල් 7500ක්ම කපාගෙන තිබෙන බවත්ය. සාධාරණ බදු ප්‍රතිපත්තියක් ඇතිකර ගැනීම අවශ්‍ය වනවා සේ ම එසේ ලබාගන්නා මුදල් ඵලදායී ලෙස වියදම් කරන ප්‍රතිපත්තියකුත් ඇතිකර ගැනීමද අවශ්‍ය වේ.

ග්‍රාමීය කෘෂිකර්මය

මා පසුගිය සති අන්තයේ දින තුනක් ගත කළේ ත්‍රිකුණාමලය, මඩකළපුව හා අම්පාර යන දිස්ත්‍රික්ක තුනේය. එහි ගියේ එම දිස්ත්‍රික්කවල පුනරුදයේ දිස්ත්‍රික් සභා ගොඩනැගීම හා නව ශාඛා පිහිටුවීම සඳහාය. මා එහි ගියේ මහනුවර හා පුත්තලම දිස්ත්‍රික් දෙකේ නායකයන් ලෙස ක්‍රියාකරන නවරත්න බණ්ඩා හා සරත් ප්‍රනාන්දු සමගය. අම්පාරේ සිට අපි ආපසු එනවිට නැවතුම්ගත්තේ දඹුල්ලේ සන්නස හෝටලයේය. එහි අයිතිකරුවා පුනරුද ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභිකයෙකි. පුනරුද ව්‍යාපාරයේ උන්නතිය පිණිස වැදගත් කාර්යභාරයක් ඉටුකරන පුද්ගලයෙකි. ඔහු එම රාත්‍රියේදී සිංහල අවුරුදු කාලයේදී දඹුල්ලේ එළවළු ගොවීන්ට මුහුණ දෙන්නට සිදුවූ ඛේදජනක තත්ත්වය ගැන අපූරු විග්‍රහයක් අපට කළේය. ඒ ගැන රසික ගුණවර්ධනද රාවයට ලියා තිබුණි. කෘෂිකර්මය සඳහා සිටින නිලධාරීන් සංඛ්‍යාව අතිවිශාලය. හැම ගමකටම කෘෂිකර්මයට අනියම් ලෙස සම්බන්ධ නිලධාරීන් දෙදෙනකුද, ඍජු ලෙස සම්බන්ධ නිලධාරීන් දෙදෙනකුද සිටින්නේය. ඍජු ලෙස සම්බන්ධ නිලධාරීන් දෙදෙනා වනුයේ කෘෂි පර්යේෂණ නිලධාරියා හා ආර්ථික සංවර්ධන නිලධාරියාය. ග්‍රාම නිලධාරියා හා සමෘද්ධි නියාමකවරයා අනියම් ලෙස සම්බන්ධ නිලධාරීන් දෙදෙනා ලෙස සැලකිය හැකිය. ගැමි කෘෂිකර්මයට සම්බන්ධ නිලධරතන්ත්‍රය ඒ සා විශාල වුවත් ගැමි කෘෂිකර්මය තිබෙන්නේ මුළුමනින් අරාජික තත්ත්වයකය. එළවළු නිෂ්පාදනය ජාතික සැලැස්මක් මත සිදුවන ක්‍රියාදාමයක් බවට පත්කිරීමෙන් මෙවැනි ඛේදවාචකයක් ඇතිවීම වැළකිය හැකිය. එසේම එළවළු නිෂ්පාදනය දේශීය වෙළෙඳපොළ සඳහා කරන නිෂ්පාදනයකට අතිරේකව අපනයනය සඳහා කෙරෙන නිෂ්පාදනයක් බවට පත් කළ යුතුය. ඒ සඳහාද ආණ්ඩුවට ප්‍රායෝගික සැලැස්මක් තිබිය යුතුය.
ලංකාවේ ගොවි ජනයාද තමන් හැමදාමත් යෙදෙන ගොවිතැනේ යෙදෙනවා විනා වැඩි ආදායම් උපයාගත හැකි වගාවන් ගැන හෝ ගොවිතැන් ක්‍රම ගැන උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නේ නැත. රාජ්‍ය මට්ටමෙන් ඔවුන්ට ඒ සඳහා මගපෙන්වීම් ලබාදෙන ක්‍රමයක්ද නැත. කුඹුරු ගොවිතැනින් අක්කරයක් සඳහා කන්නයකට ඉපැයිය හැකි ආදායම රුපියල් 40,000කි. මිරිස් වගා කිරීමෙන් කන්නයකට එමෙන් 10 ගුණයක පමණ ආදායමක් උපයාගත හැකිය. මිරිස් අවශ්‍යතාවන්ගෙන් අප නිපදවන්නේ සියයට 15ක් පමණය. ඉතිරි සියයට 85ම ලබාගන්නේ ආනයනයෙනි. වී වගාව ලංකාවේ ගොවීන් දුප්පත්කමේ තබාගැනීමට හේතුවී තිබෙන වගාවක් ලෙස සැලකිය හැකිය. කුඹුරු ගොවිතැනින් උපයන ආදායම මෙන් 10 ගුණයකටත් වැඩි ආදායමක් මිරිස් වගාවෙන් උපයා ගතහැකි නම් කුඹුරු ගොවිතැන කිසියම් ප්‍රමාණයකට සීමා කොට මිරිස් ආනයනයක් අවශ්‍ය නොවන තරමටම මිරිස් වගා කරන තැනකට නොයන්නේ ඇයි? එවැනි මාරුවක් වී ගොවීන් අතර තිබෙන අධික දුප්පත්කම නැති කිරීමට හේතුවනු ඇත.
වගා නොකරන කුඹුරු ඉඩම්වල මිරිදිය ඉස්සන් හා පොකිරිස්සන් වගා කළ හැකිය. ඉන් උපයාගත හැකි ලාභය අතිවිශාලය. ඒ මගින් වී ගොවිතැන් නොකරන අනාර්ථික ඉඩම් ආර්ථික ඉඩම් බවට පත්කළ හැකිය. අපට බොරු උපාසක ආකල්පවලින් අත්මිදිය හැකිනම් රටට අවශ්‍ය කිරි රටේම නිපදවා ගන්නා තැනකට යා හැකිය. එහෙත් කිරි ගොවිතැන ඵලදායීවන්නේ කිරිවලට අතිරේකව හරක් මස් පිණිසද හදන්නේ නම් පමණය. කිරි සඳහා පමණක් හරක් හැදීම ඵලදායීවන්නේ නැත. ගව පට්ටි පාලනයේදී ලැබෙන පැටව් අතර සිටින පිරිමි පැටවුන් මස් පිණිස මරන්නට ඉඩ දිය යුතුය. කිරි ඵලදායීතාව පහත වැටුණු පසු කල් ඉකුත්ව යන වැස්සියන්ද මස් පිණිස මරන්නට ඉඩදිය යුතුය. කිරිවලින් රට ස්වයංපෝෂිත කළහැකි වනු ඇත්තේ රට එවැනි ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියාකරන්නේ නම් පමණය.
කෘත්‍රිම රසායන පොහොර නැතිව ස්වභාවික පොහොරවලින් පමණක් සාර්ථක කෘෂිකර්මයක් පවත්වාගෙන යා හැකිය කියන මතය විකාරයකි. කෘෂි රසායන හෝ පළිබෝධනාශක නැතිව වගාවක ඇතිවන රෝග හා කෘමීන්ගෙන් වන හානි ස්වභාවික ක්‍රමවලට පාලනය කළ හැකිය කියන මතවාදයද විකාරයකි. එක තැනක කෙරෙන නවීන ගොවිතැනට මාරුවන්නට පෙර හේන් ගොවිතැන යොදා ගැනුණු ගොවිතැන් ක්‍රමය විය. හේනේ පස නිසරු වූ පසු එය අතහැර තෝරාගත් අලුත් ඉඩමක පොළොව කොටා ගොවිතැන් කිරීම හේන් ගොවිතැනකට ආවේණික ලක්ෂණයක් විය. රසායන පොහොර භාවිතය ආරම්භවන්නේ තෝරා ගත් එකතැනක ගොවිතැන් කරන ක්‍රමයකට මාරුවීමෙන් පසුවය. පොළොවේ ඇතිවන නිසරු බව නැති කළ හැකිවූයේ රසායන පොහොර නිසාය. රසායන පොහොරවලින් පසට සිදුවන සමහර හානි වළකා ගැනීම සඳහා කොම්පෝස්ට් වැනි පොහොර ක්‍රම මිශ්‍රව යොදා ගන්නා ලදි. ඇති තරම් ස්වභාවික පොහොර ඇත්නම් ඒවා යොදා ගැනීමෙන් පමණක් වුවත් වගා කිරීමේ හැකියාවක් ඇතත් උසස් ඵලදාවක් ලබාගත නොහැකිය. නිමැවුම අඩුවන තරමට ආදායමද පහළ යයි.
ග්ලයිෆොසෙට් හෝ ඒ සඳහා වන රසායන ආදේශනයක් නැතිව තේ වගාව ලාභදායී ලෙස පවත්වාගෙන යා නොහැකිය. උදලුගෑමෙන් තේ වතුවල ඇති වල් නෙළීමේ හැකියාවක් ඇතත්, ඒ සඳහා යන වියදම වල්නාශක භාවිතය සඳහා යන වියදම මෙන් දෙගුණයකටත් වැඩිය. අනෙක් අතට තේ වතුවල ඇති වල් උදලුගෑ විට පස සෝදා ගොස් භූමිය නිසරුවීමක් සිදුවේ.
කෘෂිකර්මයේදී රසායනික ද්‍රව්‍ය පරිහරණය අත්‍යවශ්‍ය වුවත් එය විධිමත් ආකාරයකට පරිහරණය කිරීමද අත්‍යවශ්‍යය. ඒ සඳහා විධිවිධාන ඇති කරගත යුතුය. එසේ නැතිව රසායනික ද්‍රව්‍ය පරිහරණය මුළුමනින් අතහැර ස්වභාවික ද්‍රව්‍යවලට පමණක් සීමාවන ප්‍රතිපත්තියක් කෘෂිකර්මයට යහපත්වන්නේ නැත. හඳුනා නොගත් වකුගඩු රෝගය හඳුනාගත්තේ ග්ලයිෆොසෙට් භාවිත වන්නට පෙරය. ග්ලයිෆොසෙට් නිසා ඒ රෝගය ඇතිවූවා යැයි කියන ප්‍රවාදය පටු දේශපාලන අරමුණු සපුරා ගැනීම සඳහා නිර්මාණය කළ බොරු ප්‍රවාදයක් මිස සත්‍යයක්වන්නේ නැත. රතන හිමියන්ගේ වස විස නැති ගොවිතැන් ප්‍රතිපත්තිය කෘෂිකර්මයට විශාල විනාශයක් කිරීමට හේතුවූවා මිස කෘෂිකර්මයට යහපතක් කිරීමට හේතුවූයේ නැත.

මෝඩ අහිංසාව

වන සතුන්ගෙන් කෘෂිකර්මය ග්‍රාමීය ජන ජීවිතයට එල්ල වී තිබෙන අභියෝගයේ තරම අප හිතනවාටත් වඩා විශාලය. රටේ කැරලි ඇතිවන්නට පෙර කාලයේදී වන සතුන්ගේ ගහණය ගැමියන් පාලනය කළේ කෘෂිකර්මයට හානි කරන සතුන්ට වෙඩි තබා මරා දමා උන්ගේ මස් ආහාරයට ගැනීමෙනි. 71 කැරලි කාලයේදී ගොවීන් අත තිබූ තුවක්කු එකතු කරගන්නා ලද අතර ඉන්පසු ඒවා ගොවීන් වෙත ආපසු ලබාදීමක් සිදු නොවීය. ප්‍රචණ්ඩ ගැටුම් පැවති දීර්ඝ කාලය තුළ මිනිසුන් විශාල සංඛ්‍යාවක් මියපරලොව යද්දී සමාජය තුළ මිථ්‍යා විශ්වාසයන් රජකරන සත්ව ඝාතනය සේ ම සත්ව මස් ආකාරයට ගැනීමද පාපයක් වේයැයි විශ්වාස කරන තත්ත්වයක් සමාජයේ ඇතිවිය. තුවක්කු නැතිකමට අතිරේකව ඔවුන් අතර වර්ධනයවෙමින් පැවති එම මිථ්‍යා විශ්වාසයන්ද වන සත්ව ගහණයේ වේගවත් වර්ධනයට අනුබල දෙන සාධකයක් ලෙස ක්‍රියා කළේය. අවසානයේ අභ්‍යන්තර යුද්ධය අවසන් වන විට වන සතුන්ගෙන් කෘෂිකර්මයට වන හානිය ග්‍රාමීය කෘෂිකර්මය මුහුණ දී තිබුණු ලොකුම ප්‍රශ්නයක් බවට පත්ව තිබුණේය.
ග්‍රාමීය කෘෂිකර්මයට එල්ල වී තිබුණු එම අභියෝගය ජයගත යුතුව තිබුණේ කෘෂිකර්මයට හානි කරන වන සතුන් දඩයම් කිරීමේ එසේ දඩයම් කරන සතුන්ගේ මස් ආහාරයට ගැනීමේ ළඟ තබා ගැනීමේ ප්‍රවාහනය කිරීමේ හා විකිණීමේ අයිතිය ග්‍රාමීය ජනතාවට ලබාදීමෙනි. එහෙත් මේ කාලයේ රටේ මහජනයා අතර රජ කළ බොරු ආගමික විශ්වාසයන් නිසා මෙම ප්‍රශ්නයට අතගසන්නට රට පාලනය කරන දේශපාලන නායකයන් බිය වූහ. කිසියම් අවස්ථාවකදී වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඒ ගැන අසන්නට ලැබුණු කතාවක් මෙසේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මෙම උවදුර මර්දනය කරන්නට අවශ්‍ය වී කෘෂිකර්මයට හානි කරන වන සතුන් මර්දනය කිරීම සඳහා හැම ප්‍රාදේශීය සභාවකටම රුපියල් දශ ලක්ෂයක මුදලක් ලබාදෙන ලදමුත් කිසිදු ප්‍රාදේශීය සභාවක් එම විෂයට අතගසන්නට කැමති වූයේ නැත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ ප්‍රශ්නයේ ඇති බරපතළකම තේරුම් ගෙන කෘෂිකර්මයට තර්ජනයක් වී තිබෙන වන සතුන්ගේ ගහණය ප්‍රාදේශීය මට්ටමෙන් පාලනය කිරීම සඳහා ප්‍රාදේශීය සභාවලට මුදල් වෙන් කරන්නට ඇතත්, වන සතුන්ට අදාළ මිථ්‍යා විශ්වාසයන්ට තිබූ ප්‍රබල පිළිගැනීම නිසා එම වන සතුන්ගේ ගහණය පාලනය කිරීම සඳහා කෙබඳු පිළිවෙතක් අනුගමනය කළ යුතුද යන්න ගැන පැහැදිලි උපදෙස් ලබාදෙන තැනක නොයන්නට ඇතැයි සිතිය හැකිය. වර්තමාන ජනාධිපතිවරයාට පොළොන්නරුවේ කෙනෙකු වශයෙන් ප්‍රශ්නයේ තිබෙන බැරෑරුම්කම ගැන මනා අවබෝධයක් ඇතත්, ආගමික විශ්වාසයන් සමග හැප්පෙන්නට තිබෙන බිය නිසා ප්‍රශ්නයට ප්‍රායෝගික ලෙස අතගසන්නට කැමති නැති බව පෙනේ. පුනරුද ව්‍යාපාරය ගමට ගෙනගිය මතවාදයන් අතර වන සතුන් පිළිබඳ ප්‍රශ්නයද ප්‍රධාන තැනක් ගත්තේ යැයි කිව හැකිය.
මේ මෑත දිනකදී පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව කලාපයේ පුනරුද ව්‍යාපාරයේ ප්‍රධාන ක්‍රියාකරුවකු ලෙස සැලකිය හැකි සිරිසේන මහතා දුරකතනයෙන් මට කතා කොට අපූරු කතාවක් කීවේය. ඔහු කැඳවන ලද පුනරුද සාකච්ඡාවකදී මා වන සතුන්ගේ ප්‍රශ්නය විවෘතව කතා කරන විට ඒ අදහස් කවර ආකාරයෙන් එහි සිටිනවුන් භාරගනීද යන ප්‍රශ්නයක් ඔහුට තිබූ බවත් ඒ ගැන පළ කරන අදහස් ඇත්තක් වුවත් මහජනයා එය වැරදි ලෙස භාරගතහොත් එය පුනරුද ව්‍යාපාරයේ ව්‍යාප්තියට බාධාවක් විය හැකිය කියන බිය එදා තමා තුළ ඇතිවූ බවත්. දැන් මේ ප්‍රදේශවල පවතින තත්ත්වය ඊට බොහෝ වෙනස් බවත් වන සතුන්ගෙන් එල්ල වී තිබෙන තර්ජනය මැඬපැවැත්වීමට නම් මහජනයා එම සතුන් දඩයම් කරන තැනකට යායුතුයි කියන මතය මේ වනවිට පොදුවේ පිළිගන්නා මතයක් බවට පත්ව තිබෙන බවත් ඔහු කීවේය.
මාවතගම අක්කර හයක පොල් වගාවක් ඇති පුද්ගලයෙක් කියන ලද කතාවක් මෙසේය. එම ප්‍රදේශයේ ලොකු වඳුරු රංචු හයක් ජීවත් වන බවත්, එක වඳුරු රංචුවක සිටින වඳුරන්ගේ සංඛ්‍යාව 200ක් පමණ වන බවත්, වඳුරන් නිසා පොල් ඉඩම කිසිම ආදායමක් උපයාගත නොහැකි තත්ත්වයකට වැටී තිබෙන බවත් කියා ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා ගතහැකි විසඳුම කුමක්දැයි මගෙන් අසා සිටියේය. වෙඩි තැබූ විට උන් මැරෙන එයාර් රයිෆල් විශේෂයක් ඇති බවත් ඒවාටද බලපත්‍ර අවශ්‍ය නොවන බවත් රයිෆලයක් මිලදී ගෙන අනුකම්පා විරහිත ඔවුන්ට වෙඩි තබා මරන ලෙසත් එසේ නැතිනම් ගමේ ජනයා සමග එකතු වී ප්‍රාදේශීය ලේකම්වරයා හමුවන්නට ගොස් වඳුරන්ගෙන් ගමට සිදුවන හානියේ තරම ඔහුට විස්තර කරදී ඔහුගෙන් විසඳුමක් ඉල්ලා සිටින ලෙසත් විසඳුමක් නොලැබේ නම් සිදුවන හානිය වළකා ගැනීම සඳහා ගමේ සියලුදෙනා එකට එකතු වී වඳුරන් මර්දනය කරන වැඩසටහනකට යොමුවන ලෙසත් ඉල්ලා සිටියෙමි.
කෘෂිකර්මයට හානි කරන වන සතුන්ගේ ගහණයේ ඇතිවී තිබෙන වේගවත් වර්ධනය කෘෂිකර්මයට හා ඉන් යැපෙන ජනතාවට කර තිබෙන හානියේ තරම කොතරම් විශාලද යන්න පාලකයන් හොඳින් දන්නේය. එහෙත් රටේ ජනප්‍රිය මිථ්‍යා විශ්වාසයන්ට ලැබී තිබෙන විශාල පිළිගැනීම නිසා ප්‍රායෝගික විසඳුමකට යන්න පාලකයන් කැමති නැත. ඒ නිසා විය හැක්කේ ඉදිරි කාලයේදී වන සත්ව ගහණයේ වර්ධනය දෙතුන් ගුණයකින් වැඩිවී ඒ නිසා ඇතිවී තිබෙන පීඩාවද වර්ධනය වී වන සතුන්ගෙන් පීඩා විඳින ජනයා කෝපයෙන් ප්‍රතිචාර දක්වන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය.
වන සතුන්ගෙන් කෘෂිකර්මයට හා ගොවි ජනතාවට එල්ල වී තිබෙන විනාශකාරී බලපෑම නැති කිරීමට අවශ්‍ය නම් වගාවන්ට හානි කරන වන සතුන් (අලි ඇතුන් හැර) දඩයම් කිරීමේ, දඩයම් කරන සතුන්ගේ මස් ළඟ තබා ගැනීමේ ප්‍රවාහනය කිරීමේ හා විකිණීමේ අයිතිය මහජනයාට ලබාදිය යුතුය. එවැනි ප්‍රතිපත්තියක් වන සතුන්ගේ ගහණයේ ඇතිවී තිබෙන විශාල වර්ධනය පාලනය කොට කෘෂි නිෂ්පාදනයේ ලොකු වර්ධනයක් ඇති කිරීමට හේතුවනු ඇති අතර සත්ව දඩයම හොඳ ආදායම් උපයාගත හැකි මාර්ගයක් බවට පත් කිරීමටද හේතුවනු ඇති අතර ජනතාව අතර මාංශ පරිභෝජනයද වර්ධනය කිරීමට හේතුවනු ඇත.

අධ්‍යාපනයේ අර්බුදය

අධ්‍යාපනය මෙම සංවාදයේ අවසානයට ගත්තද එය සාකච්ඡාවට ලක්විය යුතු ප්‍රධානතම මාතෘකාව ලෙස සැලකිය හැකිය. ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය කෙරෙහි වර්ග, කුල, ආගම් භේද අවම කිරීමටත් භේදයකින් තොරව සියලු මිනිසුන්ට මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබාදෙමින් නූතන ජාතිය හා නූතන සමාජය ගොඩනගා ගැනීමට අසමත්වීම ලංකාවේ අර්බුදය කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය ලෙස සැලකිය හැකි වුවත් තරමක් පසුව හෝ මෙම අර්බුදය ජයගැනීමට හෝ ඉන්වන හානිය අවම කරගැනීමට අධ්‍යාපන ක්‍රමය හේතුවී නැත්නම් එය අපේ අධ්‍යාපන ක්‍රමයේ අසාර්ථකභාවය පෙන්නුම් කරන වැදගත් මාපකයක් ලෙස සැලකිය නොහැකිද? අපේ අධ්‍යාපන ක්‍රමය ප්‍රමාද වී ජාතිය ගොඩනගා ගැනීමට හෝ සමාජය ඒකාග්‍ර කිරීමට හෝ නවීන සමාජයක් ඇති කිරීමට දායක වී නැත. දූෂණයෙන් හා අගතියෙන් තොර බහුත්වවාදී ආකල්පවලින් යුතු මිනිසුන්ගෙන් යුතු සමාජයක් ඇති කිරීමටද සමත් වී නැත. රටේ පවතින කුණුවූ තත්ත්වයට අධ්‍යාපන ක්‍රමයද වගකිව යුතුය.
එම තත්ත්වය වෙනස් කරන්නේ කෙසේද? අපේ පාසල් ක්‍රමය තිබෙන්නේ අශීලාචාර තත්ත්වයකය. පාසල් සුළු ප්‍රමාණයක් හොඳ හෝ සුපිරි පාසල් ලෙස සැලකෙන විට පාසල් විශාල ප්‍රමාණයක් සැලකෙන්නේ නරක හෝ කසිකබල් පාසල් ලෙසය. පාසල් ක්‍රමයේ ඇති මෙම විෂමතාව නිසා අධ්‍යාපනයේ ඇති වැදගත්කම දන්නා හැම කෙනෙකුම දරුවකු මව්කුසේ පිළිසිඳගත්දා සිටම වාගේ තම දරුවාට හොඳ පාසලක් ලබාගැනීමට සිහින දකිති. හොඳ පාසලක් ලබාගැනීමේ සිහිනය සැබෑකර ගැනීම සඳහා ලොකු වියදමක් දරා කූට ලේඛන හදාගැනීමට යොමුවෙති. අවසානයේ හොඳ පාසලක් හිමිකර ගැනීම පිළිබඳ සිහිනය සැබෑ කරගත්තේ එම සිහිනය වෙනුවෙන් ලොකු මහන්සියක් හා වියදමක්ද දැරූ අය අතරින් සුළු ප්‍රමාණයකට පමණය.
ලංකාවේ පවත්නා මෙම පාසල් ක්‍රමය ලංකාවේම පමණක් දක්නට ලැබෙන අශීලාචාර ක්‍රමයක් ලෙස සැලකිය හැකිය. එක්සත් රාජධානියේ, කැනඩාවේ හා තවත් බොහෝ දියුණු රටවල ඇත්තේ ප්‍රාථමික පාසල් ක්‍රමයක් සමග ඉන්පසු තවත් එක බෙදීමක් හෝ බෙදීම් දෙකක් ඇති පාසල් ක්‍රමයකි. ඒවාහි ප්‍රාථමික පාසලක් සඳහා ඉල්ලුම් කෙරෙන පුද්ගලයෙකුට ඉල්ලා සිටිය හැක්කේ නිවසට ළඟම තිබෙන පාසල් කිහිපයක් තිබෙන්නේ නම් ඉන් එකකට පමණය. ඒවාහි හැම ප්‍රාථමික පාසලක්ම බොහෝ දුරට එකසමානය.
ලංකාවේද ඇති කරගත යුත්තේ එවැනි ක්‍රමයකි. ඒ මගින් 1 වැනි ශ්‍රේණියේ ළමයෙකු සඳහා පාසලක් තෝරා ගැනීමේදී මුහුණදෙන්නට සිදුවී තිබෙන උග්‍ර තරගය මුළුමනින් නැති කළ හැකිය. කූට ලේඛනවලට තිබෙන ඉල්ලුම මුළුමනින් නැතිවනවා සේ ම අල්ලස්දීමේ අවශ්‍යතාවද නැතිවේ. පාසල් ක්‍රමයේ තිබෙන උසස් පහත් භේදයද අවසන් වනු ඇත. ප්‍රමාණයට වඩා විශාල හෝ කුඩා පාසල් තිබීමද අහෝසි වනු ඇත. ඒ මගින් කෙටි කලකදී මාපියන් හෝ භාරකරුවන් නැතිව වුවද ගෙදර සිට පාසලටත් ඉන්පසු පාසලේ සිට ගෙදරටත් යෑම් ඊම් කිරීමේ හැකියාව ළමුන්ට ලැබෙනු ඇත.
එවැනි ක්‍රමයක් ප්‍රාථමික පාසල් සඳහා සුදුසු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් බෙදාහැරීමේ ක්‍රියාවලියද පහසු කෙරෙනු ඇත. එවැනි වෙනසක් මාර්ග තදබදය ලිහිල් කිරීමටද ප්‍රාථමික අධ්‍යාපනය සඳහා මාපියන්ට දරන්නට සිදුවී තිබෙන වියදම අඩුකිරීමටද හේතුවනු ඇත. සමහර පාසල්වලට ලැබී තිබෙන අතිවිශාල වැදගත්කමද තවත් සමහර පාසල්වලට ලැබී තිබෙන අවැදගත්බවද අහෝසි කොට සියලු ප්‍රාථමික පාසල් බොහෝ දුරට එක සමාන හා එක සමාන පිළිගැනීමක් ඇති පාසල් බවට පත්කිරීමට හේතුවනු ඇත. ගම්වල ඇතිවී තිබෙන පරිහානිය කෙරෙහි ගම්වල සිටින උගත් ආර්ථික හැකියාවක් ඇති මිනිසුන් තමන්ගේ දරුවන්ට හොඳ පාසලක් ලබාගැනීම සඳහා ගම්වල තිබෙන ඉඩකඩම් විකුණා ගම් අතහැරයාමද වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ. පාසල් ක්‍රමයේ ඇති කරන ප්‍රතිසංස්කරණයක් එම තත්ත්වයද නැති කිරීමට හේතුවනු ඇත.
පාසල් ක්‍රමයේ ඇති කරන එවැනි ප්‍රතිසංස්කරණයකින් පමණක් අධ්‍යාපන ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කළ නොහැකිය. ඒ සඳහා ඇති කළ යුතු ප්‍රධාන වෙනස්කම් මොනවාද යන්න ගැන ඊළඟ කලාපයට ලියන ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙමි.