රාවය

අභියාචනා 630කින් 457ක් විභාගයට ගත්තා – තොරතුරු කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ

අභියාචනා 630කින් 457ක් විභාගයට ගත්තා – තොරතුරු කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත මෙරට බලාත්මක වූයේ 2017 වසරේ පෙබරවාරි 03වන දාය. ඒ අනුව පොදු අධිකාරීන් ලෙස හඳුන්වනු ලබන රාජ්‍ය සහ වෙනත් ආයතනවලින් තොරතුරු ලබා ගැනීමේ අයිතිය මහජනයාට හිමිවිය. කෙටි කලක් තුළ වුවද බොහෝ දෙනා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ විවිධ ආයතන හරහා තමන්ට අවශ්‍ය තොරතුරු ඉල්ලීමටත් ඇතැම් අවස්ථාවල ඉල්ලූ තොරතුරු නොලැබීම් පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමටත් කටයුතු කර තිබුණි. ඒ අතර තවමත් තොරතුරු පනත පිළිබඳ දැනුවත්භාවයක් නොමැති පිරිස් ද සිටිති. වසරක පමණ කෙටි කාලයක් තුළ මෙරට තොරතුරු දැනගැනීමේ අයිතිය මහජනතාව භුක්ති විඳීමේ ප්‍රවණතාව හා ඒ සම්බන්ධ කරුණු පිළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා සමග රාවය කළ සංවාදයකි.
ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක වූයේ පසුගිය වසරේ පෙබරවාරි තුන්වනදායි. ගත වූ කෙටි කාලය තුළ මෙරට මහජනයා එම අයිතිය භුක්ති විඳීමේ ප්‍රවණතාව සාපේක්ෂ වශයෙන් තිබෙන්නේ කොතැනද?
තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර මාස හයකින් එය අපි ක්‍රියාත්මක කළා. දැනට පොදු අධිකාරීවල දළ සංඛ්‍යා ලේඛන අනුව මාසයකට තොරතුරු ඉල්ලුම්පත් දාහක් පමණ පොදු අධිකාරීවලට ලැබෙන බව පෙනෙනවා. 2017 වසරේ ඉල්ලුම්පත්‍ර 12000ක් ලැබී තිබුණා. තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට දැනට මාසයකට අභියාචනා හැටත් හැත්තෑවත් අතර ප්‍රමාණයක් ලැබෙනවා. මේ පනත ක්‍රියාත්මකවෙලා පළමු අවුරුද්දේම මාසයකට ඉල්ලුම්පත්‍ර දාහක් ලැබෙනවා කියන්නේ ආසියාවේ අනෙක් රටවල් සමග සසඳද්දී එය පළමු අවුරුද්දේම ටිකක් ඉහළ අනුපාතයක්. එයට හේතු තමයි අපේ රටේ සාක්ෂරතාව වැඩියි, ඒ වගේම ජන ජීවිතයට රාජ්‍ය කටයුතු මැදිහත් වෙනවා වැඩියි.
තොරතුරු ඉල්ලීම් ලැබීමේ සම්භාවිතාව සියලු ප්‍රදේශවලට ඒකාකාර නැහැ නේද? ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තවමත් නොදැනුවත්භාවයද?
දැනට තොරතුරු වැඩිපුරම ඉල්ලන්නේ බස්නාහිර පළාතේ ජනතාවයි. මොකද අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ආදියේ මූලස්ථාන සියල්ලම වගේ තිබෙන්නේ බස්නාහිර පළාතේයි. ඒ නිසා බස්නාහිර තොරතුරු ඉල්ලීමේ සම්භාවිතාවත් වැඩියි. ඊළඟට දෙවනුවට තොරතුරු ඉල්ලන ප්‍රමාණය ඉන්නේ දකුණු පළාතේයි. තුන්වැනියට මධ්‍යම පළාත, හතරවැනියට උතුරු පළාතයි. මෙය සිදුවන්නේ පොදු අධිකාරීන් විසිරී තිබෙන ආකාරය අනුවයි. දෙපාර්තමේන්තු අසූහතකින් අසූහයකම මූලස්ථාන තිබෙන්නේ කොළඹයි. සංස්ථා, අමාත්‍යාංශ සියල්ලම වගේ පිහිටා තිබෙන්නේ කොළඹයි. ඒ නිසා බස්නාහිර පළාතේ ජනතාවට සෘජුවම ඒවාට ප්‍රවේශ විය හැකියි. තොරතුරු ඉල්ලීම පිළිබඳ අඩුම පළාත වයඹයි. තොරතුරු ඉල්ලීමේ දැනුවත්භාවය පිළිබඳ ගැටලුත් සමහරවිට මුලතිවු, කිළිනොච්චි, අම්පාර, මොනරාගල වැනි ඈත ප්‍රදේශවල ජනතාව අතර තිබෙන්න පුළුවන්. අනෙක් දේ තමයි නාගරීකරණය සමග ජලය, මාර්ග, දුරකථන ආදී සියලු පොදු පද්ධතීන් සමග සම්බන්ධ වන නිසා නාගරික ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගැටලු වැඩිවීමත් හේතුවෙන්න පුළුවන්.
තොරතුරු පිළිබඳ දැනට ලැබෙන ඉල්ලීම්වලින් වැඩි සම්භාවිතාවක් හිමිවන්නේ කුමන ක්ෂේත්‍රයන්ට අදාළවද?
දැනට තිබෙන ආකාරයට 30%ක් පමණ තොරතුරු ඉල්ලුම්පත්‍ර ලැබී තිබෙන්නේ මානව සම්පත් කළමනාකරණයට අදාළ උසස්වීම්, මාරුවීම්, විනය කටයුතු, බඳවාගැනීම් වැනි කරුණු පිළිබඳවයි. දෙවැනියට විමසීම් ප්‍රමාණයක් ලැබෙන්නේ ඉඩම් සහ දේපොළ සම්බන්ධවයි. ඉඩම් බලපත්‍ර, කුඹුරු නාමලේඛන, නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉඩම් පැවරීම්, ඉඩම් ලබාදීම්, මැනීම් ආදියයි. ඊළඟට විමසීම් ලැබෙන්නේ සෞඛ්‍ය, මහාමාර්ග, සමාජසේවා වැනි අංශ පිළිබඳවයි. සංවර්ධන කටයුතු සහ රජයේ මුදල් වියදම් කිරීම් පිළිබඳ තොරතුරු ඉල්ලන ප්‍රමාණය සියයට දහයක් දොළහක් අතර ප්‍රමාණයකයි. ඒවා පිළිබඳ විමසීම් අඩුයි.
තොරතුරු ලබා නොදීම් පිළිබඳ ලැබී තිබෙන අභියාචනා සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ ක්‍රියාවලිය තිබෙන්නේ කුමන තත්ත්වයකද?
තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට 2017 වසරේ අභියාචනා 355ක් ලැබී තිබෙනවා. මේ වසරේ දී මේ වන විට අභියාචනා 275ක් පමණ ලැබී තිබෙනවා. ඒ අනුව මේ වන විට අභියාචනා 630ක් පමණ ලැබී තිබෙනවා. ඒවායින් 457ක් මේ වන විට විභාගයට ගෙන තිබෙනවා. සමහර අභියාචනා වාර කිහිපයක් ඇසීමට සිදුවෙනවා. ඇතැම් ඒවා එක් දිනකින් අවසන් වෙනවා. පොදු අධිකාරිය සහ පැමිණිලිකරු ඉදිරිපත් කරන කරුණු සලකා බලා වරින් වර කල් දමන ඒවාත් තිබෙනවා. මේ වන විට 257ක පමණ තීන්දු ලබාදී අවසානයි. අනෙක් ඒවා විභාගවෙමින් පවතිනවා. කොමිෂන් සභාව තීරණයක් ලබා දුන් පසු එයට එදිරිව අභියාචනා අධිකරණයට යා හැකියි. එහෙත් මේ දක්වා කිසිවෙකු අභියාචනා අධිකරණයට ගිහින් නැහැ. කොමිෂන් සභාවේ තීරණ ක්‍රියාත්මක කිරීම අතින් බැලුවත් මෙතෙක් තීන්දු ලබා දුන් ඒවායෙන් එකක් හෝ දෙකක් හැරුණුකොට අනෙක් සියල්ලම ක්‍රියාත්මක කර තිබෙනවා. ප්‍රමාද වී තිබෙන එක හෝ දෙක අපි නැවත කැඳවා ඒ අදාළ පොදු අධිකාරිවලට එම තොරතුරු ලබා දෙන ලෙස අවවාද කරනවා. එය ද ක්‍රියාත්මක නොකළහොත් නෛතික ක්‍රියාවලියකට යෑමට අපිට සිදුවෙනවා. තොරතුරු දුන්නේ නැහැ කියලා කොමිෂන් සභාවෙන් තවම නඩුදාලා නැහැ. ඒ වගේම මේ දක්වා අපේ තීන්දුවට විරුද්ධව වෙනත් තැනැත්තෙක් නඩු දාලාත් නැහැ.
බොහෝ දෙනෙක් තොරතුරු ලෙස ඉල්ලා සිටින්නේ විවිධ ලිපිගොනු පිටපත්, දත්ත ආදියයි. ඊට අමතරව යම් නිෂ්පාදනයකට අදාළ අමුද්‍රව්‍ය සාම්පලයක් වුවත් පනතට අනුව ඉල්ලා සිටීමට හැකියි නේද?
ඔව්. පිටපත් ආදියට අමතරව ලිපිගොනු පරීක්ෂා කර බැලීම සදහාත් ඇතැම් අය ඉල්ලා තිබෙනවා. වැඩ බිමක් අධීක්ෂණය කිරීම සදහාත් අවස්ථා එකක් දෙකක් ඉල්ලා තිබුණා. සාම්පල ඉල්ලීමත් ඉතාම අඩුයි. ඉතාම කලාතුරකින් තමයි එලෙස ඉල්ලා තිබෙන්නේ.
ඇතැම් රටවල තොරතුරු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වාගේ සිදුවන්නේ ඩිජිටල් ක්‍රමයටයි. මෙරට විද්‍යුත් තැපෑලෙන් වුවත් තොරතුරු ඉල්ලීමේ පහසුකම බොහෝ ආයතනවල තිබෙනවා. ඒ නමුත් තොරතුරු ලබාදීම එලෙස ඩිජිටල් ක්‍රමයට කිරීමට තවමත් බොහෝ ආයතන අපොහොසත් බව පෙනෙනවා.
දැනටත් විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ඉල්ලන්න පුළුවන්. ඒ වගේම විද්‍යුත් තැපෑල මගින් තොරතුරු ලබා දෙන්නත් පුළුවන්. අභියාචනා ක්‍රියාවලිය නම් විද්‍යුත් ක්‍රමයකට පරිවර්තනය වෙලා නැහැ. ඒ සඳහා අපේ පහසුකම් වැඩි දියුණු විය යුතුයි. හැබැයි තොරතුරු ඉල්ලීමට සහ තොරතුරු ලබාගැනීම සදහා ඩිජිටල් භාවිත කරන සංඛ්‍යාව 10%කටත් වඩා අඩුයි. ඈත ප්‍රදේශවල අයට ඇතැම්විට විද්‍යුත් ක්‍රමයකට තොරතුරු ඉල්ලීමට පහසුකම් නැහැ. අනෙක් දේ බොහෝ දෙනෙක් තමන් තොරතුරු ඉල්ලා සිටින කාරණයට අදාළ තමන් ළග තිබෙන ලිපිගොනු ඉදිරිපත් කරනවා. ඒවා පැරණි ලිපිගොනු නිසා ඒවා ඩිජිටල් ක්‍රමයට ඉදිරිපත් කළ නොහැකියි. මේ හේතු නිසා ඩිජිටල් ක්‍රමයට තොරතුරු ඉල්ලීම අඩු ප්‍රමාණයක තිබෙනවා. ආසියානු රටවල් බොහොමයක තොරතුරු ඉල්ලීම් ප්‍රමාණය සහ ලබාදීම් ප්‍රමාණය වැඩි වශයෙන්ම සිදුවන්නේ මැනුවල් ක්‍රමයටයි.