රාවය

ජනමාධ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය

ජනමාධ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය

සුනන්ද දේශප්‍රිය

ලෝක ජනමාධ්‍ය දිනය පසුගිය 03දාට යෙදී තිබුණි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පවත්වාගෙන යෑමෙහි ලා ජනමාධ්‍ය නිදහසේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ලොව පුරා විවිධ ක්‍රියාකාරකම් සංවිධානය වී තිබුණි.
ආණ්ඩුවේ දේශපාලන හොරණෑ වශයෙන් පවත්වාගෙන යන විශාල රාජ්‍ය මාධ්‍ය ජාලයෙහි සියලුම ප්‍රධානීන්ට ඉල්ලා අස්වන ලෙස මාධ්‍ය ඇමැති සමරවීර විසින් නියෝග කරන ලද්දේ ද එම දිනය ආසන්නයේය. හරියට ලෝක ජනමාධ්‍ය දිනය සැමරීමට මෙනි. ඊට හේතු දැක්වීමක් අවශ්‍ය නොවූයේ එම ධුරයන්හි කටයුතු කළ සියලුදෙනාද ඊට පෙර සිටි මාධ්‍ය ඇමතිවරයාගේ සිතැඟි පරිදි සිය පත්වීම් ලබා ගෙන තිබූ නිසාය. ඔවුන්ට පැමිණි විලසින්ම ආපසු යෑමට සිදු විය.
එලෙස ඉවත් කරන ලද රජයේ දේශපාලන හොරණෑ තුනක ප්‍රධානත්වයට සමරවීර විසින් කාන්තාවන් පත් කිරීම ප්‍රංශසාවට කළ සමාජ ජාල කතා බහ පසුගිය දිනවල දැක්ක හැකි විය. එහෙත් ඒ කිසිවතු ඉංග්‍රීසි කියමනකින් කියැවෙන පරිදි කාමරයේ සිටින අලියා දැක තිබුණේ නැති තරම්ය. ඉන් කියැවෙන්නේ අප ඇස් පනාපිට ඇති කාරණය නොදැක සුළු ප්‍රශ්න හුවා දැක්වීමයි.
රාජ්‍ය පාලිත ජනමාධ්‍ය සම්බන්ධයෙන් කාමරයේ සිටින අලියා නම් මහජන මුදලින් නඩත්තු වන නැත්නම් මහජනයා වෙනුවෙන් පාලනය කිරීමේ භාරය පමණක් වන සියලු ආණ්ඩු විසින් මෙම ආයතන සිය දේශපාලන උවමනාවන් පිණිස වෛශ්‍යා වෘත්තියේ යොදවා ගැනීමයි. මේ වනාහී පැහැදිලිවම රාජ්‍ය දේපළ අනිසි භාවිතයකි. ඒවායේ කටයුතු කරන ප්‍රවෘත්ති ජනමාධ්‍යවේදීන්ට ඇත්තේ කූඩුවක් තුළ බුක්තිවිඳිය හැකි නිදහසකි.
මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇමැතිවරයකු විසින් සිය සිතැඟි පරිදි ඉවත් කිරීමත්, පත් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදයට උචිතදැයි අප කල්පනා කළ යුතු නොවේද? මෙය හුදෙක් සමරවීර සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. 1972 දී වාමාංශික පක්ෂවල සහාය ඇතිව සිරිමා බණ්ඩාරනායක විසින් ලේක්හවුසිය රජයට පවරා ගත් දින සහ ජේ.ආර්. ජයවර්ධන අයිටීඑන් ආයතනය රජයට පවරා ගත් දින පටන් සිදුවන මාධ්‍ය පාලනයේ දේශපාලනයයි.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය බහුතරයක් පටු දේශපාලන උවමනාවන් මත හැසිරවෙන බව රහසක් නොවේ. දෙරණ සහ හිරු නාලිකා රාජපක්ෂවාදීය. මහාරාජා නාලිකා රනිල් විරෝධී සහ සිරිසේනවාදීය. දිනපතා පුවත්පත් අතරින් දිවයින එළිපිටම රාජපක්ෂවාදීය යනාදී වශයෙනි. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ආරම්භ වූ බැඳුම්කර, ජනයුගය උපන්ගෙයිම මියෑදුණි.
සෑම විටම වාගේ හිමිකරු සැබෑ කර්තෘ වන ශ්‍රී ලංකාවේ පුවත් වෙබ් අඩවි සියල්ලම බොහෝ විට පුද්ගලබද්ධ න්‍යාය පත්‍ර මත වැඩකරයි. එම න්‍යාය පත්‍ර යහපත්ද අයහපත් ද යන්න වෙන කාරණයකි. සංස්කාරක නිදහස යන ජනමාධ්‍ය නිදහසේ සංකල්පය මෙරට මාධ්‍ය භාවිතයට අදාළ වන්නේම නැත.
සමාජ ජාල වාර්තාවන්ගෙන් සියයට 75ක් බොරු යැයි යන සිරිසේනගේ කතාව කෙසේ වෙතත් එහි යම් ඇත්තක්ද තිබේ. මන්ද යත් මෙරට වෙබ් මාධ්‍යද ඇතුළු සමාජ ජාල වාර්තා බොහෝ දුරටම වාගේ පුවතක් සනාථ වීමට නම් මූලාශ්‍ර මත පිහිටා වාර්තා කළ යුතුය යන්න පිළිබඳව තැකීමක් නොකරන බැවිනි.
එමෙන්ම සත්‍ය පමණක් නොව සාධාරණත්වයද පුවතකින් ඉටුවිය යුතුය යන්න නම් සිංහල සහ දෙමළ ජනමාධ්‍යන්හි තැකෙන්නේම නැති තරම්ය. සාධාරණත්වය යනුවෙන් අදහස් කැරෙන්නේ පුවතකින් අගතියක් විය හැකි පාර්ශ්වයක් වෙතොත් එම පාර්ශ්වයේ අදහස් සඳහා ද ඉඩක් ලබා දිය යුතු බවයි. සාධාරණත්වය පිළිබඳ භාෂිතය යනුවෙන් මාධ්‍ය ආචාර ධාර්මික සංකල්පයක් මගින් එය පැහැදිලි කැරේ.
ඉන්දියාව, නේපාලය සහ පාකිස්ථානය යන රටවල කෘතහස්ත ජනමාධ්‍යවේදීන් සහ හිමිකම් ක්‍රියාධරයින්ගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන විශ්වසනීය පුවත්, විශ්ලේෂණ සහ මත දැක්වෙන වෙබ් ජනමාධ්‍ය තිබේ. ඒවා යම් ආකාරයකින් සම්මත ජනමාධ්‍යන්ට විකල්ප ද වෙති. මෙම වෙබ් අවකාශය එවැනි පිරිස් විසින් තෝරාගෙන ඇත්තේ මුද්‍රිත හෝ විද්‍යුත් ජනමාධ්‍ය සඳහා මෙන් විශාල පිරිවැයක් අවශ්‍ය නොවන නිසාත් ඉක්මනින් පළකිරීමට ඇති අවස්ථාවත් නිසාය. ශ්‍රී ලංකාවෙහි එවැනි විශ්වසනීය වෙබ් මාධ්‍ය තිබේදැයි තීරණය කිරීම කියවන ඔබට බාර කරමි.
අමාත්‍ය සමරවීර විසින් කාන්තාවන් තිදෙනකු ප්‍රථම වතාවට රාජ්‍ය පාලිත ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස පත් කිරීම පැසසිය යුතු කරුණකි. රූපවාහිනී සංස්ථාවට පත්කරන ලද ඉනෝකා සත්‍යාංගනීට නිදහසේ කටයුතු කරගෙන යෑමට ඉඩ ලැබේද යන්න වෙනම ප්‍රශ්නයකි. එළැඹ ඇත්තේ මැතිවරණ අවධියක් බැවින් රාජ්‍ය මාධ්‍යයන්ට කඬේයෑම හැර වෙනත් භූමිකාවක් තිබෙනු ඇතැයි සිතීම දුෂ්කරය.
අමාත්‍ය සමරවීර යටතේම ඇති ලේක්හවුසියේ සිළුමිණ පුවත්පතෙහි රසික නම් මාධ්‍යවේදියකු විසින් ඉනෝකා සත්‍යාංගනී මෙන්ම පුරවැසි බලය සමග මැතිවරණ සමයෙහි කටයුතු කළ වෙනත් ප්‍රසිද්ධ කලාකාරිණියක් සම්බන්ධ අසැබි කතා සිය මුහුණු පොත මගින් ප්‍රසිද්ධ කර තිබුණේද මේ දවස්වලමය. එහි ඔහු කියා තිබුණේ ඇය පිස්සු …… බවත් තමාට ඇතුළු කිරීමට බැරි තරමට එය විකෘති වී ඇති බවත්ය. මෙම රාජ්‍ය ජඩමාධ්‍යවේදියා තවත් සටහනක් මගින් කියා තිබුණේ ලංකාවේ ස්ත්‍රීවාදය ගැන කතා කරන එවුන්ට මොනවා හෝ අඩුවක් තිබෙන බව එක්කෝ ඔවුන් කැත, සමරිසි හෝ වඳ ගෑනු බවය. කනගාටුවකට මෙන් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය මෙවැනි ගඳයන්ගෙන් පිරී තිබේ.
සිංහලෙන් ලියන බැවින් මුහුණු පොතේ අයිතිකරුවන්ට මෙවැනි අපරාධකාරී ප්‍රකාශ පෙනෙන්නේ ද නැත.
ශිෂ්ටාචාර ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති රටකදී නම් මෙවැනි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ජනමාධ්‍යවේදියකුට සිදුවන්නේ සමාව ඉල්ලා ගෙදර යෑමටය. මෙම ජනමාධ්‍යවේදියා පමණක් නොව රාජපක්ෂ යුගයෙහි මානව හිමිකම් ක්‍රියාධරයින්ට සහ ක්‍රියාකාරිණියන්ට හත්පොළේ බැණවදිමින් අවලාද ලිපි ලියූ ජඩමාධ්‍යවේදීන් ද තවමත් එම ආයතන අරක්ගෙන සිටිති.
අමාත්‍ය සමරවීරට ප්‍රශංසා කරන අතරවාරයේම අප මෙවැනි කරුණු ද සඳහන් කළ යුතුව තිබේ. මන්ද යත් ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය සම්ප්‍රදායක් ඇතිකිරීමෙහි එක් ප්‍රධාන යතුරක් වන්නේ මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායයක් ඇති කිරීම නිසාය. ඊට හොඳම මඟ වැටී ඇත්තේ රාජ්‍ය ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රීය කිරීම මගිනි.
මේ අතර ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ කතාබහකදී අදහස් දැක්වූ මාධ්‍ය ශාස්ත්‍රඥයකු වන එම්.ජේ.ආර්. ඬේවිඞ් මෙරට ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ අසමත්වීම සම්බන්ධයෙන් විස්තරාත්මක විග්‍රහයක් කර තිබුණි. එය බොහෝ තැන්හි පළවී ඇති බැවින් ඒ ගැන ලිවීම අවශ්‍ය නොවුණද එක් කරුණක් සඳහන් කළ යුතු ය. එනම් ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සමාජයක් ගමන් කරන පොදු ගමන්මගෙන් පිටතට ගෙන හුදෙකලාව සලකා බැලිය නොහැකි බවයි.
වසර හතක් සිරගතව සිට නිදහස් වූ ඉතියෝපියානු ජනමාධ්‍යවේදී එස්කින්දර් නේගාගෙන් එරට ජනමාධ්‍ය නිදහස දිනා ගැනීමට කළ යුත්තේ කුමක්දැයි ලෝක ජනමාධ්‍ය දිනයේදී අසන ලදුව ඔහු මෙසේ කීවේය: “මාධ්‍ය නිදහස හුදෙකලාව දිනාගන්න බැහැ. වැදගත් දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම. මාධ්‍ය නිදහස කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේම කොටසක්.”
මෙරට ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ අසාර්ථකවීම යනු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙහිලා අප ලබා ඇති අසමත්කමෙහි අනෙක් පැත්තය. මා සිතන විදිහට නම් මාධ්‍ය නිදහස සහ ප්‍රජතන්ත්‍රවාදය එකම කඹයක විලුදෙක මෙනි. එකක් අනෙකෙන් වෙන් කිරීම දුෂ්කරය. එබැවින් මාධ්‍ය නිදහස අපේක්ෂා කරන කවරකු හෝ වේවා මෙරට පොදු ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ කොටස්කරුවකු විය යුතුය.
මෙවර ලෝක ජනමාධ්‍ය දිනයේ අසන්නට ලැබුණූ වැදගත්ම පණිවිඩය එයයි.