රාවය

මීටර් අවුට් කළ ත්‍රීවීල් මීටර් කතාව

මීටර් අවුට් කළ ත්‍රීවීල් මීටර් කතාව

දිනී ජයසේකර

“සීසන් එක නිසා මේ දවස්වල හයර් ටිකක් අඩුයි. ඒ මදිවට රජයත් අපිටම කෙණෙහිලිකම් කරන්න පුරුදු වෙලා. ඒ නිසා දැන් මේක රස්සාවක් විදියට කරන්න අමාරු තත්ත්වයක තියෙන්නේ.”
එකවරම ත්‍රීවීලය පදවමින් සිටි රියදුරු මා හට එසේ පැවසීය. මා ඒ ඇයි යැයි ඇසුවේ හිතේ නලියන උභතෝකෝටික ප්‍රශ්න එකින් එක මතුකරමිනි.

ත්‍රීවීල්

1978 සහ 1979 කාල වකවානුව තුළ ත්‍රීවීල් කර්මාන්තය ලංකාවට හඳුන්වාදීමක් සිදුවේ. එය හඳුන්වා දෙන්නේ හෙප්තුල්ලා බෝයිලාය. එහිදී මුලින්ම ටැක්සි කම්පැණියක් ආකාරයට ත්‍රීවීල් කර්මාන්තය පටන් ගත්හ. එදා ලංකාවේ කුලී රථ ව්‍යාපාරය තිබුණු සියලුම ගුණාංග සහිතව මේ ටැක්සි ව්‍යාපාරය පටන් ගත් අතර එකල බරවාහන බලපත්‍රවලට පමණක් ත්‍රීවීල් පැදවීමේ හැකියාව හිමි වූවේය.
ඬේවිඞ් පීරිස් මහතා විසින් පෞද්ගලිකව ත්‍රීවීල් පැදවීම රියදුරන්ට පුරුදු පුහුණූ කළ අතර ඒ කාලය තුළ ත්‍රීවීල් පැදවීමේ හැකියාවක් කිසිවෙකුටත් නොතිබුණි. මේ කාරණය නිසා ත්‍රීවීල් පැදවීම කොටසකට පමණක් සීමාව පැවතිණ. ඕනෑම දෙයක් යම්කිසි ආයතනයක් මගින් ක්‍රියාත්මක කරන විට එහි ගුණාත්මකභාවය වැඩි බව සත්‍යය. එම නිසා එවකට ත්‍රීවිල් රැකියාව විධිමත් ගුණාත්මකභාවයකින් පැවති බව පැහැදිලිය.
1981 කාලවකවානුව තුළදී ත්‍රීවීලයක මිල රුපියල් පනස් දහසකි. මෙය පෞද්ගලීකරණය වීම ආරම්භ වූවේ මේ වකවානුව තුළදීය. එයට හේතුව මහජන බැංකුව විසින් ණය මුදලක් ලබාදීමට තීරණය කිරීමය. ඒ කාලයේදී රජයේ රැකියාවලින් ඉවත් වූ බොහෝ දෙනෙක් ණය තීරණය මත ත්‍රීවීල් මිලදී ගැනීමට පෙළඹිණි. එහිදී පෞද්ගලික ත්‍රිරෝද රථ හිමිකරුවන් පාරට බැසීම තුළින් ආයතනයක් මගින් විධිමත්ව සිදුවූ ක්‍රියාවලිය වෙනස් අතකට යොමුවිය. ආයතනයක් මගින් ක්‍රියාත්මක කරන තාක් ත්‍රීවිල් රැකියාව විධිමත්ව පැවති නමුත් පසුව එය පෞද්ගලිකරණයවීමත් සමග ත්‍රීවීල් රැකියාව අසීරු විය. සහ එය ස්වයං රැකියාවක් බවට පත් විය.

ත්‍රීවීලරයට බිලක්

හදිසි අවස්ථාවකදී ගාන විමසා බලා ත්‍රීවීලයෙන් ගමනක් යාමට කිසිවකුත් පුරුදු වී නොමැති බව සත්‍යය. හුදෙක් අවශ්‍යතාවක් සඳහා ත්‍රීවීලයකට ගොඩවන විට මීටරේ තියෙනවාද? ගාණ කීයද? යනුවෙන් ප්‍රශ්න කිරීමට බොහෝ දෙනෙක් පෙළඹෙති. මීටරේ තියෙනව නම් ගාණ එහි සටහන් වෙනවා නම් තවත් බිලක් අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණාව දැන් ඔවුනට ගැටලුවකි. මේ සම්බන්ධව ත්‍රීවීල් රියදුරෙකු වූ දිනේෂ්ගේ අදහස මෙසේය.
“අපේ ත්‍රීවීල්වලට උදේම නගින්නේ රජයේ රස්සාවල්වලට යන අය. ඒ අය ත්‍රීවීල් ඒකෙන් බහින්නේ හරියටම අටට කලින් ඇඟිල්ල තියන්න යන්න බලන්. ඉතිං එහෙම යන මිනිස්සු ත්‍රීවීල්වලට නගිද්දී බිලක් දෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. බිල එනකන් විනාඩි ගාණක් ඒ මිනිස්සු මෙතන රැඳෙයි කියල හිතන්න බැහැ. ඉතිං බිලකින් ඇති වැඬේ මොකද්ද කියල අපිට හිතාගන්න බැහැ. අනික ගෙවල්වලට යන මිනිස්සුන්ට බිලක් මොකටද? මීටරේ ගාණ තියෙනව පේන්නම. ඒ ගාණ ඇරෙන්න ඊට අමතරව අපි සතපහක් ගන්නේ නැහැ. ඉතිං මම හිතන්නේ නැහැ මේ වැඩපිළිවෙළ ඒ තරම් විධිමත් වැඩපිළිවෙළක් කියලා. රටේ විසඳන්න වෙන ප්‍රශ්න නෑ වගේ දුප්පත් අපිටම ප්‍රශ්න දානවා. මේ වැඩපිළිවෙළ යොදලා ඇත්තේ අනිවාර්යෙන්ම අපිව වට්ටලා තව හොඳ ව්‍යාපාරිකයෙක්ව ගොඩ දාන්න වෙන්න ඇති. අපි මධ්‍යම පාන්තිකයෝ විදියට එයාලගේ බලපුළුවන්කාරකම්වලට තැලි තැලී ඉන්නවා. රජයක් වුණහම මීට වඩා විධිමත්ව වැඩ කරන්න වුවමනයි කියල මම නම් හිතන්නේ.”

මීටර් විකාශනය

පළමුවරට ලංකාවට ත්‍රීවීලය පැමිණියේ මෙකැනිකල් ටැක්සි මීටරයක් සහිතය. පසුව මෙම මෙකැනිකල් ටැක්සි මීටරය වංචා කිරීමකට ලක්වෙන අතර පාරිභෝගිකයෝ මීටරය කෙරෙහි ඇති විශ්වාසය අහිමි කර ගත්තෝය. එහිදී රියදුරා සහ පාරිභෝගිකයා අතර මිල ගණන් සම්බන්ධව අවබෝධයකට ලක්වූවේ කතාබහකිනි. පෞද්ගලික හිමිකරුවන් ත්‍රීවීල් ධාවනයේ යෙදීමත් සමග හිතුමතේ මිල මුදල් තීරණයවීමක් සිදුවන තත්ත්වයකට පත් වූවේය. මෙම ක්‍රියාවලිය නිසා වෘත්තීය ගරුත්වය එහෙම් පිටින්ම සේදීමකට ලක්වෙන බව සත්‍යයය. අදටත් මේ තත්ත්වය සමහර අවස්ථාවලදී එහෙම පිටින්ම දක්නට ලැබේ. මේ සම්බන්ධව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමේ සභාපති ලලිත් ධර්මසේකර දැක්වූවේ මෙවැනි අදහසකි.
“2005 ජනවාරි 05 සමස්ත ලංකා ත්‍රිරෝද රියදුරන්ගේ සුබසාධක සංගමේ අපි තමයි ඩිජිටල් ගාස්තු මීටරය හඳුන්වා දුන්නේ. මේ මීටරෙන් අපි අවුරුදු තුන හතරක් දුවනවා. ඊටපස්සේ අපේම මනුස්සයෙක් ඇවිත් යෝජනාවක් කරනවා. අපිට මේ වගේ මීටරයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා. මම කියනවා අපිට ඒක තමයි වුවමනා. එහෙනම් ඔබතුමා ඒක හදන්න පටන් ගන්න කියලා කියනවා.”
ලින්ක් මීටර්
ලින්ක් මීටරය දේශීය නිෂ්පාදනයකි. මෙම මීටරය නිසා අඩු මුදලක් මගින් හොඳ සේවාවක් ලබා ගැනීමේ හැකියාවක් පාරිභෝගිකයාට හිමිව ඇත.
“මේ මීටර්වලට අද වගේම එදත් විරුද්ධත්වයක් තිබුණා. ඒත් අපි එකඟ වුණා. ඒ එකඟ වෙන්න හේතුව වුණේ 2003 ප්‍රවාහන අමාත්‍යාංශය විසින් කියනවා අපි ගාස්තු මීටරයක් හඳුන්වාදෙනවා කියලා. එතකොට මම කියනවා මූලික අවශ්‍යතා ඉටුකරන් නැතිව අපි ගාස්තු මීටර්වලට විරුද්ධයි කියලා. මොකද ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. අපි ඊට පස්සේ 2005 මීටරේ චෙක් කළා. එදායින් පස්සෙ මීටරේ අනිවාර්යයක් බවට පත්වුණා.”
ත්‍රිරෝද රථයකට බිලක් සහිත මීටරයක් සවි කිරීම සුදුසු වූවත් බස් කොන්දොස්තර බිලක් කඩනවා වගේ වැඩපිළිවෙළක් නම් එය සාර්ථකත්වයක් නොමැති වැඩපිළිවෙළක් බව පැහැදිලිය. මගියාගේ අවශ්‍යතාව පරිදි බිලක් නිකුත් කරන්නේ නම් එය සාර්ථක වැඩපිළිවෙළකි.

වෘත්තීය රියදුරා

දවසට රුපියල් එක්දාස් පන්සියයක් දෙදහක් වැනි මුදලක් සොයාගන්නා මොවුන් ස්වයං රැකියාවක් විදියට ත්‍රීවීල් හයර් කරයි. දවස අවසානයේ වියදමට සරිලන මුදලක් ඔවුන් අතැතිව ඇතැයි සිතීම අපහසු කාර්යයකි. එහෙත් මේ වනවිට ත්‍රිරෝද රථ පෞද්ගලිකරණයවීමත් සමග වෘත්තීය ත්‍රීවීල් රියදුරන්ට කණකොකා හැඬීම කනගාටුදායක තත්ත්වයකි. මේ සම්බන්ධව ත්‍රීරෝද රථ රියදුරු ඇන්ටන්ගේ අදහස මෙසේය.
“අපිට දවසට හම්බෙන්නේ රුපියල් දෙදහක් විතර. ඒකෙන් හයසියක විතර තෙල් ගහන්න ඕනෑ. එතකොට ඉතුරු එක්දහස් හාරසියයි. මේකෙන් ගෙදරට කන්න බොන්න ගෙනියන්න ඕනෑ. තව වාහනේ ගෙවෙන බඩු දාන්න ඕණෑ ගත්ත ණය ගෙවන්න ඕනෑ. කලින් ලින්ක් මීටරේ රුපියල් දොළොස්දාහක්. ඒක දාගන්න දවස් පොලියට ණය ගත්තා. ඒවට දවසට පන්සීයක් වගේ ගාණක් ගෙවන්න ඕනෑ. දැන් කියනවා ආයේ මීටරයක් දාගන්න කියලා බිලක් දෙන්න පුළුවන් විදියට. වාහන නඩත්තුවයි, පවුල් නඩත්තුවයි මේ සේරම කරන්න ඕනෑ මේ වාහනෙන් හම්බෙන සොච්චම් ආදායමෙන්. සමහරු කුලියට හයර් දුවනවා. ඒ අය දවසට පන්සීයක් ගෙවන්න ඕනෑ. ඉතිං මේ හැමදේම කරලා අපිට ඉතුරුවක් නැහැ.”
වෘත්තීය ත්‍රීවීල් රියදුරෙක් යනු සැමදා පාරිභෝගිකයාගේ ප්‍රවාහන අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම සඳහා කැපවන්නෙකි. මොවුන්ගේ වාහන නඩත්තුවට වැයවන මුදලත් සමග බලන විට දවසේ වියදමවත් පියවා ගැනීමට හැකියාවක් ඇතැයි සිතිය නොහැක. එහිදී රජය විසින් නිකුත් කරන්නා වූ මෙවැනි වැඩපිළිවෙළවල් රියදුරන් අපහසුතාවට ලක් නොවන පරිදි ක්‍රමවත් හා විධිමත්ව හඳුන්වාදිය යුතුය.

10 වගන්තිය

2017 සැප්තැම්බර් 08 වන දිනයේ නිකුත් වූ ගැසට් එකේ සඳහන් පරිදි ප්‍රින්ටරයක් සහිත ගාස්තු මීටරයක් සම්බන්ධව කොහේවත් සඳහනක් නොමැත. 10.1 වගන්තිය පරිදි ගාස්තු මීටරයක් අනිවාර්ය වේ. 10.2 වගන්තිය පරිදි මගියාගේ අවශ්‍යතාව පරිදි අදාළ මුදලට ඉල්ලූ විට රිසිට්පතක් නිකුත් කිරීම වගකීම වන්නේය යන්නයි.
“මේ වගන්තිය පරිදි බලධාරීන් මොකද කළේ. වගකීම වන්නේය කියන කෑල්ලට කොටසක් එකතු කළා ප්‍රින්ටරය සහිත ගාස්තු මීටරයක් අනිවාර්ය කළා කියලා. මෙහෙම ගැසට් එකේ කොහෙවත්ම සඳහනක් නැහැ. එහෙත් මාධ්‍යයි බලධාරීනුයි එකතු වෙලා නිව්ස් එක ගැහුවේ ප්‍රින්ටරයක් සහිත මීටරයක් අනිවාර්ය වේ සහ හැම කෙනෙකුටම බිලක් නිකුත් කළ යුතුයි කියලා. අඬන්න හිටපු මිනිහට ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ දැන් වෙළෙඳපොළේ හැමතැනම කතාවෙනවා බිලක් මොකටද ප්‍රින්ටරයක් අනිවාර්යෙන් ගන්න ඕනද කියලා. මගියාගේ අවශ්‍යතාව පරිදි බිලක් නිකුත් කිරීම පමණයි සිදුවිය යුත්තේ. නැතුව හැම මගියෙකුටම බිලක් නිකුත් කරන්න කියල නැහැ. එහෙම එකක් නීතියෙන් අනිවාර්ය කරලත් නැහැ. නීතියේ නැති කෑලි දාලා මිනිස්සුන්ව ව්‍යාකූල කළේ බලධාරීන් මාධ්‍යයත් එක්ක එකතුවෙලා.” එසේ කීවේ ලලිත් ධර්මසේකර මහතාය.

ගාස්තුව

විවෘත වෙළෙඳපොළේ ඉල්ලුම සැපයුම අනුව මිල ගණන් ඉතා ඉක්මනින් වෙනස් වනසුලුයි. එහෙම අවස්ථාවකදී ත්‍රිරෝද රියදුරන්ගේ අදහස වන්නේ සියලුම මීටර් සඳහා එක මිලක් නියම කර ගත යුතුයි කියන කාරණාවයි. පළමු කිලෝ මීටරයට මීටර් සහිත ත්‍රිරෝද රථ ගාස්තුව තිහ, තිස් තුන, තිස් පහ සහ හතළිහ. හැමෝගේම අදහස අනුව අන්තිම හතළිහේ තැබිය යුතුයි කියන කාරණාව පැහැදිලිය. ඊට වඩා අඩුවෙන් අය කිරීම් සිදු නොකළ යුතුය යන්න ඔවුන්ගේ අදහස විය. එහෙත් වෙනස්වන තරගකාරී වෙළෙඳ පොළත් සමග එකම මිලක රැඳීම කළ නොහැකිය. මේ සම්බන්ධව අපට හමුවූ දිනේෂ් මෙසේ කීවේය.
“මීටරේ ඇවිත් දැන් අවුරුදු කීයක්ද? ඒත් එකසිය පනහෙ දුරට තවමත් එකසිය පනහයි. ඒත් තෙල් මිල එක දිගට වෙනස් වෙනවා. ඒත් එක්කම බස් එකේ රුපියල් දහයේ දුර දොළහ කරනවා. මොකද එයාල එහෙම වැඩි නොකළොත් උද්ඝෝෂණ කරන නිසා. ඒත් අපි උද්ඝෝෂණ කරන් නැති නිසා වෙන්න ඇති මිල ගණන් වැඩිවීම සම්බන්ධව කිසි කතාබහක් නැත්තේ. හැබැයි ඒ අස්සෙ අලුත් අලුත් මීටර් නම් හඳුන්වා දෙනවා. ඒත් අපේ හයර් එක එදත් එතනමයි. අදත් එතනමයි. කිසි වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි සේරම බදු අපි ගෙවනවා රජයට.”

බදු

“අපි ත්‍රීවීල් එකක් ගන්නකොටත් බදු ගෙවනවා. අවුරුද්දකට සැරයක් ආදායම් බලපත්‍රය ගන්නවා. ඉන්ෂුවරන්ස් කරනකොට ඒකට අදාළ බද්දත් ගෙවනවා. ටයර් දානකොට ඒකට අදාළ බද්දත් ගෙවනවා. පෙට්‍රල් ගහනකොට ඒ අදාල බද්දත් ගෙවනවා. මේ සේරම බදු ගෙවලත් අපිට තව මීටරයකටත් වියදමක් දරන්න වෙලා. මේක හරි අසාධාරණ වැඩපිළිවෙළක්. එක්කෝ අපිට ඒ මීටර් නොමිලේ දෙන්න ඕනෑ. එහෙම නැත්නම් ත්‍රීවීල් ගෙන්වනකොට මේ ත්‍රීවීල් එකටම මේ මීටරේ සම්බන්ධ කරලා එවන්න ඕනෑ. එහෙමත් නැත්නම් මේ ත්‍රීවීල් කියන වාහනය නැත්තටම නැති කරල දාන්න ඕනෑ. අපි හැමෝම දැන් බදු කරේ තියන් තමා ජීවත්වෙන්නේ.”