නැවතත් ක්‍ෂි – උන් හමුවක්

එස්. නන්දලාල්

පසුගිය සඳුදා උතුරු කොරියානු නායක කිම් ජොං උන් හදිසියේ ම චීනයට සැපත් විය. මේ පසුගිය සති හය ඇතුළත ඔහු චීනයට ගිය දෙවැනි වතාවයි. ගුවන් ගමන්වලට අකමැති ඔහුගේ පියා මෙන් ම සීයා ද මෙන් නොව ඔහු මෙවර චීනය බලා ගියේ ගුවනිනි. පසුගිය මාර්තු 26 දින ඔහුගේ ප්‍රථම විදෙස් සංචාරය වූ චීන සංචාරය ද දුම්රිය ගමනක් විය. එය ඔහුගේ පියා කිම් ජොං ඉල් භාවිත කළ සන්නද්ධ දුම්රියෙනි.
චීනයේ ක්‍ෂින්හුආ පුවත් ඒජන්සිය වැඩිදුර විස්තර වාර්තා නොකළ නමුත් නිල වශයෙන් උන්ගේ ආගමනය සටහන් කළේ මෙසේ ය:
‘චීන කමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සභාපති සහ චීන ජනාධිපති ක්‍ෂි ජිං පිංල මැයි 07 සඳුදා සහ 08 අඟහරුවාදා ඊසානදිග චීනයේ ලියැඔනිං පළාතේ දාලියාන්හිදී කොරියා ශ්‍රමිකයන්ගේ පක්‍ෂයේ සභාපති සහ කොරියා ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ රාජ්‍ය කටයුතු කොමිසමේ සභාපති කිම් ජොං උන් හමුවිය.
චීන කමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන බලමණ්ඩලයේ සභික සහ මධ්‍යම කාරක සභාවේ ලේකම් මණ්ඩලයේ සභික වෑං හුනිං අදාළ ක්‍රියාකාරකම්වල දී සහාය විය.
ක්‍ෂිල මනරම් අයුරින් උන් පිළිගත්තේය. ඔවුන් දෙදෙනා භෝජන සංග්‍රහය සඳහා වෙරළ දිගේ ඇවිද ගියේ ප්‍රීතියෙනි. උණුසුම් සහ මිතුරු වාතාවරණයක් යටතේ දෙරටේ නායකයෝ දෙරටට අදාළ ප්‍රශ්න ගැන සාකච්ඡා කළහ.’
උතුරු කොරියානු නායකයා 2018 උදාවත් සමග සිය ස්වරයේ තානය සහ සිය හැසිරීම් රටාව වෙනස් කළ සෙයක් පෙනෙන්නට තිබිණි. පෙර වසරේ අග භාගයේ ඔහු සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අතර නිග්‍රහාත්මක වදන් හුවමාරු විය. අමෙරිකානු ජනාධිපතිවරයා ‘රොකට් ඇච්චා’ පරිභවාත්මක පදයෙන් තමා ගැන සඳහන් කරන විට උන්ල මේ වනවිට භාවිතයෙන් බැහැර ‘නාකිහමා’ අරුත් ඇති පදයකින් ඔහු හැඳින්වීය. ඊට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් කීවේ තමා ඔහු ගැන ‘තඩි කොටා’ යන පදය භාවිත නොකළ බැවින් එසේ කීම අසාධාරණ බවයි.
2018 නව වසර සඳහා උතුරු කොරියානු නායකයා ජාතිය අමතා පැවැත් වූ කථාව ද මෙවර වෙනස් මුහුණුවරක් ගත්තේ ය.
කිම් ජොන් උන් එම කතාවේ දී සිය සුපුරුදු සැර වාග් විලාසයෙන් බැහැර ව සාමාන්‍ය ස්වරයකින් කථා කළ බව මාධ්‍ය වාර්තා කළේ ය. අමෙරිකා එක්සත් ජනපදයේ ඕනෑ තැනකට ප්‍රහාරයක් එල්ල කළ හැකි අවි සිය රට සතුව ඇති බව පවසා ඇති උතුරු කොරියානු නායකයා එය බොරුවක් නොවන බවත් යථාව බවත් එහි බොත්තම ඇත්තේ සිය ඩෙස්කුව මත බවත් සඳහන් කොට ඇත. ඒ නිසා අමෙරිකාව තමන්ට තර්ජනය කිරීම් ඉදිරියට නොකළ යුතු ය. කෙසේවෙතත් දකුණ සමග සාකච්ඡාවට තමන් කැමති බවත් මේ වසරේ සියොල්හි පැවැත්වෙන ශිශිර ඔලිම්පික් තරගාවලියට සිය රටෙන් ද කණ්ඩායමක් සහභාගි කරවන බවත් ඔහු පැවසූ බව වාර්තා විය.
දකුණු කොරියාවේ ජනාධිපති මූන් ජාඒ ඉන් උතුරු කොරියානු නායකයාගේ ඉහත අදහස සාදරයෙන් පිළිගත්තේ ය. සියොල්හි පැවැත්වුණු ශිශිර ඔලිම්පික් උළෙලට සහභාගි වන උතුරේ කණ්ඩායමට සියලු පහසුකම් නිර්ලෝභීව සපයන බවට ප්‍රකාශ කිරීමෙන් ඔහු සුහද බව සඳහා ඉදිරි පියවරක් තැබී ය. ඉන්පසු සිදුවූ නිලධාරි මට්ටමේ සාකච්ඡාවලින් අනතුරුව නායක දෙපළගේ සාකච්ඡාවක් අප්‍රේල් මස 27 දින දෙරට දේශ සීමාවේ පිහිටා ඇති නිර්-මිලිටරිමය ‘යුද විරති ගම්මානයේ’ දී පැවැත්විණි.
මේ ස්ථානය දෙපාර්ශ්වයේ ම ආරක්‍ෂක හමුදා විසින් රැක බලා ගනු ලැබේ. මෙහි උතුර පැත්තේ ඇති සම්මන්ත්‍රණ ශාලාව පැන්මුන්ගක් ලෙස හැඳින්වෙන අතර දකුණේ ඇති ශාලාව ෆ්‍රීඩම් හවුස් ය. මේ දෙක අතර වැටක් හෝ තාප්පයක් හෝ නොමැති බැවින් ඇවිද යා හැකි ය. 27 දින උදේ ෆ්‍රීඩම් හවුස් වෙත ළඟාවූ දකුණේ ජනාධිපති පා ගමනින් පැන්මුන්ගක් වෙත ගොස් උතුරේ නායකයා පා ගමනින් ම කැඳවා ගෙන ආයේ ය. සාකච්ඡා ඇරැඹුණේ ඉන් අනතුරුව ය.
උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති කොරියා අර්ධද්වීපය උතුරු කොරියාව පැත්තෙන් චීනය එක් මායිමක් කැර ගනියි. රුසියාව ද උතුරු කොරියාවේ යාබද රාජ්‍යයකි. ජපානය මුහුදෙන් වෙන් වී තිබුණත් ජපානය හා කොරියානු අඩ දිවයින අතර වෙනත් රටක් නොමැත. මෙහි භූ දේශපාලනය ගත හොත් අමෙරිකාවට පක්‍ෂපාත සහ අමෙරිකාව සමග එකඟ නොවන කණ්ඩායම් දෙකක් මෙහි සිටින බව පැහැදිලි ය. චීනයල රුසියාව සහ උතුරු කොරියාව එසේ අමෙරිකාවට නම්මා ගත නොහැකි රාජ්‍යයන් තුනයි. මේ අතරින් චීනය සහ රුසියාව ශක්තිමත් ආර්ථික ඇති රටවල් වන අතර උතුරු කොරියාවේ ආර්ථිකය දුර්වල ය. එහෙත් එය සීඅයිඒ දත්ත වාර්තාවේ දැක්වෙන තරමින් ම දුර්වල නොවන බව ද පැවසේ.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප්‍රාගුණ්‍යය ඇරඹෙන්නේ සෝවියට් සංගමයේ පිටුබලය සහිතව හැටේ දශකයේ ය. මේ වනවිට එරට අමෙරිකා මහාද්විපයට වුවත් තර්ජනය කළ හැකි න්‍යෂ්ටික අවි ඇති බව සීඅයිඒ විසින් පවා පිළිගෙන තිබේ. ඒ නිසා උතුරු කොරියාව නිර්-න්‍යෂ්ටිකකරණය අමෙරිකා එක්සත් ජනපදයට මතු නොව ලොව බොහෝ රටවල අවශ්‍යතාවකි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික පර්යේෂණ නිසා යාබද දකුණු කොරියාව සහ ජපානය පීඩා විඳියි. අමෙරිකාව යම් හෙයකින් උතුරු කොරියාවට ප්‍රහාරයක් එල්ල කළහොත් එහි ප්‍රතිඵල තමන්ට අත්විඳින්නටසිදුවනු ඇතැ’යි එම දෙරටේ වැසියෝ සිතති. අනෙක් අතට මේ අසල සයුරේ ජපානය සමග එක් වරක් සහ දකුණු කොරියාව සමග එක් වරක් වශයෙන් වසරකට යුද අභ්‍යාස දෙකක් අමෙරිකාව පවත්වයි. අමෙරිකා ගැති රාජ්‍ය නායකයන් මෙයට සහාය පළ කළ ද සාමාන්‍ය ජනතාවගේ විශේෂයෙන් ම ධීවරයන්ගේ ඊට කැමැත්තක් නොමැති බව මාධ්‍ය පෙන්වා දෙයි.
මේ නිසා ප්‍රශ්නය ඉක්මනින් නිරාකරණය කැරගැනීමේ අවශ්‍යතාව කලාපයට ම ඇත. චීනය උතුරු කොරියාවට ළැදි බව පෙන්වුවද එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවීම්වල දී ඒවාට විරුද්ධ නොවන බවත් එසේ කරන්නේ උතුරු කොරියාව කීකරුව තබා ගැනීමේ අවශ්‍යතාව චීනයට ඇති නිසා බවත් පෙන්වා දෙනු ලැබ තිබේ. නිශේධ බලය හිමි රටවල් වන චීනය සහ රුසියාව දැඩිව විරුද්ධත්වය පළ කරන්නේ නම් එක්සත් ජාතීන්ට සම්බාධක පැනවිය නොහැකි ය. එහෙත් ඒවා සම්බාධකවල රැස් අඩු කරන්නට ක්‍රියා කරයි.
උතුරු කොරියානු නායකයා එකඟ නම් සාකච්ඡාවලට තමන් කැමති බව ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ නායක උන්ගේ අලුත් අවුරුදු පණිවුඩයෙන් පසුවය. අනපේක්‍ෂිතව උන් ඊට එකඟ විය. ට්‍රම්ප්ගේ කොන්දේසිය වන්නේ උතුරු කොරියාව සම්පූර්ණයෙන් ම නිර්-න්‍යෂ්ටිකකරණයට එකඟ විය යුතු ය යන්නයි.
උතුරු කොරියානු නායකයකු සහ අමෙරිකානු ජනාධිපතිවරයකු අතර හමුවක් කිසිදා පැවැත්වී නොමැති හෙයින් මේ ඉතිහාසගතවන සිද්ධියකි. තමා ඉතිහාසය අලුතින් ම ලියන බව උන් සිය අලුත් අවරුදු පණිවුඩයෙන් දුන් ප්‍රතිඥාව මෙයින් සනාථ වන සෙයක් දක්නා ලැබේ. මෙහි සම්පූර්ණ ගෞරවය තමාට හිමිවිය යුතු බව ට්‍රම්ප් පවසා ඇති නමුත් විචාරකයන්ට අනුව උන්ල ට්‍රම්ප්ට වඩා ප්‍රඥාවන්ත මෙන් ම පරිණත වෙයි. නාකිහමා යයි ට්‍රම්ප්ට අපහාස කළ ඔහු ඒ පුද්ගලයා සමග සාකච්ඡා කරන්නට ගත් තීරණය මු`ඵ ලොවම එක් සැණෙකින් විස්මය පත් කළ නමුත් එය හොඳින් සිතා මතා ගත් තීරණයක් ලෙස පෙනෙන්නට ඇතැ’යි දේශපාලන විචාරකයන්ගේ මතයයි.
අවසාන වතාවට උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවූ අවස්ථාවේ චීනයට හා රුසියාවට ඊට එරෙහි වන්නට නොහැකි වූයේ ඒ වනවිට කිම් සිය අවි ශක්තිය ප්‍රදර්ශනය කොට තිබුණු නිසා ය. මේ නිසා පනවන ලද සම්බාධක ඉතා දැඩි විය. ඒ දක්වා චීනය උතුරු කොරියානු නිහ්පාදන මිල දී ගත් නමුත් එය අත්හිටුවන්නට චීනයට සිදුවිය. එසේ ම බැංකු ගනුදෙනුවලට තහනම් ආඥා පනවන ලද හෙයින් විදෙස් ගත ශ්‍රමිකයන් විසින් එවන මුදල් නැවතිණි. සම්බාධක නිසා කඩා වැටෙමින් තිබූ ආර්ථිකය මේ තහනම් කිරීම් නිසා දැඩි අවපාතයකට යටත් විණි. ජනජීවිතය මු`ඵමනින්ම කඩා වැටෙමින් පවතින අතර එය ඉතා දුක්ඛිත බව නායකයා අවබෝධ කැර ගන්නට ඇත. එය පරිණත නායකයකුගේ ලක්‍ෂණයකි.
ට්‍රම්ප් – උන් සාකච්ඡා සඳහා නිශ්චිත දිනයක් නියම කොට නැතත් එය ජුනි 10 දිනට පෙර ඉහත සඳහන් නිර-මිලිටරි ගම්මානයේ පැවැත්වීමට දෙපාර්ශ්වය ම එකඟ වී ඇති බව පැවසේ. මූලික කරුණු සියල්ල කෙටුම්පත් කොට හමාරය. පසුගිය සතියේ සීඅයිඒ ප්‍රධානියා උතුරු කොරියානු නායකයා විසින් සාදරයෙන් පිළිගන්නා ලදි. ඔහු චීනයට ගියේ ඉන් අනතුරුව ය. සමහරවිට සාකච්ඡා කළ යුතු කරුණු සහ තමන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කළ යුතු කරුණු ගැන ක්‍ෂිගෙන් උපදෙස් ලබා ගැනීම එහි අරමුණ වන්නට ඇත. මේ හමුව පිළිබඳව දැනගත් වහාම ජනාධිපති ට්‍රම්ප් ‘සිය මිතුරු ක්‍ෂිට’ ට්වීටර් මගින් සුබ පතා තිබිණි.
සිදුවන්නේ මොනවාද යන්න සංවෘත ය. මේ දක්වා පැවැති සාකච්ඡාවල ඇතුළත් වූ කරුණු සහ අවසාන නිගමන පවා තුන්වන පාර්ශ්වයකට දැනගන්නට අවස්ථාවක් නොදීම විශේෂත්වයකි.
කෙසේවෙතත් ට්‍රම්ප් – උන් සාකච්ඡා පවත්වා අවසන් එකඟතා නිවේදනය කරන තුරු සිදුවන්නේ මොනවාද යනු හුදෙක් ඕපාදූප මට්ටමේ පවතින තොරතුරු පමණකි. එතෙක් බලා සිටින්නට ලොවට ම සිදුවනු ඇති අතර අනාවැකි කිව නොහැකි ය.