රාවය

බන්දුලගේ ආර්ථික පර්යේෂණ ඒකකය

බන්දුලගේ ආර්ථික පර්යේෂණ ඒකකය

විපුල කරුණාතිලක

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික පර්යේෂණ ඒකකය නමින් බැනර් එකක් ගසා ඒ ඉදිරියේ වාඩිවී ලංකාවේ ආර්ථික තත්ත්වය මාසයකට දෙපාරක් තුන්පාරක් විග්‍රහ කරයි. මෙහිදී ඇති ගැටලුව වන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ මෙම ආර්ථික පර්යේෂණ ඒකකය කළේ කුමක්ද යන්නයි. 2006-2014 ලංකාවේ සාර්ව ආර්ථික පදනම යළි ගොඩනැංවිය නොහැකි ලෙස අර්බුදයට යවන ලද වසර 08ක් ලෙස හැඳින්විය හැකියි. ගත් සමහර තීරණ වසර 30කින්වත් නිවැරදි කළ හැකි ඒවා නොවේ.
2004 වර්ෂයේ පත් කළ තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිසමෙන් යෝජනා කරන ලද්දේ එවකට රාජ්‍ය සේවයේ වැටුප් ලබන සේවක සංඛ්‍යාව වූ ලක්ෂ 07ක ප්‍රමාණයෙන් 33%ක් අඩු කළ යුතු බවයි. ඒ වනවිටත් පැවති රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් තවදුරටත් භාණ්ඩාගාරයෙන් ගෙවීමට නොහැකි බැවින් ඒ සඳහා අරමුදලක් ගොඩනැංවිය යුතු බවට යෝජනා වී තිබුණි. දැනටමත් වැන්දඹු අනත්දරු ගෙවීම් අර්බුදයක් නැත්තේ එය අරමුදලකින් ආවරණය වන නිසාය. 2006න් පසු මහින්ද රාජපක්ෂ රෙජීමය රාජ්‍ය සේවය යනු තමන්ගේ දේශපාලන ජනප්‍රියත්වය වෙනුවෙන් යොදා ගත්තේය. එහි ප්‍රතිඵලය ලෙස 2004දී ලක්ෂ 07ක් වූ රාජ්‍ය සේවක පිරිස 2014 වනවිට ලක්ෂ 14 දක්වා වැඩි කළේය. රාජ්‍ය සේවක වැටුප් බිල රාජ්‍ය ආදායමෙන් 35% දක්වා වැඩි කළේය. වැඩි කරන ලද රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට සිදුවූයේ රුපියල් 10,000ට වඩා අඩු වැටුප් ලබන අයගෙන් ලබා ගන්නා බදු මුදලිනි. කනගාටුවට කරුණ වන්නේ මේ තත්ත්වය එකල බන්දුලගේ ආර්ථික පර්යේෂණ ඒකකයට හසුනොවීමයි.
රාජ්‍ය ආදායම ගත් කල අප වැනි රටක පැවතිය යුතු අවම ප්‍රමාණය වන්නේ දළ දේශීය නිෂ්පාදිතය 20% ප්‍රමාණයකි. එය ලංකාවේ 1995 දක්වාම 20% ප්‍රමාණයේ පැවතිණි. 1948න් පසු අවම රාජ්‍ය ආදායම වූ දළ දේශීය නිෂ්පාදිතයේ 11% වාර්තාවන්නේ 2014දීය. 1995 සිට 2014 වනවිට රාජ්‍ය ආදායම හරි අඩකට වඩා ටිකක් අඩුවී ඇත. 2014දී සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල 1995ට සාපේක්ෂව හරි අඩකින් අඩුවිය. 1995දී අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා දළ දේශීය නිෂ්පාදිතය 6% වෙන් කරන විට 2014 ඒ දෙක සඳහාම වෙන්වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%කි. 1995 සමෘද්ධි සහනාධාරය සඳහා දළ දේශීය නිෂ්පාදිතය 3%ක් වෙන් කර තිබුණි. 2014 එය දළ දේශීය නිෂ්පාදිතය 0.5% දක්වා 6 ගුණයකින් අඩුකර තිබුණි. රාජ්‍ය ණය ප්‍රමාණය ගත් කල 2014 එය දළ දේශීය නිෂ්පාදිතය 76% දක්වා වැඩිවී තිබුණි. එය රාජ්‍ය ආදායමට සාපේක්ෂව බැලූ කල හයගුණයක ප්‍රමාණයකි. ණය ගෙවීම සඳහා පමණක් රාජ්‍ය ආදායමෙන් 33%කට වඩා ගෙවීමට සිදුවිය.
රාජ්‍ය ව්‍යාපාර ගත්විට 2014 වනවිට සියල්ලම පැවතියේ භාණ්ඩාගාරය මත පදනම්වෙමිනි. 2014 වනවිට විදුලි බලමණ්ඩලයේ මෙහෙයුම් පාඩුව රුපියල් බිලියන 11.7කි. එයාර් ලංකා සමාගමේ මෙහෙයුම් පාඩුව රුපියල් බිලියන 29කි. ලංකා ගමනාගමන මණ්ඩලයේ අවම වශයෙන් සේවකයන්ගේ අර්ථසාධක අරමුදල්ද ගෙවීමේ හැකියාවක් නොතිබුණි. මේ පාඩු ලබන ආයතන සියල්ල පැවතියේ එවකට රාජපක්ෂ රෙජීමයේ හිතවතුන්ට රැකියා ලබාදෙන ආයතන ලෙසය. එයාර් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයාය. ආයතනය පාඩු ලබද්දී එහි සේවිකාවෝ නාමල් රාජපක්ෂ මහතාගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ සේවය කළහ.
2010දී මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්ගේ ප්‍රධානත්වයෙන් බදු කොමිසමක් පත් කළේ වේගයෙන් අඩුවන රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම වෙනුවෙනි. කනගාටුවට කරුණ වන්නේ එකල බන්දුල ගුණවර්ධන මහතාට කොමිසමේ නිර්දේශ කෙසේ වෙතත් කොමිෂන් සභා වාර්තාවක් ඇහැට දැකගැනීමට හැකියාවක් ලැබුණේ නැත. 2010 සිට මහින්ද රාජපක්ෂ රෙජීමය විසින් දේශීය විදේශීය ණය මත පදනම්ව ඇති කළ යටිතල පහසුකම් හා සබැඳුණු ආර්ථික ක්‍රියාවලියක් නොමැතිවීමේ අර්බුදය 2010 සිට 2014 යන සෑම වසරකම ලංකාවේ ආර්ථික විද්වතුන් විවිධ ප්‍රකාශන හරහා පෙන්වාදී තිබුණි. ඒ සඳහා බන්දුල ගුණවර්ධන මහතාට අවශ්‍ය නම් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (I.P.S.) 2010 සිට 2014 දක්වා ඇති වාර්ෂික වාර්තා පරිශීලනය කිරීමෙන් අවබෝධ කරගත හැකිය. 2010 සිට 2014 දක්වා ලබාගත් දේශීය හා විදේශීය ණය ගෙවීමට සිදුවී ඇත්තේ තෙවැනි පාර්ශ්වයකටය. කරන ලද ආයෝජනවල ප්‍රතිලාභ ලබාගත් ණය කෙසේ වෙතත් පොලියවත් ගෙවීමට ප්‍රමාණවත් නැත.
බන්දුල ගුණවර්ධන පර්යේෂණ ඒකකයට නොපෙනෙන අනෙක් කරුණ වන්නේ 2006 සිට 2014 දක්වාම විදේශ විනිමය ලබන ප්‍රධානම මාර්ගය වූ විශ්‍රාමික ශ්‍රමිකයන්ය. එය මිලියන 2ට ආසන්න ප්‍රමාණයක් විය. ලංකාවේ රැකියා වෙළෙඳපොළ තුළ ඔවුන්ට රැකියා ලබාගැනීමට හැකියාවක් තිබුණේ නම් ප්‍රියයන්ගෙන් වෙන්ව රුපියල් 50,000ට අඩු වැටුප්වලට විදේශ රටවල රැකියාවලට යන්නේ නැත. මේ අය විසින් එවන මුදලින් රජය ලබාගත් විදේශීය ණය පියවමින් ඇත. 2010-2014 රජය විසින් වාණිජ පොලියට ගත් ණය මගින් ආරම්භ කළ වැඩසටහන් හැරුණු විට ඍජු විදේශ ආයෝජන පැවතියේ දළ දේශීය නිෂ්පාදිතය 1.5% අඩු ප්‍රමාණයේය. 2006-2014 සැලකිය හැක්කේ සාර්ව ආර්ථික පදනම අස්ථාවර කළ වසර 09ක් ලෙසය. ඒ වසර 09 කාලය තුළ රාජපක්ෂ රෙජීමය විසින් තම දේශපාලන බලය පවත්වා ගැනීමට රාජ්‍ය මූල්‍යය දිගුකාලීන හානි නොතකා යොදා ගත්තේය. අදටත් ඒ ඇති කළ අස්ථාවරත්වය ස්ථාවර කිරීම අපහසු වී ඇත. අදටත් රාජ්‍ය ආයෝජන කෙසේ වෙතත් පුනරාවර්තන වියදම් පවා පියවීමට සිදුවී ඇත්තේ දේශීය විදේශීය ණය මත පදනම්වය. බන්දුල ගුණවර්ධන මහතා ඉගෙන ගත යුතු කරුණ වන්නේ රටක ආර්ථිකය යනු උසස් පෙළ පන්තියේ ආර්ථික විද්‍යා පාඩම නොවන බවය.