රාවය

ආර්ථික යථාර්ථයට පෙරවදනක්

ආර්ථික යථාර්ථයට පෙරවදනක්

විපුල කරුණාතිලක

පසුගිය සතිය පුරා ජනමාධ්‍යයේ අවධානය ප්‍රධාන වශයෙන් කාරණා 03කට වෙන්වී තිබුණි. පළමු කාර්යය වූයේ 60000කට ආසන්න රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා සැපයීමය. දෙවැන්න වූයේ වැඩිවූ ඉන්ධන මිල පහත හෙළීම වූ අතර තෙවැන්න වූයේ සිංගප්පූරු හා ලංකා වෙළෙඳ ගිවිසුමයි. විපක්ෂයේ අදහස වූයේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදී ඉන්ධන මිල පහත දමා ලංකා සිංගප්පූරු ගිවිසුම අහෝසි කළ යුතු බවයි. ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් දක්නට ලැබුණේ නැත. 1948 සිටම අද දක්වාම අවස්ථා 03ක හැර රාජ්‍ය මූල්‍ය ස්ථාවරය වෙනුවෙන් කටයුතු කර නැත. රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුය. රටේ හැකියාවන් හා නොහැකියාවන් පිළිබඳව පුරවැසියන් දැනුවත් කළ යුතුය. දැනුවත් කිරීම වෙනුවට සිදුවී ඇත්තේ තම බලය රැක ගැනීම වෙනුවෙන් ජනතාවට ලණු දීමය. රනිල් වික්‍රමසිංහ මහතාට අනුව 2020න් පසු ලංකාව සුරපුරයක් බවට පත්වෙයි. මහින්ද රාජපක්ෂ මහතාට අනුව ඔහු බලයට නැවත ගෙන ඒමෙන් පසු රට සුරපුරක් බවට පත්වෙයි. එහෙත් සැබෑ තත්ත්වය වන්නේ මෙහි විරුද්ධ පැත්තයි. මේ යන ආකාරයට 2020දීත් තවත් රට අර්බුදයට යෑමට නියමිතය. එය මහින්ද රාජපක්ෂ ආගමනයෙන් විසඳෙන්නේ නැත. අවශ්‍යවන්නේ රටේ සැබෑ තත්ත්වය පිළිබඳ සංවාදයක් ඇතිකිරීමය.
මහින්ද රාජපක්ෂ රෙජීමය රට 2015 බාරදෙන විට පැවතියේ දැවැන්ත ආර්ථික අර්බුදයකය. එහෙත් 2014 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී රටේ පවතින ආර්ථික අර්බුදය සාකච්ඡා කළේ නැත. ඒ වෙනුවට යෝජනා කළේ දැවැන්ත පොරොන්දු මල්ලකි. ඒ පොරොන්දු ඉෂ්ට කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගන්නේ කෙසේද යනුවෙන් දැක්මක් ආණ්ඩුවට තිබුණේ නැත. අවසානයේ වැට් බද්ද වැඩිකර ජාම බේරා ගත්තේය. කිසිදු වගවිභාගයකින් තොරව වැටුප් වැඩි කිරීම, සහනාධාර වැඩි කිරීමට යෑමෙන් ආර්ථිකය තිබුණු තැනින්ද පහළට වැටුණි.
1948 සිට අවස්ථා 03කදී ආර්ථිකය පාලනය කර ඇත. පළමු අවස්ථාව වන්නේ 1970 බලයට පත් සමඟි පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමති වූ එන්.එම්. පෙරේරා ආරම්භ කළ සහනාධාර කප්පාදුවයි. මේ යටතේ ආදායම් බදු ගෙවන අයට සහනාධාර ඉවත් කළේය. ආදායම් බදු ආවරණය වැඩි කළේය. වැදගත්ම ප්‍රතිසංස්කරණය වන්නේ එවකට වැඩිවෙමින් පැවති රාජ්‍ය සේවක බඳවා ගැනීම නැවැත්වීමය. ඒ වගේම එකල එන්.එම්. පෙන්වාදී තිබුණේ යම් දිනක රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් භාණ්ඩාගාරයට දරාගත නොහැකි බැවින් ඒ සඳහා අරමුදලක් ඇති කළ යුතු බවය. ලෝක බැංකුවෙන් ණය ගන්නා අවස්ථාවේ එන්.එම්. පෙන්වා දුන්නේ අප වැනි හිඟන්නන්ට විශාල තෝරා ගැනීම් කළ නොහැකි හෙයින් දියුණුවීමට කැපකිරීම් කළයුතු බවයි. අවසානයකට එන්.එම්. මුදල් ඇමති ධුරය වසර 02කට සීමාවිය.
දෙවන අවස්ථාව වන්නේ 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවයි. ජේ.ආර්.ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා තිබුණේ රාජ්‍ය මූල්‍යය වගකීමෙන් යුතුව හසුරුවන බවය. 1978 වනවිට රාජ්‍ය ආදායමෙන් 25%ක් වෙන්වී තිබුණේ සහල් සහනාධාරය වෙනුවෙනි. ලෝක බැංකුව හා අනෙකුත් මූල්‍ය ආයතනවල දැඩි විවේචනයට මෙය ලක්වී තිබුණි. එය රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයට දැඩි බාධකයක් වී තිබුණි. මේ තත්ත්වය 1960 සිටම අපේ රටට පැමිණි ආර්ථික විද්වතුන් පෙන්වා දී තිබුණි. 1960 පමණ ලංකාවට පැමිණි බි්‍රතාන්‍ය මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥවරියක් වූ ජොආන් රොබින්සන් මහත්මිය පෙන්වා දුන්නේ ලංකාවේ සුභ සාධනය හරියටම පැළකිරීමට ඇති බීජය ආහාරයට ගන්නා අවස්ථාවක් හැටියටය. තවත් ආර්ථික විද්‍යාඥයෙක් වූ සිඞ්නි කේන් ලංකාවේ වතු ආර්ථිකය මත පටවා ඇති බදු දෙස බලා පවසා සිටියේ රත්තරන් බීජ දමන කිකිළියගේ බඩ පලා බිජු ලබාගන්නා පිරිසක් ලෙසය. රාජ්‍ය සුභ සාධනය අවශ්‍ය අරමුදල ප්‍රධාන වශයෙන් සපයාගෙන තිබුණේ තේ, රබර්, පොල් අපනයනය බදු පනවමිනි.
1978 ආර්ථික ක්‍රමය වෙනස් කරමින් සුභ සාධනය ප්‍රතිව්‍යුහගත කළේය. සැමට ලබා දුන් සහල් සහනාධාරය තෝරාගත් අඩු ආදායම්ලාභීන්ට පමණක් සහනාධාරය ලබා දුන්නේය. රටේ ආයෝජනය විදේශීය ප්‍රාග්ධනයට අවස්ථාව ඇති කළේය. එතෙක් ප්‍රධාන ලෙස කෘෂිකර්මාන්තය මත පදනම් වූ ආර්ථික ක්‍රමයෙන් පමණක් රැකියා සැපයීම නොහැකි හෙයින් ආර්ථිකය විවිධාංගීකරණය කළේය. ඒ යටතේ ඒ වනවිට රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලැබුණි. 1980 – 1981 – 1982 පමණ වනවිට ලංකාව සම්බන්ධව විදේශීය ආයෝජන පිළිබඳ තීන්දු කරනු ලබන සංවාදවල ලංකාව හැඳින්වූයේ ආයෝජනය සුදුසු රටවල් 10න් එකක් ලෙසය. එසේ වුවද ඒ අවස්ථාව ගිලිහී ගියේ උතුරේ සහ දකුණේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වය නිසාය.
තෙවන අවස්ථාව වන්නේ 2002 බලය ලබාගත් රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියයි. 2002 වන විට ලංකාව සිට ඇත්තේ ඍණ ආර්ථික වර්ධනයකය. ඒ වනවිට ගුවන්තොටුපොළට එල්ල වූ ප්‍රහාරය ආදිය නිසා ආර්ථික දැඩි අපහසුතාවකට පත්වී තිබුණි. එය ගොඩනැංවීම වෙනුවෙන් රාජ්‍ය මූල්‍ය ස්ථාවර කිරීම අරමුණු කළේය. රාජ්‍ය සේවා බඳවා ගැනීම් නතර කළේය. රජයේ සෑම වියදමක්ම භාණ්ඩාගාරයේ අවසරයකින් තොරව කළ නොහැකි විය. රාජ්‍ය විශ්‍රාම වැටුප් වෙනුවෙන් අරමුදලක් ගොඩනැගීමට යෝජනා විය. රාජ්‍ය සේවය 33%කින් අඩු කිරීමට යෝජනා විය. එකල භාණ්ඩාගාරයට බරක් වූ එයාර් ලංකා සමාගම පෞද්ගලිකකරණය කළේය. අද එයාර් ලංකා සමාගම නඩත්තු වන්නේ එනම් මෙහෙයුම් පාඩුව දරන්නේද භාණ්ඩාගාරයයි.
මේ අවස්ථා 03 හැරුණු විට අනෙක් සෑම අවස්ථාවකම දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් කටයුතු කර නැත. ඒ සෑම අවස්ථාවකම කටයුතු කර ඇත්තේ දේශපාලන බලය රැකගැනීම වෙනුවෙනි. දැන්වත් මෙය වෙනස් කළ යුතුය. ලංකාවේ රජයේ රැකියා සැපයීම වෙනුවෙන් පවතින ප්‍රතිපත්තිය පැහැදිලි විය යුතුය. වාර්ෂිකව ශ්‍රම බලකායට ලක්ෂ 04කට ආසන්න පිරිසක් එකතු වෙයි. ඒ හැර අධ්‍යාපන සුදුසුකම් පහ වසරේ සිට උපාධි දක්වාත්, නුපුහුණු ශ්‍රමයේ සිට පුහුණු ශ්‍රමය යන පරාසයක පවතී. මෙහිදී දේශපාලන ගැටලුව බවට පත්වී ඇත්තේ උපාධිධාරීන්ගේ ගැටලුව පමණය. ලෝකයේ අනෙක් රටවල රජය මැදිහත් වී රැකියා ප්‍රශ්නය විසඳන්නේ අඩු අධ්‍යාපන සහිත නුපුහුණු ශ්‍රමිකයන්ගෙනි. එහෙත් ලංකාවේ දේශපාලන ගැටලුව වී ඇත්තේ ඉහළ අධ්‍යාපනයක් ලැබූ අයයි. මේ නිසාම ආණ්ඩු බලය රැකගැනීම වෙනුවෙන් 1992 සිට අද දක්වාම ලක්ෂ 02කට ආසන්න උපාධිධාරීන් පිරිසකට රජයේ රැකියා ලබාදී ඇත. මේ අය කිසිදු තෘප්තියකින් තොරව ඵලදායී නොවන රැකියාවල යෙදී ඇත. ගැටලුව වන්නේ තවමත් ආණ්ඩුව මේ පිළිවෙත වෙනස් කර නොතිබීමයි. භාණ්ඩාගාරයට දරාගත නොහැකි තරමට රජය වැටුප් බිල වැඩිකර ඇත. එය ශ්‍රම බලකායෙන් 15%කට වඩා ඉහළ ගොස් ඇත. ලෝකයේ ජනගහණයට සාපේක්ෂව වැඩිම රාජ්‍ය සේවක පිරිසක් ඇත්තේ ලංකාවේය.
තෙල් මිල පහත දමන ලෙස විරෝධතා දක්වන කිසිදු පාර්ශ්වයක් පාඩුව ප්‍රතිපූරණය කරන්නේ කෙසේද යන්නට අදහසක් නැත. 1994 සිට තෙල් සංස්ථාව ලබන පාඩු ප්‍රතිපූරණය කර ඇත්තේ භාණ්ඩාගාරය මත පදනම්ව හෝ තෙල් මිල පහත යනවිට පවතින මිල පවත්වාගෙන යෑමෙන්ය. අද වනවිට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 2015ට සාපේක්ෂව ඉහළ ගොස් ඇති හෙයින් අඩු මිලට සැපයීමට නොහැකි වී ඇත. ආණ්ඩුවට කළහැකි කාර්යයක් වී ඇත්තේ ඩීසල් මිල වැඩි නොකර මගී ප්‍රවාහනයට හා භාණ්ඩ ප්‍රවාහනයට ඇති වාහන හැර අනෙක් ඒවාට බද්දක් අයකිරීමය. මෙය එක් අවස්ථාවක ක්‍රියාත්මක වී ඇත. භූමිතෙල් සඳහා මුදල් සහනාධාරයක් අඩු ආදායාම්ලාභීන්ට දිය හැකිය.
තෙවැනි කාරණය වන්නේ සිංගප්පූරු ලංකා ගිවිසුමයි. ගිවිසුමේ අඩුපාඩු ඇත්නම් එය නිවැරදි කළ යුතුය. සම්පූර්ණයෙන්ම වෙළෙඳ ගිවිසුම්වලට විරුද්ධවීම රට අර්බුදයට යවන කාරණයකි. තවදුරටත් වැඩිවන ශ්‍රම බලකායට රැකියා සැපයීම ආණ්ඩුවට හෝ ලංකාවේ පුද්ගලික අංශයට කළ නොහැකිය. මෑතක මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා තරුණ ව්‍යවසායකයන්ගේ සමුළුවකදී පෙන්වා දී තිබුණේ දැනට ශ්‍රම බලකායෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සිටින 27%ක ප්‍රමාණය 15% දක්වා අඩු නොකර කෘෂිකර්මය තිරසාර කළ නොහැකි බවය. කෘෂිකර්මාන්තයෙන් ඉවත් වන පිරිසට රැකියා සපයාදීමට දැනට ලංකාව අපොහොසත්ය. තවද ලංකාවේ සමහර ක්ෂේත්‍රවල විශාල ශ්‍රමික හිඟයක් ඇත. දැනට දියුණු කළ යුතුව ඇති සංචාරක කර්මාන්තය සම්බන්ධ විශාල සේවක හිඟයක් ඇත. සේවක හිඟය නිසා මේ කර්මාන්තය බිඳ වැටීමේ අවධානයක්ද ඇත. ලාංකීය ශ්‍රමිකයන් ඉදිරිපත්වන්නේ නැත්නම් වෙනත් රටක හෝ ශ්‍රමිකයන් යොදවා කර්මාන්තය ආරක්ෂා කළ යුතුය.
ලංකාවේ ගැටලුව වන්නේ ඉහත අවස්ථා 03 හැර මේ අර්බුදය රට කරවන ඇත්තන් සාකච්ඡා නොකිරීමය. මා දන්නා තරමට ශාස්ත්‍රීය පත්‍රිකා හැරුණු විට ලංකාවේ ආර්ථික අර්බුදය සාමාන්‍ය ජනතාව සමග කතා කරන්නේ සන්ඬේ ටයිම්ස් පුවත්පතට කොලමක් ලියන ආචාර්ය නිමල් සඳරත්න පමණි. තවදුරටත් ලාංකීය යථාර්ථය වෙනුවෙන් දේශපාලන පක්ෂ නායකයන් පෙනී නොසිටියහොත් සිදුවන්නේ ලංකාව තවත් ග්‍රීසියක් බවට ඉදිරි අවුරුදු 05දී පත්වීමටය.