රාවය

චන්ද්‍රකුමාර කවි ලියන කාලෙ සමාජ පිළිගැනීම තිබුණද? – ටිම්රාන් කීර්ති

චන්ද්‍රකුමාර කවි ලියන කාලෙ සමාජ පිළිගැනීම තිබුණද? – ටිම්රාන් කීර්ති

දිනී ජයසේකර

ලංකාවේ පඳුරකට පයින් ගැහුවත් කවියො සීයක් දෙසීයක් ඉන්නවා. ඉතිං මෙච්චර කවියො ඉද්දි ලංකාවෙ කවි භූමිය සාරවත් ස්ථානයක තියෙනවද?

මරු ප්‍රශ්නයක් ඔයා අහන්නේ. මං පුද්ගලිකව කැමති මේ දූපතේ සේරම කවියො වුණා නම්. ‘කවිය’ කියන නාමකරණයේ තාක්ෂණික කෑල්ල ගැන නෙවෙයි කියන්නේ. මේ රටේ ඉතිහාසය පීරල බලද්දි කවියත් එක්ක දියුණු ගනුදෙනුවක් තිබුණ රටක් මේක. යසෝදරාවත ලිව්වෙත් ජන කවියෙක්. හැබැයි එයා පැහුණු කෙනෙක්. කතුවරු තිරෙන් පිටිපස්සට වෙලා කවිය, ඉස්සරහට දාපු ඈතම අතීතයක් අපට තිබුණා. ‘කවිය’ ඉස්සරහට එද්දි කොහොමටත් අධිපතිවාදයකුත් දළු දානවා. කොහෙත් එහෙමයි. ඔබ අහන ප්‍රශ්නෙට උත්තර දෙනව නම් සංඛ්‍යාත්මකව විශාල කවි කිවිඳියන් ප්‍රමාණයක් දැකගන්න ලැබෙනවා. හැබැයි ‘කවියන්ව’ දරාගන ඉන්න බිමේ හඳහන කරකවන්න පුළුවන් ඉතාම සුළුතරයකට විතරයි. ලංකාවෙ කවිය මහ ලොකු තැනක තියෙනව කියල මං කියන්නෙ නෑ. හැබැයි තැනක තියෙනවා.

කවි පොතක් ලියල ප්‍රින්ට් කරහම විකුණගන්න බැරි ඇයි?

මුලින්ම කියන්න ඕනෙ කවි පොතක් කරනව කියන කාරණය ආශ්චර්යයක් නෙවෙයි. අපි පොත් කරන අදහසින් කවි ලියන්න ගත්තොත් මං හිතන්නේ නෑ විශ්වාසෙකින් පොතක් ලියාගන්න පුළුවන් වෙයි කියල. කාලයක් කවිය එක්ක ඉද්දි අපිට අපිව හම්බ වෙන කවි ටිකක් ගිණුමෙ තියෙයි. අපේ කවිවලට ආදරය කරන මිනිස්සු මුණ ගැහෙයි. අපි උදාසීනයි තමයි. හැබැයි කවිවල හිම මිදෙන තරම් සීතල වෙන්න ගියොත් මළාට පොතක් කරන්න වෙන්නේ නෑ. ඇත්ත. මේ රටේ ලියන කියන මිනිස්සුන්ට පොළඹවනසුලු වටපිටාවක් නෑ. කවියන්ට තියෙන ප්‍රශ්නෙම ස්වයං රැකියා කරන මිනිස්සුන්ටත් තියෙනව. වෙඩිවර්ධනල, ලක්ශාන්තලා, බන්දුජීවලා, සෞම්‍යලා, මස්ඉඹුලලා, බෙනාල වගේ තවත් අය හොඳ කවි පොත් මෑත කාලෙදි ලිව්වා. ඒවා විකිනුණා. ‘යන්නං චන්දරේ’ කවි පොත පොත් කඩවලට දාන්න ගියාම පොත් සාප්පුවල මිනිස්සු හිනාවුණා. හුඟදෙනෙක් කිව්වෙ පස්සෙ බලමු කියලා. අන්තිමට පොත විකිණෙන්න ගද්දි ඒගොල්ලොට කරදරයක් වෙන තරමට ඇමතුම් දුන්න කවි පොත ඉල්ලලා. පොත් මිනිස්සු අතරට ගෙනියන්න නිර්මාණශීලී ක්‍රමවේදයන් අපිව හොයා ගන්න ඕනෑ. කවි පොත් විකුණන්න බෑ කියන්නේ බොරුවක්. අත්දැකීමෙන් මං ඒක දන්නවා. ප්‍රකාශකයෝ තමයි නඩත්තු කරන්නේ මේ බොරුව.

ගොඩක් කවියො සමාජ, සංස්කෘතික සම්මතේට කොටුවෙලා ලියනවා. සමහරක් අසැබි ආකාරයට කවි නිර්මාණය කරනවා. මෙතැනදී කවියා සැලකිලිමත් විය යුත්තේ කුමන කාරණය සම්බන්ධවද?

කවියො විවිධ කවි ලියනවා. විවිධ කවි මාදිලි තියෙනවා. කවියෙ පාදමේම තියෙන්නෙ. ‘අපූර්වත්වය.’ මං හිතන පිළිවෙළට කීකරු ලියන හොඳ ළමයෙකුට නෙවෙයි කවියා කියන්නෙ. සම්ප්‍රදාය තුළම ඇටුවං බහින කවියෙක්ට අලුත් මිහිරක් හැඩයක් කවිය තුළට වද්ද ගන්න අමාරු වෙනවා. රාහුල හාමුදුරුවෝ ලියපු කවිවල මොනව නැතත්, චමත්කාරය වැක්කෙරෙන්න තිබුණ. කවිය ප්‍රවාහයක් විදියට ඉස්සරහට යද්දි යම් යම් තැන්වලදි හිරවුණා. එහෙම තැන් පුපුරුවා දැම්මේ අකීකරු කවියො.
සම්මතය, සම්ප්‍රදාය ප්‍රශ්න කරන, කඩා බිඳ දමන කවියක් ලියන්න නම් අපි ඒ දේවල් ගැන දැනුම අත්පත් කරගන්න ඕනෙ. වචනවලින් විතරක් සෙල්ලං දාන්න ගියාම දන්න අය දන්නව මෙයා දන්න මඟුලක් නෑ කියල.
මම දන්නෙ නෑ සභ්‍ය කවි, අසභ්‍ය කවි වෙන් කරන බෙදුම් රේඛාව මොකක්ද කියලා. කවි දිහා බලන ඇස්වලත් අවුල් තියෙනවා. ඒක ටිකක් ලොකු විෂයක්. වැඩියෙන්ම ලිංගික හිංසන, අපචාර දකින්න ලැබෙන්නේ කොහෙද? පවුල (ගෙදර), ආගමික ස්ථාන, පාසල, අපි නොකිව්වට දන්න ඇත්ත ඕකනෙ, වැඩිහිටියො, ගරු කටයුතු පුද්ගලයොනෙ ඔය තැන්වල ඉන්නේ. අසැබිකම් නඩත්තු කරන අය හරි බයෙන් ඉන්නේ. ඉතින් එයාලම තමයි කවිය විතරක් නෙවෙයි අනෙකුත් සියලු තැන්වලදි අනිත් පැත්තට කෑගහන්නෙ. අනවශ්‍ය සුචරිතවාදයක් කරේ තියං ලියන්න කරන්න පුද්ගලිකව මං කැමති නෑ. අනිත් අතට සියවස් කීපයක්ම ආපස්සට ගියාම පෙදෙන් ‘බුදු සිරිතැ’ වගේ බැරියර් තියෙද්දිත් ඒ කාලෙ කවියො වංගු ගහල අපූරු කවි ලිව්වනෙ. අපටත් පුළුවන් වෙන්න ඕන සූක්ෂ්ම වෙන්න.
හැබැයි අපි ඉස්කෝලෙ ඕ ලෙවල් පන්තිවල ඉද්දි විනෝදෙට කුණුහරුප කවි සිංදු ලියපු – කියපු කාලයක් තිබුණනෙ. කවිය එතෙන්ට නම් දාන්න හොඳ නෑ. අපි අපේ ඉස්සරහ තියෙන හිස් පිටුවෙ ලියමින් ඉන්නව නම් අපි ළඟ තාර්කික කාරණා තියෙනව නම් ආයුධ පෙට්ටියෙ අත්‍යවශ්‍යම උපකරණ ටිකවත් තියෙනව නම් මට හිතෙන්නේ ප්‍රමාණවත්. කවියෙක් කියන්නේ සැලකිලිමත් විය යුතු දේ ගැන ලියන කෙනෙක් නෙවෙයි. ලියපු දේ ගැන සැලකිලිමත් වෙන කෙනෙක්.

මේ සමාජ ක්‍රමයේ කවියට ඇති පිළිගැනීම කවරාකාරද?

චන්ද්‍රකුමාර වික්‍රමරත්න කවි ලියද්දි ඔය කියන සමාජ පිළිගැනීම තිබුණද කියන්න මං දන්නෙ නෑ. හැබැයි එයා ලියපු කවිවලට අද වලංගුභාවයක් තියෙනවා. සමාජ පිළිගැනීම කවියට කිසියම් මාත්‍රාවකින් එදත් අදත් තිබුණා. හෙටත් තියෙය