SoLILOQUY හුදෙකලා කථනය

නිලේන්ද්‍ර දේශප්‍රිය

මට මුලින්ම එතුමා මුණගැහුණේ 1978. ඒ වෙනකොට සුමිත්‍රා පීරිස් සිනමාවේදිනියගේ මුල්ම චිත්‍රපටය ‘ගැහැනු ළමයි’ ප්‍රදර්ශනය වෙමින් තිබුණේ. කීප වතාවක්ම ඒ චිත්‍රපටය නරඹලා එහි ඇති නැවුම් බවටත් සිනමාත්මක, බවටත් වශීවුණු මම විචාරයක් ලිව්වා “ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ කියල” ඒ චිත්‍රපටයේම ගීතයක පද උපුටා දක්වමින්. ඒ දවස්වල මම සංස්කරණය කළා ‘ප්‍රතිභා’ කියල සඟරාවක්. ඒ සඟරාවේ දෙවන කලාපය නිකුත් වන්නට නියමිතව තිබුණේ. ඉතින් මේ විචාරය ඒ සඟරාවේ පළකරන්නට අවශ්‍ය වුණා. හැබැයි සඟරාවේ පළමුවෙනි කලාපය බොහොම අමාරුවෙන් මුද්‍රණය කරගත්තට, දෙවැනි කලාපය මුද්‍රණය කරන්නට මුදල් නැතිකමක් තිබුණා.
කෝකටත් මම හිතුව ‘ගැහැනු ළමයි’ චිත්‍රපටය මගේ ජීවිතේ විශාල වෙනසක් ඇතිකරපු බලපෑමක් ඇති කරපු චිත්‍රපටයක් නිසා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයව හම්බවෙනවා කියල තීරණයක් අරන් ඩික්මන් පාරේ ගෙදරට ගියා. ඔහු ඉතාම හොඳින් මාව පිළිඅරගෙන මගේ විචාරයත් කියවල සුමිත්‍රා පීරිස් මහත්මියටත් කතා කරලා “මේ බලන්න චිත්‍රපටය ගැන ලියල තියන විචාරය” කියල, මට එතකොට වයස අවුරුදු 16යි, මගෙන් ඇහුවා මොනවද මගෙන් කෙරෙන්න ඕනේ කියල. මං කිව්වා මට මෙහෙමයි සර් පළමුවැනි කලාපය මුද්‍රණය කළා.
ඒ සඟරාව ආයේ මුද්‍රණය කරන්න මුදල් නෑ, නමුත් මං කොහොම හරි මිතුරන් අතර බෙදාහරිනවා කියලා. කොහේ කොහේද සඟරාව අලෙවි කරන්නේ යනාදී ප්‍රශ්න අහල සිනමාව පිළිබඳව මගේ තියන තොරතුරු දැනුම, මං මොනවටද කැමති, මොනවද බලලා තියන චිත්‍රපටි යනාදී වශයෙන් එතුමන් අහලා එවෙලේම ඔහුගේ සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් දීර්ඝකාලීනව, අද දක්වාම කටයුතු කරන උපාලි පෙරේරාට කතා කරලා කිව්වා මේ සඟරාවට දැන්වීමක් දෙන්න. ඥාණාර්ථ ප්‍රදීපය මුද්‍රණාලයට බ්ලොක් එක දෙන්න කියල ලිපියකුත් දීලා ඒ අවස්ථාවේදීම අවශ්‍ය දැන්වීමට ලබාදෙන මුදල සඟරාව නොබලාම, මුද්‍රණය කරන්නට පෙරාතුව ලබාදීල කිව්වා සඟරාව ප්‍රින්ට් කරන්න කියල. ඒ තමයි එතුමාගේ පළමුවැනි හමුවීම.
මට තාම මතකයි එතුමා ඒ අවස්ථාවේදී මට ඒ දක්වපු සහයෝගය මට ජීවිතයට අමතක වෙන්නේ නෑ. එතුමා මට සඟරාව මුද්‍රණය කරන්න ලබා දුන්න මුදල ඇත්ත වශයෙන්ම සඟරා කලාප දෙකක් මුද්‍රණය කරන්න ප්‍රමාණවත්. කෙසේ වුණත් ඊට වසර දෙකකට පසු 1980දී මට වෘත්තීය සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට මේ සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නට වරම් ලැබුණා.
මං හිතන්නේ එතුමාගෙන් සමුගැනීම හෝ එතුමාට සමුදීම නිවන්සුව පැතීම වගේ දේවල් අවශ්‍ය වන්නේ නැහැ. මොකද එතුමා කවදාවත් මියයන්නට උපන් කෙනෙක් නෙමෙයි. එතුමා බොහෝ කාලයක් මනුෂ්‍යයකුට ලැබෙන පරම ආයුෂ වින්දා. අවසාන වශයෙන් තමන්ගේ බිරිඳ නිර්මාණය කරපු ඔහු බොහොම ආසාවෙන් ප්‍රදර්ශනය කරන්නට බලාගෙන හිටපු ‘වෛශ්ණාවී’ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නටත් එතුමාගේ උපන්දිනය දවසේදී හැකිවුණා.
ප්‍රශ්නය තියෙන්නේ එතුමා මිය යාම නෙමෙයි. එතුමාගේ මිය යාම බොහෝම තාවකාලික සිදුවීමක් පමණයි. මං කලින් කිව්වා වගේ එතුමා අමරණීය චිත්‍රපට රාශියක් ශ්‍රී ලංකාවටත් ජාත්‍යන්තර සිනමාවටත් බිහි කරපු විශිෂ්ට ගණයේ සිනමාකරුවෙක්. ඔහුගේ නිර්මාණ සියල්ලම අමරණීයයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා මිය යන්නේ ශරීරයෙන් වුණාට ඔහුගේ නිර්මාණ කවදාවත් මියයන්නේ නෑ. ප්‍රශ්නය තියෙන්නේ එතුමාගේ ජීවිත කාලය පුරාම බොහොම සීමිත සිනමාපට සංඛ්‍යාවක් පමණයි නිර්මාණය කරන්නට පුළුවන් වුණේ. චිත්‍රපට 20කට අසන්න ප්‍රමාණයක්. හැබැයි එතුමාට අවස්ථාව ලබාදුන්නා නම් අපට මීට වඩා විශිෂ්ට ගණයේ සිනමාපට රාශියක් දකින්න තිබුණා.
ඒ සියල්ලටම වැඩිය මගේ හිත පාරවන දෙය වන්නේ එතුමා දැකපු සිහිනය, එතුමාට අවශ්‍යව තිබුණා චිත්‍රපට සංරක්ෂණාගාරයක්. මෙතරම් තාක්ෂණය දියුණු වෙලා තියෙද්දී එක අධිවේගී මාර්ගයක් හදපු සල්ලිවලින් නෙමෙයි අධිවේගී මාර්ගයක කිලෝ මීටර් දෙකක මුදල්වලින් හදන්න තිබුණා. මේ රටේ ප්‍රතිපත්ති තීරකයෝ, මේ රටේ දේශපාලනය කරන සහ මේ රටේ සිනමා කර්මාන්තය භාරව හිටපු අය තවමත් ඒක ක්‍රියාත්මක කරලා නෑ. එතුමා මියගියාට තවමත් එතුමාගේ සිහිනය මියැදෙන්නේ නෑ කියල තමයි මට කියන්න වෙන්නේ. හැබැයි එතරම් විශිෂ්ට සේවාවක් කරපු සිනමාවේදියකුට එතුමා මියයන තුරාම ඔහුගේ ඒ සිහිනය සැබෑ කරගන්නට බැරි රටක ඉපදීම තුළින් අපට හිතාගන්න පුළුවන් එතුමා නැති තැනක සිනමාව, නැත්නම් සිනමාවේ ප්‍රගමනය වෙනුවෙන් මේ රටේ ප්‍රතිපත්ති තීරකයෝ මොනවද කරන්නේ කියන එක. ගැන මං අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒක මේ රටේ එතුමාගේ සිනමාව ආදරයෙන් වැළඳගත්ත ප්‍රේක්ෂකයින්ට තේරුම් ගන්න පුළුවන් ඉතාම සරල කාරණාවක්.
එතුමා ගැන මගේ ජීවිතයේ මට අමතක නොවන අවස්ථා දෙකක් තියනවා. ඒක පළමු හමුවීම වගේම වරක් එතුමාගේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය. චිත්‍රපට සංස්ථා සිනමාහලේදී තරංගනී ශාලාවේදී ප්‍රතිෂ්ඨාපනය කරපු පිටපතක් ප්‍රදර්ශනය කරපු වෙලාවේ මමත් ඒ චිත්‍රපටය බලන්න ගියා. ගම්පෙරළිය මම නවකතාවක් හැටියට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට හදාරපු කෘතියක්. ඒ හින්දම කීප වතාවක්ම නරඹපු එතුමාගේ විශිෂ්ටතම චිත්‍රපටයක්. මට අද වගේ මතකයි එතුමා ප්‍රදර්ශනය ඉවරවෙලා අනිත් අයට සුබපතමින් ඉන්නකොට මමත් එතුමා ළඟට ගිහින් කතා කරනකොට එතුමා එකපාරටම මගෙන් ඇහුවා “නිලේන්ද්‍ර Why Cannot Someone Restore me?” එතුමා අහනවා “ඇයි කෙනෙකුට මාව ප්‍රතිෂ්ඨාපනය කරන්න බැරි?” ඇත්තටම එතුමා පැවසු වදන්වල වාච්‍යාර්ථය නෙමෙයි එතුමා ඒකෙන් අදහස් කළේ එතුමාගේ චිත්‍රපට සහ ලංකාවේ චිත්‍රපට නැවත ප්‍රතිෂ්ඨාපනය කළ යුතු බවයි. එතුමාව ප්‍රතිෂ්ඨාපනය කරන්න බැරි බව එතුමා දන්නවා.
මගේ පළමුවැනි චිත්‍රපටය ‘තණ්හා රති රගා’ රූපගත කරන්නට පෙර එතුමා මුණ නොගැසී මේ චිත්‍රපටය රූපගත නොකරන බවට මා මටම සපථ කරගෙන සිටියා. එතුමා එතරම්ම අපේ සිනමාකරුවන් තුළ, සිනමාවට ආදරය කරපු, සිනමා කර්මාන්තයට ඇලුම් කරපු අයට එතරම්ම ප්‍රබල නිර්මාණාත්මක ආවේගයක් ලබාදෙන අධ්‍යක්ෂවරයෙක්. ඉතිං ඒ හින්දා මම එතුමන් ව හම්බවෙන්න ගිය වෙලාවේ චිත්‍රපටය ගැන විස්තර අහලා එතුමන් මගෙන් ඇහුවේ නෑ චිත්‍රපටයේ කතාන්දරය මොකක්ද කියලා. ඔහු මගෙන් ඇහුවේ මොකක්ද චිත්‍රපටයේ විෂුවල් ස්ටයිල් එක. ඔබ කොහොමද මේක රූපගත කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක.
තව බොහෝ දේ ලිවිය හැකි. එහෙත් යළිත් වරක් එතුමා ගැන කියන්නේ එතුමාට නිවන් සුව අත්වේවා හෝ ස්වර්ගස්ථ වේවා කියල ප්‍රාර්ථනා කරන එක නෙමෙයි. එතුමා අපේක්ෂා කළ චිත්‍රපට සංරක්ෂණාගාරය හා සිනමාවේ අනාගතය ගැන ශ්‍රේෂ්ඨ සිහිනය බිඳ දැමූවන් ස්වර්ගස්ථවේවා කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ.
ශේක්ස්පියර් උපුටා දක්වමින් මම මේ සටහන ඉවර කරන්නම්.
“Now Cracks a Noble Heart
Good Night” Sweet Prince”
And Flights Of Angels Sing Thee to Thy Rest”
“සුභ රාත්‍රියක් සොඳුරු සිනමා වේදියාණෙනි
සුරකුමරුවෝ රෑන් පිටින්
ඔබ සතපන්නට
නැළවිලි ගී ගයත්වා”