මෛත්‍රී තරු ලකුණක් නොවීම හා 2020 දුක්ඛ සත්‍යය

විමලනාත් වීරරත්න

දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කිසිදු අවස්ථාවක ජනතාවගේ වෛරයට හා පිළිකුළට ලක්වන අයුරින් වැඩ නොකළ යුතු බව ජනපතිවරයා පසුගියදා පොළොන්නරුවේදී කීවේය. ඒ ජනපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ අල්ලස් සිද්ධිය පාදක කරගෙනය. දැව සංස්ථාවේ ප්‍රධානියාත් මේ සිද්ධියේදී අත්අඩංගුවට පත්වුණු අතර ඒ වෙනුවට පත් කළ පුද්ගලයාටද මූල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ අයෙක් බව දැනගන්නට තිබේ. ජනපතිට කාලා බලලා පුද්ගලයන් තනතුරුවලට පත් කළ නොහැකි බව සැබෑය. එහෙත් කාර්ය මණ්ඩල ප්‍රධානී වැනි තනතුරක් ලබාදීමේදී මහින්ද රාජපක්ෂ මෙන් නොසැලකිලිමත් නොවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන වගබලා ගැනීම වැදගත්ය. මහින්ද රාජපක්ෂ තනතුරු දෙන්නේ අල්ලස් වැනි කුඩා ක්‍රියාමාර්ගවල සිට ඊට වඩා ලොකු ඕනෑම වැඩක් කරගැනීමටත් එක්කය. මෛත්‍රීටත් එම දූෂිත අවකාශයේ ඉඩදීමට ජනතාව කැමති නැත. අබේකෝන් ජනපති ලේකම් ලෙස පත්කිරීමේ සිට ජනපතිගේ බහුතරයක් පත්කිරීම් ගැන ජනතාවට ප්‍රසාදයක් නැත. මහ බැංකුවේ අධිපති ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්කිරීම ගැන පමණක් ජනපතිගේ පත්කිරීම් අතරින් සාපේක්ෂව සතුටු විය හැකිය.
නීතිය නොතැකීම
ලංකාවේ තිබෙන්නේ මිනීමැරීමට බිය නැති සමාජයකි. එවැනි සමාජයක අල්ලස් ගැනීමට එරෙහිව දුර දුවන පරීක්ෂණයක් සිදුවිය නොහැකිය යන මතය අල්ලසට බර ඕනෑම නිලධාරියකු තුළ තිබෙන්නට පුළුවන. ඊළඟ කාරණය වන්නේ ලංකාව දේශපාලනිකව අස්ථාවර රටක්වීමය. එවිට ලැබෙන කෙටි කාලයේ පුද්ගලිකව යමක් හරිහම්බ කරගැනීමට දේශපාලනඥයන්ටද සිතෙන්නට පුළුවන. ඒ අනුව නිලධාරීන්ටද එසේ සිතීම අරුමයක් නොවේ. ඒ අනුව ලංකාව මුහුදු කොල්ලකරුවන්ට හසුවූ නැවත් ලෙස දැකගත හැකිය. මුහුදු කොල්ලකරුවන්ගේ සිරිත සියලු වස්තුව කොල්ලකා අවසානයේ නැව මුහුදුබත් කර දැමීමය.
වරදට දඬුවමක් පමුණුවන නීතියක් හරිහැටි රටෙහි ක්‍රියාත්මක නොවන බව ජනමනස තුළට කාවැදී තිබීම තරම් කාලකණ්ණි තත්ත්වයක් රටකට තවත් තිබිය නොහැකිය. මේ තත්ත්වය තුළ අල්ලසට දූෂණයට කිසිවකුට සමාවක් නැති බව ජනපතිවරයා බර දමා කීවත් එම විෂයෙහිදී රටෙහි ඵලදායක දෙයක් සිදුනොවන පසුබිම තුළ දූෂිතයන්ට සමාවක් නැත යන්න හුදු ප්‍රලාඵයක් බවට පත්වීම නොවැළැක්විය හැකිය.
පටන් ගත යුතුව තිබුණු තැන
මහ බැංකු කොල්ලය සිදුවූයේ 2015 පෙබරවාරියෙන් පසුවය. එහෙත් ඊට පෙර රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයන්ට නීතිප්‍රකාරව දඬුවම් පමුණුවා ජනපතිවරයාට සිය කියමන යථාර්ථයක් බවට පත්කිරීමට තිබුණි. පසුගිය ආණ්ඩුවේ හොරු ඇල්ලීමට ජනපතිට අවංක වුවමනාවක් නැත යන්න දැන් පෙනී ගොස් ඇති සත්‍යයයි. ඊට හේතුවී තිබෙන්නේ ජනපතිගේ ගුහාගත මානසිකත්වයයි. තම ගෝත්‍රික දේශපාලනයෙන් මිදී නියම ප්‍රජාතන්ත්‍රවාදියෙක් වීමට ඔහුට ශක්තියක් නැත. එබැවින් රාජපක්ෂගේ කල්ලියේ දූෂිතයන්ගේ ගොඬේ වැතිරී සිටින්නට ඔහුට සිදුවී තිබේ. එම දූෂිතයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළහොත් ඔහුට දූෂිතයන්ගේ සහාය නොලැබෙනු ඇත. ශ්‍රීලනිප කවර නායකයකුට වුව ජනාධිපතිවරණය වැනි ඡන්දයක් දිනීමට මේ කියන දූෂිතයන්ගේ සහාය අවශ්‍යමය. ජනපති ඉකුත් මහ මැතිවරණයෙන් පැරදුණු කුප්‍රකටයන් කිහිපදෙනෙක්ම ඇමති මණ්ඩලයට එකතු කරගත්තේ මේ නිසාය. ඔහු ජනාධිපති ධුරයට පත්ව සිදු කළ පළමු දුෂ්ක්‍රියාව එය වන අතර එකක් වැරදි කළ විට තවත් වැරදි පහසුවෙන් කිරීමේ පුරුද්ද ඔහුට බලපෑ අයුරු පසුකාලීනව දැකගත හැකිවිය. සජින් ද වාස් ගුණවර්ධන රජයේ සාක්ෂිකාරයෙකු කැරිණි. අනතුරුව ඔහු දුන් සාක්ෂ්‍යය කුමක්දැයි ජනපතිගෙන් අසනු කැමැත්තෙමු. සරණ ගුණවර්ධන, ජොන්ස්ටන්, මහින්දානන්ද, බැසිල් වැනි අයට එල්ල වූ දූෂණ චෝදනා ගැන ජනපති මොනකෙංගෙඩියක්වත් කළේ නැත. ගෝඨාභය රාජපක්ෂ ගැන ප්‍රකට සංඝයා වහන්සේලා කිහිපනමක් ජනපතිට බලපෑම් කිරීම නිසා ඔහු ඊට බියවී නීතිය ක්‍රියාත්මක කිරීම පසුපසට ගත්තේය. ඒ ගෝඨාභය මහජන මුදලින් මව්පියන්ගේ ස්මාරකයක් ඉදිකිරීමේ සිද්ධිය පිළිබඳ චෝදනා ඔප්පුවෙමින් තිබියදීය.
හිතේ දෙකක් තියාගෙන රටක් පාලනය කළ හැකිය. එහෙත් ඒ හිතේ තියෙන දෙකම බලසම්පන්න උපාය මාර්ග නම් පමණි. තමාට අනන්‍ය වැඩසටහනක් නොමැතිව හිතේ දෙකක් තබාගෙන වැඩකිරීමෙන් ජනපතිට ජනතා ප්‍රසාදය විෂයෙහි පාරාජිකා වන්නට සිදුවූ බව ප්‍රත්‍යක්ෂ වී ඇති සත්‍යයයි. රාජපක්ෂලාගේ හොරු අල්ලන්නට මන්දෝත්සාහී වූ ජනපතිට තමා යටතේ සිටින පිරිවර විටින් විට කරන මගෝඩි නතර කළ හැකිද යන ප්‍රශ්නය දැන් මතුවේ. හිටපු ජනාධිපතිනියගේ හා හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානීන් දෙදෙනාත් තම කාර්ය මණ්ඩල ප්‍රධානියා සේ ම දූෂණය වූ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා මෙවැනි අසංස්කෘතියකට ඇතුළුවීම ඛේදවාචකයක් යැයි පවසනු විනා ඒවාට නිසි දඬුවම් නොකිරීම අභියෝගයට ලක් නොකරයි. හොංකොං, මැලේසියාව හා සිංගප්පූරුව වැනි රටවල් දියුණු කළ හැකිවූයේ දූෂණය අවම මට්ටමට ගෙන ඒමෙනි. ඒවා කැරුණේ ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියාකිරීමෙන් මිස නායකයන් සොරුන්ගේ හා ආගමික සමාජයේ අතකොළු බවට පත්වීමෙන් නොවේ.
වැරදි කරන අයට තරාතිරම නොබලා දඬුවම් කරන්නැයි ජනපති කියයි. ලංකාවේ දඬුවම් කරන්නේ තරාතිරම බැලීමෙන් පසුය යන්න ජනාධිපතිවරයා නොදන්නවා නොවේ. තරාතිරම නොබලා දඬුවම් කරනවා නම් ගෝඨාභය ප්‍රමුඛ බොහෝ දෙනෙක් අත්අඩංගුවට පත්වන්නට තිබුණි. මරණීය දණ්ඩනයට ලක්වූ පුද්ගලයාටත් අන්තර්ජාල පහසුකම් ලැබෙන්නේ තරාතිරම අනුවය. බන්ධනාගාරය වෙනුවට රෝහලට යා හැක්කේ තිරාතිරම අනුවය.
ඊළඟ කාරණය වන්නේ ජනාධිපතිවරයාගේ කාර්යාල ප්‍රධානියා අල්ලස් චෝදනාවකට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවීමය. ඔහු තනතුරට පත්වී තවම මාසයක් ගෙවී නැති බව ජනපති කියන්නේ කවර හැඟීමකින්දැයි හරියටම පැහැදිලි නැත. තම කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් පත්කර ගන්නා පුද්ගලයා ගැන ජනපතිට වගකීමක් තිබිය යුතුය. කාලා බලලා මිනිසුන් තනතුරුවලට පත්කරගත නොහැකි බව මුලදී කිව්වත් මෙවැනි තනතුරුවලට කාලා බලලාම නිලධාරීන් පත්කර ගත යුතුව ඇත. නැතහොත් සිදුවන්නේ ඒ ඒ පුද්ගලයා විසින් ජනපතිව කා දැමීමය.
ජනපති කතා නායකයෙක්
ජනපති කතා පැවැත්වීමෙන් නම් අංක එකය. ඒ අනුව ඔහුට අරාබි නිසොල්ලාසයේ කුමරිය පැරදවිය හැකිය. එහි රජුට ආවේශ වී ලංකාවේ ජනතාව එක්දහස් එක් රැයක් නොව වසර පහ වෙනුවට දහයක්ම ඒ කතා අසා සිටිය යුතු බව ජනපති දැන් දැන් සිතයි. යහපත් හා නිවැරදි සමාජයක් ගොඩනැගීමට රාජ්‍ය සේවය හැමවිටම අල්ලසින් තොරවිය යුතු බවද හෙතෙම කියයි. ඒවා සපුරා ඇත්තය. ජනතාව රජුට අඳින්නේ එහිදීය. ජනපතිගේ යුගයේදී දක්නට ලැබුණු ලොකුම අඩුව නම් වැඩ සිදුනොවී කතා පමණක් ඉතිරිවීමය. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම වැදගත් කාරණයක් බව මුලදී කීවෙමු. මහ බැංකුවේ සිදුවීම් අරබයා පත් කළ ජනපති කොමිසම ජනපතිට මහත් කීර්තියත් අත්කර දුන්නේ කිසිදාක හෙළිනොවන මට්ටමේ තොරතුරු රැසක් එම කොමිසමේ සාක්ෂ්‍ය විභාගයේදී හෙළිදරව් වූ නිසාය. සාක්ෂ්‍ය විභාගය එකම සංදර්ශනය කර නොගෙන ඒ පිළිබඳ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම දක්වාත් ජනපතිවරයා මැදිහත් විය යුතුය. එමෙන්ම අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධි දීමනා වශයෙන් ගෙවීමට වෙන් කළ මුදලක් රුපියල් කෝටි 675ක් අතුරුදන්වීම ගැනද ජනපතිගේ විමර්ශනාක්ෂිය යොමුවිය යුතුය. ඒ කඩුවෙන් කපනවා වැනි දෙබස් කියා නාට්‍යයක් රඟපෑමට නොව වරදට දඬුවම් ලබාදෙන පරීක්ෂණයක් කිරීම සඳහාය.
පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් ජනපති කීවේද ශ්‍රී ලංකාවට නැගී සිටීමට ඇති අවසන් අවස්ථාව මෙය යැයි සලකා එකාවන්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් බවය. පළිගැනීම් හා පක්ෂ අතර බලඅරගලය නැවැත්විය යුතු බවද හෙතෙම කීවේය. දූෂණයෙන් වංචාවෙන් තොර රාජ්‍යතන්ත්‍රයක් සඳහා පෙළගැසිය යුතු බවද පැවසුවේය. එහෙත් ප්‍රශ්නය වන්නේ නැගී සිටිය හැකි අවසන් අවස්ථාවට මේ රටේ පාලකයන් උපාය මාර්ග සොයා නොගැනීමය. අන් අය නොනවත්වන නිසා ජනපතිටත් බලඅරගලය අත්හැරීමට නොහැකි වී තිබීමය. නීතිය ක්‍රියාත්මක කිරීමට යත්න දැරීම් පසුගිය ආණ්ඩුවේ වංචනිකයන්ට අනුව පළිගැනීම්ය. ජනපති එම වැරදි අර්ථකථනයට යටවී නීතිය ක්‍රියාත්මක නොකිරීමත් අද වනවිට ඔහුම අර්බුදයට පත්කර තිබේ. දූෂිතයන්, වංචනිකයන් සමීප කරගත්විට දූෂණයෙන් තොර රාජ්‍යතන්ත්‍රයක් පිළිබඳ ජනපතිගේ අපේක්ෂාවද බොඳවෙයි. ජනපති පළමුව මේ පරස්පරතාව අකා මකා ගත යුතුය. නැතහොත් සිදුවන්නේ තමා, තමා තුළම දුඃඛිත සිරකරුවකු බවට පත්වීමය.
2020
අන්තයටම පිරිහී යනවිට හා අන්තිම සීනුව වැදෙන්නට නියමිත කාලය එළැඹෙද්දී සෑම නායකයකුම කියන කතාවක් ජනපති මැයි 07 මැයි රැලියේදී කීවේය. ඒ 2020දී තමා විශ්‍රාම නොයන බවය. මීට පෙර සෑම නායකයකුම එම කතාව කිව්වේ තවම රට වෙනුවෙන් කළයුතු වැඩ ඉතිරි වී ඇත යන ප්‍රවාදය ඉදිරියට දමමිනි. සෑම නායකයකුටම රට වෙනුවෙන් කරන්නට අපේක්ෂා කරන දේවල් ගොඩක් නොව ගොඩාරියක් තිබිය හැකිය. ඒ ගොඩාරිය ඔවුන්ට මතක්වන්නේ මුලදී හෝ මැදදී නොව අගහරියේදීය. එය හරියටම මියයන මොහොතේදී තව ටිකක් ජීවිතය යදිනවා වැනි ක්‍රියාවකි. සෑම නායකයකුම විශ්‍රාමය පමා කරන්නේ එම තනතුරෙහිම යළි ස්ථාපිත වීම අරමුණු කරගෙනය. වත්මන් ජනපතිත් එසේ සිතනවා වන්නට පුළුවන. මෙම අරමුණ තෘප්තවන්නේ ඔහුට පමණක් ඕනෑ වුණාට නොව ඔහුගේ සේවය ජනතාවටත් ඕනෑනම් පමණි. එබැවින් නායකයකු උත්සාහ කළයුත්තේ ජනතාවට මෙන්ම රටට මගපෙන්වීමක් කළ හැකි තරු ලකුණක් බවට පත්වීමටය. එහෙත් සෑම වැඩක්ම පාහේ ව්‍යාකූල කැරුණු ව්‍යාපෘතියක නායකයකු කෙරෙහි ජනයාට එවැනි හැඟීමක් ඇතිකර ගනීද යන්න ප්‍රශ්නයකි.