ශිෂ්ටාචාර වුවමනාව සහ යහපාලනය

ෆුකුයාමා නමැති දාර්ශනිකයා ඉතිහාසය පිළිබඳව මෙවැනි අදහසක් පළ කළේය. සමාජවාදී කඳවුරේ බිඳවැටීමත් සමග සමස්ත ලෝකයම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැළඳ ගැනීමට නියමිතය. එය මානව ඉතිහාසයේ එක් කෙළවරක් බවද හෙතෙම කීවේය.
සැමුවෙල් හන්ටින්ටන් ලෝකයේ අනාගතය පිළිබඳව ඉදිරිපත් කළේ ඊට වෙනස් මතයකි. ඔහුට අනුව මාක්ස්වාදයේ ඇද වැටීමෙන් පසු ලෝකයේ බහුවිධ රටවල් ඒවාට අනන්‍ය වූ විවිධ ශිෂ්ටාචාර සංස්කෘතීන් අනුව ඉදිරියට යනු ඇත.
ලංකාවට රටක් හැටියට ගමන් කිරීමට සිදුව තිබෙන්නේ හන්ටින්ටන් කියූ මාවතේ බව පැහැදිලිය. එනම් අපට ගමන් කිරීමට සිදුවන්නේ අපේ ශිෂ්ටාචාර සංස්කෘතිය අනුවය. ඉකුත් 08 වැනිදා නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් රට දිනවීමට බලඅරගලය නතර කළ යුතු බව ජනපති කීවේය. ඔහුට එය කීමට සිදුවන්නේ ලංකාවෙ මේ වනවිට රටක් හැටියට ෆුකුයාමාගේ අදහසට සමාන්තරව සිටින හෙයින් බව පැහැදිලිය. එනම් ඔවුන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නමින් හඳුන්වන තත්ත්වයේද අර්බුදයකට අප මුහුණ පා සිටින නිසාය. ඇත්තටම ජනපති කියන අශිෂ්ට අරගලයට අප ප්‍රවිශ්ටව සිටින්නේ පළල් අරුතකින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයවත් වැළඳගෙන නොසිටීම නිසාය. අප පසුවන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙත් පසුගාමී අවධියකය. බල අරගලය නවත්වා සියල්ලන් අභිමුඛව සිටින දේශපාලන හා සමාජීය අභියෝගය තේරුම් ගෙන අනාගතයට ශිෂ්ට ගමනක් යාමට නම් හන්ටින්ටන්ගේ අදහස වෙතට පැමිණීමට අපට සිදුවෙයි. බලඅරගලය නතර කරමු යනුවෙන් ඔහු අදහස් කරන්නේ එය නම් ජනපති දියුණු අවධියකට පැමිණ ඇතැයි කිව හැකිය. එහෙත් මෙම කතාවලින් ඔබ්බට ගොස් ඔහුට ආදර්ශයෙන්ම බලඅරගලයෙන් මෑත්වී ශිෂ්ටාචාර සංස්කෘතියක් වෙත අන්‍යයන් කැඳවාගත හැකිවිය යුතුය.
හන්ටින්ටන් කියන පරිදි රටක් ඊට අනන්‍ය ශිෂ්ටාචාර සංස්කෘතියක් අනුව ඉදිරියට යෑම ආවේණික ක්‍රියාවලියක් ලෙස සිදුවන්නේ නැත. නිදසුනක් ලෙස වම හා දක්ෂිණාංශය යන දෙකම බිඳ වැටුණු අවස්ථාවක ගොඩනැගෙන ශිෂ්ටාචාර සංස්කෘතිය යහපාලනය නම් ඊට අදාළ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ යාන්ත්‍රණයක් වුවමනාවෙන් ඇති කළ යුතුය. අනෙක් අතට යහපාලනය යනු බලඅරගලය නැවතුණු තැනය. සම්මුතිවාදය යන්නෙහි සංකල්පීය මෙන්ම ප්‍රාfාය්ගික ප්‍රවේශය එය විය යුතුය. එසේ නොවූයේ නව ශිෂ්ටාචාර සංස්කෘතිය හෙවත් යහපාලනය අර්ථපූර්ණ නොවුණු නිසාය. යහපාලනය යන්න අර්ථ හීනවූ නිසාම බලඅරගලය තාවකාලිකව නැවැත්වූ පාර්ශ්ව දෙකට මෙරට ශිෂ්ටාචාර සංස්කෘතිය අනුව ඉදිරියට යෑම කළ නොහැකි විය. ලංකාවේ සිදුවූ ඛේදවාචකය නම් බලඅරගලය නවතාලන්නට කැපවුණු බව පෙනුණු තැනින්ම තවත් බලවේග බිහිවී බලඅරගලය තීව්‍රවීමය.
ජනාධිපතිවරයා ශ්‍රීලනිප නායකත්වය ගැනීම අදටත් විවේචනය වෙයි. ශ්‍රීලනිප සභාපති ධුරය ගෙන ඔහුට සියල්ලන්ගේ අනුමැතියෙන් බලඅරගලය නැවැත්වීමේ ක්‍රියාවලිය තවදුරටත් පෝෂණය කළ හැකිවූවා නම් හන්ටින්ටන්ගේ අදහස අද තරම් හිරිහැරයකින් තොරව අභ්‍යාස කිරීම ගැන සිතා බලන්නට තිබුණි. එහෙත් සංස්කෘතිකකරණය වීමට විකල්පව බලඅරගලයේ අසංස්කෘතිය නඩත්තු කිරීමට සිදුවීම නිසා යහපාලනයට බොහෝ වැදගත් දේවල් මග හැරුණි. සම්මුතිවාදය විසින්ම ජාතික අර්බුදය අත්හැර දමන ලදි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව මුළුමනින් අමතක කර දැමීමට යහපාලන ආණ්ඩුවට සිදුවිය. යුද වින්දිතයන්ගේ ප්‍රශ්නය ඔවුන් වෙතින් නොසලකා හැරුණි. යුක්තිය පසිඳලීම හා සංවර්ධනය ඇන හිටියේය. ආර්ථිකය බිංදුවට වැටුණේය. දේශපාලන හා සාමාජීය පැවැත්ම අස්ථාවර වූයේය. යළි ඉක්මනින් බලපොරය එන්නට මේ අකර්මණ්‍ය බවද බලපෑවේය. මීට විසඳුම කුමක්ද?
පුරවැසියන් සිය පුරවැසි බලය මීට වඩා අභ්‍යාස කළ යුතුය. දේශපාලනඥයන්ටද තම වගකීම ගැන සැබෑ හැඟීමක් ඇතිවිය යුතුය. අනන්‍ය ශිෂ්ටාචාරය දිගේ ඉදිරියට යෑමට ගාමක බලය සැපයෙන්නේ එම ද්වන්ද්ව බලයෙනි. නායකයන් ක්‍රියා කළ යුත්තේ එම ශිෂ්ටාචාර සංස්කෘතික වුවමනාව පෙරදැරිවය.