රාවය

අමෙරිකා පිටුබලයෙන් ඊස්‍රායෙල් දාමරිකකම්

අමෙරිකා පිටුබලයෙන් ඊස්‍රායෙල් දාමරිකකම්

එස්. නන්දලාල්

පසුගිය සඳුදා අමෙරිකා එක්සත් ජනපදය සිය ඊස්‍රායෙල් තානාපති කාර්යාලයය දකුණු යෙරුසලෙම් හි අර්නෝරා පෙදෙසේ තාවකාලික ස්ථානයක නැවත විවෘත කළේ ය. මෙතෙක් ඒ කාර්යාලය පැවැතියේ ටෙල් අවිව් අගනුවර ය.
එදින දහස් ගණනක් පලස්තීනුවෝ යෙරුසෙලම් නුවර මතු නොව ගාසා තීරයේත් බටහිර ඉවුරේත් ඊස්‍රායෙල් – පලස්තීන මායිමේ පලස්තීනය පැත්තේ සිට උද්ඝෝෂණ හා විරෝධතා දැක්වූහ. මේ විරෝධතාවලට ඊස්‍රායෙල් හමුදාව විසින් නොයෙක් ආකාර ප්‍රහාරයන් එල්ල කැරිණි. කඳු`ඵ වායුව යොමු කරන ලද අතර ජීව උණ්ඩවලින් වෙඩි තබන ලදි. ස්නයිෆර් තුවක්කු පවා භාවිත කොට ඇත. මේ ප්‍රහාරවලින් අඩුම තරමින් 60ක් මියගොස් 3,000කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූ බව වාර්තා විය. කඳු`ඵ දුමානය නිසා අතදරුවන් පවා මියගිය බව සඳහන් ය. මරුමුව පත් ළමුන් සංඛ්‍යාව 20ක් පමණ බව පැවසේ.
තමා යෙරුසලෙම් ඊස්‍රායෙලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ජනාධිපති ට්‍රම්ප් පසුගිය දෙසැම්බර් මාසයේ මැද භාගයේ ප්‍රකාශයට පත් කළේ ය. එහෙත් එය ජාත්‍යන්තර එකඟතාවලට පටහැනි බවත් හානිදායක විය හැකි බවත් එක්සත් ජාතීන්ද ඇතු`ඵ අන්තර්ජාතික සංවිධාන ද, සමස්ත අරාබි ලෝකයම ද, වතිකානය ඇතු`ඵ ලොව බොහෝ රටවල් වෙන් වෙන් වශයෙන් ද මතු නොව අමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යස්ථ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ද විසින් පෙන්වා දෙන ලදි. එය නිවැරදි ක්‍රියාවක් ලෙස පිළිත්තේ ඊස්‍රායෙලය ම පමණි. ඊස්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු එය කෙතරම් ආහ්ලාදයෙන් පිළිගත්තා ද කිවහොත් ඩොනල්ඞ් ජේ. ට්‍රම්ප් නමැති අමෙරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා සිය රටේ ජාතික වීරයකු ලෙස නම් කළ යුතුයැ’යි පැවසී ය. සමහරවිට නුදුරු අනාගතයේ එය කෙරෙන්නට ද ඉඩ නැතිවා නොවේ. ට්‍රම්ප් ප්‍රිය නොකරන අමෙරිකානුවන් දැනටමත් ඔහුට ‘ඊස්‍රායෙලයේ පියා’ වැනි අභිදාන ප්‍රදානය කොට හමාර ය.
15දා පැවැති විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති ට්‍රම්ප් සහභාගි වූයේ නැත. ඔහු නියෝජනය කරමින් භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් ම්නුචින්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ බෑණා වන ජාරෙඞ් කුෂ්නර්, ජනාධිපති උපදේශක සහ කුෂ්නර්ගේ බිරිඳ වන ඉවන්කා ට්‍රම්ප්, සහකාර රාජ්‍ය ලේකම් ජෝන් සුලවිවන් සහ රිපබ්ලිකන් පාක්‍ෂික මන්ත්‍රීවරු සිව්දෙනෙක් සහභාගි වූහ.
ඉහත විරෝධතා ව්‍යාපාර පැවැත්වුණේ අමෙරිකානු රාජ්‍ය දූත පිරිස ඊස්‍රායෙලයේ සිටිය දී ම ය.
වත්මන් යෙරුසලෙම් නව නගරය තුළ පිහිටා ඇති යෙරුසලෙම් පැරණි නගරය ඉදි වී ඇත්තේ 16වන සියවසේ ය. එය බලකොටුවක් වැනි ව තාප්පයකින් වට වූ වර්ග කිමී1ට ආසන්න විශාලත්වයකින් යුත් භූමියක් වන අතර එතුළ වපසරියෙන් එකිනෙකට අසමාන කොටස් හතරකි. එම කොටස් හතර ක්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙව් සහ ආර්මේනියානු යන ලබ්ධීන්ට වෙන් වී ඇත. ආර්මේනියන් යනුවෙන් ආගමක් නැතත් ආරම්භයේ සිටම එම වෙන් කිරීම දක්නා ලැබෙන අතර වර්තමානයේ ක්‍රිස්තියානි ආගමේ නිකායක් එයට හිමිකම් කියයි. මෙහි වෙසෙන ආමේනියානුවන්, යුදෙව්වන්ටත් පෙර සිය වාසස්ථාන අහිමි වූ ජන කණ්ඩායමක් බව පැවසේ. ජනගහන සංයුතිය දළ වශයෙන් මුස්ලිමුන් 74%ක්, ක්‍රිස්තියානින් 15%ක් යුදෙව්වන් 8% වන අතර ඉතිරිය ආමේනියානුවන් ය. ඔවුහු සංඛ්‍යාත්මක ව 1,000 නොඉක්මවති.
යෙරුසලෙම් තනිව ඊස්‍රායෙලයට පමණක් අයිති නගරයක් හෝ කලාපයක් නොවේ. මීට වසර 70කට පෙර ඊස්‍රායෙලය නමින් රටක් එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් මැදපෙරදිග කලාපයේ පිහිටැවූ දින පටන් ම යෙරුසලෙම්හි අයිතිය පිළිබඳ ප්‍රශ්නය තිබේ. එක්සත් ජාතීන්ගේගේ පිළිගැනීම වන්නේ යෙරුසලෙම්හි පුරාණ නගරය ද ඇතුළත් නැගෙනහිර කොටස පලස්තීනයටත් බටහිර කොටස ඊස්‍රායෙලයටත් හිමිවිය යුතු බවයි.
යෙරුසලෙම් හිමිකාරීත්වය පිළිබඳ මේ ප්‍රශ්නය ජාත්‍යන්තර නීතියේත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලදීත් මතභේදයට තුඩුදුන් ප්‍රශ්නයකි. ඊට හේතුව ඊස්‍රායෙලය සහ පලස්තීනය යන රාජ්‍යයන් දෙක ම එය සිය අගනුවර විය යුතුයැ’යි විශ්වාස කරන හා ඉල්ලා සිටින හෙයිනි. පලස්තීන – ඊස්‍රායෙල් ගැටුමේ වඩාත් ම අධම ගැටලුව වන්නේ මෙය වන අතර දෙරට අතර පවතින අර්බුදය විසඳන්නට ඇති බලවත් ම බාධාව ද වෙයි.
1948ට පෙර නැගෙනහිර යෙරුසලෙම ජෝර්දානය යටතේ පැවැතිණි. එය අල්ලා ගැනීම සඳහා ඊස්‍රායෙලය යාබද අරාබි රටවල් සමග යුද වැදිණි. ඊස්‍රායෙලය සටනින් ජය ගත්තේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස එරට විසින් එය අත්පත් කැර ගන්නා ලදි. එහෙත් ජාත්‍යන්තර බලපෑම් මත ඊස්‍රායෙලයට අරාබි රටවල් සමග එකඟත්වයකට පැමිණ ගිවිසුමක් අත්සන් කරන්නට සිදුවිය.
මේ ගිවිසුම 1949 යුද මුක්ත ගිවිසුම හෙවත් නිරවි ගිවිසුම නමින් හැඳින්වෙයි. එහි දේශ සීමා මේ යැ’යි පෙන්වන ලද නමුත් නිශ්චිතව සලකුණු නොකරන ලද සීමාවක දෙපාර්ශ්වය ම අවිවලින් තොරව සාමකාමී ලෙස කටයුතු කළ යුතු වූ අතර අනෙකාගේ භූමියට ඇතු`ඵ නොවිය යුතු ය. මේ ගිවිසුම අත්සන් කළා ය කියා ඊස්‍රායෙලය තමන්ගේ සීමාව තුළ පාඩුවේ සිටියේ නැති අතර හැකි සෑම විට ම වැට පැන්නේ ය. මේ නිසා වරින් වර ගැටුම් ඇති විය.
1967 ජුනි මාසයේ ඊස්‍රායෙලය, අරාබි රටවල් සමග ඇති කැරගත් ගැටුම තරමක් දුර දිග ගියේ ය. ඊස්‍රායෙලය බලෙන් අල්ලා ගත්තේ නැගෙනහිර යෙරුසලෙම පමණක් නොවේ; බටහිර ඉවුර, ගාසා තීරය, ගෝලාන් කඳුකරය සහ සිනායි අඩ දිවයින යන පෙදෙස් ද කොටස් වශයෙන් අල්ලා ගන්නා ලදි. පසුව සිනායි අඩ දිවයින තුර්කියට ආපසු පවරා දෙන්නට සිදුවිය. මේ නිසා 1967 දී සිතියමේ කොළ පැහැයෙන් ඉරක් ඇඳ ඊස්‍රායෙලයේ සීමාවන් පෙන්වා දෙන ලදි. එනිසා එම සීමාව Green Line Border ලෙස හැඳින්වෙයි. එහෙත් එය ඉදරාැර එකක් හෙවත් දේශ සීමාවක් නොවේ. හුදු මායිම් රේඛාවක් පමණි. (Line of Demarcation ) ඊස්‍රායෙලය සහ පලස්තීනය අතර ඇති ගැටුමේ හෙවත් අවුලේ සුල මුල සැකෙවින් එපරිද්දෙනි.
ඊස්‍රායෙලය සතු ශක්තිය හමුවේ පලස්තීනය මෝරකු හමුවේ හාල්මැස්සකු තරම්වත් නොවේ. පලස්තීනයේ හමුදා බලය 6,000 නොඉක්මවයි. ඊස්‍රායෙලයේ එය ලක්ෂ දෙකකට ආසන්න ය. අවි ද ඇතු`ඵ සම්පත් අතින් ද, මිලිටරි අය – වැය ඇස්තමේන්තුව අතින් ද එය අතිවිශාලය. ඒ අතරම පලස්තීනයේ පාලනය යසර් අර්ෆත් විසින් අරඹන ලද පලස්තීන විමුක්ති සංවිධානය විසින් පවත්වා ගෙන යන ලද නමුත් එයින් බිඳී ගිය කණ්ඩායමක් විසින් පලස්තීන දේශයෙන් කොටසක් පාලනය කරමින් සිටී. ඉස්මායිල් හනියා නම් අයකු විසින් නායකත්වය දරන එම කණ්ඩායම හමාස් නම් සුන්නි මුස්ලිම් සංවිධානයකි. ගාසා තීරය පාලනය කරන්නේ ඔවුන් ය. පලස්තීනයේ ඉතිරි පෙදෙස් මොහමඞ් අබ්බාස්ගේ නායකත්වයෙන් යුක්ත ෆාටා විසින් පාලනය කරනු ලැබේ.
ඊස්‍රායෙලයට මුදල් බලය ඇති අතර අමෙරිකා එක්සත් ජනපදයේ පිටුබලය නොඅඩුව ලැබේ. මින්පෙර සිටි අමෙරිකානු ජනාධිපතිවරුන් ඊස්‍රායෙලය හා පලස්තීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ස්වාධීනව කටයුතු කරන්නට ඉඩ හැරියා විනා බලපෑම් ඇති කරන්නට ආයේ නැත ආරක්‍ෂක කවුන්සලයේ තීරණවලට නිශේධ බලය පාවිච්චි කළේ ද නැත. කළත් ඒ ඉතා අඩුවෙනි. එමෙන් ම ව්‍යවස්ථාවලට පටහැනි නොවන පරිද්දෙනි. එහෙත් වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒ දෙකම කරයි.
මෙයට හේතුව ජාරෙඞ් කුෂ්නර්ගේ යුදෙව් මූලය විය හැකි බව ඇතැම් විචාරකයන්ගේ මතයයි. තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ දී කථාවක් පවත්වමින් ඔහු පලස්තීන පාලනය විවේචනය කළ බව සඳහන් ය. ගාසාහි තමන් දකින්නේ ගැටලුවේ කොටසක් පමණක් බවත් විසඳුම නොවන බවත් ඔහු පවසා ඇත. ඔහුගේ කථාවේ ඇතැම් කොටස් ධවල මන්දිරයේ වෙබ් අඩවියේ පසුව දක්නා නොලැබුණු බව මාධ්‍යවල උපුටා ඇතැම් අමෙරිකානුවන්ගේ ට්වීටර් පණිවුඩවල දැක්වේ. මේ අතර ගාසා තීරයේ විරෝධතා සම්බන්ධයෙන් ඊස්‍රායෙලය හමාස් නායකයාට තර්ජනය කළ බවත් ඒ අනුව එම විරෝධතාවල සැර බාල කරන්නට තමා පියවර ගන්නා බව හමාස් නායකයා නිල නොවන පණිවුඩයක් මගින් ඊස්‍රායෙල් හමුදාවට දන්වා ඇති බවත් ඊස්‍රායෙලයේ පළවන හාරෙට්ස් පුවත්පතේ වෙබ් අඩවියේ පළ වී තිබිණි.
එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය 16 දින රැස්වී ඊස්‍රයෙල් ඝාතන සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් ගෙන ආවත් අමෙරිකා එක්සත් ජනපදය විසින් එය වළක්වන ලද බව වාර්තා වෙයි. එහිදී අදහස් දැක් වූ අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත නික් හැලේ පවසා ඇත්තේ මෙවැන්නකි. ‘අද මෙහි රැස්ව සිටින ඕනෑම ජාතියක් ඊස්‍රායෙලයට වඩා අඩු බාධාකිරීම්වලට මුහුණ දෙන බව ඔවුන් ම පිළිගන්නා ඇත්තකි. ඊයේ (15) අත දරුවන් ද ඇතුඵව පනහක් පමණ මියගියා වුණත් අදත් ඔවුන් සිය මරණය මිල දී ගන්නට නැවත ගාසා තීරයට පැමිණ ඇත.’
ඉතින් පලස්තීනයට සාධාරණයක් ඉටුවනු ඇතැ’යි බලාපොරොත්තු තැබිය හැක්කේ ද?