අධිකරණයේ පරිහානිය දැක්කේ මම කිව්වමද? නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු

රසික ගුණවර්ධන
ඡායා – ටී. නඩරාසා

නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු පසුගියදා ෆේස්බුක් සමාජ ජාලය තුළින් ලංකාවේ අධිකරණ විෂය පිළිබඳ මහත් විවාදාපන්න කරුණු කිහිපයක් ඉදිරිපත් කළාය. එහිදී අසන්නට ලැබුණේ නීති ක්ෂේත්‍රය තුළ ඇයගේ එක් අත්දැකීමක් සම්බන්ධ විවේචනයකි. සුගන්ධිකා සමග කළ මෙම සංවාදය ලංකාවේ අධිකරණ පද්ධතිය විෂය කරගනී.

නීතිඥ වෘත්තියට පිවිසුණු කාන්තාවක් විදියට ඔබට මුහුණ දෙන්නට සිදුවූ සුවිශේෂී සිදුවීම් කෙටියෙන් කිව්වොත්?

2010දී වෘත්තියට පිවිසුණු මම, කනිෂ්ඨ නීතිඥවරියක් විදියට ක්ෂේත්‍රයේදී මුහුණ දුන්න සිදුවීම් සතුට දනවන දේවල් නෙවේ. විශේෂයෙන් නීතිඥ වෘත්තියට ආපු කාන්තාවක් විදියට ක්ෂේත්‍රය තුළ තියන පීඩනය, වෘත්තිමය වශයෙන් ඉදිරියට එන්ඩ තියන බාධා සහ අධිකරණ කාර්ය මණ්ඩලය වගේම ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ ක්‍රියාකලාපයන් අපට බලපෑවා. ඊට අමතරව තියනවා, අධිකරණයේ ක්‍රියාවලට සම්බන්ධ වන අධිකරණ කාර්ය මණ්ඩල, නීතිඥවරුන්ගේ ලිපිකරුවන්, ඒගොල්ලන්ගේ ආධිපත්‍යය මෙතන තියනවා. ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ ක්ලාක්ලා, පියන්ලා පවා බලවත්. වෘත්තීයභාවයට ගරු කිරීමක් නෑ.
මෙහෙම ඉන්න කොට අපිට ප්‍රශ්නයක් එනවා අපි කවුද කියලා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා නීති විද්‍යාලයේ අවසන් විභාග කරලා, ආධුනික කාලයත් පහුකරලා තමයි නීතිඥවරයෙක් වශයෙන් එන්නේ. එතකොට ඒ ගතකරන සමාජ අධ්‍යාපනික වටාපිටාව තුළ නීතිඥයෙකුට තියනවා යම්කිසි ගෞරවයක්. මේ සමාජයේ අතීතයේ ඉඳලම නීතිඥවරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් කිව්වහම ඒ වෘත්තීමයභාවයට උගත්කමට සමාජයේ තිබුණා ගරුකිරිල්ලක්. ඒත් මම වෘත්තියට පිවිසෙන කාලේ එවැනි ගරු කිරීමක් දකින්න ලැබුණේ නෑ.

නීිතිඥවරියක් විදියට කොහෙද සේවය කරන්නේ?

මගේ කාර්යාලය පිහිටා තිබෙන්නේ හලාවත. මගේ කොළඹ කාර්යාලෙ වැඩ කටයුතු ලබන සතියේ වගේ ආරම්භ කරනවා. කාර්යාලය හලාවත පිහිටා තිබුණට ලංකාව පුරාම මට භාරගත හැකි නඩු, මම පෙනී සිටින නඩු වෙනුවෙන්, මගේ සේවාදායකයන් වෙනුවෙන් මම මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අධිකරණවල පෙනී සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නම් මගේ පුද්ගලික නඩු නැහැ. මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා භාරගත් මහජන අර්ථසාධක නඩුකරවලට පෙනී සිටින එක තමයි මම කරන්නේ. හැබැයි මට මේ මෑතකාලීනව රිට් සහ මූලික අයිතිවාසිකම් නඩු කිහිපයක් පුද්ගලික නඩු වශයෙන් ඇවිල්ලා තියනවා. ඉදිරියේදී ඒවා ගැන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

අන්තර්ජාලයේ හුවමාරු වුණු ඔබේ වීඩියෝවට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

විශාල පිරිසක් කතා කෙරුවා. දේශපාලනඥයො කතා කෙරුවා. පළාත් සභා මන්ත්‍රීවරු, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු, ස්වාමීන්වහන්සේලා, නීතිඥ වෘත්තියේ සිටින තරුණ අයගේ මව්පියන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරු, විනිශ්චයකාරවරු විශාල පිරිසක් කතා කළා. ඒ කතා කරපු අය අතරේ තිබුණෙ මට සුබ පැතුම්. මේ සටන ඉදිරියට ගෙනියන්ඩ මේ හඬට අපි එකඟයි. කවුරුවත් මෙහෙම හඬක් මින් පෙර මේ විදියට නගල නෑ. විනිශ්චයකාරවරුන් කතා කරලා අපිට එවල තිබුණ ලිපියක්. මහාධිකරණ විනිශ්චයකාරවරුන්ට ඔවුන්ගේ උසස්වීම්, තනතුරු ඔවුන්ට ලැබිය යුතු ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන දීමනා ලබාගන්නට තියන බාධාවන්, අධිකරණ ක්ෂේත්‍රයේ විනිශ්චයකාරවරුන්ට තියන බාධා දන්වලා අපිට ලිපියක් එව්වා.
එතකොට මේ කතා කරන සිද්ධිය හුදු එක නීතිඥවරයෙක්, එක විනිශ්චයකාරවරයෙක්, එක නීතිඥ සංගමයක් අරබයා නෙවේ. මේ රටේම තියන ප්‍රශ්නයක්. නීතිඥවරු අතර විතරක් නෙමේ, වෛද්‍යවරුන්ගේ ක්ෂේත්‍රයේ ගත්තත් මීට වඩා බරපතළයි. අපි ඒ ක්ෂේත්‍රයේ කිඳා බැහැලා නැති නිසා අපි නොදන්න දේවල් ඕනෑතරම් වෛද්‍යවරු දන්නව ඇති. මගේ තර්කය අපි මුලින් අපි ඉන්න තැන ශුද්ධ කරගන්ඩ ඕනෑ.
දැන් ඔය යූ.ආර්.ද සිල්වා මහත්මයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු සමහර නීතිඥවරු සුළුතරයක් දක්වන අදහස, මගේ කතාවෙන් සමස්ත නීතිඥවරුන්ගේ ගෞරවයට හානියක් වෙනව කියන එකනෙ. මේක ලඝු කොට තකන්න එපා. මැයි 04 මගේ මහජන පුස්තකාලයේ තිබුණ මගේ දේශනයේදී මම කරුණු දැක්වූවේ මේ සහෝදර නීිතිඥවරුන් එක්ක ගැටීමටවත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග මතවාදී ආරාවුල් ඇතිකර ගැනීමටවත්, විනිශ්චයකාරවරුන් සමග ගැටීමටවත්, නෙවෙයි අපේ අරමුණ. ඊට එහා ගිය දෙයක්. මගේ තර්කය මනුස්ස ආත්මභාවයක් ලබපු අපි, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත අපි, වෘත්තීයවේදීන් වශයෙන් බුද්ධි කලම්බනයක් මෙහෙයවීමක් කරන්ඩ පුළුවන් මට්ටමක ඉන්න මිනිස්සු විදියට අපේ රටේ මිනිස්සුන්ට සේවයක් කරන්ඩ මට හැකියාවක් නැත්නම් වැඩක් තියෙනවද? මගේ තර්කය ඒකයි. මගේ යාළුවො කතා කරලා කියනව, අනේ ඔයා රිලැක්ස් එකේ ඔයාගෙ වයසෙ හැටියට ෆිල්ම් එකක් බලලා පොඞ්ඩක් ඬේ අවුටින් එකක් ගිහිල්ලා, හොඳට කාල බීලා පොඞ්ඩක් ෆන් එකක් අරන් ඉන්නකෝ. ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා.
අද සෙනසුරාදා දවසේ මම ගිහිල්ලා ෆිල්ම් එකක් බලලා, කොහෙ හරි ඇවිදලා ලබන සතුටට වඩා මම මහජන අර්ථසාධක නඩුකරයක් ගොඩ නගන්ඩ, කාගෙ හරි නීතිඥවරයෙක්ගෙන් වෙලා තියන අකටයුත්තක් වෙනුවෙන් කරුණු දක්වන්න, ඒ සේවාදායකයෙක් එක්ක කතා කරන්ඩ ගත කරන කාලය තුළ මම හදවතින් තෘප්තිමත්. එනිසා අර ශුද්ධ වූ බයිබලයේ කියනවා, තමුන් කරන හොඳ දෙයක්, වම් අත කරන දේ දකුණු අතට නොදැනෙන්ඩ කරන්ඩ. ඒ කියන්නේ හොඳ දෙයක් කරපුවහම ඒකට ප්‍රචාරණයක් දුන්නහම ඒ තෘප්තිය ලබන්ඩ බෑ. ඒ නිසා සමාජ ජාලා වෙබ් අඩවිවල හෝ මාධ්‍ය සාකච්ඡාවලට ඇවිල්ලා සුගන්ධිකා ප්‍රනාන්දු මෙච්චරක් නඩු කීවා, මෙච්චරක් මිනිස්සුන්ට පිහිට වුණා කියලා. එහෙම කියලා ළඳ බොළඳ මානසිකත්වයකින් බාල තෘප්තියක් ලබන්න ඕනෙකමක් මට නැහැ. ඒ නිසා මම කරපු දේවල් මගේ හෘදය සාක්ෂිය මගේ හිත දන්නවා. මගෙන් උදව් උපකාර ලැබුණු මිනිස්සුන්ගේ හදවත්වල තියනව. ඒ මිනිස්සු ඒවට ප්‍රචාරය දිදී පෝස්ටර් ගගහ යන්නේ නෑ. ඒත් මිනිස්සුන්ගේ හිතේ තියෙනවා. දැන් හැමෝම මාව දකින්නේ, විප්ලවකාරී ගිය ගමන් ආරාවුල් ඇතිකර ගන්න චරිතයක් කියලනේ. ඉතින් ඇයි එහෙම වෙන්නේ? ඇයි අපි යන යන තැන ආරාවුල් ඇතිකර ගන්න, වාද විවාදවලට පැටලෙන්න, සංවාදවලට විසංවාදවල එල්ලෙන්ඩ සිද්ධ වෙන්නෙ. මෙතන ප්‍රශ්නයක් තියෙන නිසා නේද? ඉස්කෝලෙ යන ළමයි අයිස් පලම් කාලා මගෙ ඔෆීස් එක ඉස්සරහ කොළ කෑලියි කෝටු කෑලියි දාලා යනවා. මම ඔෆිස් එකෙන් එළියට බැහැලා ළමයි ටික අඬගහගෙන ඇවිල්ලා, ඇහිඳිනවා. මේ ටික ඇහිඳිනවා කියලා, ඇහිඳලා ඩස්පින් එකට දම්මවල තමයි යවන්නේ. මේ රටේ සමාජයේ හැමෝම යම්කිසි සිස්ටම් එහෙකට ක්‍රමවේදයකට, පුරුදු පුහුණු වෙන්න ඕනෑ කියලා මම හිතනවා. ඒක තමයි මේ. කුඩා දරුවන්ගේ පටන්, පාසල තුළින් තමයි මේක පටන් ගන්ඩ ඕනෙ. දැන් මේ ක්‍රමයේ තියන වැරැද්ද කොහෙද කියන එක, කොතැනින් පටන් ගත්තද කියල විශ්ලේෂණය කරලා කියන්න හරි අමාරුයි. දැන් ජනප්‍රිය පාසලකට ළමයෙක් දාගන්ඩ ගියහම ඒ ළමයට එක වසරට යන්ඩ කලින් උගන්නන්නේ ඉස්කෝලෙට අල්ලපු වැටේ තියන ගෙදර එඞ්්‍රස් එක බොරුවට කියන්ඩ. මම ඉන්නෙ අහවල් තැන කියල කියන්ඩ. එතකොට බොරුව පටන් ගන්නේ කොතැනින්ද? බොරුවෙන් ජීවත් වෙන්ඩ පටන් ගන්නේ කොතැනින්ද? ළමයෙක් පාසලට ඇතුළත් කරන තැන ඉඳලා.
ඉතින් ඒ නිසා මේක මේ මම 2010 දිවුරුම් දුන්නට පස්සේ ඇතිවෙච්ච තත්ත්වයක්වත්, මම මේ නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන්න ගිහිල්ලා අධිකරණයේදී ඇතිකර ගත්ත තත්ත්වයක්වත් නෙවේ. මගේ ප්‍රාථමික අධ්‍යාපනය හලාවත ශාන්ත මරියා ප්‍රාථමික විද්‍යාලයේ. ඉන් අනතුරුව කාර්මෙන් බාලිකා විද්‍යාලය, හලාවත. පාසලේ විදුහල්පතිනියගේ වැරදි පරිපාලන ක්‍රියාවන්ට විරුද්ධව මම ඇය විවේචනය කළ අවස්ථා තිබෙනවා. ඒ නිසා ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුරත් අහිමි වුණා. එතකොට පාසල් යන කාලෙදිම තමයි, මම මේ විවේචනය පටන් ගත්තේ. ප්‍රධාන ශිෂ්‍ය නායකකම හම්බ වුණා නම් මම මොනවද කරන්නේ කියන එක වෙනම දෙයක්. ඒ ලැබිය යුතු තත්ත්වයන් මං නැතිකර ගත්තේ ඒ කාලෙමයි. අද ඊයේ නෙමෙයි. යුක්තිය හා සාධාරණය වෙනුවෙන් මගේ හඬ නැගුවේ මම පාසල් යන කාලෙමයි.

අධිකරණ පද්ධතියේ සමස්ත පරිහානිය ඔබ දකින්නේ කොහොමද?

මං හිතන්නේ මං ඉපදෙන්නත් කලින් ඉඳලා පරිහානියට ලක්වෙච්ච තැන් තිබුණා. මම ඉපදෙන්නේ 1983. එතකොට මම පාසලට ඇතුළු වුණේ 1988 වර්ෂයේ. මම විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන්න 2004 අවුරුද්දේ. එතකොට අපි නීතිඥවරු වශයෙන් දිවුරුම් දෙන්ඩ කලින්, මම දිවුරුම් දෙන්නේ 2010 අවුරුද්දෙ. ඊට කලින් හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා සම්බන්ධ දියවන්නා ඔය සිද්ධිය, එතකොට මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක අසූචි ප්‍රහාරයකට ලක්වන සිද්ධිය. මම දිවුරුම් දුන්නට පස්සේ පළාත්බද මහාධිකරණ විනිශ්චයකාරතුමිය විනිශ්චයාසනයේ ඉද්දි විත්තිකාරයෙක් අසූචි ප්‍රහාරයකට ලක්වුණා. එතකොට පරිහානිය කියන එක පටන් අරන් තියෙන්නේ මම ඉපදෙන්නත් කලින්.
දැන් අපේ ව්‍යවස්ථාව යටතේ තියනව ජනාධිපති සමාව කියල විශේෂ තත්ත්වයක්. අපරාධකාරයෙකුට සමාව දුන්නහම ඒ අපරාධයත් නිශේධනය වෙලා යනවා. ගෝනවල සුනිල් කියන අපරාධකාරයාට ජනාධිපති සමාවකුත් දීලා ලංකාවට බලපැවැත්වෙන පරිදි සාමදාන විනිශ්චයකාර ධුරයකුත් පිරිනමපු රටක් මේක. මෑතකාලීනව ගත්තොත් රවි කරුණානායක මහත්මයට මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධි චෝදනා ලැබ තිබියදී මුදල් ඇමතිකම පිරිනමපු රටක් මේක. ඉතින් එතැනින් එහාට අධිකරණයේ පරිහානිය ගැන කතා කරද්දී ඔය මම කියන පොඩි පොඩි සිද්ධි ඉතාම පහළ ස්ථරයේ ඒවා. මුඞ්ලියවරුන්ගේ හැසිරීම් මහේස්ත්‍රාත්වරුන්ගේ බීමත්කම යනාදී ඒවා ඉතාමත් පහළ මට්ටමේ සිද්ධි. ශිරාණි බණ්ඩාරනායක මහත්මියව නෙරපා හැරීමේදී, ශිරාණි මැතිනියට මතවාදීව සහය දක්වපු මහේස්ත්‍රාත්වරු, දිසා විනිසුරුවරුන්ට අන්තිමට මොකද වුණේ. හිතාගන්ඩ බැරි මාරුවීම් හම්බු වුණේ. එක ස්ටේෂන් එකක ඉඳලා මාරුවීම් හම්බු වුණා. මෙහෙ ඉඳලා තුම්පනේ වගේ. ඒ වගේ පළිගන්න සිද්ධි තිබුණේ. පරිහානිය කියන එක මම මේ කියන පහළ ස්ථරවල දේවල් නොවෙයි. අග්‍රවිනිශ්චයකාරවරයාගේ හැසිරීමේ ඉඳලම, මොහාන් පීරිස් මහත්මයගේ හැසිරීම්වල ඉඳලම, ජයන්ත ජයසූරිය කියන දැන් ඉන්න නීතිපතිවරයාගේ හැසිරීම, ලෙනින් රත්නායක මහත්තයට අසූචි ගහපු සිද්ධිය වික්ටර් අයිවන් මහත්මයගේ අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා නොනිමි අරගලය පොත කියවන කොට ඇස්වලට කඳුළු එනවා. හෘදය සාක්ෂිය සහිත නීතිඥයෝ විතරක් නෙවෙයි මහජනතාව අධිකරණයේ මේ වෙච්ච දේවල් දන්නෙ නැද්ද? සුගන්ධිකා අප්‍රේල් 10 වැනිදා කරපු ප්‍රකාශය සමාජ ජාලවල පළවුණහමද දන්නේ? යූආර් ද සිල්වා මහත්තයා ඇතුළු නීතිඥයෝ අධිකරණයේ පරිහානිය දන්නෙ මගේ සමාජ මාධ්‍ය කතාවෙන්ද? නිකන් කටින් කිව්වට වැඩක් නෑ. ඒකට යම්කිසි ප්‍රතිකර්මයක් අවශ්‍යයි. විනිශ්චයකාරවරයාට අසූචි එල්ල වන, අග්‍රවිනිශ්චයකාරවරයා තනතුරේ වගකීමක් නැතුව ප්‍රකාශ නිකුත් කරන වෘත්තීන්වල මොකක්ද වගකීම.
විනිශ්චයාසනය ගෞරවනීය විය යුතුයි. හිස නමා ආචාර කිරීමට තරම් වැදගත්කමක්, ගෞරවනීය බවක් එහි අසුන් ගන්නා තුළ තිබිය යුතුයි. මගේ කතාවේ අරමුණ විනිශ්චයකාරවරුන්ට විනයක් සහ පැවැත්මක් තිබිය යුතුයි කියන එක. ඒ විනය සහ පැවැත්ම නොමැති විනිශ්චය ආසනයක් කෙරෙහි ජනතාව හිස නමනවද? දෙන තීන්දු තීරණ කෙරෙහි ජනතාවට ගෞරවයක් තියනවද? පහුගිය කාලෙදි ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට එල්ල වුණු චෝදනා මේ රටේ මිනිස්සු දන්නෙ නැද්ද? ජනාධිපති නීතිඥවරු දන්නෙ නැද්ද නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න සොලිසිටර් ජනරාල් සහ නීතිපතිවරයා දන්නේ නැද්ද? මමද දැන් මුල්ම අවස්ථාවට මේ කතාව කියන්නේ? මම වෘත්තියට පිවිසෙන්ටත් කලින් දූෂිත, නින්දිත දේවල් අධිකරණයේ වෙලා තියෙනවා.
මට තිබුණ ගැටලුව මම ඉන්නෙත් මෙවැනි වෘත්තියකද කියන එක. මොකද අපි කැමති ගෞරවාන්විත විදිහට වෘත්තියේ යෙදෙන්නැයි

සාධාරණයක් ඉටුවෙයි කියලා විශ්වාසයක් ඇතිව අගතියට පත්වූවන්ට අධිකරණය ඉදිරියට යන්ඩ පුළුවන්ද?

පුළුවන්. හෘදය සාක්ෂිය සහිත, ඉතා හොඳ විනිශ්චයකාරවරු තවම ඉන්නවා. පසුගිය කාලේ මතයක් ගොඩනැගිලා තිබුණ විදේශ විනිසුරුවන් ගෙන්නන්ඩ උත්සාහ කරනවා කියලා. නෑ, විදේශ විනිසුරුවන් ගෙන්නන්ඩ දෙයක් නෑ. මේ රටේ ඉන්නවා හොඳ විනිශ්චයකාරවරු. මේ රටේ ඉන්නව විනිශ්චයාසන දරන්ඩ පුළුවන් වැදගත් මහත්වරු සහ නෝනාවරු. ප්‍රශ්නෙ ඒ වැදගත් සහ හෘදය සාක්ෂිය සහිත හොඳ මිනිස්සුන්ට තැනක් නෑ. තැන හම්බවෙන්නේ පවතින ආණ්ඩුවට කඬේ යන කට්ටියට. ආණ්ඩුව කියන කියන විදිහට තීරණ දෙන්ඩ පුළුවන් නැවෙන ස්වභාවයේ කට්ටියට. එහෙම පත් කරලා යුක්තිය බලාපොරොත්තු වෙන්ඩ බෑ. දේශපාලනඥයෝ විනිශ්චයකාරවරු පත් කරන තැනට පත්වුණාම දේශපාලනඥයන්ට අවශ්‍ය තීන්දු තීරණ විනිශ්චයාසනයෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම වෙන්ඩ බෑ. තීන්දු තීරණ ගන්ඩ ස්වාධීන අවස්ථා තියෙන්ඩ ඕනෑ.
දැන් කියනව මම නීතිඥවරුන්ට විරුද්ධවම කතා කරනවා කියලා. වෘත්තීය නීතිඥවරුන් ඉන්නෙ 15,000ක් විතර. රටේ ජනතාව කොච්චර ඉන්නවද? කෝටි දෙකකට වැඩියි. නීතිඥයො පහළොස් දහසෙනුත් සුළු පිරිසක් යුක්තිය ඉටුවීමට බාධා කරනවා නම්, මම ගන්ඩ ඕනෙ කාගෙ පැත්තද? 15,000 තුළ ඉන්න වැරදි කරන සුළුතරය නිසා සමස්ත 15,000ම අපවාදයට ලක්වෙනවා. අපේ හඬ තියෙන්නේ ඒ පිරිස රැකගන්ඩ.

ආණ්ඩුවේ මැදිහත්වීමකින් තොරව අගවිනිසුරුට පුළුවන් නේද මේ ප්‍රශ්නය විසඳන්න?

දැන් අග්‍රවිනිශ්චයකාරවරයාව පත්කරලා තියෙන්නේ කවුද? ඔන්න ඔතන තමයි ප්‍රශ්නෙ තියෙන්නේ. විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ග්‍රහණයෙන් අධිකරණය බේරගන්ඩ ඕනෙ.
දැන් මේ විනිශ්චයකාරවරු පත්කිරීමම ගන්ඩකො. කවුද අධිකරණ විනිශ්චයකාරවරු පත්කරන්නේ? කාගෙ වුවමනාවටද පත්වෙන්නේ? විධායකයේ වුවමනාවට. හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වම කියනවනෙ මම වැරැද්දක් කළා. මම ඒ වෙලාවෙ ඒ තීන්දුව නොදුන්නනං අහවලාට මේකයි වෙන්නේ කියලා.
මකියවෙල්ලිගෙ කුමාරයා පොතේ තියනවා, පාලකයා සිංහයෙකු මෙන් එඩිතර විය යුතුය. නරියෙකු මෙන් කපටි විය යුතුය කියලා. දැන් අපේ පාලකයෝ සිංහයො මෙන් එඩිතර වෙන්නෙත් නරියො මෙන් කපටි වෙන්නෙත් තමන්ගේ සුබ සාධනයට, එතනයි ගැටලුව තියෙන්නේ. ප්‍රශ්නෙට සරලම විසඳුම තමයි ව්‍යවස්ථාදායකයෙන් සහ විධායකයෙන් අධිකරණය මුදවා ගැනීම.

මේ පරිහානියෙන් අධිකරණය ගලවා ගැනීමට ඔබ කරන යෝජනා මොනවාද?

අපේ සටන ලේ බිඳක්වත් නොසෙල්වා කරන අවිහිංසාවාදී සටනක්. ව්‍යවස්ථාමය පෙරළියකින්ම තමයි මේ තත්ත්වය වෙනස් කරන්ඩ පුළුවන්. ව්‍යවස්ථාමය විප්ලවයක් අවශ්‍යයි.