රාවය

කැහි ගෑනියි හොටු ගෑනියි

කැහි ගෑනියි හොටු ගෑනියි

ශාන්ති දිසානායක

අනෝරා වැස්සකට අත වනන්නා වාගෙ අතු ඉති වේගයෙන් සැලේ. මෙතෙක් වේලා පොළොව දැවූ හිරුද මන්දාරමට බියව සැඟවුණු ගාණය. වියළි සුළඟ තුරුලිය පමණක් නොව පියැසිද සොලවා උගුළුවා ගන්නට වෙර දරයි.
ගෙරවුම් හඬත් එක්ක විදුලි කොටන්නට පටන් ගත්තෙන් කෝකටත් කියා කෙල්ල කිරිඅම්මාගේ මල් චීත්තයේ මලක් අතපත ගාන නියාවෙන් කොණක් අතේ දවටා ගත්තාය. ආරක්ෂාවට ජීවම් කළ සුරයක් දැමුවාටත් වඩා චීත්තයේ එල්ලීම ඇගේ කුඩා හෘදයට එක්තරා අස්වැසිල්ලකි.
“අන්න අහට්ට පලයන්.”යි මුත්තම්මා නම් ඇතැම්විට මී මිණිබිරිය පලවා හරියි. කිරි අම්මා කොයි කවදාවත් ඒ සා අකාරුණික වන්නේ නැත.
“හින්නිකිතර උං කළුවරට බයයි… සද්දෙට බයයි… කොයිදේටත් බයයි… හැබැයි ඉතිං සංසාරෙට ඇරෙන්ඩ. සංසාරෙට බයේ මිරිකි මිරිකි ඉන්නේ ඉතිං මේ දැඩිවෙච්චි මහ මිනිස්සුනේ…” යි කියන කිරි අම්මා මිණිබිරියට ඔඩොක්කුව සින්න කරගන්නට ඉඩහරියි.
“අද නං වහිනවා මේ කාස්ටක පොළොව තෙතබරියං වෙනකං….”
කිරි අත්තා කට ඉස්සර කරගන්නා වග සිතන මුත්තම්මා නොරොක් බැල්මක් හෙළයි.
“කට කට”යි උන්දෑ අනතුරු අඟවන්නේ බෑණනුවන් තිත්ත කුණුහරුපයක් කී කලෙක මෙන් මුහුණ හකුළා ගනිමිනි.
“සන්නාසියත් කිව්වලු කියන්නේ වහින එක වහිනවා කියලා දෙගොඩ තලා යන්ඩ.”
සන්නාසියා සිහිකරත්ම කෙල්ලගේ පපුව ගැහෙන්නට පටන් ගත්තේය. රතුම රතු ජටාවත්, දිගම දිග ඇට මාලයත් ළය තෙක් දික්ව වැටුණු පත රැවුලත් ඇය පමණක් නොව ඕනෑම ඇබිත්තං එකෙකු බයභීත කරවන්නට සමත්ය.
“එහෙනං ඉතිං වහී. අව්ව වැස්ස ගැන විතරක්යැ ආත්ම හතක් ගැන හිට උන්නාන්සෙ කියනවලු. දෑහිං දැක්කා වාගේ… අප්පේ එහෙම බලයක්….”
මුත්තම්මා දෑත එක් කොට වැඳ වැටෙන්නේ සන්නාසියා වැඩ ඉන්නා මහ නුගේ පැත්තට හැරෙමිනි.
“සන්නාසියා නෙමේ ඉරිසින්නාන්සේ කිව්වත් නොකිව්වත් බක්මහ වහිනවා… අකුණු ගහනවා… ඕක ඉතිං ආයෙ කවුරුවත් අමුතුවෙන් කියන්ඩ ඕනෑද…?”
කිරි අම්මා බයක් සැකක් ගෑවිලාවත් නැතුව අර ගුණවන්ත තේජවන්ත සන්නාසියා ගැන කට කැඩිච්ච කතා කියන්නීය.
“අප්පුච්චියේ මේ ගෑනිටයි මිනිහටයි කට පරිස්සං කරගන්ඩ බැරි හැටියක්. කාට කරුණාවයි කියනෙකා නං අහලම නෑ මුං…”
මුත්තම්මා කෑගසන්නේ ඇස්ගෙඩි උඩ ඉන්දාගෙනය.
“අනේ නිකා ඉන්ඩම්මේ කොහෙං කඩාපාත් වෙච්චි හොරෙක්ද කව්ද දන්නෙ….ජටාව ඉහේ ඉණේ බැඳගෙන ඇට මාලෙ දැම්මාම ඉතිං අපෙ අම්මලටත් ඕන හොරෙක් දෙයියෙක් වෙනවා…”යි කියමින් කිරි අම්මා නැගී සිටියේ වැස්සට පෙර ගෙට ගත යුතු කප්පරක් දේ වෙනුවෙනි. ඒ හා ම උන්දැගේ ඔඩොක්කුව අහිමි වූ කෙල්ල පැල්කොටේ ගින්නෙන් දැවීයෑමෙන් අනාථ වූ දිළින්දෙකු මෙන් අසරණ බැල්මක් එක්ක” මට බයයි” හැඬුම්බර හඬින් ඇත්තම කීවාය.
“උඹ මොකටද බයවෙන්නෙ?”යි මුත්තම්මා මී මිණිබිරියට කඩා පැන්නාය.
“හිච්චි උං බය වුණහම මොකද… මේ මහ මිනිස්සු ගස් ගල් වාගේ නැඩ මිනිස්සුත් බයේ වෙව්ලන කොට සන්නාසියෝ තාපසයෝ මෑණියො දෙයියො ඉස්සරහ….”
මුත්තම්මාගේ කොණ්ඩා ගුලිය ලිහී වැටුණා නොවේ. උන්දැම ලිහා දැමුවා විනා ඒ මේ නාකි ගෑනි සටනට අවතීර්ණ වූ බව කියාපාන සලකුණකි. උන්දැ නැවත ඒ රිදී පැහැ කෙස්ස ගුලියක් කොට ගෙල පිටුපසට තදවන්නට බැඳගත්තේ ප්‍රතිමල්ලවයා පරාජය කිරීමෙන් පසුවය.

“දෙයියො කොරාපු නොහොබිනාකං හින්දා තමා එලෝගත්තේ.. දිවැසින් දැක්කා වාගේ සන්නාසියා ආ එක කොච්චර වාසනාවක්ද…?”
කංසා මුසු කළ සුරුට්ටුව දෙතොල් අතරින් මඳකට ඉවත් කළ කිරි අත්තා උගුර පෑදුවේය. හරියට ගෘහමූලිකයාට වැදගත් කාරණයක් කියන්නට ඉඩ තිබෙන බව අඟවන්නා වාගේය.
“දෙයියො කිව්වෙත් ගම බබුලුවනවා කියලනේ. දැන් සන්නාසියා කියන්නෙත් මේක දිව්‍යලෝකයක් කොරනවා කියලනේ. මං අහන්නෙ නැන්දම්මෙ මොකාද්දැ ගමට වෙච්චි සෙතේ. අපි අත හෙල්ලුවොත් අපේ කට හෙල්ලෙයි. හා නැද්ද? අපේ බත් කාලා අපේ කැඳ බීලා අපිම බය කොරාගෙන අපෙන් වාල් වැඩ ගන්න එක නෙවේද දෙයියා කෙරුවෙත්…දැං ඔය සන්නාසියාද මොකාද කියන සාමි කොරන්නෙත් ඒකම නෙමේද? හා කියාපල්ලා මට…”
කිරි අම්මා හිස සලා මිදුලට බැස්සාය. මුත්තම්මා චීත්තය බුරුල් කොට යළි තද වනසේ හැඳ ගත්තාය.
“එක යකෙකුට එක මළ පෙරේතයෙකුට හතර සීමාවට එන්ඩ නොදී ගං බිං රකින එකම මදෑ… අපි ආරක්සා කොරන උත්තමයන්ට අපි කන්ඩ බොන්ඩ දුන්නහම මොකදැ වෙන්නෙ? හෙණ ගහනවද?”
යස්සනියකගේ වෙස් ගත් නැන්දම්මා දෙස නොබලන බෑණා නැවතත් ගංජා සුරුට්ටුව උරා බොයි.
“වැස්ස ගියා. ඒත් මං හිතුවා හැඬේ වැඬේ වැඩිවෙන කොට ඕනෑවට වඩා තෙපර බානකොට වහින එකක් නෑ කියලා”යි කිරි අම්මා කීවේ වියැලුණු රෙදි පෙරෙදි පමණක් ගෙට ගෙන එමිනි. පොල්ලෙලි හා හනසුමටලු ආදිය වෙනුවෙන් කරදර නොවූයේ නොවසින වැස්සකට මොකට බය වෙනවාදැයි සිතූ නිසා විය හැක.
“ගොරවන තරමට වහින්නෑ කියන්නෙ නිකංයැ…”
කිරි අත්තාද කීවේ පුංචි යස්සනියක වාගේ තවමත් පුම්බ පුම්බා ඉන්නා නාකි ගෑනිට ඇහෙන්නටය. ඇනෙන්නටය.
“ඕං ඉති අද බැරියැයි සන්නාසියාගේ සත්ත බලන්ඩ…”
කිරි අම්මාද නෙතඟින් බලා කට කොණකින් හිනැහෙන්නීය.
“වහින්ඩ ආපු වැස්ස නවත්තන්ට ඇත්තේ ඒ උත්තමයා තමා…”යි කියමින් මුත්තම්මා චීත්තය තද කොට හැඳ ගත්තාය.
“මේ මී හරකයි මේ එළදෙනයි පලිච්චි කොරනවා අහගෙන ඇත්තෙ උන්නාන්සේ… අප්පේ මොන විනම්බෑසියක් වෙයිද කාටද කියන්ඩ පුලුවං. මං දැම්ම යනවා. මේ දැම්ම යනවා මේකාලාගේ මරි මෝඩ කතාබතාවලට උදහස් වෙන්ඩ පළිගහන්ඩ එපා කියල වැඳ වැටිලා එන්ඩ උන්නාන්සේ… ගාවා….”
කදිමට ඉදුණු අඹගෙඩියක්, බෙලිගෙඩියක්. උක් දණ්ඩක්, තැඹිලි ගෙඩියක්, දෙළුම් ගෙඩියක් උස්සා ගත් උන්දැ කඩුල්ල පැන්නේ කිසිවෙකුගේ මුහුණු නොබලාමය.
ඒ මහබරපොදිය බැරි මරගාතේ උස්සාගෙන යන අම්මා කෙරෙහි මේ දැන් හටගත්තා වූ ආදර කැක්කුමෙන් මොළොක් වූ කිරි අම්මා කෙල්ලට ඉඟි කළාය. මුත්තම්මා සමග යන්නට ලද ඒ අවසරය අදහාගත නොහැකිව ඇය මොහොතක් හිටිපිය හිටගෙන සිටියාය.
“වැටිලා කොන්ද කඩාගත්තහම පත්තු බඳින්නඩ එන්නෙ නෑ සන්නාසියෝවත් දෙයියොවත්… උඹත් ඔය මොක මොකවත් උස්සාගෙන බලයං. උඹට පුළුවන් විදිහකට එවුන්දැ එක්ක. මහ දුරක්යැ…”
කිරි අම්මාගේ වචන කෙල්ල තල්ලු කර දමයි. ඇය මෙලෝ සිහියක් නැතුව මුත්තම්මා හඹා ගියාය. අන්තිමේදී කඩුල්ල පැන්නේ නාකි ගෑනියක් හා හින්නිකිතර එකියකි.
දෙමංසලෙන් අතුපාරට හැරී වැඩි දුරක් යාමට පෙර අහසේත් පොළොවේත් විශාල ඉඩකඩක් උදුරා ගත් මහ නුගේ දැකගත හැකිවිය. ඒ වෙත යාමට මුත්තම්මා නොඉවසිලිමත් වූ අතර කෙල්ල සුපුරුදු පරිදිම තැති ගත්තාය.
දුක් කරදර හා ලෙඩ රෝග ආදියෙන් ගලවා ගැනීම පිණිස සපැමිනි සන්නාසියා වෙනුවෙන් ඉදි කළ කුඩා කුටිය අඩ අඳුරේ දිස්වූයේ අද්භූත සත්ත්වයෙකු පරිද්දෙනි.
“පලතුරු පූජා කොරලා උන්නාසේගෙං අහදැනගන්ඩෝනෑ කැඳවතුර ඩිංගිත්තක් ඇන්න එන්ඩද කියලා උදේට උදේට… කෝකටත් අපි දෙන්නා යමිං ගමං වෙළෙං මුකුණුවැන්න මිටකුත් කඩාගෙනම යං…”
යස්සනිය අතුරුදන් වී ගිය ගාණය. මේ සෞම්‍ය වේෂය කෙල්ලගේ තැති ගැන්ම තුනී කරයි. එහෙත් වැඩි වේලාවක් තව යන්නට පෙර මහ නුගය පවා සලිත කරමින් උන්දැ විලාප දුන්නාය. ඊට හේතුභූත වූ අංගණාව උන්දැද පෙරළා ගෙන පැන දිව්වාය.
අඳුරු කුටිය තුළට අහුමුළු අස්සෙන් එබෙන මලානික හිරු කිරණ පතිතව ඒ මහෝත්තමයාගේ ඇට වැල බැබළිණ. ඉහේ ජටාව පමණක් නොව ඉණ රතු රෙදිකඩද නොවූයෙන් කෙල්ල නමෝ විත්තියෙන් හරි හතරරියං පුරුෂයෙකුගේ පුරුෂ නිමිත්ත ඇස් ගෙඩි දෙක පුරා දැක බලා ගත්තාය. ඒ සෙළුකය මේ තුන් ලෝකයේ සෑම සියලු වස්තුවකටම වඩා පුදුමාකාර බව හඟිමින් ඇය කට ඇරගෙන බලා සිටියාය. ඇගේ මුස්පේන්තු මැහැල්ල බිම පෙරළි පෙරළී වැලපෙන අතරේ ඇය උසට උසේ හිටගෙන ඉන්නා සන්නාසියාගේ ඉස්ගෙඩියේ පටන් දෙපයේ ඇඟිලි තුඩු දක්වා අපූරු හා විස්මිත චාරිකාවක නිරත වූවාය. ඒ සා අරුමැසි චාරිකාවක් ඉන් පෙරද ඉන්පසුද ඇයට අත්විඳින්නට නොලැබෙනවා සහතිකය.
මුත්තම්මාගේ මහෝත්තමයා දෙකලවා අතරේ එල්ලාගෙන ඉන්නා හපුයියා කොතෙක් ප්‍රාණවත් හා සජීවී වී දැයි කිවහොත් කෙල්ල වෙව්ලා ගියාය. මුත්තම්මාත් කිරි අම්මාත් අම්මාත් සනුහරේ බවලතියක් බවලතියක් ගානේ ඇයට ඒ හපුයියා ගැන අනතුරු අඟවන්නට අමතක නොකළහ. බියෙන් ත්‍රස්ත වූ කෙල්ල පැන දුවන්නට තැත් කළාය. අනුපමේය බැතියෙන් උතුරා යමින් මැහැල්ල ගෙනා පලතුරු එකක් නෑර බිම වැටී තිබුණෙන් ඒ මත ලිස්සා ඇද වැටී බෙරිහන් දෙන්නට කෙල්ලට සිදුවිය.
විලාප දෙන නාකි ගෑනිත් කෑ මොර ගසන ඇබිත්තං එකියත් දෙස කට ඇරගෙන බලා නොඉඳ නිරුවත වසා ගත යුතු බව අවබෝධ කරගත් සන්නාසියා රෙදිකඩ සොයා අතපත ගෑවේය.
භක්තිය, ප්‍රෝඩාව, අනුරාගය හා ඉච්ඡාභංගත්වය පිළිබඳව ඒ අතීත මතකය අලුත් කරන්නේ අද දවසේ රටේ පොදු ප්‍රශ්න අමතක කර දමමින් පක්ෂය හා බලය පමණක් තෝරාගත් නායක දෙපළගේ කල්කිරියාවයි. රටකට ජනතාවකට වඩා පක්ෂය ප්‍රමුඛස්ථානයට ගෙන බලය රැකගැන්මට හා බලය ඩැහැගැන්මට එකල උපාමාරු යොදන ජනාධිපතිවරයාද කැහි ගෑනියි හොටු ගෑනියි සිහිපත් නොකරන්නේද?
පවුලක් වටා බලය ඒකරාශි කරගනිමින් රාජ්‍යත්වය සඳහා ආගම දඩමීමා කරගත් අන්ත දූෂිත මහින්ද පාලනය කැහි ගෑනියක් වී නම් යහපත් රටක් අපේක්ෂාවෙන් එය පෙරළා දැමූ හැට දෙලක්ෂයක ජනතාව බලය ලබා දුන්නේ හොටු ගෑනියකුට බව දැන් දැන් පසක් නොවේද? ඒ අර්ථයෙන්ද කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වාගේ යැයි කීමට පිළිවන. අනෙක් අතට වත්මන් යහපාලන රජයේ නායක දෙපළද කැහි ගෑනිට හා හොටු ගෑනිට උපමා කළ හැකිය. කන්දොස්කිරියාවක් වන කැස්සද නිතර බේරෙන හොට්ටද එක ලෙසින් පීඩකාරීය. පිළිකුල්සහගතය.
රටේ දැවෙන ප්‍රශ්න තිබෙන බවක් හෝ නොදත් විලසින් හැසිරෙන රජයකට බිඳ දැමූ පොරොන්දු ගැනද වගේ වගක් නැත්තේය. කිසිදු හිරිකිතයක් නැතිව නැවත නැවත පොරොන්දු දීමටද රුසියෝය.
ජාතිවාදය, මන්දපෝෂණය, විරැකියාව මෙන්ම ශ්‍රමය වගුරුවන කම්කරු සේවක ජීවිතවල සුරක්ෂිත බවද රටේ ඉදිරි ගමනට දැඩිව බලපාන බව මේ නාකි ගෑනියි හොටු ගෑනියි වටහා ගන්නේ කවදාද? කර්මාන්තශාලා තුළ එක පොදියට මැරී වැටෙන තරමට මේ රටේ කම්හල් සුරක්ෂිතය. ඉදිමුණ පිම්බුණු රාජ්‍ය සේවයට ඒ ගැන හොයා බලන්නට ඉසිඹුවක් නැත්තේ පුරවැසියාගේම අවාසනාවට විය හැක. නීතියද ප්‍රමිතියද වල් වැදුණු රටක සේවක සුරක්ෂිතතාව විහිළුවකි.
දියේ ගිලීමෙන් බුරුතු පිටින් මියයන පුරවැසියන් සම්බන්ධයෙන් රජයකට දොස් පැවරීම අසාධාරණය යැයි කිව නොහැක. එය ජාතික ප්‍රශ්නයක් තරමට උග්‍රවන්නේ නම් වහා විසඳුම් සෙවිය යුතුය. එහෙත් පක්ෂය බදා ගත් අපේ නායකයන් නෑසූ කණින් නුදුටු ඇසින් පක්ෂය තුළ බලය පවත්වා ගැනීම පිළිබඳව අනේක සැලසුම් සකස් කරමින් සිටිති.
යහපත් කුටුම්භයකට කැහි ගෑනියකගෙන්ද හොටු ගෑනියකගෙන්ද අත්වන සෙතක් නැත්තේය. යහපත් රටකටද පක්ෂය ගැන නොව රට ගැන හිතන ජාතික නායකයන් වුවමනා කෙරේ.