ජනාධිපතිවරණයක්ද? පාර්ලිමේන්තු මැතිවරණයක්ද?

කාලිංගගේ දේශපාලන විග්‍රහය

මේ වනවිට ලංකාවේ රාජ්‍යය තිබෙන්නේ උපරිම මට්ටමකට කුණුවූ තත්ත්වයකය. හිටපු ජනාධිපතිනියගේ ලේකම්වරයකු ද, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාද වූ පියසේන දිසානායක හා වර්තමාන ජනාධිපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා එකට එකතු වී රුපියල් කෝටි 2ක අල්ලසක් ගනිමින් සිටියදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ලංකාවේ රාජ්‍යය කුණුවී තිබෙන තරම පෙන්නුම් කරන අලුත්ම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.
ආචාර්ය උපාධිධාරියකු වූ කාර්ය මණ්ඩල ප්‍රධානියා ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 2ක අල්ලස ලබා ගැනීමට යන ගමනේ සහායකයා බවට පත්කරගෙන තිබෙන්නේ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයායි. ඔහු හිටපු දිසාපතිවරයකු වන අතර ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පාලන කාලයේදී ජනාධිපතිනියට ඉතාම සමීපව ක්‍රියා කළ නිලධාරියකු වනවා සේම ජනාධිපතිනිය විශ්‍රාම යාමෙන් පසු ඇගේ ලේකම්වරයා ලෙස ක්‍රියා කළේ ද ඔහු ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලේකම්වරයාටද, කාර්ය මණ්ඩල ප්‍රධානියාටද චෝදනා එල්ල විය. ලලිත් වීරතුංගට එල්ලවී තිබෙන චෝදනා අල්ලස් ගණයෙහි ලා සැලකිය නොහැකි අතර එය ජනාධිපතිවරයාගේ දේශපාලන යහපත සලකා බලය අවභාවිත කිරීමක් ලෙස සැලකිය හැකිය. එහෙත් එම ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ ගාමිණී සෙනරත්ට එල්ල වී තිබෙන චෝදනා අල්ලස් ගණයෙහි ලා සැලකිය හැකිය.
ජනාධිපති ලංකා රාජ්‍යයේ සුක්කානම හසුරුවන ප්‍රධානතම පුද්ගලයාය. සියලුම ජනාධිපතිවරුන් ළඟම සිටින නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් අන්ත දූෂිත හා ඒ බව ජනාධිපතිවරුන්ට නොපෙනුණේ නම් එම රාජ්‍යය සැලකිය යුත්තේ හොඳටම කුණුවූ රාජ්‍යයක් වශයෙනි. එම කුණුවීම එක තැනකට සීමා වූ දෙයක් නොව හැම තැනකම දක්නට තිබෙන සාමාන්‍ය ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. සරත් සිල්වා, මොහාන් පීරීස් වැනි අගවිනිසුරුවරුන් පිළිබඳව ඇහෙන ගඳගහන කතාද තරුණ නිතීඥවරියක වන සුගන්ධිකාගෙන් දැන් අසන්නට ලැබෙන කතා ද අධිකරණය කුණුවී තිබෙන තරම හොඳින් පෙන්නුම් කරයි. මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර මගඩිය ගැන සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසම මගින් මහ බැංකු අධිපතිවරුන් පමණක් නොව එම බැංකුවේ සමහර උසස් නිලධාරීන්ගේ ද නියම දූෂිත ස්වභාවය තේරුම් ගැනීමට මහජනයාට අවස්ථාවක් ලැබිණි. මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තවමත් සමත් වී නැත. මේ අතර ඊට පෙර රාජපක්ෂ පාලන කාලයේදී මහ බැංකුවේ අධිපති ලෙස ක්‍රියා කළ අජිත් නිවාඞ් කබ්රාල්ගේ බැංකු ගිණුම්වල තිබෙන රුපියල් මිලියන 600ක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කොට කටඋත්තරයක් ලබා ගැනීමට ත්‍ක්‍ෂෘ යට අධිකරණය අවසර දී තිබෙන බව ද වාර්තා වේ.
සමස්ත රාජ්‍යය තිබෙන්නේ ගඳගහන තරමටම කුණුවූ තත්ත්වයකය. රටේ ආර්ථිකය තිබෙන්නේ ද ලොකු අර්බුදයකය. රටේ සියලු ආයතන ක්‍රම හා සමාජය තිබෙන්නේ ද අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය.
රටේ දේශපාලන නායකයින්ට ඒ කිසිවක් පෙනෙන්නේ නැත. නැතහොත් ඒවා ඉක්මනින් විසඳා ගතයුතු බරපතළ ප්‍රශ්න ලෙස ඔවුහු නොදකිති. ඔවුන්ගේ සම්පූර්ණ අවධානය යොමුවී තිබෙන්නේ ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණය ගැනය. රට හා රාජ්‍යය තිබෙන්නේ මින්පසු සාම්ප්‍රදායික අර්ථයෙන් බලයට එන කවර ආණ්ඩුවකට වුණත් රට පාලනය කළ නොහැකි අවුල්සහගත තත්ත්වයකය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා ලෙස බලයට ආවේ අවුරුදු 5ක පාලනයෙන් පසුව ගෙදර යන බවට සහතිකවෙමිනි. එහෙත් මඩකලපුවේ පැවති මැයි රැලියේදී රටට කීවේ තමා ධුර කාලය අවසන්වීමෙන් පසු ගෙදර නොයන බවය. කරන්නට තව බොහෝ දේ ඉතිරි වී තිබෙන බවය. එය ඊළඟ ජනාධිපතිවරණයට තමන් තරග කරන බවට දෙන ලද ඉඟියක් ලෙස සැලකිය හැකිය.
පළාත් පාලන මැතිවරණවලින් පසුව ඊළඟට පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක්ද නැතිනම් ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු මැතිවරණයක්ද යන්න පැහැදිලි නැත. ජවිපෙ ඉදිරිපත් කරන්නට සැලසුම් කර තිබෙන ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන 20 වන සංශෝධන සිහිනය සමහරවිට සැබෑවක් බවට පත්විය හැකිය. එහෙත් ඒ මගින් ඔවුන් අදහස් කරන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය අපේක්ෂා කළ ආකාරයට ජනාධිපති ක්‍රමය අහෝසි කරන සරල ව්‍යවස්ථා සංශෝධනයකි. පාර්ලිමේන්තු ක්‍රමයක් ඇතිකර ගැනීමට නම් දැනටමත් ලොකු අර්බුදයක තිබෙන ආණ්ඩුක්‍රමය වඩා ලොකු අර්බුදයකට තල්ලු කිරීමට හේතුවිය හැකිය. ජනාධිපතික්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් ඇතිකර ගැනීම හෝ ජනාධිපතික්‍රමය අහෝසි නොකොට තවදුරටත් පවත්වාගෙන යාම ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත. ලොකු අවුලක තිබෙන ලංකාවේ ගමන් මගේ යහපත් වෙනසක් ඇතිකළ හැකිවනු ඇත්තේ ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජය ගැනීමට හේතුවන ආකාරයේ ව්‍යුහමය වෙනස්කම් ඇතිකරන, ලාංකේය ජාතිය ගොඩනගා ගැනීමට හේතුවන ජාතියේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස රාජ්‍යය ප්‍රතිනිර්මාණය කර ගැනීමට හේතුවන වැඩසටහනකින් පමණය.
ජවිපෙ කරළියට ගෙන ඒමට සැලසුම්කර තිබෙන 20 වන සංශෝධනයේ එල්ලෙන තත්ත්වයකට මහින්ද හා රනිල් ගියහොත් ජනාධිපතිගේ සහාය නැතිව වුවත් ජනාධිපතික්‍රමය අහෝසිවන තත්ත්වයක් ඇතිවිය හැකිය. එසේ වුවහොත් ඊළඟට පවත්වන ප්‍රධාන මැතිවරණය වනු ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණයයි. එසේ නොවුවහොත් ජනාධිපතිවරණයකි. ඒ කවර මැතිවරණයකින් කවර පක්ෂයක් බලයට ආව ද තිබෙන අර්බුදය උග්‍රවනු ඇතිවා මිස රටේ තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත.