ද්විභාෂා අධ්‍යාපනය හොඳම දේ දරුවන්ට

කේ. ඒ. විමලකීර්ති
විදුහල්පති ලක්දාස් ද මැල් විද්‍යාලය-කුරුණෑගල

එවකට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක වූ ප්‍රියංවදා විජයසිංහ විසින් ලියන ලද “ද්විභාෂා අධ්‍යාපනය – හොඳම දේ දරුවන්ට” යන මැයෙන් 2018. 04. 22 වැනි දින රාවය පුවත්පතෙහි පළව තිබූ ලිපිය කියවීමි. එයට ඌනපූර්ණයක් සපයන්නට සිතූ මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව අධ්‍යාපන කලාපයේ පිහිටි ඇහැටුවැව බණ්ඩානායක විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා වෙමි.
තෝරාගත් විෂයන් කිහිපයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකිරීම 2002 වසරේ දී ජාතික පාසල්වල පමණක් ආරම්භ කරන විට මහව අධ්‍යාපන කලාපයේ ද කිසිදු පාසලක් එම වැඩසටහනට සම්බන්ධ වූයේ නැත. ඒ පිළිබඳ කිසිදු සුබවාදී ආකල්පයක් කලාපයේ සිටි නිලධාරී මහතුන්ට ද නොතිබුණ බව කිව යුතු ය. මේ සම්බන්ධයෙන් සියලුදෙනා නිහඬ ප්‍රතිපත්තියක නියැළෙන අතරේ පළාත් සභා පාසලක් වූ අප විද්‍යාලය 2003 වර්ෂයේදී කිසිදු දැනුම්දීමකින් හෝ අවසරයකින් තොරව 6 ශ්‍රේණියේ තෝරා ගත් පංතියක මෙම ද්විභාෂා අධ්‍යාපන වැඩසටහන ක්‍රියාවට නැංවීමි. ඒ විද්‍යාලයේ සේවය කළ ඇතැම් ගුරුභවතුන්ගේ ද විරෝධතා මධ්‍යයෙහි ය. ඇහැටුවැව ප්‍රදේශය තුළ සමෘද්ධිලාභී පවුල් වැඩි නූගත්කමින් හා දුප්පත්කමින් පීඩිත මව්පියන් බහුල වූ බැවින් ඔවුන්ගේ දරුවන් ඉගෙනුම ලබන අධ්‍යාපන හා ප්‍රවාහන පහසුකම් අවම අප විද්‍යාලයට මෙම අභියෝගය ජය ගත හැකි ද යන ප්‍රශ්නය එදා බොහෝ දෙනෙකුගේ සිත් තුළ නො වූවා නො වේ. දක්‍ෂ දරු පිරිසකගේ අනාගතය මෙම අත්හදා බැලීම තුළ අඳුරු විය හැකිය යන විශ්වාසය උගතුන් අතර ද පැවති බව ඔවුන් හා කළ කතාබහ තුළින් අවබෝධ වීමි. එහෙත් එවකට අප විද්‍යාලය ද “ලොව හොඳම දේ දරුවන්ට” යන අධ්‍යාපන දර්ශනය හිස් මුදුනින් ම පිළිගත් බැවින් කවර බාධක මධ්‍යයෙහි වුව අරමුණ කරා යාමේ වුවමනාව දරුවන්ගේ අනාගතය යහපත් වනු දකිනු රිසි බොහෝ දෙනෙකු තුළ පැවතියේ ය.
අපගේ උත්සාහය මල්ඵල දරමින් නොබෝ කලකින්ම සිංහල මාධ්‍යයෙන් උගත් සිසු දරුවන් අබිබවමින් ද්විභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද සිසු දරුවෝ විවිධත්වයෙන් පිරුණ නවමු අත්දැකීම් රැසක් ප්‍රදර්ශනය කරන්නට වූහ. පාසලේ විශේෂ උත්සව අවස්ථාවලදීත් පාසලෙන් බැහැර කටයුතුවලදීත් ඔවුහු එඩිතරව හා චතුර ලෙස සිය ද්විභාෂා හැකියා ප්‍රකට කළහ. ඔවුන් තුළ මෙන් ම ඉගැන්වූ ගුරුවරුන් තුළත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කිසිදු අවබෝධයක් නොතිබූ ඔවුන්ගේ මව්පියන් තුළත් ඒ අභිමානය ප්‍රකට විණි. මුලදී අපගේ ඉල්ලීම් වෙත අකමැත්තෙන් වුව අවනතව දරුවන් ද්විභාෂා පාඨමාලාවට ඇතුළත් කළ මව්පියෝ බලාපොරොත්තුවේ දෑස් දල්වා නවෝද්‍යා පාසලේ මේ නවමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය දෙස අප කෙරෙහි විශ්වාසයෙන් අහිංසකව බලා සිටියෝ ය. මේ සඳහා විශේෂ පුහුණුව ලද ගුරුභවතුන් ද අප සතු නො වූ අතර ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ ගුරුවරු සහ ආධුනික ගුරුවරු ඒ සඳහා යොදා ගනු ලැබූහ. ඔවුන් පාසලේ පොදු අරමුණ වෙනුවෙන් මනා කැපවීමෙන් නව දැනුම සොයමින් ඉතාමත් කැප වී කළ සේවාව මෙහි දී ගෞරවයෙන් සිහිපත් කරමි.
කෙමෙන් කෙමෙන් සාර්ථකත්වය කරා පිය නැගූ ද්විභාෂා අධ්‍යාපන ව්‍යාපෘතියට විවිධ බාධා පැමිණියේ ය. 8 වැනි ශ්‍රේණිය දක්වා පැමිණෙන විටත් ඔවුන්ට අදාළ පෙළපොත් පවා හරි හැටි ලැබී නොතිබුණි. මුලසිටම මෙයට බාධා කළෝ මෙය කළ නොහැකි බවත් දරුවන්ගේ අනාගතය අතරමග නැවතෙන බවත් කියමින් අශුභවාදී මත පළ කළෝ ය. අභියෝග කොතෙක් පැමිණිය ද නොසැලී ඉදිරියට ඒමේ ආත්ම විශ්වාසය වැඩකළ සියලුදෙනා තුළ විය. එවකට අප පාසල නවෝද්‍යා ව්‍යාපෘතියට ඇතුළත් වූ නිසාත්, එහි ඉදිරි පෙළ තිබූ විද්‍යාලයක් නිසාත්, එවකට සිටි ජනාධිපතිතුමන්ගේ ඍජු අධීක්‍ෂණයට නවෝද්‍යා පාසල් ව්‍යාපෘතිය හසුවී නිසාත් ජනාධිපති කාර්ය සාධන නියෝජිතයෝ මෙම වැඩසටහන ගැන සොයා බැලීමට අප විද්‍යාලයට පැමිණියෝ ය. ඔවුන්ගේ අධීක්‍ෂණයෙන් පසුව අදාළ පෙළපොත් පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට අපට හැකි විණි.
ද්විභාෂා මාධ්‍ය දරුවන් 9, 10 ශ්‍රේණි වෙත පැමිණෙන විට ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණතාව ඉතා ඉහළ මට්ටමකට පැමිණෙමින් තිබිණි. ප්‍රියංවදා දියණිය සඳහන් කළා මෙන් මෙම දරුවෝ ද උසස් ඉංග්‍රීසි සාහිත්‍ය හා වෙනත් පොත්පත් කියවීම, අන්තර්ජාලය පරිශීලනය, ඉංග්‍රීසි පුවත්පත් කියවීම, හා පුවත්පත් හා සඟරා ආදියට ඉංග්‍රීසි බසින් ලිපි ලේඛන සැපයීම දැක සතුටු වීමි. විද්‍යාලයට ආසන්නයේ පිහිටි සංචාරක නිවාඩු නිකේතනයක් වන උල්පතේ වළව්වට නිතර පැමිණෙන විදේශිකයින් විවිධ අවශ්‍යතා සඳහා ඇහැටුවැව කුඩා නගරයට පැමිණෙද්දී අපගේ ඉංග්‍රීසි මාධ්‍ය දරුවන් ඔවුන් හා චතුර ලෙස අදහස් හුවමාරු කරගනු දැකීම ගුරුභවතුන්ගේත් දෙමව්පියන්ගෙත් දෙනෙත් තුළ සතුටු කඳුළු මතු කළහ.
2008 වර්ෂයේ දී අ.පො.ස. (සා.පෙළ) විභාගයට ඉංග්‍රීසි බසින් පෙනී සිටි ඔවුහු සියලු දෙනා ම ඉතා ඉහළ ප්‍රතිඵල ලබා උසස් පෙළට තේරී පත් වූහ. උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලා අප විද්‍යාලයේ නොවූ බැවින් ඇතැමකු වෙනත් විද්‍යාලවලින් උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ද ඉංග්‍රීසි මාධ්‍ය තෝරාගත් බව අසන්නට ලැබිණි. අනෙක් සියලුදෙනාම උසස් අධ්‍යාපනයෙන් පසු ඉංග්‍රීසි භාවිත හැකියාව නිසා ම රජයේ හා පෞද්ගලික අංශයේ උසස් වැටුප් ලබන රැකියා ලබා ඇත. කිහිප දෙනෙක් විදේශ රටවල සේවය කරති.
ප්‍රියංවදා ශිෂ්‍යාව සිය ජීවන අත්දැකීමෙන් පවසා තිබූ පරිදි සිංහල මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපනය ලද සිසුන්ට වඩා ද්විභාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන සිසුන් හැම අතින් ම ඉදිරියට පැමිණෙන බව මම ද අවබෝධ කර සිටිමි. අනෙකුත් දරුවන්ට ගැටලු තැන් ද්විභාෂා දරුවන් පහසුවෙන් ලිහා ගැනීම මෙම වැඩපිළිවෙළට ආවේණික විස්මිත ගතිගුණයක් බව මම ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමි. එම නිසා අපගේ දරුවන් තවදුරටත් ළිංමැඬි තත්ත්වයට පත් කොට සතුටු විය හැකි වන්නේ කාහට ද? මිල මුදල් ඇති බොහෝ දෙනා ජාත්‍යන්තර පාසල් හෝ විදේශ අධ්‍යාපනය හෝ ලබාදෙමින් සිය දරුවන් නව ලොව ජයගත හැකි භාෂා පෞරුෂයෙන් ඔප දමති. දුප්පත් ගම්බද දරුවන්ට ලෝකය දකින්නට අවැසි එකම මග පාසල් අධ්‍යාපනය පමණි. එය එක් මාධ්‍යයකින් පමණක් පවත්වා ගැනීමෙන් ලෝකය ජය ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන් වන අප තුළින් තවදුරටත් ඈත් වී යනු ඇත.
මම දැනට කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සේවය කරමි. නාගරික පාසලක් වුවත් මා පැමිණෙන විට මෙහි ද්විභාෂා අධ්‍යාපනය ආරම්භ කොට නො තිබුණි. සාමාන්‍ය පරිදි බොහෝ දෙනා තුළ ඒ පිළිබඳ ශුභවාදී ආකල්ප නො තිබුණි. මෙයට විරුද්ධ වන බොහෝ ගුරුවරුන්ට ඇති ප්‍රශ්නය ඉංග්‍රීසි කතා කරන්නට නොහැකි තමා හා සිසුන් ඉංග්‍රීසියෙන් කතා කරති’යි යන බියවිය හැකි යයි සිතමි. හේතූන් කුමක් වුවද පෙර අත්දැකීමෙන් මෙහිද ද්විභාෂා පංති ඇරඹුවෙමි. දැනට කණ්ඩායම් තුනක් සාමාන්‍ය පෙළ විභාගයට වාඩි කර ඇත. ඔවුන් සියලුදෙනාම ද විශිෂ්ට ප්‍රතිඵල ලබා උසස් අධ්‍යාපනයට ප්‍රවිෂ්ට වී සිටිති. එක් පංතියකින් ඇරඹි මෙම පාඨමාලාව අද වන විට 6 ශ්‍රේණියේ සිට සමාන්තර පංති හතර බැගින් මෙහි ක්‍රියාත්මක වෙයි. එය 6 ශ්‍රේණියේ පංති අටෙන් හරි අඩකි. ප්‍රාථමික අංශය දැනට ඉවත් කොට ඇති අතර දිවයිනේ ම 6 ශ්‍රේණියේ වැඩිම සමාන්තර පංති ප්‍රමාණයක ද්විභාෂා අධ්‍යාපනය ලබාදෙන විද්‍යාල අතර ලක්දාස් ද මැල් විදුහල අද ඉදිරියෙන් ඇති බව සිතමි. මෙය පරිසරයට දැනීමේ ප්‍රතිඵලයක් ලෙස දිනෙන් දින ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය සොයා ඇදී එන සිසු පිරිස වැඩිවෙමින් තිබේ. අනාගතයේ අප රටෙහි දුප්පත් දරුවන්ට සෙවණ දෙන ප්‍රමුඛ පෙළේ ද්විභාෂා අධ්‍යයන පාසලක් ලෙස මෙම විදුහල ජනප්‍රිය වනු දැකීම විදුහල්පතිවරයෙකු ලෙස මගේ අපේක්‍ෂාවකි.
මහත්මා ගාන්ධිතුමා නිදහසින් පසුව ඉන්දියානු ජනයාට පැවසුවේ සුද්දන්ගෙන් කිසිම දෙයක් ලබා නොගන්නා ලෙසත් ඔවුන්ගේ භාෂාව පමණක් ඉගෙන ගන්නා ලෙසත් ය. දැනට ඉන්දියාව තොරතුරු තාක්‍ෂණය අතින් ලෝකයේ පළමු තැනට පැමිණෙමින් ඇත්තේ ඒ මග ඔස්සේ ය. 1943 කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියේ ද්විභාෂාව සඳහා මුල්තැනක් දී තිබුණද එය අප ඉදිරියට රැගෙන ආවේ නැත. අප රටෙහි උසස් අධ්‍යාපනය අවසන් කළ සියලුදෙනා ද්විභාෂා මාධ්‍යයෙන් එය සිදු කළේ නම් පරිපාලන ව්‍යුහයන් පවා මීට වඩා යහපත් වනු ඇතැ’යි සිතමි. ආසියාතික රටවල් අතුරින් අප ඉදිරියට පැමිණ සිටි යුගයේ සහ අවගමනය වෙමින් පවත්නා අද යුගයේ රහස මේ ද්විභාෂා අධ්‍යාපනය බව උගතුන් සියලුදෙනා අවිවාදයෙන් පිළිගත යුතු ය. වසර තිහක විදුහල්පති ජීවිතයෙන් හරි අඩක් පමණම ද්විභාෂා අධ්‍යාපනයෙන් ගැමි දරුවන් ලොව පිළිගත් මානව සම්පත් අතරට ඔසවා තැබූ අත්දැකීමෙන් තුන්වන ලෝකයේ රටවල් ලැයිස්තුවෙන් අපට එළියට ඒමට ඇති එකම මග මෙය බව විශ්වාස කරමි.