රාවය

පනත් නම් ප්‍රමාණවත් ක්‍රියාත්මක නොවීමයි වැඩේ

පනත් නම් ප්‍රමාණවත් ක්‍රියාත්මක නොවීමයි වැඩේ

ඒ. වික්‍රමසූරිය.

ක්‍රීඩා සංගම් නිලවරණ ගැන තැනින් තැන සුපුරුදු පරිදි කසු කුසු ඇසේ. මෙය වාර්ෂිකව අහන දකින එකම ආකාරයක ක්‍රියාපිළිවෙතක්ය. ක්‍රීඩා ඇමතිවරු පත්වූ පසු කප්පරක් කතා කියනමුත් ඔවුහු ගිය පසු හැරී බලන කල සිදුවී ඇති කෙන්ගෙඩියක්ද නැති බව පැහැදිලිය.
දයාසිරි ජයසේකර ඇමතිවරයා නීතිඥයෙකි. වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාද නීතිඥයෙකි. එහෙත් ක්‍රීඩාවේ සිදුනොවන්නේද නීතියට අනුව ක්‍රියාකිරීමය. දයාසිරි ජයසේකර මහින්දානන්ද අමාත්‍යවරයාව සිටියදී ගෙනා ක්‍රීඩා පනත් සංශෝධනය යාවත්කාලීන කොට ගෙනාවේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේද වුවමනාව පරිදිය. එසේ නම් ඉන්පසු ක්‍රීඩාව නිවැරදි මාවතක ගමන් කළයුතු නොවේද? එහෙත් එලෙස ගමනක් වේද?
දයාසිරි ඇමතිවරයා සිව් වසරක නීතියක් ගෙනාවේය. එයට අනුව ක්‍රියාත්මක වූයේ සංගම් කිහිපයක් පමණි. මේ වසරේ බොහෝ සංගම් ඒ අනුව ක්‍රියාකරනු නියතය.
සිව්වසරකට වරක් නිලවරණ පැවැත්වීමේ නීතියට අනුව යන සංගම් වාර්ෂිකව මහා සභාව පවත්වා අවුරුද්දක් පාසා ගිණුම් අනුමත කරගත යුතුවේ. එය නිවැරදිව වනවාද යන්න සොයා බලන ක්‍රමවේදයක් තිබිය යුතුය. එය ක්‍රියාත්මකද යන්න ගැටලුසහගතය.
ක්‍රීඩා පනතේ වෙනස්කම් කරමින් අණ පනත් හදමින් කාලය ගෙවනවා හැර ක්‍රීඩා ඇමතිවරුන් කරන දෙයක් නැත. අණ පනත් ගෙනාවද එය ක්‍රියාත්මක නොවන්නේ නම් ඉන් ඇති පළේ කුමක්ද?
ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා නොබෝදා කියනුයේ තමන් කිසිසේත්ම අතුරු කමිටු පත්කරන්නට එකඟ නැති බවය. එහෙත් එය නොකරම බැරි වුවහොත් පත්කරන මුත් ඒ ද ඡන්දයෙන් තේරී පත්වූ අයගෙන් සමන්විත බවය. ක්‍රීඩා අමාත්‍යවරයා නීතිඥයෙක් වුවද නීතිය පටලෝගෙන ඇති බව පෙනේ.
අතුරු කමිටු පත් කරන්නේම ඡන්දයෙන් තේරී පත්වූ පිරිස අකටයුතුකම් කරන්නේ නම්ය. එසේ නම් ඒ පිළිබඳ සොයා විධිමත් තීන්දුවකට එළැඹීමට අතුරු කමිටු වුවමනා වේ. එය තාවකාලික කමිටුවකි. ගැටලුවකට විසඳුම් සොයන තෙක්ය. ඇමතිවරයා කියනුයේ නැවත අතුරු කමිටුවට පත්කරනුයේ ඡන්දයෙන් තේරීපත්වූ පිරිසම නම් අතුරු කමිටු කුමකටද?
මුස්තාපා ඇමතිවරයා වත්මන් ක්‍රිකට් අතුරු කමිටුව සම්බන්ධයෙන්ද එම දෝෂයම සිදුකර ඇත. තිලංග ඇතුළු පිරිසම නැවත පත් කොට ඇත. මේ නීතිය බාල්දු කිරීමකි. අතුරු කමිටුවලට පත්කළ යුත්තේ ස්වාධීන කමිටුවකි.
එය ඇමතිවරයා නිවැරදි කරගනු ඇතැයි සිතිය හැකිය. ක්‍රීඩා පනත වෙනස් කිරීමේ අලුත් සාකච්ඡා වටයක් නැවත නව වටයකින් කරළියට පැමිණ ඇතැයිද ආරංචිය මේ පනත එන එන ක්‍රීඩා ඇමතිවරයා අලුත් කරමින් සිටින්නේ ඇයි? ක්‍රීඩාවේ යහපතටද?
ක්‍රීඩා අමාත්‍යාංශය සතු ක්‍රීඩා පනත අනුව ඇති නීතිරීති ක්‍රීඩාව දියුණු කරන්නට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. දැනට ඇති ක්‍රීඩා සංගම් ටික පරිපාලනය කරන්නට මේ අණ පනත් හොඳටම ඇතිය.
රජයක් විදිහට විෂය භාර අමාත්‍යවරයා විදිහට සිදුකළයුත්තේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයා රැකගැනීමය. එහෙත් ක්‍රීඩා අමාත්‍යවරු කරනුයේ පුද්ගලයන් රැකීමට ක්‍රියාකිරීමය. මෙලෙස පුද්ගලයන් කේන්ද්‍ර කරගෙන ක්‍රීඩාවේ අභිවෘද්ධිය කරා යා නොහැකිය. හිටපු ක්‍රීඩා අමාත්‍යවරු බොහොමයක් කළේ ක්‍රීඩාව ක්‍රීඩකයා පසෙකලා තමන් කැමති පුද්ගලයා තබා ගැනීමට නීති කඩා බිඳ දැමීමත්, අකමැති පුද්ගලයන් ඉවත් කිරීමට නව නීති හැදීමත්ය.
මේ තත්ත්වයන් වෙනස් විය යුතුය. මේ ක්‍රීඩා සංගම් ටික පාලනය කිරීමට පනතේ දැනට ඇති නීතිරීති ඕනෑතරම් ප්‍රමාණවත්ය. වත්මන් ඇමතිවරයා එය වටහා ගෙන ක්‍රියාකරනු ඇතැයි දැනට සිතමු.
පහුගිය කාලය පුරාම පත්වූ ක්‍රීඩා ඇමතිවරු කළේ රට සවාරි යෑම සහ දොළ පිදේනි ලැබීමය. ක්‍රීඩා අමාත්‍යාංශය යනු ඉල්ලමක් බව මේ ක්‍රීඩා අමාත්‍යවරු සැවොම ටික කලක් ගියපසු වටහා ගත්හ. මේ අය අවසානයේ මේ අමාත්‍යාංශ අත්හැරීමට පවා මැලිවෙති. ඒ අය ගත කළ හොඳම අමාත්‍යාංශය මෙය වුවත් ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් පැත්තෙන් වන යහපතක් නැත. රට සවාරි සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ නිලධාරීන් පවා ගිය අතීතයක් විය. ඒ කුමන දේටද යන්න අපැහැදිලිය. ක්‍රීඩා අමාත්‍යාංශයේ හිඳිමින් එය විනාශ කරන නිලධාරීන් පිරිසකි. ඔවුහු ආ හැම ඇමතිම අල්ලාගෙන අවසානයේ ඒ අයට අවැසි වැඬේ කර ගත්හ. වත්මන් ඇමතිවරයා මේ උගුලෙන් මිදී ක්‍රියාකරන ආකාරය දැනට බලා සිටීම වටී.
ක්‍රීඩාවේ යහපතට ඒ ගැන දන්නා මනා පිරිසක් එකතු කරගැනීම ඇමතිගේ පළමු කාර්යය. ඒ අයගෙන් උපදෙස් ගෙන ක්‍රියාකිරීම වටී. මුල් කාරණය නොවී සෙසු කතා කීමෙන් පළක් වේද? ඇමතිවරයා වේගයෙන් දුව යනු පෙනේ. එය කොතෙක් දුරක්ද යන්න බලා සිටිමු.