ඒ ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් හරක් හොරු

ටිරන් කුමාර බංගගමආරච්චි

නව ඇමති මණ්ඩලය පත් කර අවසන් යැයි තවම සිතිය නොහැකිය. තැනින් තැන ඇසෙන කන්කෙඳිරි සමනයට තව තවත් ඇමතිකම් පැටව් ගැසීමට ඉඩ ඇත. රවි කරුණානායකට සහ ආරුමුගම් තොණ්ඩමන්ට අමාත්‍යකම් දෙන බව කතාවූමුත් ඒ දෙපළට අමාත්‍යකම් නොලැබුණි. ඒවාද ඉදිරියේදී ලැබීමට ඇති ඉඩ වැඩිය.
දැනට නම්වලින් අමාත්‍යාංශ එක් එක් අමාත්‍යවරයාට පවරනු ලැබුවද එම අමාත්‍යාංශවල විෂය පථය සහ ඊට ඇතුළත් වන ආයතන තවමත් ගැසට් කර නැත. ඒ අනුව බොහෝවිට සිතිය හැක්කේ පැරණි නම්වලින් හඳුන්වනු ලැබූ අමාත්‍යාංශවල විෂය පථය සහ ඊට අයත් ආයතන ඒ අයුරින්ම නව අමාත්‍යවරු පිහිටුවා ඒ අමාත්‍යාංශ පවරනු ඇති බවයි. උදාහරණයකට පශු සම්පත් අමාත්‍යාංශය ආරුගම් තොණ්ඩමන්ටම ලැබෙනු ඇතැයි යන්නය. ඔහු කාලයක් එම අමාත්‍යාංශයේ හොඳ හැටි සෙල්ලම් දැමූ අයෙකි. එහි රහ දන්නෙකි. එබැවින් ඒ අමාත්‍යාංශය නැවත ඔහු යටතට ඉල්ලනවාය යන්න පවතින ‘රාවය’කි.
ඒ අදහස අපගේ වුවත් ආණ්ඩුවේ අදහස විය හැක්කේ තොණ්ඩමන් අමාත්‍යවරයා අදාළ අමාත්‍යාංශයේ සාර්ථකත්වයට කටයුතු කළ බැවින් ඔහුටම එම අමාත්‍යාංශය ලබාදෙන බවය.
අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් වූ පසු පුවත්පත් දැන්වීමක පළවූයේ කිරි ගවයන් 15,000ක් ආනයනය කිරීම පිළිබඳ පුවතකි. ඒ මැයි මස 02 වැනිදා පුවත්පත්වලය. එයින් ප්‍රකාශ කර තිබුණේ, කිරි ගවයන් 20,000ක් ගෙන්වීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ක්‍රියාත්මක වන බවයි. එසේ නම් අමාත්‍යවරු මාරු වුවද නොවූවද හරකුන් ගෙන්වීම දිගටම සිදුවන බව පැහැදිලිය.

බරපතළ අර්බුදයක්

සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කර ඇති වාර්තාවලට අනුව ආනයනය කරන කිරි හරකුන් නිසා ලංකාවේ මෙතෙක් නොතිබූ භයානක පාචන රෝගයක් ඇතුළු රෝග ගණනාවක් ඇතිවීමේ අනතුරක් පවතින ‘බිවොන් වෛරස් පාචනය’ (BVD) යනුවෙන් හඳුන්වනු ලබන පාචන රෝගයේ වෛරස් ආනයනික සතුන් තුළ ඇති බව සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිහාල් වෙදසිංහ විසින් නිකුත් කළ වාර්තාවේ තහවුරු කර ඇත. ඊට අමතරව (ෆැසිටල හෙපටීස් යන පරපෝෂිත ජීවියාද සිටින බවය.
මේ නිසා පණු රෝග ව්‍යසනයක් ඇතිවන අතර එය සතුන්ගේ අක්මාවට හානි කරන බව අනාවරණයයි. එවන් තත්ත්වයක් තහවුරු කර තිබියදීත් නැවත නැවත මේ ආකාරයට කිරි හරකුන් ගෙන්වන්නේ ඇයි?
මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන්ද බරපතළ ලෙස අනතුරු අඟවා ඇත. එහි ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව හෙළිකර ඇති පාචන රෝගය සහ පණු රෝගය සම්බන්ධයෙන් තොරතුරුවලට අමතරවය. එම වාර්තාවට අනුව ආනයනික සතුන් නිසා ගහණය ව්‍යාප්තවීමේදී ආවේණික ගවයන් සහ මේ රට තුළ වැඩි දියුණු කළ දෙමුහුන් ගවයන්ද වඳවී යෑමේ අනතුරක් ඇති බව හෙළිකර තිබේ. එසේම ආනයනික ගවයන් වෙනුවෙන් දරන වියදම අනුව බරපතළ ආර්ථික විනාශයක්ද වන බව පෙන්වා දී ඇත. මෙම ගවයන් ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 1,100ක මුදලක් වැය කිරීමට රජය ඇස්තමේන්තු කර ඇත.

තොණ්ඩමන්ගේ කතාව

වර්තමානයේ එලෙස අර්බුදයට ලක්ව ඇති කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තොණ්ඩමන් අමාත්‍යවරයාව සිටියදී කළ කාර්යභාරය විශාලය. ඔහු පශු සම්පත් අමාත්‍යවරයාව සිටින කල ආනයනය කළ කිරි ගවයන් 2500 සම්බන්ධව බරපතළ ගැටලු ඇතිවිය. තොණ්ඩමන්ට හෝ එවකට ආණ්ඩුවට මේ කිසිවක් ගැටලු නොවීය.
රාජපක්ෂ පාලන සමයේදී කිරි ගවයන් ඕස්ටේ්‍රලියාවෙන් හා නවසීලන්තයෙන් ගෙන්වීම පිළිබඳ යෝජනාව ගෙන එනුයේ 2006දීය. එයට අදාළ ක්‍රියාකාරී කටයුතු 2007දී සිදු කෙරේ. ‘මහින්ද චින්තනයට’ අනුව කිරි ගවයන් ආනයනය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතියට මුලපුරන්නේ එවකට ඇමතිව සිටි සෞම්‍යමූර්ති තොණ්ඩමන්ය. මේ අනුව මුල්ම කිරිදෙනුන් 4,500ක් ලංකාවට ගෙන එනුයේ 2011දීය. මෙය නියම ඉල්ලමක් වූ බව පැහැදිලිවන්නේ ඊට අදාළ ලිපිගොනු හතරක් අතුරුදන් කර තිබීමෙනි. විගණන වාර්තාවෙන්ද ලිපිගොනු හතරක් නැති බව සනාථ කොට ඇත.

බැසිල්ගේ අත පෙවීම

2011 වන විට මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ගෙන ක්‍රියාකරනුයේ එවකට ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂය. ඔහු 2010 මහ මැතිවරණයෙන් පසුව පිහිටවූ ආණ්ඩුවේ ප්‍රබලතමයා විය. ඒ නිසා කිරි ගවයන් ආනයනයද ඔහු හරහා සිදුවනු අයුරු දැකගත හැකිවිය. 2012දී ගවයන් 500ක්ද, 2013දී 1500ක් සහ 2000ක් වශයෙන් අවස්ථා දෙකකදී ආනයනය කර ඇත. මෙම දෙනුන් ලබාදී ඇත්තේ පශු සම්පත් මණ්ඩලය සතු බෝපත්තලාව, මැණික්පාලගම හා ඩයගම යන රජයේ ගොවිපොළවලටය.

යහපාලනයත් කර ගැසීම

2015දී බලයට පත්වූ යහපාලන හවුල් ආණ්ඩුවද කිරි ගව ව්‍යාපෘතියට අත ගැසීය. එය යහපාලන ආණ්ඩුවේ පශු සම්පත් අමාත්‍ය පී. හැරිසන්ගේද කළ දසාවට හොඳ විය. ඔහු 2015දී දෙනුන් 2,500ක් ගෙන්වීය. ඒ දෙනුන් ලබාදී තිබුණේ හම්බන්තොට රිදීයගම ගොවිපළටය. ඉන්පසු හැරිසන් අමාත්‍යවරයා මෙහි නියම රස දැන කිරි ගවයන් 20,000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියකට අත ගැසීය. ඒ 2017 වසරේදීය. එය ක්‍රියාත්මකවීමට නියමිත වූයේ අදියර දෙකකිනි. නියමු ව්‍යාපෘතියක් වශයෙන් පළමුව ගවයන් 5000ක්ද එහි සාර්ථකත්වය මත ඉතිරි 15,000ක් ආනයනය කිරීමට නියමිත විය.
(හැරිසන් අමාත්‍යවරයා පළමු අදියරේ ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඩොලර් 28,537,166කි) එය රුපියල් කෝටි 428කි. මුලින් ගවයන් 5000ක් ගෙනෙන බව කීවද යහපාලන ආණ්ඩුව ආනයනය කර තිබුණේ ගවයන් 4,500කි.

ගැටලුව

මේ සිදුවන්නේ 2015දීය. එහෙත් ප්‍රශ්නය 2014 පෙබරවාරි 17 වැනි දිනැති සංදේශයේ සඳහන් වර්ෂ දෙකක කාලපරිච්ඡේදය තුළ කිරි ගවයන් 20,000ක් කණ්ඩායම් වශයෙන් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තු පිරිනමා ඇත. අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදේශීය සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඕස්ටේ්‍රලියානු රජයේ අපනයන මූල්‍ය රක්ෂණ – සංස්ථාව සහ නෙදර්ලන්තයේ රාබෝ බැංකුව සමග වන ණය ගිවිසුමකට එළැඹීමේ කටයුතු නිම කර ඇත. ඒ අනුව කිරි ගවයන් 20,000ක් ආනයනය කිරීම සඳහා 2014 ඔක්තෝබර් 14 දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජය වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ වෙලාඞ් රූරල් එක්ස්පෝට් ආයතනය අතර ගිවිසුමක් ඇතිකර ගන්නා ලදි. එම ගිවිසුමට අනුව සංක්ෂිප්තය පහත පරිදිය. ව්‍යාප්තිය – ගැබ්ගත් කිරි ගවයන් 20,000ක් ආනයනය කිරීම. ව්‍යාප්ති පිරිවැය ඇමරිකානු ඩොලර් 73,954,054.83කි. ව්‍යාපෘති කාලය බලාත්මක කාලයේ සිට වසර දෙකකි.
නැවතත් මෙම කිරි ගවයන් 20,000ක් ආනයනය සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමතිතුමාගේ සහභාගිත්වයෙන් 2017 පෙබරවාරි 02 දින නිලධාරීන් 10 දෙනකු සහභාගිත්වයෙන් රැස්වීමක් පවත්වා පහත තීරණ ගෙන තිබුණි. එනම් සහන මිල ලෙස ගොවීන්ට එක් සතෙක් රු. 200,000කට ලබාදීම සහ කිරි කර්මාන්තය සඳහා මී ගවයන් ලබාගැනීමට පාකිස්තානයෙන් සහය ලබාගැනීමට ක්‍රියාකිරීමය.
මෙහි ඇති බරපතළ ගැටලුව නම් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය වෙත කිරි ගවයන් 20,000ක් ආනයනයට වූ යෝජනාව සම්බන්ධයෙන් එම නව ව්‍යාපෘතිය සඳහා මනා අධ්‍යයනයක් කර හෝ ශක්‍යතා අධ්‍යයනයක් කිරීමෙන් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනයෙන් තොරව අමාත්‍යාංශය හා වේලාර්ඞ් රුරල් එක්ස්පෝර්ට්ස් පුද්ගලික සමාගම අතර 2014 ඔක්තෝබර් 14 දින ගිවිසුමකට එළැඹ එම ගිවිසුම අනුව 2016 ඔක්තෝබර් 14 දිනට එය අවලංගු විය යුතු නමුත් එසේ නොකොට 2016 නොවැම්බර් මස සංශෝධනය කරන ලද නව ගිවිසුම අනුව මෙම කිරි ගවයන් 20,000න් 5,000ක් ගෙන්වීමටත් එහි සාර්ථකත්වය මත ඉතිරි සතුන් 15,000ක් ගෙන එන බව සඳහන් කිරීමත්ය.

උඩ බලාගෙන ගිවිසුම දික් කිරීම

රාජපක්ෂ පාලන සමයේ එන ගිවිසුම යහපාලන ආණ්ඩුව ඇස් කන් පියාගෙන ඉදිරියට රැගෙන ගියේ ඇයිද යන පැනය ඉතිරි වේ. එයට හේතුව එයින් වගකිවයුත්තන්ගේ කිරි එරෙන නිසා විය යුතුය.
වෙලාඞ් ව්‍යාපෘතියෙහි 2 වන අදියර 2014 ජූලි 14 දින සිට වර්ෂ දෙකක් තුළදී නිමකිරීමට ජාතික පශු සම්පත් මණ්ඩලය හා වේලාඞ් රූරල් එක්ස්පෝට් ගිවිසුමට ඇතුළත්ව තිබුණි. ඒ අනුව එක් සතෙකු ඇමරිකානු ඩොලර් 3032.87 බැගින් සතුන් 2,500ක් ආනයනය සඳහා එකඟ වී තිබූ නමුත් 2015 ජූලි 13 හා ඔක්තෝබර් 12 යන දින දෙකකදී ගවයන් 2,495ක් ආනයනය කර තිබුණි. ඒ රඳවා ගැනීමේ මුදල්ද ඇතුළත්ව 2016 ඔක්තෝබර් 11 දින වන විට ඇමරිකන් ඩොලර් 7,576,101,28ක් වන ලෙසය. මේ අනුව ගිවිසගත් මුදලට වඩා ඇමරිකන් ඩොලර් 9098.59ක් එනම් රු. 1,336,583ක් වැඩිපුර ගෙවමිනි.
මෙම ව්‍යාපෘතියේ පිරිවිතරයට අනුව වගා ළිං 6ක් වෙනුවෙන් ඇමරිකන් ඩොලර් 31267ක් වෙන්කර තිබූ නමුත් එක් වගා ළිඳක් හා නළ ළිං 2ක් පමණක් නිමකර ඇත. ඒ අනුව ගෙවිය යුතු මුදල ඇමරිකන් ඩොලර් 15,633ක් වෙනුවට ඩොලර් 31,267ක් එනම් 4,340,176ක් සඳහා ප්‍රතිපූර්ණය කිරීම නිසා ඇමරිකන් ඩොලර් 15,634ක් එනම් රු. 2,170,157ක වැඩිපුර ගෙවීමක් සිදුකර ඇත.
තවද ආනයනය කරන ලද ගවයන් රක්ෂණය කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් 2016 මැයි 30 වැනි දින වන විට මියගොස් ඇති ගවයන් 133 සම්පූර්ණ වටිනාකමම රජයට අලාභයක් වී ඇත.
රාජපක්ෂලා අටවා ගත් මෙම ගිවිසුම බරපතළ ගැටලු ඇති කරන බව පෙනි පෙනී තිබියදීත් යහපාලන ආණ්ඩුව වග විභාගයකින් තොරව මේ ගිවිසුම නැවත වැළඳ ගත්තේ ඇයි?
මණ්ඩලය හා රූරල් එක්ස්පෝවර්ඞ් පුද්ගලික සමාගම අතර ඇතිකරගෙන තිබූ ගිවිසුම අනුව ආනයනය කරනු ලබන කිරි ගවයන් මාස 2ත් 6ත් අතර ගැබ්ගත් සතුන් විය යුතුය. ආනයනය කරන ලද සතුන් 2495න් 142ක් ගැබ් නොගත් සතුන් වූ අතර මින් 79ක් මිලදී ගෙන තිබුණේ මාස 6ක් ගතවී එනම් විගණිත දිනය වන 2016 මැයි 30 දින තෙක්ම ගැබ් ගෙන නොමැති බව දන්වා ඇත. කෙසේ වෙතත් 2016 මැයි 30 වැනි දින වනවිට ගැබ්ගෙන නොමැති ආනයනික ගවයන් සංඛ්‍යාව 260ක් බව නිරීක්ෂණය වී ඇත. මෙය ආනයනික ගවයන්ගෙන් සියයට 10 ඉක්මවයි.
වෙලාඞ් ව්‍යාපෘතිය යටතේ කිරි ගව ආනයනය ෂෂ වන අධියර සඳහා කිරි ගවයන් ආනයනයට 2014 ජූලි 24 දින මණ්ඩලය හා කොන්ත්‍රාත් සමාගම අතර ගිවිසුමකට ඇතුළත් වී තිබුණි. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර පත්කර ඇති කමිටුවේ තීරණ මුදල් ඇමතිතුමාගේ එකඟතාවද මත ක්‍රියාත්මක කිරීම පිණිස 2015 මැයි 20 දින අමාත්‍ය මණ්ඩල තීරණය (ඇමුණුම 49) ලබාදී තිබුණි. එහෙත් එම යෝජනා ක්‍රියාත්මක කිරීම නිසි පරිදි සිදුවී නොතිබුණි. විස්තර පහත දැක්වේ.
(අ) පර්සි වර්ගයේ දෙනුන් හැකි උපරිමයෙන් ලබාදීමට සමාගම එකඟ වූ බව ගිවිසුම අනුව දක්වා ඇති නමුත් 2015 ජූලි 13 දින මෙරටට භාරදෙන ලද සතුන් 1181කින් සතුන් 532ක්ද, 2015 ඔක්තෝබර් 12 දින මෙරටට භාරදෙන ලද සතුන් 1314කින් සතුන් 521ක් පමණක් පර්සි වර්ගයේ දෙනුන් විය.
(ආ) ණය නැවත ගෙවීම් කළයුතු ආකාරය තීරණය කිරීමට විශේෂ කමිටුවක් මගින් තීරණය කිරීමට යෝජනා කර ඇති නමුත් 2015 මැයි 28 දින සිට 2017 පෙබරවාරි 08 දින දක්වා විශේෂ කමිටුවක් පත්කර නොතිබුණි.
(ඇ) රිදියගම ගොවිපළේ සතුන් දීර්ඝකාලීනව පවත්වා ගැනීමට කටයුතු කරන්නේ නම් කෘත්‍රිම පාරිසරික තත්ත්වයක් ඇති කිරීම සඳහා විදුලිය සඳහා වැය වන පිරිවැය (2015 වර්ෂයේ රු. 5,729,028ක් වූ අතර 2016 වර්ෂයේදී රු. 39,993,949ක් දක්වා වැඩිවී තිබීම) අවම කිරීමට විකල්ප ක්‍රමවේදයක් (සූර්යය ශක්තිය) සඳහා යොමුවීමට යෝජනා කර තිබූ නමුත් ඒ සම්බන්ධව 2017 ජූලි 31 දින දක්වාම කටයුතු කර නොතිබුණි.
මෙම ව්‍යාපෘතියෙහි කාර්යයන් අධීක්ෂණය හා මෙහෙයවීම, මූල්‍ය කළමනාකරණය සඳහා අදාළ විෂය භාර අමාත්‍යාංශය, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, වෙලාර්ඞ් රූරල් එක්ස්පෝටර්ස් පුද්ගලික සමාගමේ හා මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන්ගෙන් යුතුව මෙහෙයුම් ඒකක පත්කිරීම මානව සම්පත් සංවර්ධනය, වැඩසටහන් ගත අධීක්ෂණ වියදම්, අමතර කොටස් ද ඇතුළු ගොවිපොළ නඩත්තු කිරීම සහ තාක්ෂණික නඩත්තු කිරීම හා ධාරිතාව ගොඩනැංවීම වියදම්වල ගිවිසුම්ගත මුදල වන එකතුව ඇමරිකන් ඩොලර් 506,333ක් වන රු. 70,690,202ක් මෙම මෙහෙයුම් කමිටුවේ නිර්දේශ පරිදි භාවිත කිරීමට දක්වා තිබූ නමුත්, අදාළ වියදම් තහවුරු කිරීම සඳහා ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවිණි.
උදා:- ඉහත ව්‍යාපෘතිය යටතේ මානව සම්පත් සංවර්ධනය සඳහා 2016 දෙසැම්බර් 31 දින වන විට ඇමරිකන් ඩොලර් 100,000ක් එනම් රු. 13,927,950ක් මණ්ඩලය විසින් වෙලාඞ් රූරල් එක්ස්පෝටඞ් පුද්ගලික සමාගමට ප්‍රතිපූරණය කර තිබුණි. එම වියදම හා එම වියදමට සාපේක්ෂව ලබාදී ඇති පුහුණු හා විදේශ ගමන් අනුව ප්‍රතිපූරණයට අනුමැතිය ලබාදීමේදී සත්‍ය වශයෙන් දැරූ වියදම් බව තහවුරු කරගැනීමට කිසිදු සාක්ෂියක් නොලැබුණි.
රිදියගම ගොවිපොළේ සතුන් දීර්ඝකාලීනව පවත්වා ගැනීමට කටයුතු කරන්නේ නම් කෘත්‍රීම පාරිසරික තත්ත්වයක් ඇති කිරීම සඳහා විදුලිය සඳහා වැය වන පිරිවැය අවම කිරීමට විකල්ප ක්‍රමවේදයක් (සූර්යය ශක්තිය) සඳහා යොමුවීමට ඉහත කමිටුව විසින් යෝජනා කර තිබූ නමුත් ඒ සම්බන්ධව 2017 ජූලි 31 දින දක්වාම කටයුතු කර නොතිබුණි.
එම තත්ත්වය තුළ රිදියගම ගොවිපළේ විදුලිය ගාස්තු හා ජෙනරේටරය සඳහා වැයවන ඉන්ධන වියදම් ලෙස පහත පරිදි පිරිවැය දරා තිබුණි.
වර්ෂය විදුලිය ජෙනරේටරය සඳහා
2015 5,729,028 424,620
2016 39,993,949 943,829
රට තුළ සිදුකර ඇති ඉදිකිරීම් සේවා සැපයීම්වලට අදාළව පිළියෙළ කර ඇති පිරිවිතරයන් අසම්පූර්ණවීම හා අධි ඇස්තමේන්තු පිළියෙළ කිරීම හේතුවෙන් එම කාර්යයන්ගේ ගුණත්වය ඉතා පහළ මට්ටමකට මෙන්ම අනාර්ථික ණය බරක් රටට ඇතිවී ඇත. මේ සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණ කෙරේ.
(අ) දිගින් කිලෝමීටර් 5ක බොරලු සහිත මාර්ගයක් සැකසීම සඳහා ව්‍යාපෘතියට අනුව ඇස්තමේන්තු වටිනාකම ඇමරිකන් ඩොලර් 94,868.89ක් වෙන්කර තිබුණි. මාර්ග සංවර්ධන අධිකාරිය (දකුණු පළාත සඳහා) 2015 වර්ෂයට නිකුත් කළ මාර්ග ඒකක මිල ගණන් (HSR) (අඩියක් උසට පස් යොදා පාරක් තැනීමට ඝන මීටරයකට ඇස්තමේන්තුගත රේටය රු. 328.85ක්) අනුව සත්‍ය වශයෙන් ඉදිකළ මාර්ගයෙහි පළල මීටර් 3ක් දිග කිලෝමීටර් 4.9ක් ලෙස ඝන මීටර් 4410ක් සඳහා ගෙවිය යුතු මිල රු. 328.85 × 4410 = රු. 1,450,228ක් විය. ඒ අනුව රට තුළ පවතින සාමාන්‍ය මිල ගණන් ඉක්මවා ඇස්තමේන්තුවේ අසාමාන්‍ය ලෙස වැඩියෙන් දැක්වීම රු. 39,379,940ක් විය.
(ආ) කිරි ගවයින් 2500ක් හම්බන්තොට වරායේ සිට රිදියගම ගොවිපොළට කිලෝමීටර් 38ක දුරක් ප්‍රවාහනය කිරීම සඳහා ඇමරිකන් ඩොලර් 260,555ක් ඇස්තමේන්තු කර තිබුණි. කිරි ගවයන් ප්‍රවාහනය සඳහා මණ්ඩලය සතු වාහනවලින් අයකරන රේටයන් අනුව ගවයින් 2500ක් කිලෝමීටර් 38ක දුරක් ප්‍රවාහනය කිරීම සඳහා සාමාන්‍ය පිරිවැය රු. 570,000ක් වේ. (2500/15 × (කි.මී. 38 × රු. 90) ඒ අනුව අසාමාන්‍ය ලෙස අධි ඇස්තමේන්තුවක් සකසා තිබීම හේතුවෙන් කිරි ගවයින් 2495ක් ප්‍රවාහනයට ඇමරිකන් ඩොලර් 260,347.11ක් එනම් රු. 35,869,208ක් ගෙවා තිබුණි. ගවයින් 2495ක් මණ්ඩලය සතු රථ මගින් ප්‍රවාහනයට දැරිය යුතු පිරිවැය වන රු. 568,860ක් ඉක්මවා රු. 35,299,208කට අධික මුදලක් ගෙවා තිබුණි.
2017 වර්ෂයේදී අමාත්‍යාංශය විසින් ආනයනය කරන ලද ගවයින් ප්‍රවාහනය කිරීම සඳහා මණ්ඩලය සතු වාහන යොදාගෙන තිබුණි.
ශක්‍යතා අධ්‍යයන වාර්තා නිවැරදි නොවන බව පහත කරුණු අනුව නිරීක්ෂණය විය.
(අ) ව්‍යාපෘතිය ක්‍රියාත්මක ගොවිපොළවල වර්ෂ 05ක ලාභ අලාභ (ඇමුණුම 50)හි දැක්වේ. පළමුවන අදියර ගොවිපොළ තුන හා දෙවන අදියර යටතේ වූ රිදියගම ගොවිපළද දිගින් දිගටම අලාභ ලබන බව නිරීක්ෂණය විය.
(ආ) 2013 ජනවාරි ඉදිරිපත් කළ මුදල් හා ක්‍රම සම්පාදන ඇමතිතුමාගේ නිරීක්ෂණවලට අනුව දේශීය කිරි ගව ප්‍රභේද යොදාගනිමින් සහ දැනට ක්‍රියාත්මක වන කෘත්‍රිම සිදුවන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින්ද, වසර 2015 වනවිට ලබාගත හැකිවනුයේ කිරි ලීටර් 550ක් පමණක් බවද, ඒ අනුව, අපේක්ෂිත ඉලක්ක ළඟාකර ගැනීම සඳහා දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබාගත හැකි උසස් ආරයේ සතුන් යොදා ගැනීම අත්‍යවශ්‍ය බවත් දක්වා කිරි ගවයින් 4500ක් (1 වන හා ෂෂ වන අදියර) ආනයනය කර ඇති නමුත් 2015 හා 2016 වර්ෂයන්හී රටේ සමස්ත කිරි නිෂ්පාදනය පිළිවෙළින් කිරි ලීටර් මිලියන 305ක් හා 317ක් පමණක් වී තිබුණි.
(ඇ) ගොවිපොළවල් දිගින් දිගටම අලාභ ලැබීමට ආනයනික කිරි ගවයින් සඳහා දැරූ ආහාර වියදම අධික බව හේතුවී ඇති බව නිරීක්ෂණය වන අතර එම ආහාර වියදම කිරි ආදායමින් සියයට 69 සිට 89.71ක ප්‍රතිශතයක් බව (ඇමුණුම 51හි) නිරීක්ෂණය වේ. 2017 වර්ෂයේ කිරි ගවයින් 20,000ක් ආනයනය කිරීම සඳහා සිදුකර ඇති ශක්‍යතා වාර්තාවේ ඇගැයීම සඳහා ආහාර වියදම කිරි ආදායමින් සියයට 57.38ක ප්‍රතිශතයක් ලෙස ගණනය කර ඇත. ඒ අනුව එම වාර්තාව සාවද්‍ය දත්ත පදනම්ව සකසා ඇති බව නිරීක්ෂණය කෙරේ.
පශු සම්පත් මණ්ඩලයට ආනයනය කරනු ලබන කිරි ගවයින් 4,500ක් මගින් අදාළ ව්‍යාපෘති කාලසීමාව තුළ කිරි ලීටර මිලියන 240ක ප්‍රමාණයක් වාර්ෂිකව කිරි ලීටර මිලියන 24ක ප්‍රමාණයක් නිපදවා ගත හැකි බවත් මෙම ව්‍යාපෘතියේ බලපෑම මගින් ව්‍යාපෘති කාලසීමාව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 172.8ක විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි වන වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 17.8 බැගින් විදේශ විනිමය ප්‍රමාණයක් සුරක්ෂිත වනු ඇති බව කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා 2007 ජූනි 20 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව දක්වා තිබුණි. එසේ වුවද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවන්හි රටේ වාර්ෂික කිරි ආශ්‍රිත නිෂ්පාදනය හා කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයනයනය අනුව රටේ කිරි ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය 2010, 2014, 2015 හා 2016 වර්ෂයන් සැසඳීමේදී ව්‍යාපෘතිය අසාර්ථක බව නිරීක්ෂණය කෙරේ.
විස්තර පහත දැක්වේ.
2016 වර්ෂයේදී කිරිපිටි ආනයනය ඉතා ඉහළ අගයක් ගෙන ඇත.
2010 2014 2015 2016
රටේ වාර්ෂික කිරි ආශ්‍රිත නිෂ්පාදනය ලීටර් මිලියන 99.41 61.48 64.58 70.09
කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය ලීටර් මිලියන 76.9 72.17 87.6 101.6
රටේ කිරි පරිභෝජනය 176.31 133.65 152.18 171.69
රටේ කිරි ආශ්‍රිත නිෂ්පාදනය කිරි අවශ්‍යතාවෙන්
කුමන ප්‍රතිශතයක්ද වග 56.38 46.00 42.44 40.82

මෙය රාජපක්ෂ පාලන සමයේ අසාර්ථක ව්‍යාපෘතියක් බව දැන දැනම යහපාලනය ඉදිරියට රැගෙන ගියේ අදාළ අමාත්‍යවරුන්ට මෙය සාර්ථකම ව්‍යාපෘතියක් වූ නිසා බව පැහැදිලිය. තොණ්ඩමන් අමාත්‍යවරයා නැවත එම අමාත්‍යාංශයම ඉල්ලා සිටින්නේ ඇයිද යන්නත් හැරිසන් ඇමතිවරයා ඉන් ඉවත් කළේ නැවත එය තොණ්ඩමන්ටම පවරන්නට බවත් සැක සිතිය හැකිය. කවුරු සිටියද සිදුවන්නේ එකම දේය. හරක් තණකොළ උලාකද්දී දේශපාලකයන් මහජන මුදල් උලාකෑමය. ඊට පක්ෂ පාට භේදයක් නැත. සැවොම එක සීරුවට කරනුයේ එකම දේය. එනම් හොරා කෑමය.