රාවය

පාසල් අධ්‍යාපනය ගැන තවදුරටත් II

පාසල් අධ්‍යාපනය ගැන තවදුරටත් II

වික්ටර් අයිවන්

ලංකාවේ පුනරුදය ව්‍යාපාරය නමින් සමාජ ව්‍යාපාරයක් ඇතිවීමට පෙර පුනරුදය යන යෙදුම ලංකාවේ දේශපාලන ශබ්දකෝෂයේ භාවිත වූ දෙයක් නොවීය. එහෙත් දැන් එය බහුලව පාවිච්චි කෙරෙන ජනප්‍රිය පදයක් බවට පත් වෙමින් තිබෙන්නේ යයි කිවහැකිය. පුනරුද ව්‍යාපාරය ඇතිවීමෙන් පසු එම පදය යොදාගත් පළමු දේශපාලනඥයා වී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා එම පදය යොදාගත්තේ පරිසරය හා කෘෂිකර්මය සඳහාය. එම පෝලිමට අලුතෙන් එකතු වී සිටින දේශපාලනඥයා ලෙස සැලකිය හැක්කේ එජාපයට අලුතෙන් තේරී පත්වී සිටින මහලේකම්වරයා හා අධ්‍යාපන ඇමතිවරයා වන අකිල විරාජ් කාරියවසම්ය. ඒ මහතා එජාපයේ නව ප්‍රවර්ධන වැඩසටහන නම් කර ඇත්තේ පුනරුදයක ඇරඹුම වශයෙනි. කෘෂිකර්මයට හානිකරන වන සතුන්ගේ ගහණය දැඩි ලෙස පාලනය කරන නිර්භීත ප්‍රතිපත්තියකින් හා වසවිස නැති ධාර්මික කාෂිකර්මයක නාමයෙන් නවීන කෘෂිකර්මය අතහැර යල්පැනගිය පැරණි කෘෂිකර්මයට මාරුවන ප්‍රතිපත්තියකින් කෘෂිකර්මයට පුනරුදය උදාකළ නොහැකිය. පාසල් අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යල්පැන ගිය පාසල් ක්‍රමය ඇතුලු යල්පැන ගිය සියලු දේ ආරක්ෂා කරන අධ්‍යාපන ප්‍රතිපත්තියකින් අධ්‍යාපනයට පුනරුදය උදාකළ නොහැකිය. රටේ පුනරුදය උදාකළ හැකිවනු ඇත්තේ සමාජ, ආර්ථික හා දේශපාලන අන්ත වසාගෙන ඇති දූෂිත හා පසුගාමී වන සියලු දේවල් ඉවත්කරන තැනකට යෑමෙන් පමණි.

පාසල් වර්ගීකරණය ගැන තවදුරටත්

පසුගිය කලාපයේ ‘අර්බුදයේ ඇතැම් ලක්ෂණ’ යන තේමාව යටතේ කතා කරමින් තිබුණේ කෘෂිකර්මයේ හා අධ්‍යාපන ක්‍රමයේ පුනරුදයක් ඇති කිරීමට ඇතිකර ගතයුතු ව්‍යුහාත්මක වෙනස්කම් ගැනය. එම ලිපියේ අවසානයේදී කතා කළේ පාසල් ක්‍රමයේ පවතින අක්‍රමවත් හා දූෂිත බවට හේතුවී තිබෙන පාසල් වර්ගීකරණයේ ඇති කළ යුතුව තිබෙන වෙනස්කම් ගැනය. ඒ අනුව රටේ තිබිය යුත්තේ පාසල් වර්ග තුනක් පමණය. එනම් 1 වැනි ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා පන්ති පවත්වන ප්‍රාථමික පාසල්ද, 6 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා පටන් පැවැත්වෙන ද්විතියික පාසල් හා 12 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන උසස් පාසල් පමණය.
සියලු පාසල්වලට සමාන තත්ත්වයක් ලබාදීම සඳහා සියලු පරණ නම් ඉවත් කොට පාසල් වර්ගය අධ්‍යාපන කොට්ඨාසයේ නම හා ග්‍රාම සංවර්ධන කොට්ඨාසයේ නම ඇතුළත් වන ලෙස සියලු ප්‍රාථමික පාසල් නම්කරන තැනකට යාහැකිය. ඒ ක්‍රමය අනෙක් පාසල් වර්ග දෙක සඳහාද යොදාගත හැකිය. වර්ගය, ආගම හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන් කළ පාසල් නොතිබිය යුතුය. හැම පාසලක්ම හැම ආකාරයකින්ම මිශ්‍ර එක සමාන ගෞරවයක් ඇති බොහෝ දුරට එක සමාන පහසුකම් ඇති එක සමාන පෙනුමකින් යුතු පාසල් බවට පත් කළ යුතුය.
දැන් තිබෙන පාසල් ක්‍රමය අවුල් ජාලයකි. තිබෙන වෙනස්කම් අතිවිශාලය. මෙම විෂය ගැන 2010 වසරේ මා ලියන ලද ලිපියකට අනුව පාසලක සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අනුව ලංකාවේ පාසල් වර්ග කළහොත් වර්ග 13කට වර්ග කළ හැකිය. ශිෂ්‍යයන් 15කට නොවැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් ගණන 1554කි. ශිෂ්‍යයන් 50කට වැඩි 100කට අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් ගණන 1419කි. සියයකට වැඩි 150කට අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පාසල් ගණන 800කි. 200කට වැඩි 500කට අඩු පාසල් ගණන 2435කි. 500කට වැඩි 1000කට අඩු පාසල් ගණන 1315කි. ශිෂ්‍යයන් 2000කට වැඩි 3000කට අඩු පාසල් ගණන 208කි. 3000ට වැඩි 4000ට අඩු පාසල් ගණන 59කි. 4000ත් 5000ත් අතර ගණන 11කි. 5000ට වැඩි ගණන 8කි.
පාසලකට වැටෙන ගුරුවරුන් සම්බන්ධයෙන් දක්නට තිබෙන චිත්‍රයද ඊට සමානය. එක ගුරුවරයෙක් පමණක් සිටින පාසල් සංඛ්‍යාව 120කි. ගුරුවරුන් දෙදෙනෙක් පමණක් සිටින පාසල් සංඛ්‍යාව 209කි. ගුරුවරුන් තුනකට වැඩි නවයකට අඩු පාසල් ගණන 2616කි. ගුරුවරුන් 10කට වැඩි 25කට අඩු පාසල් ගණන 423කි. ගුරුවරු 25ත් 50ත් අතර පාසල් ගණන 1625කි. ගුරුවරුන් 50කට වැඩි පාසල් ගණන 671කි. ගුරුවරුන් 100ට වැඩි පාසල් ගණන 187කි.
පාසල් ක්‍රමය ප්‍රාථමික, ද්විතීයික හා උසස් වශයෙන් වර්ග තුනකට වර්ග කළ විට ඒ ඒ වර්ගවලට වැටෙන පාසලක සංඛ්‍යාව, ශිෂ්‍ය සංඛ්‍යාව හා ගුරුවරුන් සංඛ්‍යාව මෙසේය.

පාසල් වර්ගය පාසල් සංඛ්‍යාව පාසලකට වැටෙන පාසලකට වැටෙන ගුරුවරු සංඛ්‍යාව
ශිෂ්‍ය සංඛ්‍යාව
ප්‍රාථමික 7000 200-250 8-10
ද්විතීයික 2000 850-1000 60-70
උසස් 662 550-650 27-35

අරමුණ, යුතුකම් හා වගකීම්

අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ සංස්කෘතික මිනිසකු ඇති කිරීමය. ඉන් අදහස්වන්නේ තර්කානුකූලව,විiානුකූලව හා සාධාරණව දේවල් දැකීමේ හැකියාව ඇති, දියුණු රසඥතාවක් ඇති, බහුත්වවාදී, ආකල්ප ඇති තම රටෙහි හෝ වෙනත් ඕනෑම රටක සුදුසු වෘත්තියක, ජීවන මාර්ගයක හෝ ව්‍යාපාරයක සාර්ථක ලෙස නිරතවීමට අවශ්‍ය කරන දැනුම, පුහුණුව හා ශික්ෂණය ඇති පුරවැසියකු තැනීමය. විෂය නිර්දේශ, පාඨමාලා, පෙළපොත් හා අධ්‍යාපන ක්‍රියාකාරකම් සකස්විය යුත්තේ අධ්‍යාපනයේ එම අරමුණ සපුරාගත හැකි ආකාරයටය.
සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් සඳහා රජයේ වගකීම් මොනවාද, මාපිය වගකීම් මොනවාද යන්න ගැන පැහැදිලි අර්ථකථනයක් තිබිය යුතුය. රජයේ වගකීම විය යුත්තේ රටේ පාසල් යන වයසේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමය. ඒ සඳහා අවශ්‍ය හොඳ පුහුණු ගුරුවරුන්ගෙන් යුතු ,නවීන ඉගැන්වීමේ ක්‍රම භාවිත කරන ඒ සඳහා අවශ්‍ය නවීන තාක්ෂණින මෙවලම්වලින් යුතු, පාසලක තිබිය යුතු පහසුකම්වලින් යුතු හොඳ පාසල් ක්‍රමයක් හා හොඳ අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන වියදම් දැරීම රජයේ වගකීමක් විය යුතුය. අවශ්‍ය පෙළපොත් ලබාදීමද රජයේ වගකීමක් බවට පත් කළ හැකිය. පාසල් යන ළමුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ආහාරපාන හා ගමන් වියදම් දැරීම මාපියන්ගේ වගකීමක් බවට පත් කළ යුතුය. ඒ වගකීම දැරීමේ හැකියාවක් නැති මාපියන්ට ඒ සඳහා ආධාර කරන ක්‍රමයක් ඇති කොට පවත්වාගෙන යෑම වරදක් නැතත්, එය අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යයක් බවට පත් නොකළ යුතුය. දැන් තිබෙන ක්‍රමය අවුල්සහගතය. රජය විසින් කළ යුතු සමහර දේවල් මාපියන් විසින්ද මාපියන් විසින් කළ යුතු දේවල් රජය විසින්ද කරනු ලබයි. පාසල් ළමුන්ට අධ්‍යාපනය දෙන්නේ නොමිලේ වුවත් ටියුෂන් අධ්‍යාපනයට අතිවිශාල වැය බරක් දරන්නට මාපියන්ට සිදුවී තිබේ. ඊට අතිරේකව ටියුෂන් අධ්‍යාපනය ළමුන්ට තිබිය යුතු ළමා ජීවිතය ඔවුන්ගෙන් උදුරා ගනිමින් ඔවුන්ගේ ළමා ජීවිත විකෘති කිරීමටද, අවලස්සන කිරීමටද හේතුවී තිබේ. පාසල් කාලයෙන් පසු ටියුෂන් අධ්‍යාපනයේ යෙදෙන ගුරුවරුන් ඔවුන්ගේ ටියුෂන් පන්තිවල සේවාදායකයන් බවට පත්කර ගන්නේ තමන් උගන්වන පන්තිවලම ළමුන්ය. ඒ සඳහා ඔවුන්ට අනුගමනය කරන්නට සිදුවී තිබෙන සුලභ උපක්‍රමය වී තිබෙනුයේ පාසලේ උගන්වන දේ අවම වශයෙන් උගන්වා ඉතිරිය තමන්ගේ ටියුෂන් පන්තිවල ඉගැන්වීමය. මෙම තත්ත්වය ගුරුවරුන් අතර තිබිය යුතු විනයේ ලොකු පිරිහීමක් ඇති කිරීමට හේතුවී තිබෙනවා සේම පාසල් ළමුන් අතර ගුරුවරුන් කෙරෙහි තිබිය යුතු ගෞරවය බොඳකිරීමටද හේතුවී තිබේ.

ගුරුවරුන්ගේ කාර්යභාරය

ලංකාවේ දක්නට තිබෙන ගුරු වෘත්තියේ තිබෙන එකතැන පල්වීමද ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමයේ දක්නට තිබෙන පරිහානිය කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස බලපා තිබේ. බොහෝ ගුරුවරුන් තමන් අත්පත් කරගත් පරණ දැනුමෙන් ළමුන්ට උගන්වනවා මිස තමන්ගේ දැනුම යාවත්කාලීන කරගැනීම සඳහා ප්‍රමාණවත් තරමේ උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නේ නැත.ඔවුන් අතර පොත්පත් කියවන්නන්ගේ අනුපාතිකය තිබෙන බව පෙනෙන්නේ ඉතාමත් පහළ මට්ටමකය. ඉතාමත් භයානකම දේ වනුයේ සමහර ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පාසල් ළමුන් අවිද්‍යාත්මක හා මිථ්‍යා විශ්වාසයන්ට යොමු කරවන අතරමැදි බලවේගයක් ලෙස ක්‍රියාකිරීමය.
ප්‍රසිද්ධ විභාගවලදී පාසලේ එම විභාගවලට පෙනී සිටින සියලු ළමුන් භාරහාරවීම සඳහා පන්සල්, පල්ලි හා දේවාලවලට ගෙනයන ක්‍රමයක් බොහෝ පාසල්වල ක්‍රියාත්මක වේ. විදුහල්පතිගේද අනුග්‍රහය ඇතිව එවැනි වැඩසටහන් මෙහෙයවන්නන් ලෙස ක්‍රියාකරන්නේ පාසලේම ගුරුවරුන්ය. ලංකාවේ අධ්‍යාපන බලධාරීන්, සමහර විදුහල්පතිවරුන් හා සමහර ගුරුවරුන් සිටින පසුගාමී තත්ත්වය ඒ ආශ්‍රයෙන් තේරුම්ගත හැකි අතර එවැනි ක්‍රියාකාරකම් මගින් පාසල් දරුවන්ට තර්කානුකූලව සිතන්නට තිබෙන හැකියාව මොටකරනවා පමණක් නොව ඔවුන් විද්‍යාත්මක චින්තනයෙන් ඉවත් කොට මිථ්‍යා විශ්වාසයන් වෙතද තල්ලු කිරීමටද හේතුවේ. ගුරුවරුන් නවීන හා විiාත්මක චින්තනයෙන් තොරවේ නම් එවැනි ගුරුවරුන්ගෙන් ශිෂ්‍යයන්ට සිදුවන හානිය අතිවිශාල බව අමුතුවෙන් කිවයුතු නැත.
උනන්දුවෙන් දැනුම වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකරන හා තර්කානුකූලව සිතන මතන යහපත් ගුරු පරපුරක් ඇතිකර ගැනීම සඳහා ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කිරීමට හේතුවන වැඩසටහනකට ඔවුන් යොමුකළ යුතුය. උසස්වීම සඳහා IELTS විභාගයෙන් නියම කළ ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීම අනිවාර්ය කොන්දේසියක් බවට පත්කිරීම මගින් ඒ අරමුණ කිසියම් විශාල ප්‍රමාණයකට සපුරාගත හැකිය. එය උසස්වීම් සඳහා නැතුවම බැරි කොන්දේසියක් බවට පත්කළ විට සියලුම ගුරුවරුන්ට එම විභාගය සමත්වීම සඳහා ඉංග්‍රීසි දැනුම ලබාගන්නා අධ්‍යාපනයකට තල්ලුවීමට සිදුවනු ඇති අතර එම දුෂ්කර කඩුල්ල ජයගැනීමට දරන උත්සාහය ලංකාවේ ගුරු පරපුරේ ඉංග්‍රීසි භාෂා දැනුම, දැනුම වර්ධනය කරන සාධකයක් ලෙස ක්‍රියා කරනු ඇති අතර ඒනිසා ගුරු පරපුරේ චින්තනමය හැකියාව වර්ධනය වී ඔවුන්ගේ ඉගැන්වීමේ ක්‍රියාවලියේ ගුණාත්මක අගය ද ඉහළ දැමීමට හේතු විය හැකිය.
ගුරු වෘත්තියට ප්‍රමුඛ වැදගත්කමක් ලබාදෙන අතර ඔවුන්ට ලැබෙන වැටුප් හා පහසුකම්ද වැඩි කොට ගුරු සේවයේ යෙදී සිටියදී මුදලට ටියුෂන් අධ්‍යාපනයේ යෙදීම තහනම් කළ යුතුය. ටියුෂන් අධ්‍යාපනය තහනම් කළ යුතු නැතත් ටියුෂන්වලින් තොරව පාසලෙන් ලබාගන්නා අධ්‍යාපනයෙන් පමණක් ප්‍රසිද්ධ විභාගවලට මුහුණදීමේ හැකියාව ලැබෙන තත්ත්වයකට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක අගය වර්ධනය කළ යුතුය. ගුරු සේවයට අලුතෙන් එකතු වන පුද්ගලයෙකුට පළමු වසර පහ දුෂ්කර ප්‍රදේශයක සේවයද, දෙවැනි අවුරුදු පහේදී එම කලාපයේම දුෂ්කර නොවන ප්‍රදේශයක සේවයද, තුන්වැනි අවුරුදු පහ එම ගුරුවරයා හෝ ගුරුවරිය පදිංචි වී සිටින ප්‍රදේශයේ දිස්ත්‍රික්කයක සේවයද සිව්වැනි අවුරුදු පහේ සිට විශ්‍රාම යන තෙක් පදිංචි වී සිටින නිවසට ආසන්න පාසලක සේවයද ලැබෙන ආකාරයට පරිගණක පෝග්‍රෑමක් මත ක්‍රියාත්මක වන ගුරු මාරු ප්‍රතිපත්තියක් ඇති කළ හැකිය. එවැනි ක්‍රමයක් ඇතිවිට විශ්‍රාම යන තෙක් තමන්ට සේවය කරන්නට සිදුවන අධ්‍යාපන කලාප හා ඒවාට අයත් පාසල් කල්තියා දැනගැනීමේ හැකියාව ලැබෙන අතර ගුරු මාරු සිදුවනු ඇත්තේ ද බලධාරීන්ගේ අභිමතය අනුව නොව සැලසුම් කර තිබෙන විධිමත් ක්‍රමවේදයකට අනුවය.
ඉගැන්වීම හා ඉගැන්වීමේ ක්‍රම
දැන් පාසල්වල ක්‍රියාත්මක වන ඉගැන්වීමේ ක්‍රමයේ තිබෙන ලොකුම විෂමතාව ලෙස සැලකිය හැක්කේ ඉගැන්වීමට ගුරුවරුන්ගේ දැනුම මත සිදුවන ක්‍රියාවලියක් වීමය. ගුරුවරුන් අතර තමන් උගන්වන දේ ඉගැන්වීමට අවශ්‍ය දැනුම ඇති ඉගැන්වීමට දක්ෂ ගුරුවරුන් සිටිනවා සේ ම උගන්වන දේ ඉගැන්වීමට අවශ්‍ය තරම් දැනුම නැති උගන්වන්නට දක්ෂකම්ද නැති ගුරුවරුන්ද සිටින්නේය. ළමුන්ගේ ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය කෙරෙහි ගුරුවරුන්ගේ දක්ෂ අදක්ෂතා බලපායි. ඒ නිසා ළමුන් ඉගෙන ගන්නේ එකම පාඨමාලාව වුවත් ඒවා ඔවුන්ට උගන්වන්නේ එක සමාන ආකාරයට නොව විවිධ ආකාරවලටය. එහෙත් මුළුමනින් ගුරුවරුන් මත පදනම් වී උගන්වන ක්‍රමයක් වෙනුවට නූතන තාක්ෂණය යොදා ගනිමින් පරිගණක වැඩසටහන් මත විද්‍යුත් තිර ඔස්සේ උගන්වන ක්‍රමයකට මාරුවිය හැකිය. එවිට ලංකාවේ හැම පාසලකම ළමුන් ඉගෙන ගනු ඇත්තේ එකම ගුරුවරයෙකුගෙනි. විෂය භාර ගුරුවරයා පසුබිමේ සිට එම වැඩසටහන් මෙහෙයවන්නකු හා ළමුන්ට ඒ සඳහා අවශ්‍ය මගපෙන්වන්නකු බවට පත්වේ.ලංකාවේ විෂය නිර්දේශ, පාඨමාලා, විභාග ප්‍රශ්න පත්තර හා පෙළපොත් ගුණාත්මක වශයෙන් ඉතා උසස් මට්ටමක නොපවතී. ඒවාහි ඇති අඩුපාඩුකම් හා වැරදි කලාතුරකින් නොව නිරන්තරයෙන්ම අසන්නට ලැබේ. රටක් වශයෙන් අපට ඒ සඳහා අවශ්‍ය කරන දැනුම හා ශික්ෂණය නැති නිසා අපට හොඳ අධ්‍යාපනයක් ක්‍රියාත්මක වන රටක් තෝරාගෙන ඒ රටේ විෂය නිර්දේශ පාඨමාලා ප්‍රශ්න පත්තර හා පෙළපොත් එම රටේද අවසරය ඇතිව සිංහල හා දෙමළ භාෂාවන්ට පරිවර්තනය කොට හා හඬ කවා භාවිතාකරන තැනකය යා හැකිය.
ප්‍රාථමික අධ්‍යාපනයේදී මව්බස ප්‍රධාන භාෂා මාධ්‍ය විය යුතුය. ඒ සමග ඉංග්‍රීසි භාෂාවද ඔවුන් අනිවාර්යයෙන්ම ඉගෙන ගත යුතු භාෂාවක් බවට පත් කළ හැකිය. ද්විතීයික පාසල් අධ්‍යාපනයේදී උගන්වන විෂයන්ගෙන් අඩක් මව් භාෂාවෙන්ද ඉතිරිය ඉංග්‍රීසි භාෂාවෙන්ද උගන්වන තැනකට යා හැකිය. උසස් පෙළ අධ්‍යාපනයේදී විෂය අධ්‍යාපනයෙන් වැඩි කොටස් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්නා තත්ත්වයක් ඇති කළ හැකිය. එවිට උසස් පෙළ සමත් වී උපාධි අධ්‍යාපනයකට යොමුවන සියලුදෙනාටද ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබිය හැකි තත්ත්වයක් ලැබෙන අතර උසස් අධ්‍යාපනයට සුදුසුකම් නොලබන රක්ෂාවලට යන අයටද ප්‍රමාණවත් තරමේ ඉංග්‍රීසි දැනුමක් ඇතිව රැකියාවක නිරතවීමේ හැකියාව ලැබෙන්නේය.
සා. පෙළ අසමත්වීම නිසා උසස් පෙළ අධ්‍යාපනයකට නොයන සියලුදෙනාද කාර්මික හා තාක්ෂණික අධ්‍යාපනයට යොමුකරන ක්‍රමවත් ජාතික වැඩපිළිවෙළක් රටට තිබිය යුතුය. සා. පෙළ අසමත්වන්නන්ගේ ස්වභාවය පෙන්නුම් කිරීම සඳහා මෙහි දක්වන සංඛ්‍යා ලේඛන 2010 වසරේදී මා විසින් ලියන ලද ලිපියකින් උපුටා ගන්නා ලද දත්ත වන අතර ඒවා වර්තමානයේ හරියටම නොගැළපෙතත් එම දත්තවලින් පෙන්නුම් කරන ප්‍රවණතා අදටද වලංගුය.
එම වසරේ සා. පෙළ විභාගය සඳහා පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 270,000ක් වන විට උසස් පෙළ අධ්‍යාපනයක් සඳහා සුදුසුකම් ලැබූවන්ගේ අනුපාතිකය සියයට 52.55%ක් හෙවත් 142938කි. උසස් පෙළ අධ්‍යාපනයක් සඳහා සුදුසුකම් නොලබන අසමත්වූවන්ගේ අනුපාතිකය 47.55%ක් හෙවත් 129062ක් විෂයයන් නවයෙන්ම අසමත් අයගේ සංඛ්‍යාව 19000කි. විෂයයන් අටකින් අසමත් අයගේ සංඛ්‍යාව 16500කි. විෂයයන් හතකින් අසමත්වූවන්ගේ සංඛ්‍යාව 16800කි. විෂයයන් හයකින් අසමත්වූවන්ගේ සංඛ්‍යාව 18,000කි. විෂයයන් 5කින් අසමත්වූවන්ගේ සංඛ්‍යාව 20300කි. විෂයයන් හතරකින් අසමත්වූවන්ගේ සංඛ්‍යාව 22800කි. ගණිත විෂයය අසමත්වූවන්ගේ අනුපාතිකය 49%ක්ද, විද්‍යා විෂය අසමත්වූවන්ගේ අනුපාතිකය 55%ක්ද විය.
ලංකාවේ පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ පළමු ශ්‍රේණියෙන් පාසල් අධ්‍යාපනයට එකතුවන හැම ශිෂ්‍යයන්ගෙන් 100කගෙන්ම 50කට ආසන්න ප්‍රමාණයක් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වීමක් සිදුවේ. ලංකාවට ඇත්තේ ඒ අසමත් වන සියලුදෙනා මුළුමනින් නොසලකා හරින ප්‍රතිපත්තියකි. ලංකාව වැදගත් කොට සලකන්නේ සමත්වූවන් පමණය.
කාර්මික හා තාක්ෂණ අධ්‍යාපන ක්‍රමයක් සඳහා වන දැවැන්ත ආයතන ක්‍රමයක් අපේ රටේ පවතී. එහෙත් ඒවාට ප්‍රමාණවත් තරම් අභ්‍යාසලාභීන් නැත. ප්‍රමාණවත් තරමින් අභ්‍යාසලාභීන් නැතිකම එම කාර්මික හා තාක්ෂණික විද්‍යාල පද්ධතියට ආවේණික සාමාන්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. සා. පෙළ විභාගයෙන් අසමත්වන්නන් උසස්පෙළ අධ්‍යාපනයට සුදුසුකම් නොලබා සියලුදෙනා කාර්මික හෝ තාක්ෂණික අධ්‍යාපනයක් සඳහා යොමු කරන විධිමත් ක්‍රමයක් ඇති කිරීමෙන් සා. පෙළ විභාගය අසමත්වන්නන්ගේ ජීවිත ආලෝකමත් කළ හැකි අතර කාර්මික හා තාක්ෂණ විද්‍යාලවලට පුහුණුව සඳහා ප්‍රමාණවත් තරමින් අභ්‍යාසලාභීන් නැතිකමේ ප්‍රශ්නයද විසඳිය හැකිය. ඒ මගින් සා. පෙළ විභාගයෙන් අසමත්වන්නන් සියලුදෙනාද කාර්මික හා තාක්ෂණ අධ්‍යාපනයක් ඔස්සේ උපාධිලාභීන්, උසස් ඩිප්ලෝමාලාභීන් හෝ ඩිප්ලෝමාලාභීන් බවට පත් කළ හැකිය. ඒ මගින් ලංකාවේ ශ්‍රම බලකායෙන්ද ලොකු පංගුවක් පුහුණුවක් ලැබූ අයගෙන් සමන්විත ශ්‍රම බලකායක් බවට පත් කළ හැකිය.

නොමිලේ බොරුව අවසන් කිරීම

ලංකාවේ 1 වැනි ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලය දක්වා වන අධ්‍යාපනය නොමිලේ ලබාදෙන අධ්‍යාපනයක් ලෙස සැලකේ. ඒ සඳහා යන වියදම රජය දරනමුත් ඒ වියදම රජය සොයාගන්නේ මහජනයාගෙන් ඍජු හා වක්‍ර ලෙස අය කරන බදුවලිනි. අධ්‍යාපනය ලැබෙන්නේ නොමිලේ වුවද අධ්‍යාපනය සඳහා අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාපියන්ටද ලොකු වියදමක් දරන්නට සිදුවේ. ගාස්තු ගෙවා දරුවන්ට ලබාදෙන ටියුෂන් අධ්‍යාපනය සඳහා යන වියදම මාපියන්ට දරන්නට සිදුවන වියදමේ ලොකුම සංරචකය ලෙස සැලකිය හැකිය.
නිදහස් අධ්‍යාපනය ආරම්භ කෙරෙන කාලය වනවිට අධ්‍යාපනයට එකතු වී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව විශාල නොවූ අතර තිබුණු පාසල් සංඛ්‍යාවද මේ සා විශාල නොවීය. ඒ නිසා අධ්‍යාපනය සඳහා කරන වියදම රජයට ඔරොත්තු නොදෙන තරමේ වැය බරක් වූයේ නැත. එහෙත් රටේ වර්තමාන තත්ත්වය ඊට වෙනස්ය. ශිෂ්‍ය සංඛ්‍යාවේ අතිවිශාල ප්‍රසාරණයක් ඇතිවී තිබෙනවා සේ ම පාසල් සංඛ්‍යාවේද විශාල ප්‍රසාරණයක් ඇතිවී තිබේ. ඒ නිසා අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම මේ වනවිට දැරිය නොහැකි තරම් වන ලොකු වැය බරක් බවට පත්ව තිබෙන අතර එම බර සැහැල්ලු කරගැනීම සඳහා හැම ආණ්ඩුවක්ම කරමින් තිබෙනුයේ අධ්‍යාපනයේ ගුණාත්මක අගය සඳහා කරන වියදම අඩු කිරීමය. ඒ නිසා අධ්‍යාපනයේ ප්‍රමාණාත්මක අගය ඉතිරි වී ගුණාත්මක අගයේ වේගවත් පිරිහීමක් ඇතිවී තිබෙන්නේ යැයි කිව හැකිය.
මේ වනවිට ලංකාව තිබෙන්නේ යහපත් ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා අවශ්‍ය මුළු වියදම රජයට තනිව දරාගත නොහැකි අවුල්සහගත තත්ත්වයකය. 1 වැනි ශ්‍රේණියේ සිට විශාල පිරිසකට අධ්‍යාපනයක් නොමිලේ ලබාදෙන අතර එම සහනය ලබාගත් අය රැකියාවලට යෑමෙන් පසුව ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා රජය කරන වියදම හෝ ඉන් අඩක් හෝ කාලක් ඔවුන්ටද ලොකු බරක් නොවන ආකාරයට මාසිකව කොටස් වශයෙන් ආපසු ලබාගන්නා විධිමත් ක්‍රමයක් ඇති කිරීමෙන් සේවක අර්ථසාධක අරමුදල වැනි ලොකු අධ්‍යාපන අරමුදලක් ඇති කරගත හැකිය. එවිට රටේ සෑම පුරවැසියෙකුම ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනය සඳහා කරන ලද වියදමෙන් නිශ්චිත කිසියම් පංගුවක් මාසික වාරික වශයෙන් ආපසු ලබාගන්නා ක්‍රමයක් ක්‍රියාත්මක වේ. එය ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මාපියන් කරන ආයෝජනයකි. දැන් ක්‍රියාත්මක වන ක්‍රමය අනුව පාසල් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වියදම් රජය ලබාදෙන්නේ නැත. ඒ වියදම පාසල් ලබාගන්නේ පාසල් දරුවන්ගේ මාපියන්ගෙනි. ඒ සඳහා මාපියන්ගේ ශ්‍රමයට අතිරේක වශයෙන් ධනයද ලබා ගනී.
රටේ සියලු පාසල්වල වැසිකිලි තිබෙන්නේ ඉතාමත් අශෝභන තත්ත්වයකය. කෝටි ගණන් වැය කොට පිහිනුම් තටාක ඉදිකර තිබෙන සුපිරි ගණයේ පාසල්වල පවා වැසිකිළි තිබෙන්නේ ඉතාමත් අශෝභන තත්ත්වයකය. අධ්‍යාපනය සඳහා ඉහත විස්තර කළ ආකාරයේ ලොකු පොදු අරමුදලක් රටට තිබෙන්නේ නම් සියලුම පාසල්වලට නවීන වැසිකිළි පද්ධතියක්ද ඒවා හොඳින් නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වියදම් ලබාදෙන ප්‍රතිපත්තියක්ද අනුගමනය කළ හැකිය. ඊට අතිරේකව පාසල්වලට පාසලේ ගොඩනැගිලි හා උපකරණ හොඳින් නඩත්තු කිරීමට අවශ්‍ය වියදම් ලබාදෙන ප්‍රතිපත්තියක්ද පවත්වාගෙන යා හැකිය.