රාවය

ආණ්ඩුව පෙරළන්න යන එක විහිළුවක් – ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

ආණ්ඩුව පෙරළන්න යන එක විහිළුවක් – ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

නිමල් අබේසිංහ
ඡායාරූප – ටී. නඩරාසා

අගමැතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙනෙන ලද විශ්වාසභංගය ජයග්‍රහණය කරන බවට ඒකාබද්ධ විපක්ෂය උදම් ඇනුවත් එය දිනාගන්න නොහැකි වුණා. එහෙම වුණේ ඇයි?

අපි ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ඒකාබද්ධ විපක්ෂයේ එකඟතාව ඇතිව. ඒ වගේම අපි බලාපොරොත්තු වුණා මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා. මගේ පෞද්ගලික මතය මේ විශ්වාසභංගය ගෙන ඒම ටිකක් පරක්කු කරන්න තිබුණා කියන එකයි. මොකද මැතිවරණ ප්‍රතිඵලයත් එක්කම රනිල් වික්‍රමසිංහ මහත්තයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය තුළම කැරැල්ලක් මතුවී තිබුණා. ඒක මතුවෙනකොට මේ විශ්වාසභංගය යටපත් වුණා. තව අපිට කාලයක් තිබුණා නම් රනිල්ට විරුද්ධව රටේ මතවාදයක් හදන්න තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් ඔය තත්ත්වය තව වර්ධනය වෙන්න තිබුණා. ජාතික ආණ්ඩුවක් තුළ මේ අර්බුදය මතුවෙලා රනිල්ව එලවන්න නම් අපිට වුවමනාව තියෙන්නේ ඉස්සරලම රනිල්ට විරුද්ධව ඒ බලවේග දෙක ගොඩ නගන්න ඕනෑ. තව ටිකක් කල්ගියා නම් ගම්වල පැරදිච්ච මන්ත්‍රීවරු ආසන සංවිධායකයො එකතුවෙලා මේ බලවේගය ගොඩනැගෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රෙෂර් එක ආණ්ඩුවට දෙන්න හම්බවුණේ නෑ. මේක ගේනවයි කියලා රංගේ බණ්ඩාරලා වසන්ත සේනානායකලා කතා කරන කොට මේක යටපත් වුණා කියන එකයි මම විශ්වාස කරන්නේ. හැබැයි මේ විශ්වාසභංගය මුල්කරගෙන ආණ්ඩුව තුළ බෙදීමක් ඇතිවුණා. ඒක විශ්වාසභංගය හින්දමත් නෙවෙයි පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් එක්කම ආණ්ඩුව බෙදුණා. මේ නිසා විශ්වාසභංගය දිනන්නත් ඉඩ තිබුණා. පරදින්නත් ඉඩ තිබුණා. මොකද අපිට පුළුවන් ජනතාවත් එක්ක ඩීල් එකක් දාන්න. ඔවුන් අප කෙරේ විශ්වාසය තිබ්බා. හැබැයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 එක්ක එහෙම කරන්න බැහැ. හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මුදල් ලැබෙන කොට වෙනස් වෙනවා. තනතුරු ලැබෙන කොට වෙනස් වෙනවා. වරප්‍රසාද වරදාන ලැබෙනකොට වෙනස් වෙනවා. ඉතින් ඒ අයත් එක්ක මේ ගනුදෙනුව කරන කොට මට සැකයක් ඇතිවුණා.
අනික මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කැමැත්ත තියෙන්නේ අගමැති, ධුරයේ තියාගන්න. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තවදුරටත් රනිල් වික්‍රමසිංහව පරාද කරවන්න කටයුතු කරන්නේ නැහැ කියන විශ්වාසය මගෙ තිබුණා. මම ඒක පක්ෂයේදීත් කීවා. හරියටම පක්ෂය විශ්වාසභංගය ගේනකොට තුනෙන් දෙකක් ඉතුරු වන සේ තමයි ඉතුරු ටික අපට එවල තියෙන්නේ. මම කීවේ මේක ජයග්‍රහණය කරනවද නැද්ද කියලා තීන්දු වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගන්නා වූ තීන්දුව මත කියලා. ඒකම තමයි වුණේ. අවසානයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පැත්තකට වුණා. අවසානයේදී වුණේ අර 16 දෙනා විතරක් නොවෙයි ගම්වල බලාපොරොත්තු තියාගෙන හිටපු මිනිස්සුන්වත් කලකිරෙව්වා. ඒ නිසා සම්පූර්ණයෙන් ඒකෙ වගකීම ජනාධිපතිවරයා භාරගන්න ඕනෑ. මේ රටේ ජනතාව අපෙන් අහන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහ බැංකු හොරකමට රනිල් වික්‍රමසිංහ මහත්තයා රවි කරුණානායක ඇතුළු කණ්ඩායම සම්බන්ධයි කියලා දැන දැනත් අවස්ථා තුනකදී මේ ආණ්ඩුව බේරාගෙන තියෙනවා. දින සීයේ ආණ්ඩුව පිහිටුවලා බහුතර මන්ත්‍රී සංඛ්‍යාව අපිට තිබෙද්දී මන්ත්‍රීවරු 46ක් හිටපු රනිල් වික්‍රමසිංහව අගමැති කෙරුවා. ඒ හරහා ඔහු විසින් නිර්දේශ කරලා ජනාධිපතිවරයා මහ බැංකු අධිපතිකමට මහේන්ද්‍රන්ව පත්කෙරුවා. ඒ කරලා පෙබරවාරි මාසෙ වෙනකොට මහ බැංකු හොරකම වුණහම පාර්ලිමේන්තු ගෲප් එකේ සාකච්ඡා වුණහම හොරකමක් කියලා දැන දැන දෙවැනි පාරත් රනිල්ව අගමැති කරන්න කටයුතු කෙරුවා. ඒ හරහා රනිල්ගේ නිර්දේශය මත නැවත වතාවක් මහ බැංකු හොරාව දෙවැනි වතාවට පත් කෙරුවා. තුන්වැනි පාරට මේ විශ්වාසභංගය හරහා නැවත වතාවක් මේකේ මහමොළකරු රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට තිබූ අවස්ථාව නැතිකර ගත්තා, ජනාධිපතිවරයා විසින් ඔහුව රැකගත් නිසා. ඉදිරියටත් ජනාධිපතිතුමාගෙත් එක්සත් ජාතික පක්ෂයෙත් ආණ්ඩුව පෙරළන්න හදනවා නම් ඒක විහිළුවක් බවට පත්වෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙකුටත් ප්‍රතික්ෂේප කිරීමට නොහැකි ආකාරයේ බරපතළ මූල්‍ය අවභාවිතාවන් ගැන චෝදනා එල්ල වී තිබෙනවා. ඔබ ඒ ගැන මොකද කියන්නේ?

ජනාධිපතිතුමාට තිබුණේ උසාවියේ වැරදිකාරයෙක් වෙන්නේ නැතිව වැරදිකාරයෙක් කරන්න බෑ කියලා. ඒක කියන්නේ මේ ආණ්ඩුවට චෝදනා ආපුවහමනේ. 2015 ජනවාරි 08 ඉඳන් ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරීන්ට චෝදනා නැතිවත් හොරු කීවානේ. ජනාධිපතිවරණයට ඉස්සරලා මහින්ද මහත්තයට රාජපක්ෂ පවුලටම හොරු කියලත් බැන්නනේ. එතකොට ඔවුන් කීවේ නෑනේ චෝදනා ලබල තිබ්බට වැරදිකාරයෙක් වෙන්නේ නෑ කියලා. ඊළඟට දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 03ක් වෙනවා. නඩු අහනවා. නඩුවලින් වැරදිකාරයෝ වෙච්ච කට්ටියක් නෑ. මගේ පෞද්ගලික අත්දැකීම මට නඩු දෙකක් දාලා තිබ්බනේ. මගේ පළමුවැනි නඩුව ඒ අයම ඉල්ලා අස්කර ගත්තනේ. මගේ දෙවැනි නඩුවත් රාජ්‍ය දේපොළ එහෙම නැත්නම් මුදල් අයථා පරිහරණය ඒවා මුකුත් නෙමෙයි. මගේ පෞද්ගලික ව්‍යාපාරයක් පිළිබඳ ඇතිවෙච්ච ප්‍රශ්නයකදී අද හොරා පැමිණිලිකාරයා වෙලා පැමිණිලිකාරයා හොරා වෙලා. මේ නඩුව දැම්මේ පාර්ලිමේන්තු මැතිවරණය වෙලාවෙ. මට අධිකරණය ගැන විශ්වාසයක් තියෙනවා මට සාධාරණය ඉටුවෙයි. ඒ වගේ කීදෙනෙක් මෙතන ඉන්නවද? ඒත් කවුරුහරි වැරදි කරලා තියෙනවා නම් දඬුවම් ලැබිය යුතුයි කියන මතයේ මම ඉන්නවා.

එහෙමනම් බැසිල් රාජපක්ෂගේ ගම්පහ කාර්යාලය රජයට පවරගෙන තිබෙනවද?

නෑ. වැරදීමක්. රජයට පවරගෙන නෑ. ඒක සම්බන්ධ නඩු දෙකක් යනවා. අදටත් කාර්යාලය තියෙන්නේ ඩී.ඒ. රාජපක්ෂ පදනමේ නමින්. එතකොට මේ සම්බන්ධ නඩුවක් තියෙනවා. ඒ ඉඩම අපේ පක්ෂ කාර්යාලය බවට පත් කරන්න අපි බදුගන්න සූදානමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් උසාවියට කරුණු ඉදිරිපත් කරලා තීන්දුවක් දෙන්න කියලා උසාවියෙන් අපි ඉල්ලා තියෙනවා. ගම්පහ ඉඩම සම්බන්ධවත් අද නඩුවක් යනවා. මේ එකකින්වත් වැරදිකාරයා වෙලා නෑ.
අනෙක් චෝදනාව මොකක්ද සිල්රෙදි බෙදා දුන්නා කියලා. ඊළඟට පළාත් පාලන ආයතනවලට බට දුන්නයි කියලා. මේවනේ මේ නඩු. මහ බැංකු හොරකම වගේ රටම විනාශ වන පැමිණිලි වගේ නෙවෙයිනේ මේවා. එතුමා මේවට මුහුණ දෙනවා. කාටවත් එතුමට චෝදනා කරන්න බැහැ. එහෙම කරනවා නම් මේ ආණ්ඩුවේ ඉන්නවා ඊට වඩා.

ඔබත් නියෝජනය කළ රාජපක්ෂ ආණ්ඩු සමයේදී හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහකිරීමට ගත් ක්‍රියාමාර්ගයත් අතිශය නීති විරෝධී බව නීති ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ මතයයි. එය ඔබ තවමත් සාධාරණීකරණය කරනවාද?
මගේ පෞද්ගලික මතය එය වෙනස් විදියකට කරන්න තිබුණා කියන එක. ඒ වගේම තමයි මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කළේ ඊට වඩා භයානක විදියට. අරක කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කටයුතු කරලයි. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සේ ශිරාණි බණ්ඩාරනායක පත්කරලා මොහාන් පීරිස් විශ්‍රාම යැව්වා. හැබැයි මම දන්නා තරමින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කරන්න ක්‍රමවේදයක් අනුගමනය කළා. හැබැයි ඒක කොයිතරම් දුරට හරිද වැරදිද කියන එක මම දන්නේ නෑ. එහෙත් විවිධ මත තියෙනවා. සමහර අය හරි කියනවා. සමහර අය වැරදියි කියනවා. දන්නේ නැති නිසා මා ඒ පිළිබඳ කතා කරන්නේ නෑ.
පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීම උදාහරණයකට ගත්තොත් මහජන මුදල් යොදවා සිල් රෙදි බෙදාදීම වැනි නීති විරෝධී හා සදාචාර විරෝධී ක්‍රියාවන් තවදුරටත් ඔබලා අනුමත කරනවාද? නැතිනම්
මගේ පෞද්ගලික මතය මේ නඩුවේ ඉතිහාසය බලන්න. මේ සම්බන්ධව ජනාධිපතිතුමාගේ නියෝගය දීලා තියෙන්නේ මැතිවරණ දිනය තීරණය කරන්න කලින්. එතකොට ඒ ක්‍රමවේදය අනුගමනය කරගෙන ඇවිල්ලා මේක ජනාධිපතිතුමාගේ අතින් බෙදන එකක් නෙවෙයිනේ. මේක අපි නෙවෙයි බෙදුවේ. ප්‍රාදේශීය ලේකම් හරහා. දේශපාලන අධිකාරිය හරහා බෙදුවේ නෑ. ඉතිහාසයේ ඉඳන් මේ මැතිවරණ කාලවලදී මේ බඩු බෙදාදීම සිද්ධවෙලා තියෙනවා. ඒවාට ඒ කාලේ ක්‍රියාත්මක වෙලා නෑ. හැබැයි දැන් බලනවා. ඒක හොඳයි කියලා මම විශ්වාස කරනවා.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට සූදානම් වන ව්‍යවස්ථා සංශෝධනයේදී ඒකාබද්ධ විපක්ෂයේ කැමැත්ත මොනවගේද?

මේක ඔවුන්ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පමණයි. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් තිබෙනවා. ඒක නියෝජනය කරනවා ඔය ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයා. එතකොට ඒගොල්ලන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඇවිල්ලා ඒ පිළිබඳව කතා කරන්න පුළුවන්. පෞද්ගලික මන්ත්‍රී යෝජනා අවශ්‍ය නෑ.
ප්‍රශ්නය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඔබලා කැමතිද නැතිද කියන එකයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මතය කියන්න කියන්නකෝ රටට. දැන් ඒකම අපෙන් ඇහැව්වොත් ඒක තවම අපි සාකච්චා කරලා නෑ. මොකද මේක පෞද්ගලික යෝජනාවක් මිසක් මේක සාකච්ඡා කරලා ගෙනා දෙයක් නොවෙයි. ව්‍යවස්ථා මණ්ඩලයට මේක ගේනව නම් අපි ලෑස්තියි මේ ගැන සාකච්ඡා කරන්න.