අභියෝග දෙපා මුල තිබියදී ගෝඨාභය අභියෝගයක් කරගැනීම

විමලනාත් වීරරත්න

සියලුම බලතල ලැබී ඉදිරි මාර්ගය පැහැදිලිව පෙනෙන විට යම් දක්ෂතාවක් ඇති ඕනෑම කෙනකුට රජවැඩකාරයෙක් බවට පත්විය හැකිය. ඒ කිසිවක් නැති තෙමේම මාර්ගය පාදාගෙන බාධක ඉවත් කරගෙන ගමනක් යන කෙනකුට අවසාන ඉලක්කය පසුකළහොත් මිස රජවැඩකාරයෙක් විය නොහැකිය. එය හරියටම ජයග්‍රාහී විප්ලව හා පරාජිත විප්ලව සේය. නීත්‍යනුකූල යැයි ඉතිහාසයේ ගෞරවයට පාත්‍රවන්නේ ජයග්‍රාහී සන්නද්ධ අරගල පමණි. අනෙක්වා හැඳින්වෙන්නේ අසාර්ථක කැරලි නමිනි.
වඩා සංකීර්ණ, ප්‍රශ්නයද පුද්ගලයාද යන්න විමසීමේදී පුද්ගලයාට වඩා ප්‍රශ්නය සංකීර්ණ හා වැදගත් බව පිළිගත යුතුය. එබැවින් අවසානයේදී රජවැඩකාරයකු විය හැක්කේ ප්‍රශ්නය විසඳන පුද්ගලයාට මිස ප්‍රශ්නය වටේ යන්නාට නොවේ.

ගෝඨාභය

ගෝඨාභය රාජපක්ෂ රජවැඩකාරයෙක් ලෙස සමාජයට පෙනීයමින් තිබේ. එය සැබෑවක්ද? සොහොයුරා ජනාධිපතිවරයා වූ නිසා ඔහුට එදා මාර්ගය හෙළි පෙහෙළි කරදී තිබුණි. නැතිනම් ලේකම්වරයකුට සුපිරි බලයක් ආරෝපණය වන්නට විදියක් නැත. ආරක්ෂක ලේකම් වූ පමණින් එසේ වනවා නම් ඊට පෙර හා පසු සිටි ආරක්ෂක ලේකම්වරුන්ටත් සුපිරි බලයක් ආරෝපණය වී තිබිය යුතුය. මාර්ගය පැහැදිලිව පෙනෙන විට ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කළ හැකිය. ඉලක්කය නිශ්චය කැරුණු තීන්දු වේලාසන ගත හැකිය. ගෝඨාභය ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ සිදුකළේ එය නොවේද? වෙන කිසිදු ලේකම්වරයකුට සිතුණක් කරන්නට නොහැකි දේශපාලන වේදිකාවකට ගොඩවී ඡන්ද අපේක්ෂකයකුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඍජුවම මැදිහත්වීම ඔහුට පහසුවෙන් කළ හැකිවිය. එය වැරදි ක්‍රියාවක් බව කීවේ ප්‍රජාතන්ත්‍රවාදය හා එහි ආචාර ධර්ම අගයන අතළොස්සක් පමණි. තාප්ප කඩන, පිඩලි අල්ලන, නාගරික නිවාස ඩෝසර් කරන ආදී වශයෙන් වූ ඕනෑම තීන්දුවක් ගැනීමට ජනපතිවරයා, ආරක්ෂක ලේකම්ට බලය දී තිබුණි. ගෝඨාභය හැසිරුණේ ජනාධිපතිවරයාටත් වඩා ඒකාධිපතියකු ලෙසිනි. මේවා ජනතාවට දැන් අමතකද යන මුග්ධ ප්‍රශ්නය මේ සමාජයෙන් විමසා වැඩක් නැත. ප්‍රශ්නය මුග්ධවන්නේ ලංකාවේ සමාජය නිර්වින්දනය වූ සමාජයක් බවට පත්ව තිබෙන නිසාය. එබැවින් පළමුව කළයුත්තේ නිර්වින්දනයෙන් මිදීමට හැකි ප්‍රවේශයක් සොයා ගැනීමය.

අභියෝගයක්ද?

ගෝඨාභය අභියෝගයක්ද යන ප්‍රශ්නය විමසීමට පරිසරය සැකසී තිබේ. එසේවන්නේ ආණ්ඩුවේ ප්‍රධානයන් මෙන්ම ආණ්ඩු හිතවාදී ජනමාධ්‍ය ගෝඨාගේ සම්ප්‍රාප්තිය නිසා මහත් සේ කැළඹී සිටින වග පෙනෙන නිසාය. ගෝඨාගේ පැමිණීම ගැන සමාජය කලබල විය යුතු නැතුවා සේ ම ඔහුගේ කලඑළි බැසීමෙන් සමාජය අනවශ්‍ය තරමට උත්කර්ෂයට පත්විය යුතුද නැත. මන්ද ගෝඨාගේ සම්ප්‍රාප්තියට වඩා ලංකාව මේ මොහොතේ ගිලී ගොස් තිබෙන ප්‍රශ්න කන්දරාව බලවත් නිසාය. ලංකාවේ ජනතාවට වගකියන විශ්වසනීය දේශපාලන යාන්ත්‍රණයක් තිබේද? නැත. ලංකාවේ ජනයාට ශක්තිමත් සමාජ පසුබිමක් තිබේද? නැත. ලංකාව ආර්ථිකමය වශයෙන් සමෘද්ධිමත්ද? නැත. ලංකාවේ අධ්‍යාපනය නූතන ලෝකයට උචිතද? අනුචිතද? එමගින් රැකියා වෙළෙඳපොළෙහි අවශ්‍යතා තෘප්ත කරනවාද? උසස් අධ්‍යාපනය ලබන සිසු සිසුවියෝ වැඩි කාලයක් මහපාරේ ගතකරන්නේ මන්ද? ජාතික අර්බුදයට විසඳුමක් සම්පාදනය කෙරෙන්නේ කෙසේද? ජාතිවාදය හා ආගම්වාදය මගින් සමාජය ඕජස් ගලන තත්ත්වයට පත්කර තිබීමට සහනයක් ගෙන එන්නේ කෙසේද? පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම හා දේශපාලනය එකට බැඳී තිබෙන තත්ත්වයෙන් රට මුදාගන්නේ කෙසේද? ලංකාව තවත් මෙකී නොකී ප්‍රශ්න රැසකින් පරිපීඩිත රටකි. ඇතැමුන් ගෝඨාභය අභියෝගයක් කියන්නේ ඔහුට වඩා බොහෝ බරපතළ අභියෝග දෙපා මුල තිබියදීය. විශේෂයෙන්ම පාලක පක්ෂයට ඇති අභියෝගය විය යුත්තේ නිවහල් හා පිරිපුන් ජාතියක්, රටක් බිහිකරගන්නේ කෙසේද යන්න මිස ගෝඨාභය විය නොහැකිය.

අභියෝගයක් වන්නේ කෙසේද?

මෛත්‍රීපාල සිරිසේන යනු රටෙහි විධායක ජනාධිපතිවරයාය. මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකුට හිටපු ආරක්ෂක ලේකම්වරයකු අභියෝගයක් වී ඇතැයි නවකතාවකවත් කිසිවකු ලියා නැත. මෙහිදී සිදුව ඇත්තේ 2010දී සරත් ෆොන්සේකා රාජපක්ෂ අභියෝගයක් බවට පත්කරගත් ආකාරයටම ගෝඨාභයට පාරක් කපාදී ජනපති මෛත්‍රී වළ ගොඩැලි සහිත මාවතක් තෝරාගෙන තිබීමය.
විශ්‍රාම යෑමට සිටි ෆොන්සේකා සතුරකු බවට පත්කරගෙන 2010 ජනාධිපතිවරණය වන විට බරපතළ අභියෝගයක් බවට පත්කර ගත්තේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය ඇතුළු නායකකාරකාදීන් බව එවකට සෞඛ්‍ය ඇමති ධුරය දැරූ වත්මන් ජනපතිට මම කීවෙමි. ඔහු එය පිළිගත්තේය. කවදා හෝ ඔබ ජනාධිපති වූ දවසක එවැනි වැඩ කරන්නට එපා යනුවෙන්ද එහිදී ඔහුට පැවසුවෙමි. එහෙත් වත්මන් ජනපති සිය වසර තුන තුළ ගෝඨාභය හෝ රාජපක්ෂ පවුලේ සාමාජිකයකුට යළි මහජන ආකර්ෂණය දිනාගැනීමට ඉඩ සැලැස්සුවා මිස තම වගකීම හරිහැටි ඉටුකර රාජපක්ෂලාගේ මාවත අසීරු මාවතක් බවට පත්කිරීමට වෑයම් කළේ නැත. එහිදී ජනපති මෛත්‍රී කළ යුතුව තිබුණේ එකම ක්‍රියාවකි. එනම් සිය පළමු ධුර කාලය තුළ ජනවාරි 08 පොරොන්දු වූ දේවල්වලින් 50%ක්වත් ඉටුකිරීමය. එමෙන්ම ඉතිරි 50%ට විශ්වසනීය පදනමක් දමාගැනීමය. එහෙත් ඒ වෙනුවට ඔහු කළේ ගෝඨාභය සමග අමුතු මිත්‍රත්වයක් ඇතිකර ගැනීමය. ඊට සුදුසුම යෙදුම තෙමේම කෙළවාගන්නා ලීලයක් ඇතිකර ගත්තා යන්නය. දැන් පැමිණ තිබෙන්නේ ඒ නිමේෂය නොවේද?
පිළිතුරක් නැද්ද?
මෙතෙක් රට පාලනය කළ එක නායකයකුවත් මහජනයාගේ සැබෑ ප්‍රශ්න වෙනුවෙන් සියයට හැත්තෑවක්වත් කැපවූ අය නොවෙති. ඔවුහු බලයට පත්වීමට තමාගේම න්‍යාය පත්‍ර අනුව වැඩ කළ අතර බලයට පත්වීමෙන් පසුව බලය රැකගන්නා න්‍යාය පත්‍රවලට අනුව වැඩ කළෝය. මෑත අවධියේ රට පාලනය කළ නායකයන් දෙදෙනා වන මහින්ද, මෛත්‍රී දෙදෙනාම ඊට වඩා ලොකු දෙයක් කළ බවක් නොපෙනුණි. ගෝඨාභය රාජපක්ෂ තම වියත්මග ආරම්භයේදී මේ කාටත් වඩා ස්ථිරසාර ලෙස රටෙහි ප්‍රශ්න ගැන සාකච්ඡාවට ප්‍රවේශ වන බව පෙන්නුවේය. එහෙත් ඔහුත් ගිලී ගිය අර්බුදයද එම ප්‍රවේශය තුළම ප්‍රතීයමානය වෙයි. නිදසුනක් ලෙස ඔහු කෘෂිකර්මාන්තය ගැන කතා කරමින් කීවේ එය නූතන තාක්ෂණයට අනුකුල විය යුතු බවය. එහෙත් ඒ සඳහා කැපවූ ගොවියා නිර්මාණය කරන ආකල්පවලින් ලංකාවේ කෘෂි ජන පදනම අනූන නැත. ගෝඨාභය වියත්මග සම්මන්ත්‍රණයේදී රට ගොඩනැගීම ගැන කියූ සෑම දෙයක්ම මෛත්‍රීපාල මහතා ජනපතිවීමට ආසන්නයේ කියූදේට සමානය. මේ දෙදෙනාම ජනයා විශ්වාස කරන අයුරින් අදහස් පළකිරීමට සමර්ථයෝ වෙති. ගෝඨාභය එහිදී සිටිනුයේ ජනපතිටත් වඩා ඉදිරියෙනි. එහෙත් ගෝඨාභය පිළිතුරු සොයන්නේද තමා පය ගසාගෙන සිටින අර්බුදයට ගිය දේශපාලන ආර්ථික ක්‍රමය තුළින්මය. ගෝඨාභය ක්‍රම විරෝධියකු නොවේ. ඔහුගෙන් ක්‍රම විරෝධයක් බලාපොරොත්තු විය නොහැකිය. එසේ නම් ඔහු ක්‍රමයේ අවුල ලෙහා සංශෝධිත වැඩසටහනක් ප්‍රතිෂ්ඨාපනය කළ යුතුය. රටේ ජනයාගේ ආකල්පවල වෙනසක් නොකර, ආයතන පද්ධතියේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුනොකර අධ්‍යාපනයට (නිදහස්/පුද්ගලික) සෞඛ්‍යයට, ගමනාගමනයට, ආර්ථික සංවර්ධනයට සැලසුම් විරහිතව, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ප්‍රතිසංවිධානය නොකර ආගමික අතපෙවීම්, බැහැර කිරීමකින් තොරව, ජාතිවාදය පිටුදැකීමෙන් තොරව ගෝඨාභයට වියත්මගෙන් නොව සියත් වියත් මගෙන් වුවත් මේ රට ගොඩගත නොහැකිය.
ඔවුන්ට බලය තිබුණු සමයේ එසේ සියත් වියත් මඟක වැඩ කර නැත. අඩුම තරමින් ජනපති හා සුපිරි ලේකම්වරයකු ලෙස ගෝඨාභය එකතුව ග්‍රාමීය ආර්ථිකය හෝ සිය කාලය තුළ යහපත් මාවතකට ගෙන තිබුණා නම් ගෝඨාභයගේ වියත් මගෙහි දහම පිළිගත හැකිය. තමාට බලය තිබෙන කාලයේ එය අත්තනෝමතිකව හැසිරවූවා විනා මොවුන් සියත් මඟක ගෙන ගියාද? මිනීමැරීම්, දූෂණය ඉහවහා යෑම, අතුරුදන්කිරීම්, පැහැර ගැනීම, නීතිය අල්ලේ නැටවීම, ඔවුන්ගේ අන්තේවාසිකයන් විසින් නඩු අසා අගවිනිසුරු ගෙදර යැවීම වැනි අපකීර්තිමත් ඉතිහාසයක් ඔවුන්ගේ පාලනය කාලයෙහි සනිටුහන් වුණේය. ගෝඨාභය මතු කරන වියත් මඟ එයද? ගඟේ ගසාගෙන යන මිනිහා පිදුරු ගසේ හෝ එල්ලෙයි. එහෙත් සිදුවන්නේ ජීවිතය පැතූ පුද්ගලයා පිදුරු ගසත් සමගම ගසාගෙන යාමය. ඒ අනුව වියත්මග යනු පිදුරු ගසකි. මෛත්‍රී සහ රනිල්, පාලනයෙහි දුර්වල නායකයන් වුවත් ගෝඨාභය ඊට පිළිතුරක් වන්නට විදියක් නැත. වියුක්ත පුද්ගලයෙකුට රජවැඩකාරයකු විය නොහැක්කේ ඒ අනුවය.

ප්‍රශ්න කන්දරාවක්

ජනතාව සිටින්නේ වහ වහා විසඳාගත යුතු ප්‍රශ්න කන්දරාවක ගිලී ගොසිනි. ඒවා ලෙහා ගනු වෙනුවට 2020 ජනපති කවුද යන්න තර්ක කර කර සිටීම නිරර්ථකය. 2020 ජනපති මේ සිටින අයගෙන් කවුරු වුවත් ජනයාගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් ඒ කිසිවකුටත් ළඟාකර දිය නොහැකි බව නම් පැහැදිලිය.
ජනමාධ්‍යයත්, මහජනයාගේ ජීවිතවලට අදාළ ප්‍රශ්න ගොඩ ගැසී තිබියදී, එනම් ඒවා මෙරට දේශපාලන නායකයන් විසින් නොසලකා හැර තිබියදී අලුත් ජනාධිපති කෙනෙක් ගැන ඇසෙන වාගාලාපය අන්ධානුකරණයෙන් ඉදිරියට ගෙන යයි. 2020දී ගෝඨාභය නොව ගෝඨයිම්බර ආවත් ඊට පෙර විසඳාගත යුතු ඔඩු දිවූ ප්‍රශ්න රැසක් මේ සමාජයේ තිබේ. මේ කාරණය වැඩිපුරම රටේ පාලනය හොබවන නායකයන්ට අදාළය. ඔවුන් ගෝඨාභය හඹා යනවාද? නැතහොත් තම වගකීම ඉටුකරනවාද යන්න ගැන සිතා බැලිය යුතුය. ජනතාව මෙතෙක් පුද්ගලයන් මත විශ්වාසය තබා ඉක්මනින් ඒ විශ්වාසය බිඳ ගත්තෝය. එබැවින් මෙතැන් සිට ඔවුහු පුද්ගලයන් (රජවැඩකාරයෝ) මත නොව, රට ගොඩනගන වැඩපිළිවෙළක් මත විශ්වාසය තබා ක්‍රියා කිරීම වැදගත්ය. ජනතාව, ජනමාධ්‍ය මෙන්ම ප්‍රගතිශීලී යැයි කිව හැකි අතළොස්සක් දේශපාලනඥයන් දැන් ව්‍යාවෘත විය යුත්තේ එවැනි වැඩසටහනක් සකස් කරගැනීමෙහිය.