ගොවිතැනේ අර්බුදය

ප්‍රභාෂ්වර

2018 මැනි 02 වන දින ලංකාදීප පුවත්පතේ ලියැවුණු ප්‍රාදේශීය ප්‍රවෘත්තියක් එලෙසින්ම මෙහි උපුටා දක්වනු කැමැත්තෙමි. “ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තක්කාලි, ගෝවා වගා කළ ගොවීහු එළවළු මිල පහත වැටීම හේතුවෙන් මහත් අසරණ වී සිටිති. ගලේවෙල, පට්ටිවෙල, කට්ටන්කොටුව, රුවන්පුර වැනි ගම්මානවල සංචාරය කළ අපට දැකගත හැකිවූවේ ගොවීන් සිය අස්වනු එහෙම පිටින්ම එළවළු කොටුවල කුණුවීමට අතහැර දමා ඇති අයුරුයි. පට්ටිවෙල, කට්ටන්කොටුවේ රංජිත් පෙරේරා ගොවි මහතා ඒ ගැන අප සමග කතා කළේ මේ අයුරිනි. “මේ පාර මම තක්කාලි හැදුවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිහින් මිල ඇහුවාම තක්කාලි කිලෝවක් ඒ අය ගන්නේ රුපියල් පහත් දහයත් අතර මිලකට බව කියා සිටියා. තක්කාලි කිලෝවක් නිපදවන්න මට රුපියල් විසිපහත් තිස්පහත් අතර පිරිවැයක් දරන්නට සිදුවුණා. වගාව කොටුවෙම කුණුවෙන්න ඇරියේ එම නිසයි. ගෝවාත් වැව්වා. ගෝවා කිලෝව ඉල්ලන්නේ රුපියල් දහයට. ඉතිං ගෝවා කොටුවත් අතහැර දැම්මා.”

නෙදර්ලන්ත ගොවියෝ

2018 මාර්තු 25 දින, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න, නෙදර්ලන්ත ගොවියන් සහ ශ්‍රී ලංකාවේ දොස්තරවරුන් අතර ඇති වෙනස සංසන්දනය කරමින් ඉරිදා ‘බිස්නස් ටයිම්ස්’ පුවත්පතට අපූරු ලිපියක් ලියා තිබුණි. සිරිමල්ගේ එම තීරු ලිපිය මාහට තැපැලෙන් එවා තිබුණේ මගේ හිත මිතුරු සමිත ගුණසිංහ විසිනි. ලිපියට අනුව, මහාචාර්යවරයා මීට වසර කිහිපයකට පෙර සිය අධ්‍යයන කටයුතු සඳහා නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි ඇම්ස්ටර්ඩෑම් නිදහස් සරසවියෙහි නැවතී සිටියේය. ශ්‍රී ලංකාවේ මව්පිය දෙපළකට දාව ඉපිද, එහෙත් පවුලේ දරිද්‍රතාව නිසා පැටිවියේදීම නෙදර්ලන්ත ජාතික යුවළකට නීත්‍යනුකූලව පිරිනැමුණු, සැන්ඩ්‍රා නම් දොළොස් හැවිරිදි දැරිය සිරිමල්ට මුණ ගැසෙන්නේ හේග් නුවරදීය. පසුකලෙක සැන්ඩ්‍රා තම නෙදර්ලන්ත මාපියන් සමග ශ්‍රී ලංකාව බලා ගොස් ඇය කුස දැරූ අම්මාව මුණ ගැසී තිබුණි. ශ්‍රී ලාංකික අම්මා ඉන්පසු සැන්ඩ්‍රාට සිංහල බසින් එවන ලියුම් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර දෙන්නැයි ඇය මහාචාර්යවරයාගෙන් ඉල්ලා තිබුණි. නෙදර්ලන්ත මාපියන්ට සහ සැන්ඩ්‍රාට අවශ්‍ය වී තිබුණේ ඇගේ අනාගත වෘත්තිය ලෙස ගොවිතැන තෝරා ගැනීමටයි. එහෙත් ලංකාවේ මව එවූ හැම ලිපියකම පාහේ සඳහන්ව තිබුණේ දුව වෛද්‍යවරියක ලෙස මතුදා සේවය කරනු දැකීම ඇයගේ එකම ආශාව බවයි. සිංහල මවගේ මෙම බලාපොරොත්තුව ගැන සිරිමල්, සැන්ඩ්‍රාගේ නෙදර්ලන්ත මවට දැන්වූ විට, ඇය ලංකාවට පිළිතුරක් යවමින් අවධාරණය කර සිටියේ සැන්ඩ්‍රා වෛද්‍යවරියක නොවී ගෙවිළියක වීමට අපේක්ෂා කරන වගයි. මහාචාර්යවරයා එම ලිපියේ අඩංගු සැන්ඩ්‍රාගේ සැබෑ වෘත්තීය අපේක්ෂාව, සිංහල මවට පැහැදිලි කරදීමෙන් වැළකී සිටියේය. එයින් ඇය අපේක්ෂාභංගත්වයට පත්වනු ඇතැයි සිතමිනි. නෙදර්ලන්ත ගොවියන්, වත්කම් සහ සමාජ තත්ත්ව අතින් එරට වෙසෙන දොස්තරලාට වඩා ඉතා ඉහළින් සිටින බව ලංකාවේ කාන්තාවකට අවබෝධ කරවීම අතිදුෂ්කර කාර්යක් නිසා නිහඬව සිටීම මැනවැයි මහාචාර්යවරයා සිතීය. නෙදර්ලන්තය සතු සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 41543කි. එරට ජනගහනය මිලියන 17කි. ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610ක් වන අතර ජනගහනය මිලියන 21 කි. නෙදර්ලන්ත ශ්‍රම බලකායෙන් කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ප්‍රතිශතය 2.2%ක් හෙවත් ගොවීන් ලක්ෂ දෙකකි. ලංකාවේ රැකියා නියුක්තිකයන්ගෙන් 28% ක් ගොවිතැන් කරන අතර සංඛ්‍යාත්මකව එය ලක්ෂ 20කි. අප රටේ කෘෂි බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 27400ක් වන විට නෙදර්ලන්තයේ එය වර්ගකිලෝමීටර් 18370කි.

ඇති – නැති පරතරය

නෙදර්ලන්ත ගොවියකුගේ මාසික යථා කෘෂි අගය ඇමරිකන් ඩොලර් 7011ක් (රුපියල් ලක්ෂ 11කි) වන විට එය අපේ ගොවියකු හා අදාළව ඩොලර් 118ක් (රුපියල් 18000/-) වැනි පහළ මට්ටමක පවතින බැව් මහාචාර්ය සිරිමල් අබේරත්න පවසයි. නෙදර්ලන්තයේ සාමාන්‍ය ගොවි බිමක ප්‍රමාණය හෙක්ටයාර 26කි. ලංකාවේ එය හෙක්ටයාර බාගයකි. ලක්ෂ දෙකක් වන නෙදර්ලන්ත ගොවි ප්‍රජාව, මිලියන 17ක් වන එරට ජනගහනයට අවශ්‍ය ආහාර ප්‍රමාණය පහසුවෙන් නිපදවා, ඊට අමතරව නිෂ්පාදනය කරන අතිරික්තය අපනයනය කොට දැවැන්ත ආදායමක් උපයයි. ලක්ෂ 20ක් පමණ ශ්‍රමිකයන් අප රටේ කෘෂිකර්මාන්තයේ නියැලුණද ලංකාවට අවශ්‍ය ආහාර ප්‍රමාණය පවා නිපදවීමට ඔවුහු අසමත්ය. අධිතාක්ෂණික බුහුටි ගොවිපොළවල් (smart farms) හරහා විශාල භුමි ප්‍රමාණයක් තුළ විවිධ වගාවන් සිදුකිරීම, නෙදර්ලන්ත ගොවීන්ගේ සාර්ථකත්වයට හේතුව බැව් මෙහි සඳහන් කිරීම වටී. නෙදර්ලන්තයේ වර්ග සැතපුම් එකක් තුළ ජීවත්වන මිනිසුන්ගේ සංඛ්‍යාව 1300ක් වීමෙන් පෙනීයන්නේ එය අධික ජනගහනයෙන් යුතු රටක් බවයි. මහා පරිමාණ කෘෂිකර්මාන්තයට අවශ්‍ය කිසිදු ස්වභාවික සම්පතක් එහි දක්නට නොලැබේ. ලංකාවටත් වඩා කුඩා රටක් වුවද නෙදර්ලන්තයේ ආහාර අපනයනය අතින් ලොව තුළ දෙවැනි වන්නේ එම රටට වඩා දෙසිය හැත්තෑ ගුණයකින් විශාල ඇමරිකාවට පමණී. ගෙවී ගිය දශක තුන ඇතුළත, තක්කාලි ඵලදාව අතින් ලොව ප්‍රමුඛයා වීමට නෙදර්ලන්තය සමත් විය. බිලියනපති ගොවියකු ලෙස සැලකෙන නෙදර්ලන්ත ජාතික ජේකබ් බෝන්ගේ දැවැන්ත ගොවිපොළ පිහිටා ඇත්තේ බෙල්ජියම් දේශ සීමාව ආසන්නයේය. ඔහු සතු අස්වනු නෙලන යන්ත්‍රයේ කැබින් එක, ගුවන් යානයක නියමු මැදිරියකට සමාන බැව් නැෂනල් ජෝග්‍රොෆි සඟරාවේ මාධ්‍යවේදී ෆ්‍රැන්ක් විවියානෝ පවසයි. පොළොවේ සිට අඩි දහයක් ඉහළින් ඇති මෙම දැවැන්ත යන්ත්‍රයේ මැදිරියට වී ජේකබ් රියදුරු රහිත ට්‍රැක්ටරයක් බිමින් සහ කෘත්‍රිම බුද්ධිය සහිත ඩ්‍රෝන යානාවක් ගුවනින්ද යවමින් භූමියේ තිබෙන හැම පැළෑටියකම විස්තර තමා අත ඇති ටැබ් එක වෙත බාගනු ලබයි. පසෙහි රසායන සංයුතිය, තෙතමනය, පෝෂ්‍ය පදාර්ථය යන සියල්ලෙහි තොරතුරු සීයට සියයක් නිවැරදිව උකහාගෙන වගා කරන හෙයින් ඔහුගේ අක්කරයක අර්තාපල් ඵලදාව ටොන් 20 ඉක්මවයි. සාමාන්‍යයෙන් ලොව ඕනෑම සාර්ථක වගා බිමක් තුළ දී අක්කරයකින් නෙළා ගත හැකි අර්තාපල් ඵලදාවේ උපරිමය ටොන් 10ක් ලෙස සැලකේ. 2000 වසරේ සිට මේ දක්වා වන කාලය තුළ නෙදර්ලන්ත ගොවීහු, අධිතාක්ෂණය ඔස්සේ තම වගාවන්ට අවශ්‍ය වූ ජල ප්‍රමාණය 90%කින් අඩු කිරීමට සමත් වූහ. නෙදර්ලන්ත හරිතාගාර තුළ වවන කිසිදු වගාවක් සඳහා ඔවුහු රසායනික කෘමිනාශක භාවිත නොකරති. සත්ව පාලනයේදී පවා ප්‍රතිජීවක ඖෂධ භාවිතය 60%කින් පහත දැමීමට ඔවුහු ක්‍රියා කළහ. අදහාගත නොහැකි මේ දැවැන්ත කෘෂි සංවර්ධනය පිටුපස තිබෙන යෝධ ශක්තිය, ඇම්ස්ටර්ඩෑම් නුවර සිට සැතපුම් පනහක දුරින් පිහිටි වේජ්නින්ජන් පර්යේෂණ සරසවියයි. මෙය ලොව පිහිටි විශිෂ්ටතම කෘෂි පර්යේෂණ විශ්වවිද්‍යාලයයි.

විස්මිත තාක්ෂණය

දැවැන්ත කෘෂි ව්‍යාපාරිකයන්, සාමාන්‍ය ගොවියන් සහ විශ්වවිද්‍යාල උගතුන් එකම වේදිකාවකට ගෙනවිත් අලුත් අලුත් අත්හදාබැලීම් නව තාක්ෂණය යොදා ගනිමින් සිදුකිරීම වේජ්නින්ජන්හි පරිචයයි. එහි ශාක විද්‍යා සමූහයෙහි ප්‍රධානියා වන අර්නස්ට් වැන්ඩෙන් එන්ඩි පවසන්නේ, වෙළෙඳපොළ ඉලක්ක කොට ගත් කෘෂි පර්යේෂණ මගින් නෙදර්ලන්තය මහා පරිමාණ ජයග්‍රහණ අත්පත් කරගත් බවයි. 2050 වන විට ලෝක ජනගහනය බිලියන 10 දක්වා ඉහළ යන හෙයින්, පසුගිය වසර 8000 තුළ ලොව සියලු ගොවීන් එක්ව වගා කොට නෙළුෑ අස්වැන්නට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ඉදිරි දශක 4 තුළ නිපදවිය යුතු වග අර්නස්ට් කියයි. අධිතාක්ෂණික කෘෂිකර්මය මගින් මෙම අභියෝගය නියත වශයෙන්ම ජයගත හැකි යැයි හෙතෙම අවධාරණය කරයි. වේජ්නින්ජන් කෘෂි පර්යේෂණ සරසවියේ ව්‍යාපෘතීන් දැනට ලොව රටවල් 140ක් පුරා අතිසාර්ථකව ක්‍රියාත්මක වේ. ඒවා පිළිබඳව අර්නස්ට් වැන්ඩෙන් එන්ඩි නැෂනල් ජෝග්‍රොෆි සඟරාව සමග දොඩමළු වූයේ මෙසේය. “ගොවිතැනේ අර්බුදය ඇති කරන්නේ ජලය නොවේ. සියලු නියඟවලට ප්‍රධාන හේතුව නිසරු පසයි. පසෙහි පෝෂ්‍ය පදාර්ථ, ඒවා නිරතුරුව නිපදවන බැක්ටීරියාවන් සමග විද්‍යාත්මක ක්‍රමයට පසට එක් කිරීමෙන් භූමියට අවශ්‍ය පොහොර පොළොව විසින්ම නිපදවා ගන්නා අපූරු තත්ත්වයක් නිර්මාණය කළ හැකිය. සත්ව ගොවිපොළවල්වල ගාල් කොට ඇති සතුන්ට ආහාර වශයෙන් ධාන්‍ය ලබාදීමට අධික වියදමක් යනවා. පෝෂණ ගුණයෙන් ඉහළ තණකොළ පෙත්තන් වැනි කෘමින් සත්ව ආහාර ලෙස ලබාදීමෙන් එම පිරිවැය විශාල වශයෙන් අඩුකර ගත හැකියි. එල්.ඊ.ඩී ආලෝකය හරිතාගාර තුළට නියමිත ප්‍රමාණයෙන් මුදා හැරීම ඔස්සේ වසරේ දින 365 සහ දවසේ පැය 24 පුරා වගාවන්ට සුදුසු උෂ්ණත්වය පවත්වාගෙන යාම සුළු දෙයක්. අප සරසවිය විසින් නිර්මාණය කළ ‘මෙරිගෝ රවුන්ඞ්’ වැනි, හරකුන් ගාල් කර කිරි දෙවීමේ යන්ත්‍රය මගින් පැයක් තුළ දෙනුන් 150ක් ගෙන් කිරි දෙවිය හැක. මාළු ජනනය කරන ගොවි පොළවල් විසින් ඉවත දමන සියලු අපද්‍රව්‍ය, පොහොරක් ලෙස අපි අපේ තක්කාලි වගාව සඳහා යොදා ගන්නවා. තක්කාලි වර්ග 15ක්, අක්කර 36ක් පුරා විහිදෙන හරිතාගාරයක් තුළ වවන ඩුයිජ්වෙස්ටින් නම් නෙදර්ලන්ත ගොවි පවුල, ලොව විශිෂ්ටතම අධිතාක්ෂණික තක්කාලි වගාකරුවන් වග ලොව කවුරුත් අවිවාදෙන් පිළිගන්නවා.”

දැනුම බෙදා – හදා ගැනීම

නෙදර්ලන්තයේ වේජ්නින්ජන් කෘෂි පර්යේෂණ සරසවියේ විද්වතුන් සමග එක්ව ඉතියෝපියාව වත්මනෙහි සිය ගොවි ජනතාව නව තාක්ෂණික කෘෂිකර්මය වෙත හුරු කිරීම පිණිස ව්‍යාපෘතීන් 101ක් ක්‍රියාත්මක කරමින් සිටියි. අසල්වැසි ඉන්දියාව සහ බංගලාදේශයද තම කෘෂි සංවර්ධනය සඳහා ගුරු හරුකම් ලබාගන්නේ නෙදර්ලන්ත උපදේශකයන්ගෙනි. නෙදර්ලන්තය අද පාවිච්චි කරනු ලබන අධිතාක්ෂණික කෘෂි ක්‍රමවේදය, දින දෙක තුනකින් ලංකාව තුළ ස්ථාපිත කළ නොහැක. එහෙත් කවර රටකට වුව ගැළපෙන පරිදි, එහි පළමු පියවර තැබීම සදහා නොමසුරුව අතහිතදීමට වේජ්නින්ජන් විද්වත්හු හැමවිටම පෙරට එති. රුපියල් 35ක් වැය කොට (කිලෝව සඳහා) තක්කාලි වවා, එය රුපියල් පහට අලෙවි කිරීමට සිදුවන කාලකණ්ණි තත්ත්වයෙන් ගලේවෙල රංජිත් පෙරේරා වැනි ගොවි මහතුන් ගොඩ ගැනීමට නම් අප රටේ කෘෂි බලධාරීන් වේජ්නින්ජන් වැනි ආයතන සමග එක්ව වැඩ කිරීමට සූදානම් විය යුතුය.