රාවය

ක්‍රිකට් පුටුවට පොදු අපේක්ෂකයෙක්

ක්‍රිකට් පුටුවට පොදු අපේක්ෂකයෙක්

රජිඳු කාශ්‍යප

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ඉදිරි දින කිහිපයේදී කවුරුත් නොසිතූ මඟක් ගන්නේ යැයි ක්ෂේත්‍රයේ ආරංචියයි. දැනට නාමයෝජනා දුන් පාර්ශ්වයන් අතුරින්ම මේ වෙනස්කම් අපේක්ෂා කරන බවකි පැවැසෙන්නේ.
මේ සම්බන්ධයෙන් ප්‍රධාන කොට ම කාගෙත් අවධානය යොමුව ඇත්තේ නිලවරණය කල්දමා ගැනීම සම්බන්ධයෙන් ය. මෙතෙක් නිලවරණය සඳහා ඉතා ම සූදානමින් සිටි තිලංග සුමතිපාල පාර්ශ්වය පවා මේ වෙද්දී පාදයක් පිටුපසට තබා ඇති බවකි ආරංචිය.
ඊට වඩාත් ම ආසන්නතම හේතුව වී ඇත්තේ තිලංග පාර්ශ්වය අඩපණ කිරීමේ හැකියාවෙන් යුත් ඔවුන්ගේ පාර්ශ්වයේ ද විශ්වාසය දිනා සිටින පුද්ගලයෙක් ක්‍රිකට් නිලවරණ කරළියට ගෙන ඒමයි.
මේ වෙනුවෙන් රණතුංග පාර්ශ්වය නියෝජනය කරන කිහිප දෙනෙක් හා සුමතිපාල පාර්ශ්වය නියෝජනය කරන කිහිප දෙනෙක් පසුගියදා අගනුවර තරු හෝටලයකදී දීර්ඝ ලෙසින් සාකච්ඡා කර තිබේ. මේ සාකච්ඡාවේදී පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් කතා වී තිබුණ ද නිලවරණය කල් දමා ගැනීම පළමු කාර්යය වන බැවින් අදාළ පුද්ගලයා එතෙක් ප්‍රසිද්ධියට පත් කිරීම නොකළ යුතුය යන්න දෙපාර්ශ්වයේ ම එකඟතාව වී තිබේ.
එමෙන් ම අදාළ අපේක්ෂකයා සම්බන්ධයනේ ධර්මදාස පාර්ශ්වයේ ද සහයෝගය ලබාගැනීමට ඉදිරියේ දී කටයුතු කිරීමට යෝජනා වී ඇත. සාකච්ඡාව සඳහා අදාළ පුද්ගලයා සම්බන්ධ වී නැතත් දුරකතන සංවාද මගින් අවස්ථා කිහිපයකදී එකී සාකච්ඡාව සඳහා ඔහු එක්වී ඇති බවකි ආරංචිය.
මේ අනුව එළැඹෙන සතියේදී ක්‍රිකට් නිලවරණය වළකාලන ලෙස ඉල්ලමින් අධිකරණමය තීරණයක් ඉල්ලා සිටීමට ප්‍රධාන පාර්ශ්ව දෙකම කටයුතු කරන බවකි ආරංචි ය.
කෙසේ වෙතත් පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමට උත්සාහ කරන කැරලිකාර කිහිපදෙනාට තිලංග පාර්ශ්වයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක් ම විරෝධය දක්වා ඇති අතර සාකච්ඡාව සඳහා සහභාගි වූවන්ගේ නාමයෝජනා තමන්ගේ පාර්ශ්වයෙන් ඉවත්කර ගන්නා ලෙසට බලපෑම් එල්ලවෙමින් පවතින බව ද සැලයි. යම් ලෙසකින් පොදු අපේක්ෂකයෙක් ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කරන්නේ නම් තමන් විසින් ඊට සමාන පුද්ගලයෙක් කරළියට ගෙන ඒමේ බලාපොරොත්තුවක් ගැන ද ඔවුන් ප්‍රකාශ කර ඇත.
දැනටමත් එම පුද්ගලයා සමඟින් වත්මන් කමිටුවේ කිහිප දෙනෙක් සාකච්ඡා කර තිබුණ ද ඊට කමිටුවේ ම කිහිප දෙනෙක් අප්‍රසාදය පළකර ඇති බවකි පැවැසෙන්නේ. ඔවුන්ගේ මතය වී ඇත්තේ දැනටමත් ඔහු වෙත ලබාදී ඇති වගකීම් ඉහටත් ඉහළින් බැවින් ඔහු පොරක් කිරීමේ කටයුත්තෙන් දැන් සිට ම බැහැර විය යුතු බවකි.
මෙකී පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් කාරණා කටයුතු මේ ලෙසින් ක්ෂේත්‍රයේ ආරංචි වෙද්දී තිලංග පාර්ශ්වය තවදුරටත් බලයේ සිටීම සඳහා එළැඹෙන විශේෂ මහ සභා රැස්වීමේ දී යෝජනාවක් සම්මත කර ගැනීමේ උත්සාහයක් ගැන ද ආරංචි වේ. මේ සඳහා තමන්ට හිතැති ක්‍රීඩා සමාජවලට දැනටමත් දැනුම් දී ඇති අතර මේ සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ බොහොමයක් මේ වෙද්දී ඊට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ද සැලයි. එහෙත් එය කෙතරම් නීත්‍යනූකූලදැයි සොයා බැලීමක් ද ඔවුහුම මේ දිනවල සිදුකරමින් සිටී. ඊට හේතු වී තිබෙන්නේ ක්‍රීඩා ආමාත්‍යවරයා නිතීය හා වඩාත් ළැදිව කටයුතු කිරීමයි.
මේ අතර නව ක්‍රීඩා ඇමැතිවරයා නැවත වතාවක් සපථ කර ඇත්තේ තමන් අතුරු කමිටුවලට අකමැති බවයි. ඒ පෙර කී පරිදි ම මූල්‍ය වංචාවක් නොවේ නම් යන මතයේ සිට ය. ඒ පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළිදක්වන ලද ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තාව හා විගණන වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත පිළිගැන්වූ අවස්ථාවේ ය.
“ක්‍රිකට් නිලවරණය පිළිබඳව මම උපදෙස් ලබාගන්නේ නීතිපතිවරයාගෙන් පමණයි. ක්‍රිකට් නිලවරණය සහ මහා සභා රැස්වීම මේ මාසෙ 31 වැනිදා පැවැත්වීමට මා කලින් සිටම තීරණය කර තිබුණා. නීතිපතිවරයාගේ එකඟත්වය මත එදිනට නියමිත පරිදි ක්‍රිකට් නිලවරණය පැවැත්වෙනවා.” ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.
මීට ප්‍රථමයෙන් ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට යෝජිතව තිබුණේ මැයි මස 19 වැනිදා ය. ඒ වෙනුවෙන් නාමයෝජනා ද කැඳවා තිබුණි. එහෙත් නව ක්‍රීඩා ඇමැතිවරයා පත් වූ විගස නිලවරණය කල් දමන ලදි. දැන් මේ මස අවසාන දිනයේ දී පවත්වන්නට තීරණය කර ඇත්තේ එකී කල් දමන ලද නිලවරණය ය.
ක්‍රීඩා ඇමැතිවරයාගේ තීරණය අනුව අදාළ දිනයේ දී ක්‍රිකට් නිලවරණය තබන්නේ නම් තමන්ගේ සියලු බලාපොරොත්තු හකුළුවා ගැනීමට සිදුවන බැව් මේ වනවිට පොදු අපේක්ෂකයෙක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් පසුවෙන පාර්ශ්වයේ මතය වී තිබේ. කෙසේ වෙතත් දැනට ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් අරබයා දක්වන මතය අනුව තමන්ගේ පාර්ශ්වයේ අදහස් ඔහුගේ අදහස් හා සමාන වන බැවින් ආණ්ඩුවේ ප්‍රබලයෙක් මගින් ඉතා ම ඉක්මනින් ක්‍රිකට් නිලවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ගැනීම ද ඔවුන්ගේ අදහස වී තිබේ.
මේ අතර ක්‍රිකට් නිලවරණය අල්ලපනල්ලේ තබාගෙන ක්‍රිකට් සභාපතිවරයා තමන්ගේ සංගමය 2017 වසරේ රුපියල් බිලියන 6ක ආදායමක් ලබා ඇති බවත් එය ක්‍රිකට් ආයතන ඉතිහාසයේ වාර්තා කළ ඉහළ ම ආදායම බවත් පෙන්වා දෙයි. මේ කරුණු දැක්වීම සම්බන්ධයෙන් තිලංගට විරුද්ධ පාර්ශ්වයන්හි අවධානය ද වඩාත් යොමුව ඇති අතර ඔවුන්ගේ මතය වී තිබෙන්නේ කරුණු කාරණාවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් ඉදිරියේ දී සාක්ෂි සහිතව ඔප්පු කිරීමට තමන්ට හැකි වෙනු බවයි.
කෙසේ වෙතත් මෙම වාර්තාව එළිදැක්වීමත් සමගින් තිලංග පාර්ශ්වය ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි අවධානය දිනා ගැනීමට සමත් වූ බවත් එය ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයට අනිසි ලෙසින් බලපෑ හැකි බවත් පවසන තිලංග විරුද්ධවාදීහු ඊට ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය වන්නේ තිලංග විසින් කැඳවූ නාමයෝජනා බල රහිත කිරීම සහ නිලවරණය වාරණය කර ගැනීම බවත් පවසති.
ඇතැම්විට හෙට අනිද්දාට ක්‍රිකට් ක්ෂේත්‍රයේ සිදුවෙන එක ම දේ එය ම විය හැකි ය.