රාවය

ඉස්සර වගේ නෙමෙයි, අපි දැන් තාත්තලා

ඉස්සර වගේ නෙමෙයි, අපි දැන් තාත්තලා

දයා නෙත්තසිංහ

අප අසා ඇත්තේ ගඟේ හෝ මුහුදේ පැනීම පිළිබඳ කටුක පුරාවෘත්තයන්ය. වඩාත් සරලව කිවහොත් ජීවිතය අත්හැරීම පිළිබඳ කතාය. එහෙත් මේ ජීවිතය වැලඳ ගැනීම පිළිබඳ කතාවකි. මීට පෙර නම් එය රැකියා විරහිත විනෝදයට මුහුදට පනින්නන් පිළිබඳ කතාවකි. එහෙත් දැන් එය දරුවන් රකින්නට මුහුදට පනින පියවරු පිළිබඳ කතාවකි. ඒ පැනීම ජීවිත රැකීමේ පිම්මකි. තවත් සරලව කිවහොත් ජීවිතය පිළිබඳ බලාපොරොත්තු දල්වන පිම්මකි. බැලූබැල්මට පෙනෙන්නේ මුහුදට පනින තරුණයන් සිව්දෙනෙකු වුවත් එහි පතුලේ ඇත්තේ වෙනස්ම කතාවකි. දකුණු සමුද්‍ර මාතාව විසින් දිනපතා සිප වැලඳ ගන්නා මේ පුතුන් සිව්දෙනා පිළිබඳව මුළු ලෝකයාම දැන සිටියත් අපේ රටේ බොහෝ දෙනකු මේ පුතුන් සිව්දෙනාගේ වික්‍රමය පිළිබඳ දන්නේ නැත.
ගාලු කොටුව දකුණු කෙළවරට වන්නට පිහිටි පර්වත වේදිකාව මත සිට නරඹන්නන් මවිත කරමින් මුහුදට පනින තරුණයන් සිව්දෙනකු පිළිබඳව ලෝකයා දැන හඳුනාගන්නේ crazy Jumpers galle ලෙසිනි. මුහුදු ජලයේ සිට අඩි 48ක් උසැති පර්වත වේදිකාවේ සිට මුහුදට පනින පිම්ම තුළ ඇත්තේ කාලයක් තිස්සේ පුහුණු කළ විවිධාකාර රටාය. ඒ රටාවන් සංචාරකයන් සිත්ගන්නාසුලුය. පුදුමකරවනසුලුය. ඉතින් ඒ නිසාම එකී රංගනයට ඔවුන් නියම කළ මිලක් තිබේ. ඒ මිල මේ හතරදෙනාගේ කල්ලියේ පවුල්වල බර සැහැල්ලු කරන වියදම මිස විනෝද බද්දක් නොවේ

පිස්සු කෙළි කොල්ලෝ

අනූව දශකයේ අගභාගයේ නව යොවුන් වියේ කොල්ලන් රංචුවක් ගාලු කොටුව ආශ්‍රිත මුහුදේ දියනෑම විනෝදාංශයක් බවට පත්කර ගත්තෝය. තැන් තැන්වලට යමින් දියකෙළියේ යෙදුණු මේ කොල්ලන්ට විදේශීය සංචාරකයන්ගේ ජල ක්‍රීඩා විලාසයන්ද මුණ නොගැසුණා නොවේ. ගාලුකොටුව වටා ඇති පර්වත පන්තීන්හි මුදුනට නගින කොල්ලන් ඒ මත සිට කරදිය මතට එක එක ජාතියේ කරණම් ගැසුවේය. ගාලුකොටුව වටා ඇති මුහුදේ ආරක්ෂිත සහ අනාරක්ෂිත තැන් පිළිබඳව මේ කොල්ලන් ලැබූ දැනුම අල්ප නොවන්නේ දිනපතා මේ බිමේ සැරිසරා ලැබූ අත්දැකීම් හේතුවෙනි. දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ අත්වැරදීම් මේ කොල්ලන් රංචුවේ පාඩම් බවට පත්කර ගත්තේය. පර්වත මුදුන්වල සිට මුහුදු ජලයට පැනීම විනෝදාංශයක් ලෙස ප්‍රගුණ කළ මේ කොල්ලන්ට ජීවිත ඉරණම වෙනස් කළ ස්ථානය හමුවූයේ ගාලුකොටුව දකුණු කෙළවර පිහිටි ප්‍රදීපාගාරයට නුදුරින් පර්වත වේදිකාවයි. මේ පර්වත වේදිකාවක් මුහුදේ ඇති පර්වතයකුත් අතර පටු නොගැඹුරු ජලතටාකය ජීවිතය ගොඩදාන විනෝදකාමී නවාතැනක් වූයේය. ඉතා සුළු අත්වැරදීමකින් පවා අනතුරක් සිදුවිය හැකි මේ ‘පිම්ම’ දිනපතාම පාහේ ප්‍රගුණ කැරුණි. අවදානම සහ බිය ශරීරවලින් පලවා හැරිණි. කොල්ලන් දෙතුන් දෙනකුගේ මේ වික්‍රමය බලා සිටි විදෙස් සංචාරකයෝ ඔවුන් අතට සංතෝසමක් දෙන්නට අමතක නොකළෝය. මේ දිරිදීමනාව ජල ක්‍රීඩා විත්තියේ සුහුඹුල්ම අවදියයි. සත්‍ය වශයෙන්ම ඊළඟ පිම්ම වූයේ මේ ත්‍රාසජනක පිම්ම සංචාරකයන්ට පෙන්වා මුදල් ඉපැයීමය. මුල් අවධියේ රුපියල් සියය, පන්සියය, දහස බැගින් වූ නෝට්ටු මේ කොල්ලන්ගේ අතට ලැබුණේය.
රැකියා විරහිත ඔවුහු 1998 වසරේ සිට මුහුදට පැනීම වෘත්තීය කොට ගත්හ. සංචාරකයන් යහමින් ගැවසෙන කාලසීමාවේ මුහුදට පනින වාර ගණන වැඩි කළෝය. එමෙන්ම අතට ලැබෙන නෝට්ටු ප්‍රමාණයද ඉහළ ගියේය.

මුහුදට පනින තාත්තා

එදා මේ ජල ක්‍රීඩාවේ යෙදුණු කොල්ලන් රංචුවේ හත්අටදෙනකු හිටියත් මුහුදට පැනීම ජීවන වෘත්තිය බවට පත්කර ගත්තේ කොල්ලන් සිව්දෙනකි. ඒ චාමර, බුද්ධික, අසංක, ලක්ෂිත යන අයවලුන්ය. එදා ඔවුන් නව යොවුන් වයසේ කොල්ලන් වුවත් අද මේ සිව්දෙනාම පියවරුන්ය. චාමරට මාස එකොළහක පුතෙකි. අසංකට අවුරුද්දක් වයසැති පුතෙකි. බුද්ධිකට අවුරුදු දෙකහමාරක දියණියකුත් ලක්ෂිතට දරුවන් දෙදෙනකුත් සිටිති. මේ දරුපවුල්කාරයන්ගේ ප්‍රධාන ජීවනෝපාය මේ රටේ බොහෝ පියවරුන්ගේ වෘත්තීන්වලට වඩා වෙනස්ය. Crazy Jumpers Galle ලෙස ගෞරවාන්විත පිළිගැනීමක් ජාත්‍යන්තරයෙන් තිබුණත් දේශීය නරඹන්නන්ට නම් සත්‍ය වශයෙන්ම එය මුහුදට පැනීමකි. ඒ පිම්ම තුළ දරු පවුල්කාරයකුගේ වගවීමත් ගැමියකුගේ දයාබරිත බවත් රැකියාලාභියකුගේ අභිමානයත් යන සියල්ලම ඇත්තේය.

පිම්මේ හරය

තාත්තා කෙනකු දරුවන් රකින්නට ගන්නා වෙහෙසකර ව්‍යායාමය කවර තත්ත්වයකදී වුවද වේදනාවක් කොටගන්නේ නැත. ඒ තුළ ඇත්තේ අපරිමිත කැපකිරීමකි. බැලූබැල්මට කිසිවකුගෙන් ඒ උත්තුංග ගුණයන් ප්‍රකටව පෙනෙන්නේ නැත. දරු පවුල රකින්නට මුහුදට පනින තාත්තලා සතුව මහා වත්කම් නැත. ඔවුන් දිනපතා මුහුදට පැනීමෙන් උපයන මුදල ඔවුන්ගේ දෛනික වියදමය. අතිරේක මුදලක් බිරිඳගේ අතේ ඉතිරි කරන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එහෙම වාසනාවක් උදාවෙන්නේ ගාලු කොටුව පිරෙන්න සුද්දන් වැහි වහින දවස්වලටය. ආබාධ රහිතව මේ රැකියාව කරගැනීමට ඔවුන් අනුගමනය කරන වෘතයක් තිබේ. සත්‍ය වශයෙන්ම තාත්තා තුළ ඇති කැපවීම ඇත්තේ එහිය. ‘අසංක’ නම් මුහුදේ කැරලිකරුවා ඒ ගැන කීවේ මෙවැන්නකි. ‘සමහරු අපේ දිහා බලන්නේ අමුතු විදියට. අපි කොණ්ඩ වවාගෙන රැවුල වවාගෙන ඉන්න නිසා කුඩුකාරයන් වෙන්න ඇති කියලා හිතනවා. අපි හතරදෙනා අරක්කු සිගරැට් බොන්නේ නෑ. ඒවා පාවිච්චි කළොත් මේ රස්සාව වැඩි කාලයක් කරන්න ලැබෙන්නේ නෑ. බර වැඩි ආහාර ගන්නේ නෑ.
සාමාන්‍යයෙන් ඇවිදීම, පිහිනීම, ව්‍යායාම විදියට කෙරෙනවා. ඉඳලා හිටලා සූස්තියක් අදිනවට වඩා කිසිම දෙයක් අපි කරන්නේ නෑ. වෛද්‍යවරු උපදෙස් දීලා තියෙන්නේ මේ ක්‍රීඩාවේ යෙදෙනවා නම් අරක්කු, සිගරැට් බොන්න එපා කියලා. මුල් කාලයේ එක එක විකාර කළත් දැන් එහෙම බෑ. අපේ රස්සාව මේක. මේක කරගන්න පුළුවන් කාලේ කෙටිකර ගන්න අපිට වුවමනාවක් නෑ. එදා කොල්ලෝ වගේ හිතුවට දැන් අපි මුහුදට පනින්නේ එදා වගේ සැහැල්ලුවෙන් නෙවෙයි. දැන් අපි තාත්තලා. මේ පිම්මෙන් මුහුදට වැටෙන්නේ ඒ බරත් එක්ක.
චාමර සම්පත් මුහුදට පනින තාත්තලාගේ කණ්ඩායමේ වයසින් වැඩි වැඩකාරයාය. ඔහු කීවේ තවත් කතාවකි. ‘අපි හතරදෙනා විතරයි මෙතන මේ රස්සාව කරන්නේ. මේක රස්සාවට කරනවා කියලා සමහරු දන්නේ නෑ, සමහරු හිතන්නේ නෑ. එක වරක් දන්න දර්ශන ඔක්කොම දාලා මුහුදට පනින්න රුපියල් තුන්දහක් ගන්නවා. විදේශිකයෝ එන්නේ කණ්ඩායම් වශයෙන්. ඒ අයට රුපියල් තුන්දහස ලොකු ගාණක් නෙවෙයි. දේශීය සංචාරක මගපෙන්වන්නන් අතළොස්සක් අපිට අපේ වෘත්තිය කරගෙන යන්න ශක්තිය දුන්නත් වැඩිදෙනෙක් මගහරිනවා. දේශීය සංචාරකයෝ කණ්ඩායම් වශයෙන් ආවත් ඔවුන් රුපියල් තුන්දාහ ලොකු ගාණක් විදියට සලකනවා. සමහරු හිතන්නේ අපි වතුරට පැනලා ගිහින් ආතල් එකේ අඩියක් ගහලා ඉන්නවා ඇති කියලා. අනේ නෑ. මේ ලැබෙන මුදල්වලින් අපි දරුවෝ ලොකු මහත් කරන්න ඕනෑ. ගෙවල් හදාගන්න ඕනෑ. යුතුකම් චාරිත්‍ර ඉටුකරන්න ඕනෑ. ලෙඩට දුකට බෙහෙත් ගන්න ඕනෑ. අපි කරන්නේ අවදානමක් තියෙන රස්සාවක්.

අමුත්තන්ගේ ප්‍රශංසා

බුද්ධික සහ ලක්ෂිත හතරදෙනාගේ කල්ලියේ සෙසු සාමාජිකයන් දෙපළය. ඔවුන් වෘත්තීමය ගෞරවය පිළිබඳ කදිම උදාහරණයක් ගෙනහැර පෑවේය. “චීන අගමැති ආපු වෙලාවෙත් අපි එතුමට අපේ සංදර්ශන පෙන්නුවා. එතුමා බොහොම සතුටු වුණා. ඉන්දියාවේ බි්‍රගේඩියර්වරයෙක් ආපු වෙලාවේ එයත් අපේ සංදර්ශන බැලුවා. විදේශීය අමුත්තෝ අපේ සංදර්ශන දැකලා ප්‍රශංසා කරනවා.”

හතරදෙනාම ශූරයෝ

චාමර, බුද්ධික, අසංක, ලක්ෂිත යන ජලපිනුම් කැරලිකරුවෝ සිව්දෙනා සිය වෘත්තියේ වේදනාබර මතකයන්ද අප හමුවේ තැබුවේය.
“1998 ඉඳලා අපි මෙතන රස්සාව කරනවා. විදේශීය අමුත්තෝ අපිව නරඹනවා. ඒත් කවුරුවත් අපිට උදව් කරන්නේ නෑ. අපිට ජීවිත රක්ෂණ ක්‍රම නැහැ. ජීවිතාරක්ෂක ඇඳුම් කට්ටලයක්වත් නෑ. මේ අවට මුහුදේ ගිලෙන්න ගියපු අය බේරගත්තේ අපි. උපකරණ නෑ කියලා අපි ඒ යුතුකම මගඅරින්නේ නෑ. අපි කරන ඒ සේවය ගැන හිතලා අපිට කවුරුහරි උදව් කරනවා නම් ලොකු දෙයක්. රජයේ අනුග්‍රහයක් තියෙනවා නම් අපිට ලොකු හයියක්. මුහුද රළු වැඩි කාලෙට මෙතන සංදර්ශන කරන්න බෑ. මේ අවට පාසල් දරුවෝ අනතුරට ලක්වුණු අවස්ථා තිබුණා. ඔවුන් බේරාගැනීමට අප කටයුතු කරනවා. ඒ නිසා මේ කොටුබැම්මේ ඉඳගෙන ජීවිත ආරක්ෂා කරන නිල නොලත් කණ්ඩායම අපි. ඉතින් වගකිවයුතු ආයතන මැදිහත්වෙලා අපිට උදව් කරනවා නම් ඒක ලොකු දෙයක්. තව එක ඉල්ලීමක් කරනවා. දරුපවුල්කාරයෝ වෙච්ච අපි කරන එකම රස්සාව මේක.
රුපියල් තුන්දාහක් අය කළාට වැරදියට හිතන්න එපා. කන්න බොන්න ජීවත් වෙන්න සමාජ යුතුකම් කරන්න මේ ඔක්කොම වගකීම් අනික් තාත්තලාට වගේ අපිටත් තියෙනවා. ඒත් අපි කරන රස්සාවෙදි අපි මහත්තුරු වගේ පේන්නේ නෑ. ටයිකෝට් සපත්තු නෑ. ඇඳුම වෙනස් වුණත් අපේ රස්සාවේ ගෞරවේ තියාගෙන අපි ජීවත්වෙන්න ඕනෑ. ඒකට නියමිත මිලක් තියෙනවා. අපිට වැටුප් ගෙවන්නේ ගාලුකොටුව බලන්න එන සංචාරකයන්. ඔවුන්ට වදයක් වෙන්නේ නෑ වගේම ඔවුන්ට කරදරයක් වෙන්න අපි ඉඩ තියන්නෙත් නෑ. මුහුදට පැනීම ගැන තව ‘ටැලන්ට්’ අපිට පුළුවන්. ඒත් ඒ ගැන අපිත් එක්ක කතා කරන්නවත් කෙනෙක් නෑ. මිහිකත මවගේ දරුවන් වූ මේ දූපතුන් ආදරෙන් සුරතල් කරන්නේ දකුණු සමුද්‍ර මාතාවය. පියවරුන් වූ මේ කොල්ලන්ගේ මුළු ඉතිහාසයම දන්නේ ඇයය. කොල්ලන්ගේ මුරණ්ඩු ගතියත් පියවරුන්ගේ මහා සෙනෙහේවන්ත භාවයත් ඇය ස්පර්ශ කරන්නීය. කොටුබැම්මේ හැපෙන මහා රළ පහර කිරි සුදු පෙනපිඬු නංවන්නීය. ඇත්තෙන්ම එය දරුවන්ගේ ධෛර්යවන්තභාවය කෙරෙහි ඇය දක්වන ආඩම්බරය ප්‍රශංසාව මිස කිසිසේත් වැලපීමක් නොවන බව නම් සහතිකය.