රාවය

නාඳුනන ලෝකයක මම සුරක්ෂිතයි – අරුණ ප්‍රේමරත්න

නාඳුනන ලෝකයක මම සුරක්ෂිතයි – අරුණ ප්‍රේමරත්න

ප්‍රියන්ත ලියනගේ

ඔහු අරුණ ප්‍රේමරත්න. සාහිත්‍ය පරිවර්තකයෙක්, වේදිකා නාට්‍ය පිටපත් රචකයෙක්, තිර පිටපත් රචකයෙක්, ළමා සාහිත්‍ය පරිවර්තකයෙක්, නවකතාකරුවෙක් ලෙස ක්ෂේත්‍ර ගණනාවක සිය අනන්‍යතාව සටහන් කර ඇති කලාකරුවෙක්. එහෙත් ඔහු මාධ්‍යයට විවර නොවූ තරම්ය. තමන්ගේ නිර්මාණ භාවිතය ගැන කියවා ගන්නට ජනමාධ්‍යයන් හඹා නොගිය මේ සම්මානනීය නිර්මාණකරුවා පසුගිය රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී ද ‘බැද්දේ කුලවමිය’ සම්මානිත ටෙලිනාට්‍යයේ හොඳම තිරපිටපත් රචකයා ලෙසින් ද සම්මානයට පාත්‍ර විය. ඔහු සොයා පසුගිය දා අපි ඔහුගේ නිවසට ගොඩ වුණෙමු. මේ එහි දී ඔහුගේ නිර්මාණ භාවිතය සහ ජීවන දර්ශනය පිළිබඳ අප අතර ඇති වූ දොඩමළුවේ සංක්ෂිප්ත සටහනකි.

ඔබ ක්ෂේත්‍ර ගණනාවක නිරත කලාකරුවෙක්. ඒ හින්දා මං කැමතියි අපේ කතාබහට මෙහෙම ප්‍රවේශයක් ගන්න. ඔබ කොයි විදිහට ද ක්ෂේත්‍රය තුළ ඔබේ අනන්‍යතාව සටහන් කරන්න කැමති.

සාහිත්‍ය තුළ පාඨකයෙක්. පොදුවේ කලාව ඇතුළෙ රසිකයෙක්. මං මෙහෙම කියන්නම්. හොඳ සාහිත්‍යකරුවෙක් වෙන එකේ මූලික අඩිතාලම හොඳ කියවන්නෙක් වීම කියලයි මං විශ්වාස කරන්නේ. මං පාඨකයෙක් කිව්වේ ඒ පදනමේ ඉඳන්. මං රසිකයෙක් කිව්වෙත් ඒ පදනමේ ඉඳගෙනම තමයි. කලාකරුවෙක් වෙන එකෙත් මූලිකම පියවර තමයි යම් නිර්මාණයක් රසවිඳීමේ පුහුණුව සහ හැකියාව. මේ පුහුණුවේ සහ රස විඳීමේ පරිචය වර්ධනය වීම ඇතුළෙ තමයි හොඳ නිර්මාණකරුවෙක් හෝ හොඳ සාහිත්‍යකරුවෙක් බිහිවීමේ පදනම තියෙන්නෙ කියලා මං විශ්වාස කරනවා.

ඔබ පාඨකයන්ට වැඩිපුර විවර නොවුණු කලාකරුවෙක්. ඒ නිසා නිර්මාණ භාවිතයට පිවිසීමේ කතන්දරය තුළ අපි ටිකක් මුලට ගිහින් එමු ද?

මං උපදින්නෙ අලව්ව ප්‍රදේශයේ උඩුමුල්ල කියන ගමේ. මගේ මවුපියො දෙන්න ම ගුරුවරු. ඒ නිසා කුඩා කාලෙ ඉඳලම ශාස්ත්‍රීය පරිසරයක් ගෙදර තිබුණා. එහෙම පරිසරයක් තියෙන ගෙදරක පුංචියට හරි පොත් එකතුවක් තියෙනවා. අපේ ගෙදරත් එහෙම එකක් තිබුණා. ඒකෙ තිබුණෙ ඩබ්.ඒ. සිල්වාගේ, මාර්ටින් වික්‍රමසිංහ වගේ ලේඛකයන්ගේ පොත්. ඊට අමතරව ජාතක කතා සංග්‍රහය, සන්දේශ කාව්‍ය වගේ පොත් තිබුණා. අනිත් එක කියවන්න තියෙන ළැදිකමක් මගෙ මුල ඉඳන් ම තිබුණා. ඒ හරහා තමයි මං සාහිත්‍යය හඳුන ගන්නේ. තරුණ වියට එළැඹෙන කොට මගේ මේ කියවීම සෝවියට් සාහිත්‍ය පැත්තට හැරුණා. ඒව සුලබව තිබුණ වගේ ම අඩු මිලට ගන්නත් තිබුණ. ඊට අමතරව සෝවියට් සාහිත්‍ය කියවීම ඒ කාලේ තරුණයන්ගේ විලාසිතාවක් බවටත් පත්වෙලා තිබුණෙ. ස්ටැලින්වාදී මතවාදයත් එක්ක සෝවියට් සාහිත්‍ය ඇතුළෙ බොහොම ජනප්‍රිය වෙලා හිටිය ලේඛකයො තමයි මැක්සීම් ගෝර්කි, මිහායිල් ෂෝලහව්, අයිත්මාතව් වගේ කට්ටිය. මේවායෙ තිබුණෙ ඉතා සාටෝපවත් රටාවක්. ඒ අය ලිව්වෙ වෙන දේශපාලන අරමුණක් සඳහා. මේවායින් බොහොම ආලෝලනය වෙලා ඉද්දි තමයි මට දොස්තව්ස්කිගෙ දිවා රැය කියන පොත කියවන්න ලැබෙන්නේ.

ඔය කාලෙ වයස කීයක් විතර ද?

අවුරුදු දාහතරක් පහළොවක් විතර ඇති. ඒක මට මතක තියෙන්නෙ එතකොට අපි ගමෙන් ඇවිත් තිබුණෙ නෑ.
හරි අපි දිවා රැය ගැන කතාවට යමු.
මේ කාලේ මං ගෝර්කිගෙ අම්මා නවකතාව කියවලා බොහොම ආලෝලනයට පත් වෙලා හිටියෙ. දිවා රැය කියන්නෙ මං කියවන්න කල් දම දමා හිටපු පොතක්. මොකද, ඒක ඇතුල් වෙන්න අමාරු පොතක්. ඒත් මං එක මොහොතක දි ඒක කියවනවා. ඒක කියෙව්වට පස්සෙ මට දැනෙන්න ගත්තා මංහිටියෙ සුරංගනා ලෝකෙක නේද? මිනිස් ජීවිතේ මොන තරම් සංකීර්ණයි ද කියලා. දොස්තව්ස්කිගෙ ලේඛන රටාව වෙනස්.ඔහුගෙ සමාජ විග්‍රහය වෙනස්. ඒකෙන් මං තේරුම් ගන්නව මං කියවමින් හිටිය සාටෝපවත් සාහිත්‍යයට වඩා වෙනස් සාහිත්‍යයක් ලෝකෙ තියෙනව නේද කියලා. ඒ කාලෙ වෙනකොට මුනිදාස සෙනරත් යාපා දොස්තව්ස්කිගෙ අපරාධය හා දඩුවම සිංහලට පරිවර්තය කරල තිබුණ, කේ.ජී. කරුණාතිලක බිම්ගෙයි සිරකරුවා පරිවර්තනය කරල තිබුණා. ටොල්ස්ටෝයිගෙ පොත් පරිවර්තනය වෙලා තිබුණා. ඒ කාලෙ ඉංග්‍රීසියෙන් කියවන්න බෑ සිංහලෙන් තමයි කියෙව්වෙ. ඒකත් එක්ක තමයි සාටෝපවත් සාහිත්‍යයට එහා ගිය ගැඹුරු ජීවන දැක්මක් තියෙන සාහිත්‍යය මට විවර වුණේ.

මේ විදිහට ගමේ හිටිය ඔබට පස්සෙ ගම එපා වෙනවා. මං හිතන්නෙ ඒකටත් සුවිශේෂ හේතුවක් බලපානවා. අපි ඒකත් කතා කරලමු ඉමුද?

1989දි ජේවීපී කැරලිකාරයින්ගේ අතින් තාත්ත ඝාතනය වෙනවා. එයා එක්සත් ජාතික පක්ෂෙ සාමාජිකයෙක් වගේ ම විදුහල්පතිවරයෙක්. කැරලිකාරයො ඉස්කෝලෙ වහන්න කියනවා. අමාත්‍යාංශෙන් කියනව ඉස්කෝලෙ අරින්න කියලා. එයා රාජ්‍ය සේවකයෙක් හැටියට රජයේ නියෝගෙ පිළිගත්තා. මං හිතන්නේ ඝාතනයට ඒකත් බලපෑවා. ඊට පස්සේ අපිට ගමෙන් එන්න වෙනවා. අපි කුරුණෑගල නගරෙ පදිංචි වෙනවා. එතනදි ජීවිතේ සුවපහසු වෙනවා.

ගම සුන්දරයි කිව්වට එහෙම නැද්ද?

ඇත්තටම මට අනුව එහෙම නෑ. ඒකෙ කුඩුකේඩුකම් ඉරිසියාකම් පිරිලා. දේශපාලනයට අමතරව අපේ තාත්තගෙ ඝාතනයට පවා බලපෑවෙ ඒ ග්‍රාමීය සහ වැඩවසම් සබඳතා. අල්ලපු ගෙදර කෙනා අඳුරන්නෙ නැති එක මට හොඳයි. අර නෑදෑකම් ඥාතිකම් නැති එක හොඳයි. අර අඳුනනකම් ඇතුළෙදි වඩා නාගරික නාඳුනනකම් ඇතුළෙ මං සුරක්ෂිතයි. ඒ නිසා මට නගරය තමයි සුරක්ෂිත තැන වෙන්නෙ. මං ගමේ ජීවත් වෙන්න කැමති නෑ. ගම ඇතුළෙ තියෙන්නෙ අනාරක්ෂිත බවක්. පහසුව වගේම සුරක්ෂිත බවත් මට දැනෙන්නෙ නගරෙදි. ඒත් ගමෙන් ලැබුණ අත්දැකීම් මගෙ ජීවිතය ඇතුළෙ පන්නරයක් විදියට තියෙනවා.

කොච්චර කල් කුරුණෑගල ඉන්නව ද?

මං විශ්වවිද්‍යාලෙට තේරිලා 95 කොළඹ එනකම්ම ඉන්නෙ කුරුණෑගල.

ඔබ තේරෙන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයට. අද ක්ෂේත්‍රයට සම්බන්ධව ඉන්න කවුද ඒ කාලෙ කොළඹ විශ්වවිද්‍යාලෙ ඔබත් එක්ක ඉගෙනගත්තු සමකාලීනයො?

පියල් කාරියවසම්, චාරුක සුරවීර, වසන්ත සිරිවටගොඩ, වජිර මහකනුමුල්ල (ඒ කාලෙ මහන වෙලා හිටියෙ) තරංගා රණසිංහ වගේ අය අපිත් එක්ක හිටියා. මං ශාස්ත්‍ර පීඨෙ. මං කළේ සිංහල විශේෂවේදී උපාධිය. මගෙ බිරිඳත් මගෙ අවුරුද්දෙමයි. ඇය සාගරිකා අලහකෝන්. හිටියෙ අපේ විශ්වවිද්‍යාලෙම අධ්‍යාපන පීඨයේ. ඇය කළේ අධ්‍යාපනවේදය.

ගොඩාක් ශිෂ්‍යයො විශ්වවිද්‍යාලෙදි දේශපාලනය කරනවා. ඔබටත් මොකක් හරිම ශිෂ්‍ය දේශපාලනයක් තිබුණ ද?

නෑ. කිසිසේත්ම නෑ. ඉස්සර ඉඳන්ම මාක්ස්වාදයට මගෙ ලොකු ළැදියාවක් තිබුණා. මං මාක්ස්වාදය හදාරල තියෙනවා. මං සෑහෙන්න මාක්ස්වාදය ගැන කියවල තියෙනවා. ශිෂ්‍ය දේශපාලනය කියන එක මට අනුව දේශපාලනයක් නෙමෙයි. අදටත් මං කියනවා ශිෂ්‍ය දේශපාලනය කියන්නෙ බොරුවක් කියලයි.

ඔබේ පියාව ඝාතනය වෙන්නේ වාමාංශික ව්‍යාපාරයක් ලෙස තමන්ව හඳුන්වා ගන්න ජනතා විමුක්ති පෙරමුණ අතින්. ඒත් ඔබේ නිර්මාණ ඇතුළෙදි අපි දකින්නේ වාමාංශික ව්‍යාපාරෙට පක්ෂපාතී ආස්ථානයක්.

මම පියාගේ ඝාතනය පෞද්ගලිකව ගත්තේ නෑ. ඒ නිසා හැලහැප්පීම් අතින් ගත්තොත් පියාගේ ඝාතනය ගැන වෛරයක් නැතත් මගේ හිතේ කනගාටුවක් තියෙනවා. ඒත් දේශපාලනිකව මුහුකුරා යනකොට මොකක්ද සිද්ධවුණේ කියන එක තේරුම් ගන්න මට අවස්ථාව ලැබෙනවා. ජීවත්ව ඉන්න කාලෙත් අපි දෙන්න අතරෙ දේශපාලනිකව ගැටුමක් තිබුණා. දේශපාලනික වශයෙන් අපි හිටියෙ දෙපැත්තක. ඒ කාලෙ වුණත් මං පියාගේ දේශපාලනය විවේචනය කරල තියනවා. ඒක නිසා මගේ පියාගේ ඝාතනයයි මගේ දේශපාලනික ආස්ථානයයි මගේ නිර්මාණ ඇතුළෙ මං කවදාවත් පටලවා ගන්නේ නෑ.
පියාගෙ ඝාතනයත් එක්ක 88-89 ඔබට පෞද්ගලිකව බලපාන අරගලයක් වෙලත් ඔබ ඒක දිහා බලන්නෙ මැදහත් ආස්ථානයක ඉඳන්.
ඒ කාලෙ මං අවුරුදු 16ක ළමයෙක් වශයෙන් මං දේශපාලනිකව මුහුකුරා ගිහින් හිටියෙ නෑ. ඒ අරගලයට මගෙ ඍජු සම්බන්ධයක් කොහෙත්ම තිබුණෙ නෑ. ඒත් ඒ කාලේ මට මතකයි කථික තරගෙකදි ජාතික වීරයො ගැන තිබුණු කතාවකදි මං කිව්වෙ ජාතික වීරයො තමයි අර ටයර්වල දාල තියෙන්නෙ කියලා. මට අරගලය ගැන පක්ෂපාතිත්වයක් තිබුණත් ඒක යන පාර ගැන මට දෙගිඩියාවක් තිබුණා. මොකද ඒ කාලේ ඉඳන් මාක්ස්වාදය ගැන බැරි බැරි ගානෙ වුණත් මං කියෙව්වා. ඒ නිසා මං අරගලයට පක්ෂාතී වුණත් ඒක යන පාර ගැන ලොකු අවබෝධෙකින් නොවුණත් යම් ප්‍රතිවිරෝධතාත්මක ලක්ෂණ මං දැක්කා. කොහොමත් දේශප්‍රේමයට මගේ කවදත් පක්ෂපාතිත්වයක් තිබුණෙ නෑ. මොකද ඒක හැමවිටම වගේ නෑකම් කියන්නෙ ජාතිවාදයට.

ඔබ නිර්මාණකරණයට පිවිසෙන්නේ විශ්වවිද්‍යාල ජීවිතේදිද?

නෑ. පුංචි කාලෙදි. ගීත රචනාවලට ඒ කාලෙ ඉඳන් මගෙ අවධානයක් තිබුණ. මං ළමා ගීත කීපයක්ම රචනා කරල තියෙනවා. සමහර ඒවා ප්‍රචාරය වෙලත් තියෙනවා. ඒ කාලෙ රූපවාහිනියෙ යනවා ‘උදාර’ කියල ළමා වැඩ සටහනක්. ඒකට මං ගීත රචනා ලියල දානව. මට මතකයි එක ගීතයකට සංගීතය සපයන්නේ රංග දසනායක.

ඔබ පරිවර්තකයෙක්. භාෂාව ඉගෙන ගත්තෙ කොහොමද, ගෙදර පරිසරයෙන්ද?

නෑ. ස්ව උත්සාහයෙන් තමයි ඉගෙන ගත්තේ. ඒකට බලපාපු ටියුෂන් ගුරුවරු කීපදෙනෙකුත් හිටියා. මගේ ඉංග්‍රීසි අධ්‍යාපනේ කියන්නෙම සාහිත්‍ය ඇසුරට තිබුණු කැමත්තේ ප්‍රතිඵලයක්. මං ඉංග්‍රීසි පුරුදු වුණේම සාහිත්‍ය ඇසුරු කරන්න. මොකද මං දැනගත්ත විශ්ව සාහිත්‍යය හදාරන්න නම් ඉංග්‍රීසි භාෂාවට ළංවෙන්නම ඕනෙ කියල. ඒ කාලෙ සල්ලි හම්බ වුණාම මං සමහර පොත් අරන් තියාගන්නව පස්සෙ කියවන්න කියලා. සමහර වචන තියෙනව තේරුම දැනගත්තත් මං අදට උච්චාරණය කරන්න දන්නෙ නැති. මං නෙට් එකෙන් බලල තමයි ඒවයේ උච්චාරණය ඉගෙන ගන්නේ. ඊළඟට ඉංග්‍රීසියෙන් කියවීමේ පුරුද්ද. ඒක වෙනම ඇති කරගන්න ඕනෙ එකක්. ඒකත් කියවීමෙන් ම තමා ඇති කර ගත්තෙ.

පරිවර්තනයට එන්නෙ කොහොමද?

ඒ කාලෙ මට හම්බ වෙනවා රණසිංහ අධිකාරිව. ඔහු ගුරුවරයෙක්. අපි කතෝලික සිනමා පර්ෂදයෙ පාඨමාලාවකට කොළඹ එනවා. ඔහුත් කුරුණෑගල වුණාට මට ඔහුව හමුවෙන්නේ මේ ගමනෙදි. ඔහු හිටියෙ නාට්‍යයක් කිරීමේ අදහසින්. ඔහු මට කියනව ඉයුජින් අයෙනෙස්කෝගෙ The Lesson කියන නාට්‍යය පරිවර්තනය කරල දෙන්න කියලා. ඒක තමයි මගෙ මුල් ම පරිවර්තන කාර්යය. ඊට පස්සෙ විශ්වවිද්‍යාලෙ දි මට බුද්ධික දමයන්තව හඳුනගන්න ලැබෙනවා. එතකොට ඔහු තරුණසේවා සභාවෙ ආධුනික නාට්‍යකරුවෙක් විදියට හිටියෙ. ඔහු මට කියනවා එඞ්වඞ් ඇල්බි කියන ඇමරිකන් නාට්‍ය රචකයගෙ The Zoo Story නාට්‍ය පරිවර්තනය කරන්න කියලා. ඒ නාට්‍ය 1995දි පාදඩයා නමින් නිෂ්පාදනය වෙනවා. ඒකට රාජ්‍ය නාට්‍ය උළෙලෙදි හොඳම පරිවර්තන නාට්‍යයට හිමි සම්මානය ලැබෙනවා. එතනින් තමයි මං ප්‍රසිද්ධ කලා මාධ්‍යයකට ඇතුළු වෙන්නෙ. ‘පුතා එනකං’ සහ ‘සෙනෙහෙබර ධනුද්ධර’ කියල ස්වතන්ත්‍ර නාට්‍ය දෙකකුත් මම ලියලා තියනවා.

ඊට පස්සෙ?

හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ පියාඹන පෙට්ටගම, පුංචි දියකිඳුරිය සහ තවත් කතා වගේ ළමා ළමා පොත් කීපයක් පරිවර්තනය කළා.

ළමා සාහිත්‍යය කියන්නෙ මොකක්ද?

ළමා සාහිත්‍යය කියන්නේ වැඩිහිටියන් විසින් ළමයින්ට බල කරන එකක් නෙමෙයි කියලයි මං විශ්වාස කරන්නේ. මං ඇන්ඩර්සන්ව තෝරගන්න හේතුවත් ඒකයි. ඔහු ළමයින් ගැන ලියන වැඩිහිටියෙක් නෙමෙයි. ඔහු ළමයෙක්. ඔහු ළමා ලෝකෙට යන්නෙ ළමයෙක් විදිහට. ඒ කෘති ඇතුළෙ තියෙන්න ඕනෙ ළමයින්ගේ ලෝකෙ අපූර්වත්වය, ඒ ළමා ලෝකෙ විචිත්‍රත්වය.

නවකතා පරිවර්තනයට එන්නෙ කොහොමද?

සරත් විජේසූරිය මහත්තයගෙ ආරාධනයෙන්. ඔහු මගේ විශ්වවිද්‍යාලෙ ගුරුවරයෙක්. හතළිස්වැනි මරණය නමින් මං පරිවර්තනය කරල තිබුණු The Lesson නාට්‍ය ඔහු බලල තිබුණ. ඔහු තමයි නවකතාවක් පරිවර්තනය කරන්න කියල යෝජනා කෙරුවෙ.

පළවැනි පරිවර්තන නවකතාව මොකක්ද?

මිලාන් කුන්දේරගේ The Fairwell Party ඒක මං ‘සමුගැනීමේ සාදය’ නමින් පරිවර්තනය කළා.

ඒ තේරීම ඔබේ ද, විජේසූරිය මහත්තයගෙද?

මගේ. ඔහු අහවල් නවකතාව කරන්නය කියල බලපෑම් කෙරුවෙ නෑ.

ඊළඟට ඔබ කරපු පරිවර්තන නවකතා මොනවද?

මිලාන් කුන්දේරගෙම නවකතාවක් වුණු The Life is Elesware ‘ජීවිතය අන් තැනක’ නමින් පරිවර්තනය කරනවා. තව මං අතින් පරිවර්තනය වෙන නවකතාවක් තමා ඇල්බර්ටෝ මොරාවියාගෙ The Yoyer ‘යතුරු සිදුරෙන් එබී බලන්නා’

ඔබ අනුවර්තකයෙක් ද, පරිවර්තකයෙක් ද?

පරිවර්තකයෙක්.

අනුවර්තකයා හා පරිවර්තකයා අතර වෙනස මොකක්ද?

මැදිහත්කරුවා කෘතිය ඇතුළෙ නොපෙනීම තමයි පරිවර්තනය කියලා මං විශ්වාස කරන්නේ. මැදිහත්කරුවා අයින් වෙලා පාඨකයයි මුල් කෘතියයි ළං කිරීම තමයි පරිවර්තකයගේ කාර්යභාරය ලෙස මං සලකන්නේ. කෘතියයි පාඨකයයි අතරට මැදිහත්කරුවා වඩා වැඩි මැදිහත්වීමක් කරනව නම් මට අනුව ඒක අනුවර්තනයක්.
ඒ කියන්නේ කිසියම් කෘතියක් අනුවර්තනයක්ද පරිවර්තනයක්ද කියලා තීරණය වෙන්නේ මැදිහහත්කරුවා ඒකට මැදිහත් වෙන ආකාරය අනුව.
ඔව්. ආකාරය අනුව. පරිවර්තකයා කියන්නේ කෘතියයි පාඨකයයි අතර සබඳතාව ගොඩනගන්නා. අනුවර්තකයා කියන්නේ කෘතියට තමන්ගේ කොටසකතුත් ඇතුළු කරන කෙනා. හැබැයි තව දෙයක් කියන්න ඕනෙ. මැදිහත්කරුවා නොපෙනී ඉන්නවා කිව්වත් අපි භාෂාවක් ඇතුළට තවත් භාෂාවක කෘතියක්නෙ ගේන්නෙ. වෙනත් විදිහකින් කියනව නම් සංස්කෘතියක් ඇතුළට තවත් සංස්කෘතියක් තමයි අපි නවකතාවක් ලෙස හැමවිටම ගේන්නෙ. ඒකෙදි මැදිහත්කරුවා කොච්චර නොපෙනී ඉන්න බැලුවත් බැරිවෙන වෙලාවල් තියෙනවා. එක භාෂාවක තියෙන වචනයකට මෙහෙදි ඒක වඩාත්ම දනවන්න පුළුවන් වෙන වචනයක් තියෙනව නම් සමහරවිට අපිට ඒක යොදා ගන්න තියෙන්නේ වෙන වචනයක් වෙන්න පුළුවන්. හැබැයි අපි පරිස්සම් වෙන්න ඕනෙ අදහස විකෘති නොකරන්න. ඒ නිසා මෙහෙම කිව්වොත් වඩාත් නිවැරදි වෙයි කියල මට හිතෙනවා. කෘතිය ඇතුළෙ මැදිහත්කරුවගේ අවම මැදිහත්වීම. සාහිත්‍ය පරිවර්තනයෙදි මේක විශේෂයි. ඒ නිසාම ඒක බැරෑරුම් කාර්යයක්.

ඔබ කුණුහරුප කියල දෙයක් පිළිගන්නවද?

(සිනහ වෙමින්) නෑ මං එහෙම එකක් පිළිගන්නෙ නෑ.

‘යතුරු සිදුරෙන් එබී බලන්නා’ වගේ කෘතියක් මතුපිටින් කියවපු සදාචාරවාදියෙක් ඔබට කුණුහරුප සාහිත්‍යකරුවෙක් කියල චෝදනා කළොත්?

මං ඒක පිළිගන්නේ නෑ. සාහිත්‍යයෙන් කරන්නෙත් මිනිස් ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීම. ඒ මිනිස් ජීවිතයේ විවිධ කලාප නිරූපණය කිරීම. මනුෂ්‍ය ජීවිතය ඇතුළෙ ශෘංගාරය කියල දෙයකුත් තියෙනවා. එක් කෘතියක ඒ ශෘංගාර කලාපෙ වැඩිපුර නිරූපණය වෙන්න පුළුවන්. තවත් කෘතියක ඒක අඩුවෙන් නිරූපණය වෙන්න පුළුවන්. එහෙම නැතුව කුණුහරුප සාහිත්‍ය කියල එකක් තියෙනව කියල මං විශ්වාස කරන්නෙ නෑ. යතුරු සිදුරෙන් එබී බලන්නා කියන සාහිත්‍ය කෘතියෙ ගත්තොත් ඒකෙ ශෘංගාර කලාපෙ ගැන ටිකක් වැඩිපුර තිබුණ. ඒක තහනම් කරන්න පවා ඒ කාලෙ ගියා. මේ අවස්ථාවෙ සරත් විජේ්සූරිය මහත්තයට මං ස්තූතිවන්ත වෙන්නත් ඕනෙ ඒක ප්‍රකාශයට පත් කරන්න එතුමා නිර්භය වීම ගැන.

‘තරු විසුල රැයක්’ ඔබේ පළවැනි ස්වත්‍රන්ත නවකතාව. ඔබේ පෞද්ගලික ජීවන අතදැකීමුත් කිසියම් විදිහකින් මේකට සම්බන්ධයි ද?

පෞද්ගලික අත්දැකීම් කියන්නෙ මෙහෙමයි, පියාගෙ ගුරු ජීවිතය හා ඒ ඇසුරෙන් හම්බවුණු ඇතැම් චරිත බලපෑව. ප්ලොට් එකක් හැටියටත් කාලයක් මගේ හිතේ මේක තිබුණා. ඒත් බිරිඳ තමයි නවකතාවක් ලියන්න කියල මාව උනන්දු කළේ. ඒ උනන්දුවේ ප්‍රතිඵලය තමයි මේ.

සාහිත්‍ය නිර්මාණයක් ඇතුළෙ නිර්මාණකරුවගේ ආත්මීය සබඳතාවකුත් තියෙනව කියල අපි දන්නවා. තරු විසුල රැය ඇතුළෙ අරුණගෙ ආත්මීයත්වය සටහන් වෙන තැන මොකක් ද?

ගුරුවරයා හා ශිෂ්‍යයා අතර තියෙන සම්බන්ධය. ඒක ඇතුළෙ පිය-පුතු සබඳතාවක් තියෙනව. මං සහ තාත්ත අතර තිබුණු සම්බන්ධයත් ඒකට බලපාන්න ඇති කියල මට අද හිතෙනවා. කෙළින් ම නවකතාව ඇතුළෙ තාත්තයි පුතයි නොවුණට ඒක ඇතුළෙ තිබුණෙ කිසියම් ප්‍රතිවිරෝධාත්මක සබඳතාවක්. ඒක මායි අපේ තාත්තයි අතර තිබුණු ප්‍රතිවිරෝධයට සමාන ප්‍රතිවිරෝධී සබඳතාවක්.

දැන් මං කැමතියි වෙනත් පැත්තකට යොමු වෙන්න. අරුණ ජීවිතය තේරුම් ගන්නෙ කොහොමද?

පෞද්ගලිකව මගේ ජීවිතය ගත්තොත් දාර්ශනිකව මං මාක්ස්වාදය පැත්තට බරයි. ආගමික විදිහට නම් බුදුදහම පැත්ත. ඔය දෙක අතර තමයි මගේ සිතුවිලි දෝලනය වෙන්නේ. ඒත් මං ඒ දෙකම ඇදහිල්ලක් කරගෙනත් නෑ. ඒ හින්දා මට ඒව ආගමිකත් නෑ. මේ දෙක දිහාම මං බලන්නෙ විවෘතව. ඒත් ජීවිතය තේරුම් ගන්න උත්සාහ කරන කොට මං ඒ දෙක අතරම සැරිසරනවා. වෙනත් විදිහකින් කියනව නම් මගේ ජීවිතයේ ගමන් පථය තියෙන්නේ ඔය දෙක අතරෙ. කෙනෙකුට මේක පරස්පරයක් ලෙස දැනෙන්න පුළුවන්. භෞතිකවාදයේ සහ විඥානවාදයේ දෙකේම කොහොමද මිනිහෙක් ඉන්නෙ කියලා. නමුත් මං ඒක අල්ල ගන්නෙ වෙන කෝණෙකින්.

මං කැමතියි ඒ වෙන කෝණෙ මොකක්ද කියල දැන ගන්න.

මාක්ස් කිව්වෙ ප්‍රාග්ධනය විසින් මිනිස් ජීවිතය අත්අඩංගුවට ගත්තු, ඒක හසුරුවන, ඒක ඇතුළෙ මිනිස්සුන්ව හිරකාරයො කරල තියෙන මේ ජීවිතයට වඩා වෙනස් ජීවිතයක් ගැන. බුදුහාමුදුරුවො කිව්වෙත් මේ ඇලීම දුකක් කියලා. දේවල්වලට ඇලෙන්නෙ නැති, දේවල් පසුපස හඹා නොයන, ජීවිතය කියන්නෙ බඩු භාණ්ඩ පොදි ගැහීම ජීවිතය නොකර ගත්තු ජීවිතයක්. බුදුන්වහන්සේ මේක ආධ්‍යාත්මික ජීවිතය පැත්තෙන් විග්‍රහ කළා. මාක්ස් මේක ද්‍රව්‍යමය ජීවිතය පැත්තෙන් විග්‍රහ කළා. මාත් විශ්වාස කරනවා මිනිස්සුන්ට මීට වඩා වෙනස් ජීවිතයක් තිබිය යුතුයි කියලා. ඒ නිසා මේ දර්ශන දෙකම මට සමීපයි. ඒකයි මං කිව්වෙ මගේ ජීවිතයේ ගමන් පථය තියෙන්නේ මේ දෙක අතරෙ කියල.