රාවය

ඊළඟ කන්නයත් උගසට තබන ග්‍රාමීය ජනයාගේ ණය අර්බුදය

ඊළඟ කන්නයත් උගසට තබන ග්‍රාමීය ජනයාගේ ණය අර්බුදය

රසික ගුණවර්ධන

පුද්ගලයකු කෙතරම් හොඳින් සකසුරුවම්ව මුදල් භාවිත කළ ද ණයවීම අවශ්‍යතාවක් තරමටම ණය අද නවීකරණය වී ඇත. ණය නවීකරණය වීම නිසාම අද විවිධ ස්වරූපවල ණය දැකගත හැකිය. දීර්ඝකාලීන ණය, කෙටිකාලීන ණය, නිවාස ණය, ක්ෂණික ණය වැනි බොහෝ ස්වරූපවල බැංකු ණය ඇති අතර ඊට අමතරව පොලී මුදලාලිලා දෙන පොලී ණය ද දැකගත හැකිය. ඒවා අතර ඬේලි ක්ලෙක්ෂන් නම් වූ දිනපතා එකතු කරන ණයද, සතිපතා, මාස්පතා එකතු කරන ණය ද ලෙස ණය ස්වරූප කිහිපයක් දැකගත හැකිය. මේ සා විශාල ණය ස්වරූප පැවතියද මිනිසුන් ඒවා කෙසේ පරිහරණය කරනවා දැයි විමසා බැලීමේදී ණය කළමනාකරණය විෂයෙහි ජනයා බොහෝ දුර්වල බව නිරීක්ෂණය කළ හැකිවිය.
සමාජය සාමාන්‍යයෙන් බෙදන ස්ථර තුන මතම ණය පරිභෝජනය කරන මිනිසුන්ද බෙදා දැක්විය හැකිය. එනම්, ඉහළ ධනපතීන්, මධ්‍යම පාන්තිකයන් හා දරිද්‍රතාවයෙන් පෙළෙන පන්තිය ලෙස ය. මෙයින් ඉහළ ධනපති පන්තිය සහ බොහෝ විට මධ්‍යම පන්තිය ණය පරිහරණයේ සංකූලතා දැකගත නොහැකිමුත් බොහෝ විට දරිද්‍ර පන්තියේ ණය පරිහරණයේ සංකූලතා දැකගත හැකිය. අපි මේ පිළිබඳව සොයා බැලීමක් කළෙමු. මේ අපට හෙළිවූ කතාවයි.

ඇයි ණය

ණය ලබාගන්නවුන් ණය ලබාගන්නේ ආර්ථික අරමුණු උදෙසා ආයෝජනය කිරීමට දැයි සොයා බැලිය යුතු කාරණාවකි. එය එසේ නොවනතාක් ණය යනු මර උගුලක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ණය ගැනීමට පැමිණෙන පිරිස කොපමණද යන්න ඔබට කොළඹින් පිට ග්‍රාමීය ප්‍රදේශයක අස්වැන්න නෙළා අවසන් කාලයකදී හෝ වගා කිරීමට සූදානම් වන කාලයකදී ග්‍රාමීය ණයදෙන සමිතියක ණය අංශය තුළ රැඳී සිටීමට හැකියාවක් ඇත්නම් පහසුවෙන්ම නිරීක්ෂණය කිරීමට හැකිය. එවැනි දිනවල සෑහෙන තදබදයක් ඇත්තේ ණය අංශය තුළය. එනම් ග්‍රාමීයව බහුල වශයෙන් ණය අවශ්‍යතාවන් ඇති බව හඳුනාගත හැකිය. මේ ණයට ඇති අවශ්‍යතාව නිර්මාණය කරනු ලැබූවක් ලෙස අපට හඳුනාගත හැකිවිය. ණය ලබාගැනීමට පැමිණ සිටි කිහිපදෙනෙකු සමග කතාබහ කළ විට අපට මේ කාරණය හෙළිවිය.
“ඇයි ණය ගන්නේ?” අපෙන් පැනයක් යොමුවූයේ තරමක තලතුනා වියේ අයෙකුටය. “ගොවිතැනට” ඔහුගේ පිළිතුර ඝෘජු ය. “කලින් කන්නවල ගොවිතැන් කරල ගන්න සල්ලිවලින් ටිකක් තියාගන්ඩ බැරිද?” අපි නැවත ඔහුගෙන් පෙරළා විමසුවෙමු. සිනහවූ ඔහු පිළිතුරු බැන්දේ ටික වේලාවකිනි. “ගෙදර වියදමට ගියහම ඉතුරු වෙන්නෑ.” “බැංකුවෙන් දෙන්ඩ බෑ කීවොත්” අපෙන් ඔහුට තවත් පැනයක්. “කොහොමත් දෙන්ඩ බෑ කියයි, අරන් තියන ණයවල හැටියට. එහෙම වුණොත් පොලියට ගන්නවා.”
ඔහු කියන කාරණා අනුව හෙළිවන්නේ ඔහුට කන්නයක් පාසා පූරණය කර ගතයුතු ණය අවශ්‍යතාවක් පවතින බවයි. මේ එක් අයෙකුගේ කතාවක් වුවත් ණය ගැනීමට පැමිණෙන බහුතරයෙකුගේ කතා මීට දෙවැනි නැත.
අපට මුණ ගැසුණු පිරිස් කෘෂිකාර්මික, අර්ධ කෘෂිකාර්මික හා ස්වයං රැකියාවල නිරත වූ පිරිස්ය. මොවුන් අතුරින් බොහෝ දෙනෙකු අපට පැවසුවේ තමන් ණය ලබාගන්නේ ස්වකීය කර්මාන්තවල දියුණුව සඳහා යන්නය. ඔවුන් එසේ අරමුණු කොට ණය ගත්තද ඒ අරමුණු තෘප්ත කරගන්නේ බොහෝ කලාතුරකින් බව අපට හෙළිවිය. ඉබ්බාගමුවේ නන්දා අපට පැවසුවේ එවැනි කතාවකි.
“ගිය පාර ණයක් ගත්තා මිරිස් ටිකක් දාන්ඩ කියලා. ඕං ඉතින් අවුරුදු කටේනෙ සල්ලි ටික වියදම් වුණා. දැන් මේ ආයෙ කීයක් හරි හොයාගෙන මිරිස් ටිකක් දාන්ඩ ඉන්නේ.”
වැල්ලවාය ප්‍රදේශයේ ස්වංරැකියා හිමියෙකු ණයක් ලබාගෙන තිබුණේ අවුරුදු කෑමටය. ඔහු බැංකුවකින් නොව පොලී මුදලාලි කෙනෙකුගෙන් ලබාගෙන ඇති මුදල රුපියල් පනස්දහසකි. සතියට ගෙවන මුදල රුපියල් හයදහස් පන්සීයකි. එසේම “ටීවී, රේඩියෝ, හෝම් තියටර්” මිලදී ගැනීමට ණය ලබාගත් පිරිස් ද අපට බහුලව හමුවිය. ග්‍රාමීය ප්‍රදේශවල “ඇයි ණය අරන් තියෙන්නේ” යැයි සොයා බැලුවහොත් බහුලව හෙළිවන්නේ මෙවැනි කාරණාය.
ගොවීන්ගේ කතාව දිග ඇදෙන්නේ මෙසේ ය. ගොවීන් යනු බොහෝ විට දිනපතා හෝ සතියට වතාවක් හෝ මසකට වතාවක් හෝ ආදායමක් ලබන පිරිස නොවේ. ඔවුන්ගේ ආදායම ඇතැම්විට මාස තුනකට, හයකට, අටකට එසේත් නැත්තන් අවුරුද්දට වතාවක් ලැබෙන්නකි. ඒ නිසා ඔවුන්ට දිනපතාද, සතිපතාද, මාස්පතාද නිපදවෙන අවශ්‍යතා හා උවමනා පූරණය කරගැනීමට සිදුවේ.
“තාත්තේ ටීවි එකක් ගන්ඩ ඕනේ.” – “අස්වැන්න කැපුවහම ගම්මු.” “ඒයි පුටු සෙටියක් ගන්ඩ ඕනේ.”- “අස්වැන්න කැපුවහම ගම්මු.”
මේ ගොවි පවුල්වලින් නිතර ඇසෙන දෙබස් ය. මේ අනුව අස්වැන්නට ගොඩ ගැසෙන අවශ්‍යතා හා උවමනා ගොඩ අතිමහත්ය. ඒ නිසා අස්වනු නෙළාගැනීමෙන් පසු ලබන ආදායම සියලුම අවශ්‍යතා පූරණය කරගැනීමට ප්‍රමාණවත් නැත. එසේම කෘෂි නිෂ්පාදනවලට පවතින පහළ යන මිල ද මෙයට බාධකයක් වී ඇත.

බැංකු ණය හා සමිති

ග්‍රාමීය ප්‍රදේශවල ණය ලබාදෙන එක් ක්‍රමයක් ලෙස ග්‍රාමීයව බිහිව ඇති බැංකු පද්ධතිය හා ගම්මාන කේන්ද්‍රකොට පිහිටුවාගෙන ඇති ණයදෙන සමිති හඳුන්වා දිය හැකිය. එලෙස ගොවීන් සහ ස්වයං රැකියා ලාභීන්ට ණය දෙන බැංකුවක කළමනාකාරවරයෙකු අපට පැවසුවේ මෙවැන්නකි.
“අපි සාමාන්‍යයෙන් ණය දෙද්දි අනුගමනය කරන විදිහම තමයි මේවයෙදිත් අනුගමනය කරන්නේ. සමහරු එනවා විවිධ හේතු කියාගෙන, ඒගොල්ලන්ට ගෙවාගන්ඩත් බැරි තරම් ණය ඉල්ලගෙන, සමහරු එනවා වගා කරල ඒ ආදායමෙන් ණය ගෙවන්ඩ බලාගෙන ණය ගන්ඩ. හැබැයි ඉතින් වගාවට මොකක් හරි වුණොත් ඒගොල්ලෝ ඉවරෙටම ඉවරයි. ගොඩක් අය හිතන්නේ සල්ලි ටිකක් අතට ගන්න විදිහ විතරයි ඒ ගෙවන්නේ කොහොමද කියන එක ගැන සැලකිල්ලක් නෑ. ඒ වගේම තමයි තවත් අය ගොවිතැනට එහෙම නැත්තන් බිස්නස් එකට කියල අරගෙන ගිහිල්ලා වෙන වෙන දේවල්වලට වියදම් කරල ගෙවා ගන්ඩ බැරුව අසරණ වෙනවා. ප්‍රශ්නේ තමයි මේ ගොල්ලන්ට හරියට මුදල් කළමනාකරණය කරගන්ඩ තේරෙන්නේ නෑ. අපි ඒකට හැම වෙලාවෙම පිටිපස්සට වෙලා ඉඳන් හොයල බලනවා.”
කෙසේ වෙතත් බැංකුවලින් ණය ලබාදීම තරමක සුරක්ෂිතතාවක් ඇති කරනු ලබයි. මක්නිසාදයත් බැංකුවක් ණය ලබාදීමේදී අනුගමනය කරන ක්‍රමවේදය හරහා නැවත ඔහුට ණය ගෙවීමට ඇති හැකියාව සොයා බලා එය ධනාත්මක නම් පමණක් ණය ලබාදීම සිදු කරන නිසාය. කෙසේ වෙතත් බැංකුවලද ලබාදෙන සති ණය (එනම් සතියකට වතාවක් වාරික ගෙවන ණය) වල ඉහළ පොලී අනුපාතයක් ඇත.
අප සාමාන්‍යයෙන් කතා කරන රාජ්‍ය බැංකු හැරුණු විට, ග්‍රාමීය ප්‍රදේශවල ඔවුනොවුන් පිහිටුවා ගන්නා සුභ සාධක, අන්‍යොන්‍යාධාර වැනි නම්වලින් යුත් සමිති පිහිටා ඇත. මේවා සමිති වුවත් මූල්‍ය කටයුතු වලදී මේවා ක්‍රියා කරන්නේ බැංකු ලෙසය. එනම් බැංකුවකදී සිදුවන මුදල් තැන්පතු (සාමාජික මුදල් වැනි) හා ණය ලබාදීම් සිදුවේ. මේවාහි පොලී මුදල ඉහළ අගයක පවතී. ලියුම්කරුට වරක් කිරි ගොවීන්ගේ සමිතියකට සහභාගිවීමට අවස්ථාව ලැබුණු අතර එහිදී දුටුවේ ඔවුන් මාසයකට වරක් එකතු කරන සාමාජික මුදල් හරහා සාමාජිකයන්ට ණය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අයුරුයි. එහිදී රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව, සියයට 15% පොලියට ණය ලබාදීම සිදු කරනු ලබයි.

ආකල්ප හා අර්බුදය

බැංකු හා සමිති හරහා ණය ලබාගත හැක්කේ (බොහෝ විට) යම් වෘත්තියක නිරතවන නිශ්චිත ආදායමක් ලබන පිරිසටය. ඒ නිසා ලබාගන්නා ණය ක්‍රමවත්ව ආයෝජනය කරන්නේ නම් ඔවුන්ට ඒ ණය ගෙවා දැමීමේ අපහසුතාවක් පැන නගින්නේ නැත.
එහෙත් වෘත්තියක් නොකරන පිරිස් ණය ලබා ගැනීම හරහා ඔවුහු විශාල ගැටලුවකට මුහුණපානු ලබති. ආදායමක් නොමැති පිරිස් ණය ලබාගන්නේ පොලී මුදලාලිලාගෙනි. මෙහිදී ආදායමක් නොලබන පිරිස් ලෙස බහුලව හඳුනාගත හැක්කේ ග්‍රාමීයව වෙසෙන කාන්තාවන්ය. ඔවුන්ගේ ස්වාමියන් කරන රැකියාව මත පටවා ඔවුන් ණය ලබා ගැනීම සිදු කරයි. මොවුන් මෙසේ ණය ලබාගන්නේ කුමක් සඳහා දැයි සොයා බැලීමේදී පෙනීයන්නේ එල්සීඩී ටීවී යන්ත්‍රයක්, හෝම් තියේටර් සිස්ටම් එකක්, පිත්තල පහනක්, පුටු සෙටියක් මිලදී ගැනීම වැනි කාරණා අරභයා ය. මෙය මෙසේ වීමට ඒ ගම්මානවල මිනිසුන්ගේ ආකල්ප බලපෑමත් හේතුවෙයි. ඒ නිවෙස්වල මා ඉහත කී උපකරණ යනු ස්වකීය උජාරුව පෙන්නුම් කරන ස්වරූප වේ. විශාල එල්සීඩී ටීවී යන්ත්‍රක්, සද්දෙට දමා ඇති හෝම් තියේටර් සිස්ටම් එකක් ඇත්නම්, පිත්තල කළවල කෘත්‍රිම මල් දමා ඇත්නම් ඒ නිවසට ඔවුහු මහා උජාරුවක් ආරෝපණය කරනු ලබති. මෙවැනි මිලදී ගැනීම් සඳහා සැලකිය යුතු මුදලක් අවශ්‍ය වීම ද ඒ මුදල් කෘෂිකර්මාන්තයේ නිරත වී එකවර සපයාගත නොහැකිවීමද නිසා එසේ පහසුවෙන්ම සපයා ගතහැකි මගක් වෙත ඔවුන් නිරායාසයෙන්ම යොමු වේ. එනම් පොලියට ලබාගැනීමයි. මෙහිදී ලබා ගන්නා මුදලට ගෙවිය යුතු පොලී මුදල ඉතා විශාල වේ ඇතැම්විට එය සියයට විස්සක තරම් මුදලකි. මෙලෙස ඉහළ පොලියට ලබා ගන්නා මුදල් නිසා ඇතැම්විට ජීවිතවලින් පවා වන්දි ගෙවූ මිනිසුන් එහි බැරෑරුම් බව කියති.
ග්‍රාමීය ණය යන්නෙහි අර්බුදය ආරම්භ වන්නේ එතැනදීය. අපේ සංචාරයේදී ඉබ්බාගමුව ප්‍රදේශයේදී හමුවූ එක් අයෙකු උජාරුවෙන් පැවසුවේ තමන් පොලියට ලබාගත් මුදලින් විශාල හෝම් තියේටර් යන්ත්‍රයක් මිලදී ගත් බවයි.

ආයෝජනයක් නැතිවීමේ අවුල

අපට මේ කාරණා එකින් එක ගෙන විමසා බැලීමේදී පෙනීයන පැහැදිලි කාරණාව නම් මුදල් ආයෝජනයක් නොමැතිවීමේ ගැටලුවයි. ණයක් ලෙස ලබා ගන්නා මුදලක් නැවත ගෙවිය යුතුය. එහිදී ලබාගත් මුදලට අමතරව පොලියක් ද ගෙවිය යුතු නිසා ණය මුදල ආයෝජනය වීම වැදගත් ය. එහෙත් ටීවී, කැසට්, හෝම් තියේටර් ගැනීමට මුදල් වැයකිරීමක් යනු ආයෝජනයක් නොවේ. මෙලෙස ආයෝජනයක් නොවන දෙයකට මුදල් යෙදවීම නිසා අවසන ණය ගෙවා ගැනීමට නොහැකිව බොහෝ දෙනා අසරණ වෙති.

පොළී මුදලාලි

බැංකුවලින් ණය ලබාගත නොහැකි තැන බොහෝ දෙනා යොමුවන්නේ පොලී මුදලාලිලාගෙන් ණය ලබා ගැනීමට බව අපි ලිපියේ මුලින් සඳහන් කළෙමු. මේ පොලී මුදලාලිලා පිළිබඳව අප යම් සොයා බැලීමක් සිදු කළ අතර ඒ හරහා විශාල කාරණා ගොන්නක් හෙළිවිය.
බහුලව පොලී මුදලාලිලා ලෙස කටයුතු කරන්නේ තමන් ජීවත්වන සමාජයේ යම් මැර ස්වරූපයක් ඇති පුද්ගලයන් ය. ඔවුහු තමන්ට හිමි සමාජීය අවකාශය භාවිත කරගනිමින් මේ ක්‍රියාවලියේ නිරත වෙති. එසේම ඔවුහු පොලියට මුදල් ලබාදීමේදී දිනකට වරක් මුදල් ලබා ගැනීම් ද, සතියකට වරක් මුදල් ලබා ගැනීම් ද, මසකට වරක් මුදල් ලබා ගැනීම් ද සිදු කරනු ලබති. මෙසේ ලබාදෙන මුදල්වල පොලී අනුපාතය ඇතැම්විට 20% සහ 25% තරම් විශාල ප්‍රමාණයක් වේ. බොහෝ විට මෙවැනි ඉහළ පොලී අනුපාතයන් දැකගත හැක්කේ දිනපතා එකතු කරනා (ඬේලි කලෙක්ෂන්) ණය මුදල්වලදීය. බොහෝ විට ඬේලි කලෙක්ෂන් ලබාගන්නේ ගොවීන්ය. නැතිනම් වෙළෙන්දන් ය. අස්වැන්න නෙළන සමයට ගොවීන් ද පොළවල් පැවැත්වෙන දිනවලට වෙළෙන්දන්ද බහුලව මෙසේ ඬේලි කලෙක්ෂන් ලෙස මුදල් ලබා ගන්නා බව අපට පැවසුවේ මුදල් පොලියට දෙන්නෙකි.
සාමාන්‍යයෙන් මුදල් පොලියට දෙන්නන් විවිධ දෑ උකසට තබා ගැනීම සාමාන්‍ය කාරණාවක් වන අතර අප සංචාරය කළ පළාත්වලදී දුටුවේ, ඇතැම්විට ඊළඟ කන්නයේ අස්වැන්න උකසට තබන අයුරුයි, නැතිනම් රුපියල් පනස් දහසක්, ලක්ෂයක් වැනි මුදලකට නිවසක් උකසට තබා ගන්නා අයුරුයි. අපට හමු වූ හෝම් තියේටර් යන්ත්‍ර මිලදී ගත් තැනැත්තා උකසට තබා තිබුණේ තමන්ගේ කිරි හරකෙකි.
පොලී කර්මාන්තය ජයටම සිදු කරන ඒ හරහා මහා ධනයක් උරුම කරගත පිරිස් ද නැත්තේම නොහේ. ඇඹිලිපියේ එවැනි පොලී මුදලාලි කෙනෙකු සිටී. ඔහුගේ මුදල් පොලියට දීමේ ව්‍යාපාරය කෙතරම් දියුණු දැයි පවසනවා නම් ඔහු දීප ව්‍යාප්තව මෙම මුදල් පොලියට දීමේ කර්තව්‍යයේ නිරත වේ. ඔහුට සේවකයෝ විශාල ප්‍රමාණයක් සිටිති. ඔහුගේ සේවකයන් සිදුකරන්නේ පොලී මුදල් එකතු කිරීමය. එම සේවක ජාලය ඇඹිලිපිටියේ සිට කෑගල්ලටද කෑගල්ලේ සිට කුරුණෑගලටද කුරුණෑගල සිට අනුරාධපුරයටද විහිදී ඇත. මේ තුළ ඔහුගේ සාර්ථක බව කියාපාන්නේ ඔහුට හිමි සුඛෝපභෝගී වාහන කිහිපය යි.

සංක්ෂිප්තය

ග්‍රාමීය ණය පිළිබඳ කතිකාවතේදී අවසානයේ අපට පැහැදිලි වන කාරණාව නම් ණය පිළිබඳව හා ණය පරිහරණය කිරීම පිළිබඳව නිසි අවබෝධයක් ග්‍රාමීය ජනයා අතර නොමැති බවයි. තමන් ණය ලබා ගන්නා හේතුව පසෙකලා තමන්ට එදිනෙදා හසුවන හේතූන්වලට පිළියමක් ලෙස මේ ණය මුදල් ඔවුන් විය පැහැදම් කිරීම මෙයට මූලිකම හේතුව යි. මෙය නගරයේ දී ද දැකගත හැකි වුවත් ඔවුන්ට නිසි ආදායම් මාර්ගයක් ඇති බැවින් ඒ ණයෙන් වියදම් කළ මුදල නැවත පියැවීමට හැකිය. එහෙත් ග්‍රාමීය ජනයා ගොවිතැන ආදී සැලකිය යුතු කාලයක් ගතවන ක්‍රියාවලියක නිරත වී සිටින බැවින් ඔවුන්ට ණයෙන් විදම් කරන මුදල නැවත පියවා ගැනීමට සෑහෙන කාල සීමාවක් වැය කිරීමට සිදු වේ. එවිට බොහෝ අවස්ථාවලදී ණය මුදල ගෙවිය යුතු කාලසීමාව එළැඹේ. එවිට ඔවුන් පැටලැවෙන්නේ පඹ ගාලකය. ග්‍රාමීය ණය සඳහා නිසි කළමනාකරණයක් වැදගත් වන්නේ ඒ නිසා ය. මෙය රජය හෝ වෙනත් සංවිධානයකින් සිදු කළ යුතු යැයි පැවසීම ප්‍රායෝගික නොවේ. එහෙත් ග්‍රමීයව ණය පරිහරණය පිළිබඳව දැනුවත් කිරීමත්, ගොවීන් ඇතුළු ග්‍රාමීය ප්‍රජාව පොලී මුදලාලිලා වෙත යාමට හේතුවන කාරණාවලට පිළියම් සැපයීමත්, එනම්, බැංකු තවදුරටත් ග්‍රාමීය ප්‍රජාවට ගැළපෙන ලෙස හැඩ ගැස්වීමත් වැදගත් වනු ඇත. එවිට පොලී නොගෙවීමට නොහැකිව සිදුවන සියදිවි නසා ගැනීම් ද පවුල් බිඳීයාම් ද ඇතුළු සමස්ත ගැටලු පද්ධතියටම පිළියම් සැලකිය යුතු තරමට හෝ සපයා ගැනීමට හැකි වනු ඇත.