චීන ජනපතිගෙන් අපූරු පාඩමක්

භාතිය අර්ථනායක

ලෝකයේ විශාලතම සහ ධනවත්ම ආර්ථිකය හිමි රට වන චීනයේ ජනාධිපති ධුරය දරනුයේ ෂී ජින්පින් විසිනි. ඔහු එක්තරා අවස්ථාවක දී තමන්ට තමාගේ පියා විසින් ඉගැන්වූ ඉතා අපූරු පාඩමක් පිළිබඳ පවසා තිබේ. ඔහුගේ පියා ද කොමියුනිස්ට් පක්ෂයේ ඉතා ඉහළ නිලයක් දැරූ පුද්ගලයකු විය. මාපියන් විසින් දරුවන්ට පාඩම් ඉගැන්විය යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද මෙම කතාව ආදර්ශයක්වේ. ෂී ජින්පින් ජනාධිපතිවරයාට අනුව ඔහු කුඩා කාලයේ ඉතාමත් ආත්මාර්ථකාමී දරුවෙකි. මම පමණක්, මට පමණක් යන සිතිවිල්ලේ සිටි නිසාම තමන්ට යහළුවන් බොහෝ සෙයින් අහිමි වූ බව ඔහු ප්‍රකාශ කර තිබේ. මෙතැන් සිට ලියැවෙන්නේ ඔහු පවසන ලද එම කතාවය.
“ඇත්තටම මම අනික් දරුවන්ට වඩා ආත්මාර්ථකාමී දරුවෙක් වුණා. මගේ ජීවිතයේ මේ වැරැද්ද හදාගන්න හේතුවූයේ මගේ පියා මට කියා දෙන ලද ජීවිතය පිළිබඳ පාඩම් තුනක්. දිනක් මගේ පියා උණු උණුවේ සකසා තිබූ නූඞ්ල්ස් බඳුන් දෙකක් මේසය මත තැබුවා. ඉන් එකක් මත බිත්තරයක් දිලිසෙමින් තිබුණා. ඇත්තටම ඒ දවස්වල කෑමට බිත්තරයක් එකතු වෙනවා කියන්නේ හරිම විරල සිදුවීමක්. තාත්තා මට එක් නූඞ්ල්ස් බඳුනක් තෝරා ගන්නැයි සන් කළා. මා වහාම බිත්තරය තිබුණු බඳුන තෝරා ගත්තා. ඒ නමුත් පියාගේ නූඞ්ල්ස් බඳුන පතුලේ සැඟවී බිත්තර දෙකක් තිබූ බව මට පෙනුණේ නුඞ්ල්ස් බඳුන් හිස්වන විටයි. අමතර බිත්තරයක් උරුම කර ගැනීමට නොහැකි වීම ගැන මම කනගාටුවට පත්වුණා. ඒ අවස්ථාවේ පියා මට මෙන්න මෙවැනි උපදෙසක් දුන්නා. මගේ දරුවෝ, ඔබගේ ඇස් ඔබට කියන්නේ හැමවිටම හරි දේම නොවෙයි. ඔබ යමක් අත්පත් කරගැනීමට උත්සාහ කරන්නේ ආත්මාර්ථකාමී සිතිවිලිවලින් නම්, ඔබට කනගාටුදායක අවසානයක් උරුම වෙන්න පුළුවන්. ” මේ පාඩම එදා ඔහුට දැඩිව ධාරණය වී තිබූ අතර දෙවැනි දිනයේ එම වරද නිවැරදි කරගැනීමට අවස්ථාවක් ද පියා විසින් ඔහුට ලබා දී තිබුණි.
“දෙවැනි දිනයේත් මගේ පියා එවැනිම නූඞ්ල්ස් බඳුන් දෙකක් රැගෙන ආවා. ඊයේට වඩා කල්පනාකාරී වෙන්න ඕනෑ කියලා එවර මම හිතුවා. මම වහාම මතුපිට බිත්තරයක් නොමැති බඳුන තෝරා ගත්තා. ඒ නමුත් අවසානයේ එහි පතුලේ බිත්තර දෙකක් නොව එකක් හෝ තිබුණේ නෑ. බලාපොරොත්තු කඩවූ මගේ මුහුණ දෙස බලමින් මගේ පියා මෙසේ පැවසුවා. මගේ දරුවෝ, මතක තියා ගන්න, ජීවිතයේ ලබන අත්දැකීම් හා සිදුවීම් හැමවිටම එකවාගේ වේයැයි අනුමානයෙන් වැඩ කරන්න එපා. ජීවිතය විවිධ අවස්ථාවල දී අපව රවටනවා. හැබැයි අප ඒ පාඩම ඉගෙන ගතයුත්තේ මේ ආකාරයෙන් මුලාවේ වැටීමෙන්ම තමයි. ඒවා පොත්වලින් ඉගෙන ගන්න බැහැ.” හැමවිටම එකම ආකාරයේ වැඩ නොකළ යුතු යැයි එවර ෂී ජින්පින් කුඩා දරුවා ඉගෙනගෙන තිබුණි. එබැවින් ඔහුගේ පියා තෙවැනි දිනයේ ද පෙර ආකාරයේම නූඞ්ල්ස් බඳුන් දෙකක් මේසය මත තැබූ අවස්ථාවේ වඩාත් කල්පනාකාරී ලෙස තීරණයක් ගැනීමට ඔහුට සිදුව තිබිණි.
“තාත්තා, ඔබ අපේ පවුලේ ප්‍රධානියායි. අප හැමදෙනටම වඩා ඉහළින් ඉන්නේ ඔබයි. ඔබ ඉස්සරවන්න. මුල්ම නූඞ්ල්ස් බඳුන ඔබ ගන්න. මම ඉතිරි වන බඳුන ගන්නම්. මා එලෙස පැවසූ විට මගේ පියා බිත්තරයක් මතුපිටින් තිබූ බඳුන අතට ගත් අවස්ථාවේ මා වෙනුවෙන් ඉතිරිවූ බඳුනේ පතුලේ බිත්තරයක් තිබිය නොහැකි යැයි මගේ හිත කීවා. ඒ නමුත් නූඞ්ල්ස් බඳුනේ අඩක් හිස්වද්දී එහි එක් බිත්තරයක් වෙනුවට දෙකක්ම වූ බව මට දැකගත හැකිවුණා. මම ඉතා ආශාවෙන් ඒවා අනුභව කළා. පියා මට වැදගත්ම පාඩම කියලා දුන්නේ ඒ අවස්ථාවේයි. ඔහු මෙලෙස පැවසුවා. පුතා, කොයිතරම් තරගකාරී වාතාවරණයක දී වුවත්, අනෙක් මිනිස්සු ගැනත් හිතලා වැඩ කළොත්, අන්න එතැනදී සොබා දහම ඔබට හොඳම දේ දෙන්න පටන් ගන්නවා.”
බලවත්ම රාජ්‍යයක බලවත්ම අසුනක් දක්වාම ඔහු ඔසවා තබන්නට ෂී ජින්පින් නම් කුඩා දරුවාට එදා පියාගෙන් ලැබුණු මේ උපදෙස් හේතු කාරණා වන්නට ඇතැයි සිතිය හැකිය. අප හැමවිටම තරගයක නිරත වෙද්දි ගොඩ බදාගන්නට යෑම හරහා අපට උරුම වන ජයග්‍රහණය බොහෝ කාලයක් සැමරිය හැකි දෙයක් බවට පත්වන්නේ නැත. එබැවින් ජයග්‍රහණ සොයා යන ගමනේ දී මාපියන් වුවද කළයුතු වන්නේ දරුවන්ට ආත්මාර්ථකාමීත්වයෙන් තොරව තමන්ගේ ජයග්‍රහණ අත්පත් කර ගැනීම සදහා මග කියා දීමය.
වර්තමාන ලෝකයේ දී අප දකින්නේ යම්කිසි විෂයකට ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මත, පන්තියේ වෙනියා මත දරුවන්ගේ වටිනාකම තීරණය කරන මාපියන් හා වැඩිහිටියන්ය. පන්තියේ පළමුවැනියා බවට පත්වන දරුවා වඩාත් වර්ණනා කරමින්, පස්වැනියා හෝ හයවැනියා වන දරුවා පහළට ඇද දමන මාපියන් මට හමු වී තිබේ. එහෙත් වඩා වැදගත් වන්නේ යාන්ත්‍රික වන දරුවන්ට වඩා හැඟීම් දැනීම් ඇති, සංවේදීභාවය ඇති දරුවන් වඩ වඩාත් ලෝකයට නිර්මාණය කිරීම බව මේ කුඩා කතාවෙන් අපූරුවට පැහැදිලිවේ. සේවකයින් තලා පෙළා තමන්ගේ මඩිය තරකර ගන්නා ව්‍යාපාර, අතිරික්ත ලාභයන් වෙනුවෙන් පාරිභෝගිකයින් ගසා කන ව්‍යාපාර, තමන්ගේ කාර්යාලයේ සහෝදර සේවකයින් පසුකිරීම වෙනුවෙන් ඉහළට කේලාම් කියමින් උසස්වීම්වලට ඉණිමං හොයන සේවකයින් ඉතාම වේගයෙන් විටෙක ඉදිරියට යන බව පෙනෙන්න තිබේ. එසේ වුවත් තමන් උපයන ආදායම සේවකයින්ටද ප්‍රතිලාභයක් බවට පත් කරවන ව්‍යාපාර, පාරිභෝගිකයාට උපරිම සාධාරණයක් කරන ව්‍යාපාර මෙන්ම සාධාරණ මාර්ගයෙන් ඉහළට යෑමට උත්සාහ කරන සේවකයින් ද ලබන ජයග්‍රහණ කල් පවතින බව සොබාදහම අපට යළි යළිත් ඔප්පු කරමින් තිබේ.