අන්ත පරාජයට ලක්වෙන්න කවුද කැමැති – පිවිතුරු හෙළ උරුමයේ නායක – පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

නිමල් අබේසිංහ

2020 ජනාධිපතිවරණයෙ දි ප්‍රධාන පක්ෂ 3ක අපේක්ෂකයො තුන්දෙනෙක් ඒ කියන්නේ එජාප, පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිදෙනෙක් ඉදිරිපත් වෙනවා නේද? මොකද වත්මන් ජනාධිපතිතුමත් ජනාධිපතිවරණයට එන වගක් පෙනෙනවා.
2019 දෙසැම්බර් වන විට ජනාධිපතිවරණය පවත්වා ජනාධිපතිවරයා පත්කරගෙන අවසන් විය යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා 07 වෙනිදා තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියා කීවේ නෑ. කීවේ මම 2020 දී විශ්‍රාම යන්නේ නෑ කියා පමණයි. අපි දැන් දැක්ක චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය ජනාධිපති ධුරයෙන් ඉවත් වුණාට තවම දේශපාලනයෙන් ඉවත්වෙලා නෑ.
මහින්ද රාජපක්ෂ මැතිතුමත් දේශපාලනයෙන් ඉවත්වෙලා නෑ. අද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොතනකවත් කියල නෑ තමන් ජනාධිපතිවරණයට එනවා කියල. එතුමට ඉදිරිපත් වුණත් ලබා ගන්න පුළුවන් වෙන්නෙ 6%ක 7%ක ඡන්ද ප්‍රමාණයක්. අන්ත පරාජයකට පත්වෙලා දෙර යෑම එතුමා තෝරා ගනී යැයි මා හිතන්නේ නෑ.
කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට 50%ක් ගන්න නොහැකි වුණොත් මොකක්ද සිද්ධ වෙන්නෙ.
අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන්වෙලා තියෙනව. එහෙත් අපේ රටේ එහෙම වාතාවරණයක් ඇතිවෙන්නෙ නෑ. ප්‍රබල අපේක්ෂකයන් සිටියදීත් ජයග්‍රහකයාට 50% ලබාගන්න පුළුවන් වෙලා තියෙනව. අතීත ජනාධිපතිවරණවලදි ඒ බව ඔප්පුවෙලා තිබෙනවා. 50% ගන්න බැරි වුණොත් තුන්වැනි අපේක්ෂකයාගේ දෙවැනි මනාපය ගණන් කිරීමෙන් තමයි ජයග්‍රාහකයා තෝරාගන්නේ. තුන්වැනි අපේක්ෂකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් නම් ඔහුගේ දෙවැනි මනාපය බොහෝ වෙලාවට අපටයි හිමි වෙන්නේ.
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් නම් දෙවැනි මනාපය ලකුණු කිරීමේ දේශපාලන සංස්කෘතියක් නැහැ නේද?
ලංකාවේ ප්‍රබල තුන්වැනි අපේක්ෂකයකු නැහැ. තුන්වැනි අපේක්ෂකයකු හිටියත් ඡන්ද අරගෙන තිබෙන්නෙ 5% ක් 6%ක් පමණයි. ශක්තිමත් තුන්වැනි අපේක්ෂකයකු හිටියොත් පමණයි දෙවැනි මනාපය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි තුන්වැනි මනාප සංස්කෘතියක් නැත්තෙ. එනිසා ප්‍රබල තුන්වැනි අපේක්ෂකයකු අවොත් පමණමයි දෙවැනි මනාපය ගන්න වෙන්නෙ. එනිසා මම ඉන්නෙ 50% ගත හැකිය කියන ස්ථාවරයෙයි. එහෙම ප්‍රබල තුන්වැනි අපේක්ෂකයකු මතු වුණොත් දෙවැනි මනාපය මැතිවරණ ව්‍යාපාරයෙ දි කරළියට එනවා. තුන්වැනි අපේක්ෂකයාට සහාය දෙන අයම දෙවැනි මනාපය ගැන කතාකරන්න ඉඩ තියෙනව. ඔබට මතක ඇති 1988 ජනාධිපතිවරණයෙ දි ලංකා සමසමාජ පක්ෂය සහාය දුන්නේ ඔ.සී අබේගුණසේකර මහත්තයට. නමුත් ඔවුන් පැහැදිලිව කීවා තමන්ගෙ දෙවැනි මනාපය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ලබා දෙන්න කියලා. හැබැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණයට ආවත් එතුමා ප්‍රබල අපේක්ෂකයෙකු වන්නේ නෑ. මොකද පුංචි ඡන්දයෙදි ගන්න පුළුවන් වුණේ 12% යි නම් ජනාධිපතිවරණයෙ දි 6%ක් වත් ගන්න බැරිවෙන බව ලංකාවේ දේශපාලනය ගැන දන්න අය දන්නවා.
ඔබ හිතන විදියට පොදුජන එක්සත් පෙරමුණේ අනාගත ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභයද බැසිල්ද?
මොකද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මමයි අපේක්ෂකයා කියා වසර එක හමාරකට කලින් ප්‍රකාශයට පත් කළා නම් එතුමාට ජයග්‍රහණය කිරීම අතිශයින්ම දුෂ්කර වෙනවා. එතුමා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනට පසුදිනය තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කළේ. අන්න ඒ ආකාරයටම අපි ආණ්ඩුවට කියනව. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න. අපි අපේ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන්නම් කියල.
ඒ අතර රට තුළ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳ දැවැන්ත රැල්ලක් ගොඩනැගි තිබෙනවා. එතුමාට රැල්ල ඇතිවීමට හේතුව තමයි දක්ෂ කළමනාකරුවෙක් දර්ශනයක් ඇතිව වැඩකරන කෙනෙක් දූෂණයෙන් තොර පුද්ගලයෙක් කියන පිළිගැනීම සමාජය ඇති වෙලා තියෙනවා. මේ රටේ ජනතාව අපේක්ෂා කරන්නේ දැඩි දැක්මක් තිබෙන පාලකයෙක්.

වත්මන් ආණ්ඩුවට ඔප්පුකරගත නොහැකි වුවත් පසුගිය රජයේ විශාල පිරිසකට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. එහෙම පිරිසක් බලයට පත් කරන්න තැත්කරන ඔබේ උත්සාහය පරාජය කළ යුතුය කියන මේ රටේ විශාල පිරිසක් සිටිනවා. ඔවුන්ට ඔබ මොකක්ද කියන්නෙ.
කිසිම දූෂිතයෙක්ට බලයට පත්කරන්න තනතුරු දෙන්න අපිට උවමනා නෑ. හැබැයි දූෂණ චෝදනා ඔප්පු කරන්න ඕනේ. දූෂණ සිදුව ඇත්නම් ඔප්පු කිරීමට නොහැකි දෙයක් නොවේ. මහින්ද රාජපක්ෂ යුගයේ සිදුවුණා යැයි කියන බරපතළ දූෂණ චෝදනා නිසා මමත් ඒවා විශ්වාස කළා. එහෙම නම් ඔවුන් එය ඔප්පු කළ යුතුයි. පොලිසිය තියෙන්නෙ ඔවුන් අතේ. අධිකරණය නීතිපතිවරයා ඉන්නෙ ඔවුන් අතේ. අල්ලස් හෝ දූෂණ කොමිසමට පත්කරල තියෙන්නෙ ඔවුන්ට ඕනෑ අය. කෝ ඉතින් කරපු දෙයක් නෑනෙ. මේ ආණ්ඩුවේ අල්ලස් හා දූෂණ නම් ගෙඩිය පිටින් තියනවා. මා දැක්ක ජනාධිපති තුමා කියල තියෙනව. මගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා විතරක් නෙවෙයි, චන්ද්‍රිකාගෙ කාර්යමණ්ඩල ප්‍රධානියාත් මහින්දගෙ කාර්ය මණ්ඩලේ ප්‍රධානියාත් මේ වගේම වැරදි කරල අහු වුණා කියල. හැබැයි මේ ආණ්ඩුවෙන් ගාමිණී සෙනරත් මහතා අත් අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරගත කරල ඇප දෙන තීන්දුවෙ තියනවා. දූෂණයක් කර ඇති බවට කරුණු ඉදිරිපත් වී නැහැ කියලා. ඇත්තටම රාජ්‍ය දේපළ අවභාවිතාවක් කළා නම් මහේස්ත්‍රාත්ට ඇප දෙන්න බැහැ. එහෙම දුන්නෙ මේ කියන කාරණය සනාථ වෙන්න කිසිකරුණක් ඉදිරිපත් කරල නැති නිසා. ඒ නිසා පෙනෙනව රාජපක්ෂ ආණඩුවේ දූෂණ ඇති වුණේ නෑ කියලා. ඒත් අපේ පැත්තෙන් චෝදනාවක් තියෙනවා. එදා යම් යම් දූෂණයන්ට යොමුවුණු අයව මේ ආණ්ඩුවට හේත්තුවෙලා ඉන්නවය කියන එක. එනිසා අපි කියනව මහන්ද රාජපක්ෂ මැතිතුමා යම්කිසි දූෂණයක් කරල තියනව නම් ඒව හෙළිදරව් කරල දඬුවම් දෙන්න අපි එතුමව රකින්න එන්නෙ නෑ.
විශේෂයෙන්ම උතුරේ ප්‍රශ්න විසඳීමට මිලිටරිමය ප්‍රවේශයක් මිස සාකච්ඡාමය විසඳුමක් දීමට රාජපක්ෂ රජයට වුවමනාවක් තිබුණේ නෑ. ඉදිරියටත් ස්ථාවරය එයමද?
ඔබ තුමාගේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වැරදියි. මෑත දේශපාලනය පිළිබඳ අමතක වීමෙන් ඉදිරිපත් කරන ප්‍රශ්නයක්. මොකද? මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2005 දී පත් කරපු සර්ව පාක්ෂික කමිටුවේ මමත් සාමාජිකයෙක්. දෙමළ ජාතික සන්ධානය ඒකට සහභාගි වුණේ නෑ. ඒ වගේම යුද ජයග්‍රහණයෙන් පස්සෙ දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තිබෙනවය කීම නිසා ඒ පිළිබඳව සොයා බලා විසඳුම් ඉදිරිපත් කරන්න ඒ පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා. දෙමළ ජාතික සන්ධානය එය වර්ජනය කළා. දැන් ප්‍රශ්නනයක් තිබෙන්නේ කාටද? අපටද? දෙමළ ජනතාවටයි ප්‍රශ්නයක් තිබෙනවයි කියන්නෙ. කවුද කියන්නෙ. දෙමළ ජාතික සන්ධානයේ නායකයො. එහෙනම් ප්‍රශ්නය තියෙන කෙනා ප්‍රශ්නය ඉදිරිපත් නොකර ප්‍රශ්නයට විසඳුම් ඉදිරිපත් කළ හැකිද? අපි ඉතා පැහැදිලිව කියනව දෙමළ ජනතාවට තමන්ට වූ ප්‍රශ්නයක්. තියනවයි කියල ඉදිරිපත් කරන්න ප්‍රශ්නයක් නෑ. ඒ නිසා තමයි ලංකා ඉතිහාසයෙ කිසිම දවසක ඔවුන් ප්‍රශ්න ඉදිරිපත් නොකර හැමදාමත් බලපෑම් කිරීම හරහා තමන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න උත්සහ කරන්නෙ.ඔබට මතක ඇති වෙල්වනායගම් මහත්තය 1949 සිට 1972 දක්වා වැඩවර්ජන හර්තාල් හරහා තමයි තමන්ගෙ ඉල්ලීම් දිනාගන්න උත්සාහ කළේ. හැබැයි තමන්ගෙ ප්‍රශ්නය මොකක්ද කියල කවදාවත් කීවේ නෑ. මිනී මරල බය කරල දෙමළ ඊළම ලබාගන්න උත්සාහ කළා මිසක් දෙමළ ඊළම ලබා දිය යුත්තේ ඇයි කියන තර්කය ඉදිරිපත් කරන්න ඒ අය අසමත් වුණා. ටී. එන්. එල් සංවාදයක දි එක් අවස්ථාවක කුමාර් පොන්නම්බලම් මහත්තය කීව දෙමළ ජනතාවට තියෙන්නෙ ප්‍රශ්නයක් නොවෙයි අභිලාශයක් කියල. ඒ අභිලාශයන් අනෙක් අය පිළිගන්නෙ නැත්නම් ඉටුකර ගන්න බෑ.

ඔබ කීවා තේරීම්කාරක සභාව දෙමළ සන්ධානය ප්‍රතික්ෂේප කළා කියල. ඒකෙන් පේන්නෙ ඔවුන්ට ඒ පිළිබඳව ඒකෙ ඉන්න පුද්ගලයන් පිළිබඳ විශ්වාසයක් නැහැයි කියන එකනෙ. විශ්වාසය නැති එක ගැන ගත්තොත් ඔවුන් කියන්නේ ඒ අයට ප්‍රශ්නයක් තිබෙන බව විවාදයකින් තොරව පිළිඅරගෙන, ඒ අය ඉල්ලන විසඳුමක් ලබා දීම. ඒක මහින්ද රාජපක්ෂගෙන් වෙන්නෙ නැති බව ඒ අය දන්නව. ඒ නිසා තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වර්ජනය කළේ.
ඒ වගේම ඒ අය දැනගන්න ඕනේ තමන් කැමති වුණත් අකමැති වුණත් ඉල්ලන විසඳුමක් ලබාගන්න වෙන්නේ රටේ ජනතාව බලය දීල තිබෙන ආණ්ඩුවෙන්ම බව. එය තාර්කිකව ඉදිරිපත් කළොත් රටේ ජනතාවටත් පිළිගන්න වෙනවා. අද වෙනතුරු රටේ ජනතාවට ඒ අය එහෙම දෙයක් කරල නෑ,
මුස්ලිම් ජනයා සමඟ සහයෝගිතා පදනමක් දමා ගැනීමේදීත් රාජපක්ෂ හිතවාදීන්ට උවමනාවක් තිබුණේ නැහැ. දර්ගා නගරයේ දී එය ප්‍රත්‍යක්ෂ වුණා. මහසෝන් බලකාය රාජපක්ෂ ආණ්ඩු කාලයේ නිර්මාණයක් මේ ගැන මොකද කියන්නේ.
ඔබ තුමාගේ තර්කය කෙතරම් අසාධාරණද කියල හිතෙනවා. රාජපක්ෂ ආණ්ඩුව කාලෙ දර්ගා නගරයෙ සිදුවීමක් වුණ බව ඇත්ත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙ අවුරුදු නමයට අධියක කාලය තුළ එවැනි සිදුවීම් වුණේ දෙකයි. එකක් ග්‍රෑන්ඞ්පාස්වල සිදුවුණා හැබැයි ගැටුමක් වෙන්නත් කලින් එය සමනය කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන් වුණා. දෙවැනි සිද්ධිය දර්ගා නගරයේ. ඒකත් දවස් දෙකකින් සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන් වුණා. හැබැයි මේ ආණ්ඩුවෙ වසර තුනක් තුළ සිදුවීම් තුනක් වුණා. ගාල්ලේ එක, අම්පාරේ දෙක. මහනුවර සිදුවීම් තුන. ඒක සිදුවුණේ මාස 9ක් තුළ. මහනුවර සිදුවීම් මුළු ලෝකයෙම අවධානය දිනාගත්ත.
මහසොහොන් බලකාය මොකක්ද කරල තියෙන්නෙ. මහසොහොන් බලකාය තමන්ගෙ මතය කීම. එතකොට මහනුවර සිද්ධීයෙ දි පොලීසිය මහලොකුවට මහසොහොන් බලකාය ගැන කීව. ඒ අය මාධ්‍යයෙන් පෙන්නුව. මහසොහොන් බලකායේ සටහනක් කියන මයික්‍රෆෝනයක්. මේ වනවිට මහසෝන් බලකාය උසාවියට ඉදිරිපත් කරල තියෙනවා. අපේ කිසිම සම්බන්ධතාවක් තිබුණෙ නෑ. මහනුවර සිංහල මුස්ලිම් ගැටුමක් ඇතිවෙලා තියනව ඒ ගැන කතාකරන්න එන්න කියල මහනුවර දිස්ත්‍රික්කයෙ පොලිස් ප්‍රධානිය තමයි මහසෝන් බලකායේ අමිත්ත වීරසිංහට කතා කරල තියෙන්නෙ.