රේඛාවේ සේන

විමලනාත් වීරරත්න

රණමයුර සම්මානය හම්බුණු ආරංචිය ලද සැණින් ලෙස්ටර් ජනාධිපතිතුමාට කතාකොට ස්තූති කළේය. ජනාධිපතිතුමා කීවේ අපොයි ලෙස්ටර් මහත්තයා මට නෙමෙයි අර බස් කාරයන්ටයි ඔබතුමා ස්තූති කරන්න ඕනෑ කියාය. ලෙස්ටර් මහත්තයා කුමක් හෝ කියන්නට තප්පර වන විට ජනාධිපතිතුමා කීවේ කොහොමටත් අපි තුන්දෙනා එදා හවස නිදහස් චතුරශ්‍රයේදිත් කම්බුලේ අත ගහගෙන ඕක ගැන තමයි කල්පනා කර කර උන්නෙ කියාය. තුන්දෙනා කිව්වෙ කියා විපිළිසර වූ ලෙස්ටර්ට ජනාධිපතිතුමා කීවේ තුන්දෙනා කියන්නෙ මමයි අගමැතිතුමයි අපේ පරණ බොසයි කියාය. ලෙස්ටර් ඇසුවේ ඒ දෙන්නත් ඔබතුමා කල්පනා කරන එකම හිතුවා කියලා, කොහොමද ඇත්තට ටක්කෙටම කියන්නෙ කියාය. ජනාධිපතිතුමා කීවේ අනික් දෙන්නගෙන් ඇහුවත් මං කල්පනා කර කර හිටියෙ රණමයුර සම්මානෙ ගැනම තමා කියලා ඒ දෙන්නත් කියයි ඕන්නම් අහලා බලන්න, අපි දන්නැද්ද අපි හිතන හැටි කියාය.
බස් එකක තිබිලා හරි සම්මානෙ හම්බවුණු නිසා සතුටින් සිටි ලෙස්ටර් ඇසුවේ ඇත්තටම මගේ චිත්‍රපටිවලින් ඔබතුමා කැමතිම එක මොකක්ද කියාය. ප්‍රශ්නය අහලා ඉවර වෙන්නත් කලින් ජනාධිපතිතුමා උත්තර දුන්නේ නිධානය කියාය. නිධානය ලැබුණු දවස මතකද කියා නිකමට මගේ ඇසූ ලෙස්ටර්ට ජනාධිපතිතුමා කීවේ දෙදහස් පහළවේ ජනවාරි අට කියාය. මොකක්ද කැමතිම චරිතෙ කියා ඩබල් එකේම ඇසූ ලෙස්ටර්ට ජනාධිපතිතුමා කීවේ සරත් විජේසූරිය කියාය. හොක හොක ගා සිනාසුණු ලෙස්ටර් ඇසුවේ නෑ නෑ මගේ එකේ කැමතිම චරිතෙයි මං අහන්නෙ කියාය. ඒකට ජනාධිපතිතුමා හෙන කල්පනාවකට වැටුණු අතර ලෙස්ටර් ඇසුවේ ඔබතුමා මගේ එකේ චරිතයක් කරන්න ලැබෙනවා නම් මොකක්ද කරන්න කැමති කියාය. එම ප්‍රශ්නයක් සමඟ මානසිකව බිංදුවටම ඇද වැටුණු සෙයියාවෙන් ජනාධිපතිතුමා උත්තර දුන්නේ “කොච්චර වුණත් විලී අබේනායකගෙ චරිතෙ කරන්න බැහැ, මට ඒක අමාරුයි” කියාය. ලොකු සංවේගයකින් යුතුව එම පිළිතුර භාරගත් ලෙස්ටර් කීවේ මං දන්නවා ඔබතුමා කැමති මාලනී කරපු එක කරන්න නේද කියාය.
මාලිනීගේ හිත තලන්නට තවත් කල්පනා නොකළ ඒ මහා සිනමාකරුවා හරි ඒක අපි අතඇරලා දාමූ, ඔබතුමාගේ නිධානයේ විලී අබේනායක කවුද අයිරින් කවුද කියා විහිළුවට වගේ ඇසුවේය. ජනාධිපතිතුමා කීවේ මගේ එකේ විලී අබේනායකට බයසැක නැතිව ගාමිණී වියන්ගොඩ ගන්න පුළුවන් කියාය. එතකොට අයිරින්ට කියා ඇසූ ලෙස්ටර්ට ජනාධිපතිතුමා කීවේ ප්‍රෙෆෙසර් විජේසූරිය කියාය. උන්නැහේට මගේ එකේ අයිරින්ට වගේ අර ලප තුන තියනවා මම නම් දැකලා නැහැ කී ලෙස්ටර්ට ජනාධිපතිතුමා කීවේ මේ යන විදියට ගියොත් ලප කැළැල්වලින් අඩුවක් වෙන එකක් නැහැ කියාය. ලෙස්ටර් ඇසුවේ එතකොට ඔය ගාමිණී කියලා ඔබතුමා සිලෙක්ට් කරගත්තු කෙනාට අපේ විලීට වගේ හොඳ රෞද්‍ර පෙනුමක් තියනවද කියාය. ජනාධිපතිතුමා කීවේ අපොයි ඔව් ඔබතුමාගෙ විලීටත් වඩා මෙයාට රෞද්‍ර වෙන්න පුළුවන්, මිනිහා අවස්ථා ගණනාවක දී ඒක පෙන්නලත් තියෙනවා කියාය. ලෙස්ටර් මහතා අසන්නට අමතක වූ දෙයක් මතක් කරමින් කීවේ මට අහන්න බැරි වුණා, ජනාධිපතිතුමාට මතකද මේ චිත්‍රපටයේ අර එක වෙලාවකදි අයිරින් බයකරන්න කුකුළෙක් කකුල් දෙකෙන් අරන් ඌව කෑ ගස්සව ගස්සව ටිකක් දරුණු පෙනුමක් තියන හාදයෙක් සීන් එකට එන්ටර් වෙනවා කියාය. ජනාධිපතිතුමා කීවේ මට මොකද අමතක අයිරින්ට මරන්න ඉන්න කකුළා පෙන්නලා එයාගෙ මනස ෆුල් අවුල් කරන්නේ ඔය යකානෙ කියාය. දැට්ස් රයිට් කී ලෙස්ටර් මං අහන්න හැදුවෙ ඕක චිත්‍රපටියෙ ටර්නිං පොයින්ට් එකක්, ඉතින් ඒ කකුළා මරන චරිතෙට කවුද ඔබතුමා ගන්න හිතන් ඉන්නෙ කියාය. ජනාධිපතිතුමා දෙපාරක් නොසිතා කීවේ ඒ වගේ චරිතෙකට ඉතිං මෙතර්ඞ් ඇක්ටිං ප්‍රැක්ටිස් කරන කෙනෙක්ම ඕනෙ, මං කුකුළා මරන සීන් එකට ජනයා ගන්නවා කියාය.
ලෙස්ටර් මහතා කීවේ මං දන්නෑ, මම නම් අහලවත් නැති නළුවො කියාය. ජනාධිපතිතුමා කීවේ මේ ගොල්ලො පොඩි පොඩි ටෙලි නාට්‍යවල ගල්ගහන, පොල්කඩන සීන්වල ඉඳලා ඉඳලා ආංකල් වෙලා මතු වුණේ දෙදාස් පහළවෙන් පස්සේ කියාය.
කොහොමද මේ ගොල්ලන්ගෙ ඇක්ටිං කියා සැහැල්ලුවෙන් ඇසූ ලෙස්ටර්ට ජනාධිපතිතුමා කීවේ ඔච්චර ප්ලෑන් කරලත් ඔබතුමාගෙ විලීට අර ගල කඩා ගන්න බැරි වුණානෙ, ඒත් මේ ගොල්ලො ප්‍රෙස් තියලම විශ්වාසභංග පර්වතෙන් බින්දා කියාය. ඕකෙදි කොහොමද වෙන්නෙ විලී අයිරින්ව මරයිද කියා ඇසූ ලෙස්ටර්ට ජනාධිපතිතුමා කීවේ ඒක තමා මාත් බල බලා ඉන්නෙ මේකෙදි නම් අයිරින් අනික් එවුන්ට බැස්ටිය දෙන්න ඉඩ තියෙනවා මොකද මෑනුත් හෙන වැඩකාරයා කියාය. එවර නම් ලෙස්ටර්ට තදින් කේන්තිගොස් කීවේ ෆිල්ම්ස් ආ ඩිරෙක්ටර්ස් ආර්ට්, නොට් ඇක්ටර්ස් ආර්ට් කියාය. ජනාධිපතිතුමා කීවේ වෙන්න පුළුවන් ලෙස්ටර් මහත්තයා ඒත් සිවිල් සංවිධාන නළුවො මට ඩිරෙක්ට් කරන්න නොදී මුල ඉඳලම උන් රඟ පාගෙන පාගෙන ගියා කියාය.
එයින්ම කැමතිම චිත්‍රපටිය ගැන කතා කිරීම නැවැත්වූ ලෙස්ටර් ජනාධිපතිතුමාගෙන් ඇසුවේ ඔබතුමා අකමැතිම එක ගැන දැනගන්නත් මම කැමතියි කියාය. වේගයෙන් හුස්ම ඉහළ පහළ දාන්නට පටන්ගත් ජනාධිපතිතුමා ඇස්වල කඳුළු පුරෝගෙන ඉකිගගහා කීවේ අහසින් පොළොවට කියාය. අයිම් වෙරි සොරි මිස්ටර් ප්‍රසිඩන්ට් කී ලෙස්ටර් මම වැරදි ප්‍රශ්නයක් ඇහුවද රියලි අයිම් වෙරි සොරි කියා කීවේය. ඊට පිළිතුරු වශයෙන් ජනාධිපතිතුමා කීවේ විස්සයි විස්සයි, අහසින් පොළවටයි ගැන මට එක වගේ හැඟීමක් දැනෙන්නෙ කියාය. ඒ කිව්වෙ කියා ඇසූ ලෙස්ටර්ට අහසින් පොළොවට යන්න බැහැ කියලා හිතෙනවා කී ජනාධිපතිතුමා ඉතා බැගෑපත්ව කිව්වේ ඒ නිසා අපි රේඛාව ගැන කතා කරමු කියාය. ලෙස්ටර් කීවේ ඇත්තටම ජනාධිපතිතුමා මම ඔයා ප්‍රසිඩන්ට් වෙලා හිටපු පසුගිය අවුරුදු තුනේම සෑහෙන්න ඔවුන් ගිහින් හිටියෙ උපන්දිනේට ඇවිල්ලා ගියාට පස්සෙ මං සුමිත්‍රාගෙන් අහනවා ප්‍රසිඩන්ට් මාව ඉස්සර වගේ වඩා ගන්නයි, බුරියට වියතක් විතර පහළට ඇඟිල්ලෙන් අනින්නෙයි නැහැ. ඒ මොකද කියලා. ඒ පාර සුමිත්‍රා කියනවා දැන් ඉන්නෙ වෙන ප්‍රසිඩන්ට් කෙනෙක් අනේ, එතුමා හිටපු එක්කෙනා කරපු ජාතියෙ වැඩ කරන්නැහැ කියලා. ජනාධිපතිතුමා හිටියේ රේඛාව ගැන හිත හිතාය. ඒ බව වැටහුනු ලෙස්ටර් කීවේ මම දන්නෙ නෑ ඔබතුමාට විලී අබේනායක වගේ වෙන්නත් බැහැ, ඇඟිල්ලෙන් අනින වැඬේ කරන්නෙත් නෑ, ඔහොම ගියොත් නම් ඉතින් අයිරින්ට වෙච්ච ඉරණම අත්වෙන එක වළක්වන්න කුට්ටි මුත්තා ආවත් බැරිවෙයි කියාය.
ජනාධිපතිතුමා යළි හෙන ආතතියකින් කීවේ මට ඕනෙ රේඛාවෙ සේන වෙන්න කියාය. ලෙස්ටර් කීවේ ඇයි දෙදාස් පහළොවේ දි වුණේ මුලින්පාර ෂූට් කළාට පස්සෙ ඇත්ත සේනවත් ඒ චරිතෙ ආයෙ කරන්න කරදර කළේ නැහැ කියාය. ජනාධිපතිතුමා කීවේ ඒත් මට හැමදාම සේනවගේ කරදරවලින් ජයගන්න ළමයා වෙන්න ඕනේ කියාය. බැරිම තැන ලෙස්ටර් ඇසුවේ හරි හරි කාගෙද එතකොට සේන ළමයා ඇස් දෙක හොඳ කරන්නෙ කියාය. ජනාධිපතිතුමා කීවේ ආ ඒ චරිතෙට රත්නප්‍රියා නංගිව ගන්නවා කියාය.