රාවය

අධ්‍යාපනය විවෘත කරන්න වෙනවා – මහාචාර්ය උපුල් දිසානායක උපකුලපති – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

අධ්‍යාපනය විවෘත කරන්න වෙනවා – මහාචාර්ය උපුල් දිසානායක උපකුලපති – පේරාදෙණිය විශ්වවිද්‍යාලය

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

ලංකාවේ අධ්‍යාපන කතිකාව මේ වන විට නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස කියන විසංවාදී ධාරා දෙක අතරේ ගොනුවෙමින් තියෙනවා. රටේ නිදහස් අධ්‍යාපනය දිනෙන් දින දියාරුවෙමින් පවතින බවයි ඉන් පළමු ප්‍රවාදය?

ඒක ඒ විදිහටම පිළිගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්න ශිෂ්‍යයින් සංඛ්‍යාව දිහා බැලුවත් ඒක පැහැදිලිව පේනවා. සංඛ්‍යාත්මකව කියනවානම් විසිපන්දාහේ තිබුණු රජයේ විශ්වවිද්‍යාලවලට අවුරුද්දකට ඇතුළු කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව පහුගිය අවුරුදු තුන තුළ තිස්එක්දාහ දක්වා වැඩිවෙලා තියෙනවා.
අනික් කාරණය තමයි, ඔබ කියූ මේ සංවාදය බොහෝ විට ඇතිවුණේ වෛද්‍ය අධ්‍යාපනය පදනම් කරගත් සිදුවීම් එක්කනේ. ඒත් අපි දන්නවා රජයේ විශ්වවිද්‍යාල සඳහා මේ වනවිටත් අලුතින් වෛද්‍ය පීඨ ම තුනක් ආරම්භවෙමින් තියෙනවා. ඒ වයඹ, මොරටුව සහ රත්නපුර. ඒ නිසා නිදහස් අධ්‍යාපනය සීමාවෙමින් යනවා කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි.

පෞද්ගලික අධ්‍යාපනයේ පුළුල්වීම කියන කාරණය පදනම් කරගෙන ගොඩනැඟුණු ප්‍රවාදයක්ද මේක?

උසස් පෙළ විභාගය සඳහා අවුරුද්දකට සිසුන් ලක්ෂ තුනක් විතර වාඩි වෙනවා. ඒකෙන් තිස් එක්දාහක් විතර තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නේ. ඉතිං ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට, රජයේ විශ්වවිද්‍යාලවලට යන්න බැරිවුණ ශිෂ්‍යයින් නොසලකා හරින්න බෑ. ඒ අය සඳහා පැහැදිලි වැඩඩපිළිවෙළක් නිර්මාණය කරන්න අවශ්‍යයි. එතනදි තමයි පෞද්ගලික අධ්‍යාපනය කියන කාරණාව ඉදිරියට එන්නේ.
පෞද්ගලික මට්ටමින් ගත්තාම රාජ්‍ය මැදිහත්වීමකින් තොර උසස් අධ්‍යාපන ක්‍රමයකට මා ඇතුළු අපි සියලුදෙනා අකමැති වුණත් පවතින සංකීර්ණ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව වැනි රටකට මේ සමස්ත ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට අවශ්‍ය මුදල් හා සම්පත් හොයාගැනීමේ හැකියාවක් නෑ.
අනික් කරුණ තමයි අධ්‍යාපනයේ නිදහස කියන තේමාව ගත්තාම එහි අන්තර්ගතය වන්නේ නැතිබැරි අය මෙන් ම ඇති හැකි සියලුදෙනාට අධ්‍යාපනය සඳහා නිදහස තිබිය යුතුයි කියන එක. මේක යම් ආකාරයකට ශිෂ්‍ය ව්‍යාපාරයේ සටන් පාඨ තුළද අන්තර්ගතවන දෙයක්.
අනෙක් කාරණය තමයි ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුවන ශිෂ්‍ය ප්‍රමාණය උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින්ගෙන් සුළුතරයක් වීම. එහෙම උසස් අධ්‍යාපනය පතන ඒත් ඒ සඳහා අවස්ථාවක් නොලැබෙන බහුතරය සඳහා විකල්ප ක්‍රියාමාර්ග අවශ්‍ය බව පෙනී යනවා. ඒ සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු අප සියලු කොටස්වල යුතුකම.
නිදහස් අධ්‍යාපනය කියන කාරණය ගැන අපිට සංවෘත ක්‍රමයක් ඇතුළේ කතා කරන්න පුළුවන් තමයි. එහෙත් වර්තමාන ලෝක තත්ත්වයන් එක්ක ගත්තාම ඒ දේ ඒ විදිහට කරන්න බෑ. මොකද මොන විදිහේ දියුණු රටකට වුණත් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවත්වාගෙන යන්න අපහසුයි. මේ ගැන හොඳ උදාහරණයක් හැටියට ගන්න පුළුවන් රටක් තමයි රුමේනියාව. නිකොලොයි චවුචෙස්කු වගේ නායකයින් අතින් පාලනය වුණ වාමාංශික රටක් වුණු රුමේනියාව අද වන විට පුදුම විදිහට පුළුල්වෙලා. ඒත් එක්ක රුමේනියාවේ අධ්‍යාපනයත් විශාල වශයෙන් විවෘත වෙලා තියෙනවා. පෞද්ගලික අධ්‍යාපනික ආයතන ගොඩනැගීම විතරක් නෙමෙයි රාජ්‍ය විශ්වවිද්‍යාලවල පවා මුදල් අය කරන මට්ටමකට ගිහිල්ලා තියෙනවා. ඉතිං අපි නිදහස් අධ්‍යාපනය රැකගන්න අවශ්‍යයි තමයි. ඒ ගමන් ම පුද්ගලික අංශයේ අධ්‍යාපනික ආයතනයන්ට ඉඩ නොදී ඉන්න බැරි තත්ත්වයකට අද පත්වෙලා තියෙනවා. අපේ රටේ ජනතාව තුළ තියෙන ප්‍රධානතම මතය තමයි තමන්ගේ දරුවාට කෙසේ හෝ උසස් අධ්‍යාපනය ලබාදිය යුතුයි කියන එක. ඒ වගේම උසස් අධ්‍යාපනය කියන්නේ ජීවිතය ගොඩගැනීමට තියෙන එකම මාර්ගය විදිහට සලකනවා. ඒ නිසා තමන්ගේ දරුවාට කෙසේ හෝ උසස් අධ්‍යාපනයේ දොරටුව විවෘත කිරීම තමයි මේ අයගේ කල්පනාව. ඒත් කලින් කිව්වා වගේ මේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වෙන්න පුළුවන්නේ තිස් එක්දාහකට විතර නම් ඒක විශාල ගැටලුවක් නේ.
ඒත් එතනදී වැදගත් වන ප්‍රධාන කාරණයක් තමයි පෞද්ගලික උපාධි ආයතන අවස්ථා නොලද පිරිස වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා ඒ ආයතන හුදෙක් උපාධිකඩ මට්ටමින් පවත්වාගෙන යෑමට ඉඩ නොදී ගුණාත්මක තත්ත්වයෙන් ගොඩනැගීම. එහෙමත් නැත්තං ඒවා විධිමත් ප්‍රමිතියකට ගොනු කිරීම අනිවාර්යයෙන් කරන්න ඕනෑ. ඒ නිසා නිදහස් අධ්‍යාපනය රැකගනිමින්ම මේ සඳහා රජයේ යොමුවීම අත්‍යවශ්‍යයි. තවත් ආකාරයකට කියනවානම් මගේ අදහස වනුයේ ඉහත හිඟය පිරවීම සඳහා යැයි කියමින් තැනින් තැන ප්‍රමිතියකින් තොරව බිහිවන උපාධි කඩ සඳහා අවස්ථාව වළකාලිය යුතු බව.

නිදහස් අධ්‍යාපනය රැකගැනීම කියන කාරණයේදී මූලික වගකීම තියෙන්නේ රජයට විතරද?

නෑ. නිදහස් අධ්‍යාපනය රැකගැනීම කියන කාරණයේදී ප්‍රධාන වශයෙන් මැදිහත් වෙන්න ඕන රජය විතරක් නෙමෙයි. ආචාර්යවරුනුත් ශිෂ්‍යනුත් එතනදි ඉතාම වැදගත් වෙනවා. ඒ අය මේ සඳහා විශාල කාර්යභාරයක් කරන්න අවශ්‍යයි. විශේෂයෙන් ඒක සටන් මාර්ග සහ උද්ඝෝෂණවලට පමණක් සීමාවුණු දෙයක් වෙන්න බෑ. පවත්නා සැබෑ යථාර්ථය තේරුම්ගත් දෙයක් වෙන්න ඕනෑ.
මා හිතන විදිහට මේ වෙලාව වන විට බොහෝමයක් දෙනා උසස් අධ්‍යාපනය තුළින් ඈත්වෙමිනුයි ඉන්නේ. දැන් විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයින් එනවා. ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට දොරටුත් විවෘතවෙමින් තියෙනවා. උදාහරණයක් විදිහට හොරයිසන් කියන උසස් අධ්‍යාපන ආයතනය තුළ මේ අවුරුද්දේ විතරක් ශිෂ්‍යයින් දාහක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ අයට අධ්‍යාපනය ලබන්න රජය විසින් රුපියල් ලක්ෂ අටක ණය මුදලක් ලබා දෙනවා. ඒ සිසුන් මේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එන්නේ ඒ ණය අරන්. ඒ මුදල් ඒ අයට අතටම ලැබෙනවා. ඒක අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා තමයි ඒ අය ඉගනගන්නේ. ඒ නිසා ඔවුන්ට දැනෙනවා අධ්‍යාපනයේ වටිනාකම. මට මතකයි අපි ඉගෙනගන්න කාලේ අපිටත් ණය දුන්නා. පස්සෙ කාලෙක අපි ඒ ණය ගෙව්වා. ඉතිං ශිෂ්‍යයා වෙනුවෙන් රජය වියදම් කරන මුදල ඔවුන්ගේ අතට දීලා ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු මෙහෙයගන්න ඔවුන්ටම ඉඩසලස්වන ක්‍රමයක් තියෙනවා නම් මේ අයට නිදහස් අධ්‍යාපනය ගැන මීට වඩා හැඟීමක් තියෙයි.
ඒ වගේම මේ පෞද්ගලික අධ්‍යාපන ආයතන ඉංග්‍රීසි, පරිගණක විද්‍යාව වගේ දේවල්වලට විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඔවුන් නිශ්චිතවම ඉංග්‍රීසි සහ පරිගණක හැකියාව වගේ මෘදු කුසලතා ඉතාම හොඳ මට්ටමකින් දියුණු කරගෙනයි තමන්ගේ අධ්‍යාපනය අවසන් කරන්නේ. ඉතිං මේ ළමයි එළියට ගියාම රැකියා වෙළෙඳපොළේදී තරග කරන්නේ රජයේ විශ්වවිද්‍යාලවලින් පිටවන සිසුන් එක්ක. ඒ වගේ තැනකදී ඔවුන්ට ප්‍රමුඛත්වය ලැබෙනවා. මොකද අද වන විට රැකියා වෙළෙඳපොළෙන් සියයයට අසූවක් විතර තියෙන්නේ පෞද්ගලික අංශය. ඒ අය වඩා කැමති මෘදු කුසලතා සහ ප්‍රායෝගික හැකියාව තියෙන කෙනෙක් සේවයට බඳවාගන්න. එතනදි ඔහු උපාධිය හදාරපු විශ්වවිද්‍යාල මොනවද කියන එක ඒ අයට අදාළ නෑ.
ඉතිං ඒ වගේ තත්ත්වයක් තුළ රජයේ විශ්වවිද්‍යාලවලින් පිටවන දරුවන්ට රැකියා වෙළෙඳපොළේ නිසි තැන නොලැබී යෑම දිගින් දිගට චක්‍රයක් හැටියට සිද්ධවෙද්දී මේ රටේ ජනතාව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ඈත්වෙන එක නැවැත්විය නොහැකියි. ඒ නිසයි නිදහස් අධ්‍යාපනය රැකගැනීමට අවශ්‍ය නම් නිවැරදි ක්‍රමවේදය හඳුනා ගැනීමට අද දවසේ ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු සමස්ත ශිෂ්‍යයින් බුද්ධිමත්ව කටයුතු කරන්න අවශ්‍ය.

ශිෂ්‍යයාගේ ඉංග්‍රීසි අධ්‍යාපනය සහ පරිගණක හැකියාව වගේ දේවල් පෞද්ගලික අධ්‍යාපන ආයතන සමග තරගකාරීව වර්ධනය කරන්න රජයේ විශ්වවිද්‍යාලවලට තියෙන අපහසුව මොකක්ද? භෞතික සහ මානව සම්පත් අතින් රජයේ විශ්වවිද්‍යාල තවමත් ඉන්නේ අරවාට ළංවෙන්න අපහසු තරමෙන් ඉදිරියෙන්?

අපේ විශ්වවිද්‍යාලවලට එන ශිෂ්‍යයින් කියන්නේ විශාලතම අධ්‍යාපන හැකියාවක් සහිත මේ රටේ සාරය. ඒ නිසා ඔවුන්ගේ හැකියාව පිළිබඳ ගැටලුවක් නෑ. ඒත් ඔවුන්ට තියෙන්නේ ඉංග්‍රීසි පරිගණක මෙන්ම අනෙකුත් මෘදු කුසලතා වගේ දේවල් ගැන ඍණාත්මක ආකල්ප. ඉංග්‍රීසි දැනුම, පරිගණක හැකියාව වගේ දේවල් පුළුල් කරගන්න පෙළඹවීමක් ඔවුන් තුළ නෑ.
විශ්වවිද්‍යාල තුළ තියෙන උප සංස්කෘතීන් වෙනස්කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් අද වන විට මතුවෙලා තියෙනවා. නවකවදය විතරක් නෙමෙයි ඉංග්‍රීසි භාෂාව වගේ දේවල් හැදෑරීමට මේවා මගින් ඇතිකරලා තියෙන නිශේෂධනාත්මක ආකල්ප සහ වාරණයන් අයින් වෙන්න ඕනෑ. මේ උපසංස්කෘතිය ඇතුළේ බොහෝවිට ඉංග්‍රීසියෙන් කතා කිරීම සමච්චලයකිනුයි සැලකෙන්නේ. ඒ නිසා මෘදු හැකියා දියුණු කිරීමේ මාර්ගය දියුණු කරගන්න අවශ්‍ය ශිෂ්‍යයින්ගේම මැදිහත්වීමෙන්.
රැග් සහ ඇන්ටි රැග් කියන ශිෂ්‍ය දෙකොට්ඨාසය අතර තියෙන ඉංග්‍රීසි හැකියාව වගේ දේවල වෙනස මේ ගැටලුවේ වගකීම විශ්වවිද්‍යාලම නොවෙයි කියන සාධකය තවදුරටත් සහතික කරනවාද?
ඔව්. ශිෂ්‍යයින් මේ විදිහට රැග් වුණ සහ රැග් නොවුණ අය වශයෙන් එකිනෙකාට විරුද්ධ කණ්ඩායම්වලට බෙදිලා කටයුතු කිරීම අද විශ්වවිද්‍යාල තුළ තියෙන තවත් ගැටලුවක්. මේ විදිහට කොටස්වලට බෙදිලා ඉන්නේ නැතිව සියලුම අය එකමුතුව එක විදිහට අධ්‍යාපනය ලැබීමයි සිදුවෙන්න ඕන.
ඔබ මතු කළා වගේ, අපි නිරීක්ෂණය කරමින් ඉන්න ඉතාම වැදගත් කරුණක් තමයි රැග් නොවුණ, එහෙමත් නැත්තං ඇන්ටි රැග් ශිෂ්‍යයින් තමයි සාපේක්ෂ වශයෙන් විශ්වවිද්‍යාලවල හොඳ ප්‍රතිඵල ලබන්නේ. සමහරවිට සෙසු ශිෂ්‍යයින්ගෙන් ඔවුන් වෙත එල්ලවෙන කෙණෙහිලිකම්වලින් ඒ අය ලබන පන්නරය ඊට හේතු වෙන්නත් පුළුවන්. විශ්වවිද්‍යාල තුළ ඇති මේ ප්‍රශ්නය හමුවේ ඒ අය තමන්ගේ අරමුණු කරා යන්න වඩාත් නැඹුරු වෙනවා. තවද ඉංග්‍රීසි ඇතුළු සියලුම මෘදු කුසලතාවන් හැකියාවන් අනික් ශිෂ්‍යයින්ට සාපේක්ෂව මොවුන් දියුණු කරගන්නවා. මොකද බොහෝ විට ඒ අය තමන්ගේ සියලු කාලය මිඩංගු කරන්නේ අධ්‍යාපනය වෙනුවෙන්මයි. මේ නිසා ඔවුන් හොඳ ප්‍රතිඵල ලබාගන්නවා. පහුගිය ඉතිහාසයේ කථිකාචාර්ය පත්වීම් ලැබූ අතිබහුතරය මේ ඇන්ටි රැග් ශිෂ්‍යයින් අතුරින් ආ අය.
අනික් අතට මේ විදිහේ අයම දිගින් දිගට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් බවට පත්වීම තුළ අනාගතයේ යම් ගැටලුවක් නිර්මාණය වෙනවා. මොකද ඔවුන් බුද්ධිමය වශයෙන් ඉහළ මට්ටමක පැවතිය ද සාධනීය, සමාජශීලී සහ හැමට එකසේ සලකන ලක්ෂණ ඒ අය තුළ අඩුයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් එය තේරුම් නොගෙන ක්‍රියා කිරීම තුළින් දීර්ඝකාලීනව සමස්ත පද්ධතියටම ඔවුන් සිදුකරන්නේ මහත් හානියක්. අනාගතයේ ඇතිවන මෙම විෂමතාව ඉවත් කරගත හැක්කේ ශිෂ්‍යයින්ට ම පමණක් බව ඔවුන් වටහාගත යුතුයි.
මේකට ප්‍රධාන හේතුව ඒ අයගේ වරදට වඩා පවත්නා ක්‍රමය තුළ විශ්වවිද්‍යාල තුළ ඇති සංස්කෘතිය අත්විඳීමට ඒ අයට අනික් සිසුන් විසින් ඇති කරලා තිබුණ වාරණයන් වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාල පරිසරය රිසි සේ අත් විඳින්නත් සෙසු අය සමග ආශ්‍රය කරන්නත් ඇති කරලා තියෙන වාරණය වෙන්න පුළුවන්. කොයි දේ වුණත් මේ සිසුන් අතරින් වැඩිපුර ආචාර්යවරු පත්වෙන්න පත්වෙන්න අනික් අතින් එය සමස්ත ක්‍රමයටම අභියෝගයක් කියලා ශිෂ්‍ය ව්‍යාපාරය තේරුම්ගන්න අවශ්‍යයි. එහෙම තේරුම් අරන් සියලු සිසුන් එක කෝවේ දමා කටයුතු කරන්න ඕනෑ. එහෙමත් නැත්තං, එක ශිෂ්‍ය කොටසක් බෙදා කටයුතු නොකරන්න පියවර ගන්න ඕනෑ. ඒක බලෙන් හෝ පහරදීලා හෝ බලය පාවිච්චි කරලා කරන්න බෑ. එහෙම කරන්න ගියාම වෙන්නේ ඒ ශිෂ්‍යයින් තවදුරටත් ඈත්වෙන එක විතරයි.

රටේ පැරණිතම විශ්වවිද්‍යාලය හැටියට මේ වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලය අවුරුදු හැත්තෑ පහ සපුරලා තියෙන්නේ. ඒ ගමනේදී අලුතින් ඉපයූ දේවල් මොනවාද?

පේරාදෙණිය විශ්වවිද්‍යාලය පහුගිය කාලයේ ලංකාවේ විශ්වවිද්‍යාල දර්ශකය තුළ තිබුණේ තුන්වන හතරවන තැන්වලට පහුබැහැලා. ඒත් ගෙවීගිය කාලය තුළ පේරාදෙණිය ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලය හැටියට ඔසවා තබන්නත් ඒක පවත්වාගෙන යන්නත් අපිට පුළුවන් වුණා. විශේෂයෙන් අපි පහුගිය කාලයේ පාඨමාලා සංවර්ධනය සහ පාඨමාලා නවීකරණය වේගවත්ව කරගෙන ගියා. ඒ දේ මේ කාරණාවටත් විශේෂයෙන් බලපෑවා කියලා හිතන්න පුළුවන්.
ඒ වගේම අපි දැන් සිදුකරමින් යනවා පේරාදෙණියේ සිදුකරන පරීක්ෂණ සහ නව නිර්මාණ, පරීක්ෂණ පත්‍රිකාවකට හා පොතකට සීමා නොකර වෙළෙඳ නිෂ්පාදනයක් හැටියට ගොඩනගන වැඩපිළිවෙළක්. උදාහරණයක් විදිහට අපේ විශ්වවිද්‍යාලය නිර්මාණය කරලා තියෙනවා කෘත්‍රිම අතක්. ඒ වගේම අපි නිපදවලා තියෙන ජාත්‍යන්තර සම්මානයකටත් භාජනය වුණු තවත් උපකරණයක් තමයි අත්වල තියෙන විෂබීජ ජීවානුහරණය කරන උපකරණය. මේ උපකරණය ශල්‍යාගාරයකට හයි කළා කියලා හිතමු. ශල්‍යාගාරයට ඇතුළුවෙන ඕනෑම කෙනෙක් තමන්ගේ අත් දෙක සියයට සීයක් අදාළ යන්ත්‍රය මගින් ජීවානුහරණය කරගන්න පුළුවන්. ඔහුගේ දෑත් සීයට සීයක් ජීවානුහරණය වුණේ නැත්තං දොර විවෘත වෙන්නේ නෑ. මේ විදිහේ අපේ සොයාගැනීම් රාශියක් නිෂ්පාදන හැටියට දියුණු කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා.
අපි දැන් අලුතින් වැඩපිළිවෙළක් ආරම්භ කරමින් ඉන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දිගුවක් කොළඹ පිහිටුවන්න. විශේෂයෙන් ඒකේ අරමුණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගන්න කැමති නමුත් පේරාදෙණියට එන්න අපහසු බොහෝ අයට පශ්චාත් උපාධි ආදී විවිධ පාඨමාලා කොළඹදී ම කරන්න පහසුකම සලසා දෙන්න. ඒ වගේම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගෙන් පස්සේ අපිට බැරිවුණා විශ්වවිද්‍යාල මුද්‍රාව යටතේ හරි විදිහේ කලා නිර්මාණයක් එළියට දාන්න. ඒත් දැන් අපි ඉතාම අපූරු නාට්‍යයක් පුහුණු කරමින් ඉන්නවා අපේ මුද්‍රාව යටතේ එළියට දාන්න. ඒක නුදුරේදීම රට වටේ ම පෙන්වන්න නියමිතයි.
ඒ වගේම අපිට පහුගිය කාලයේ තිබුණ විශාලම ගැටලුවක් සහ අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා මැදිහත්වෙන්න සිදුවුණ දෙයක් තමයි බණ්ඩාරනායක ළමා රෝහලේ මාහාචාර්ය ඒකකය පිහිටුවීම කියන කාරණය. එහෙත් අපිට මේ වනවිට පුළුවන් වෙලා තියෙනවා අදාළ ඒකකය සාර්ථකව පිහිටුවන්න. ඒ වගේම කාලයක් පුරා ඔඩුදුවපු සමසෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන්ගේ සායනික පුහුණුව පිළිබඳ ගැටලුවත් අපි මේ වන විට විසඳගෙන තියෙනවා සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරලා.
අවුරුදු තිහ හතළිහකින් පිළිසකර කරන්න බැරිවුණු විශ්වවිද්‍යාල නේවාසිකාගාර දැන් අපි පිළිසකර කරමින් ඉන්නවා. ඒවගේම අලුත් නේවාසිකාගාර තුනක් ගොඩනගන්නත් පුළුවන් වුණා. ඒ වගේම සම්පූර්ණයෙන් පරිගණක ගත කරනු ලැබූ නව පුස්තකාල පද්ධතියක් සහ විශ්වවිද්‍යාලය සඳහා කෞතුකාගාරයක් ගොඩනැගීම වගේ කටයුතු රාශියක් දැන් සිදුවෙමින් යනවා. ඒ වගේම ශිෂ්‍යයින් සමග කටයුතු කිරීමේදී අපි අපේ සීමාව තුළ කටයුතු කළ හැකි ගැටලු සහ ජාතික සීමාව තුළ කටයුතු කළ හැකි ගැටලු වශයෙන් පැහැදිලිව කොටස් දෙකකට බෙදාගනිමින් ඒ කාර්යය කරන්නේ. එතනදි අපි අපි විසින් විසඳිය යුතු ප්‍රශ්න හඳුනාගනිමින් අපේ සීමාව තුළ විසඳුම් හොයනවා. ඒ නිසා එකම ප්‍රශ්නයෙන් ආයෙ ආයෙත් පීඩා විඳින්න අපි ළමයින්ට ඉඩ දෙන්නේ නෑ. ඒ වගේම ජාතික තලයේ විසඳාගත යුතු ප්‍රශ්න විසඳීමේදී අපි ඒවාට අත පොවන්නේ නෑ. ඒ ප්‍රශ්නවලට විශ්වවිද්‍යාල පරිපාලනය විදිහට අපි මැදිහත් නොවී ඒවා රජයට විසඳගන්න ඉඩ දීලා තියෙනවා.