රාවය

ඉන්ධන ප්‍රතිඵලය බරපතළයි

ඉන්ධන ප්‍රතිඵලය බරපතළයි

ඉන්ධන මිල වැඩි කිරීම බරපතළ සමාජ-ආර්ථික ප්‍රශ්න රැසක් ඉස්මතු කිරීමට හේතුවනු ඇත. මේ අනුව 12.5%කින් බස් ගාස්තු වැඩිවීම මැයි 22 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි. අවම ගාස්තුව රු. 12/-කි. මෙරට වැඩිම බස් ගාස්තුව අවස්ථාව වන රු. 733/- සියයට දොළහයි දශම පහේ වැඩිවීම සමග රු. 825/- දක්වා වැඩිවෙයි. ආණ්ඩුව යෝජනා කර තිබුණේ 6.56%ක ගාස්තු වැඩිකිරීමකි. එය ක්‍රියාත්මක වූවා නම් යම් සහනයක් බස් මගීන්ට ලැබෙන නමුත් ඩීසල් මිල වැඩිවීම හා බස් කර්මාන්තයට බලපාන වෙනත් පිරිවැය වැඩිවීම හේතුවෙන් ගාස්තු වැඩිකිරීමක් නිසැකවම බලාපොරොත්තු විය යුතුව තිබුණු තත්ත්වයකි. 2015දී ඉන්ධන මිල අඩු කැරුණු අවස්ථාවේදී බස් ගාස්තු 12%කින් පමණ අඩු කිරීම නිසා මෙවර එම ප්‍රමාණයෙන්ම මිල වැඩි කිරීම පිළිගන්නටද සිදුවෙයි.
ඉන්ධන මිල වැඩිවීම නිසා ත්‍රීවීලරයේ සිට සෙසු ප්‍රවාහන කටයුතු සියල්ලේදීම හිතුමතේ වැඩි කෙරෙන මිලක් ගෙවීමට පාරිභෝගික ජනයාට සිදුවීම නොවැළැක්විය හැකිය. සම්මුතිවාදී ආණ්ඩුව පත්වූ ගමන් ඉන්ධන මිල ඇඟට දැනෙන ප්‍රමාණයකින් අඩු කැරිණි. මෙවර වැඩි කිරීමෙන් පසුවත් පෙට්‍රල් මිල තිබෙනුයේ පසුගිය ආණ්ඩුවේ මිලට වඩා රු. 20/-ක් අඩුවෙනි. ඒ නිසා තවමත් විපක්ෂයට පෙට්‍රල් මිල ගැන කතා කිරීමට අයිතියක් නැත. එහෙත් ජනතාවට මේ වැඩිවීම ගැන විරෝධය පළකිරීමට අයිතියක් ඇත. 2015 ජනවාරි 08න් පසු සහනයක් දුන් ආකාරයටම ඒ සහනය යම් පමණකින් කපා හරින්නට කරුණු යෙදුණු බව මෙහිදී ආණ්ඩුව නිදහසට කරුණු ලෙස කීමට පුළුවන. එහෙත් රටෙහි ජනයාගේ ආදායම් වැඩි කරන ක්‍රියාමාර්ගයකින් තොරව පහසුකම් අත්හිටුවීම යහපාලන ආණ්ඩුව වැනි කම්බියක් උඩ දුවන ආණ්ඩුවක් නොකළ යුතු ක්‍රියාවකි. ආණ්ඩුව 2015දී ඉන්ධන මිල අඩු කරනු ලැබුවේ එය වසර තුනක් වැනි කාලයක් පවත්වාගෙන යාහැකිද යන්න පිළිබඳ අධ්‍යයනයකින් නොවේ. එය තනිකරම දේශපාලන උපාය මාර්ගයකි. එවැනි උපාය උපක්‍රම ආණ්ඩුවකට තාවකාලිකව භාවිත කරන්නට සිදුවීම සාමාන්‍යයකි. එහෙත් උපායෙන් අනතුරුව පැන නගින ප්‍රශ්න අරබයා විසඳුම් සෙවීමේ යාන්ත්‍රණයක් ආණ්ඩුවකට තිබිය යුතුය. ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ආණ්ඩුවක අනුල්ලංඝනීය වගකීමකි. ජනයාගේ ජීවන තත්ත්වය නගා සිටුවීම ආණ්ඩුවක් නිකම්ම වයසට යෑමෙන් සිදු නොවේ. ආණ්ඩුව මෝරන විට ආණ්ඩුව සතු ආර්ථික මූලෝපායන් හා වැඩසටහන් තවදුරටත් ව්‍යාප්ත වී මෝරා වැඩිය යුතුය. එහෙත් යහපාලකයන්ට එවැනි වැඩසටහනක් නොතිබුණි. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159 දක්වා අද වනවිට පහත බැස ඇත. එහි තේරුම රටෙහි නිෂ්පාදන ආර්ථිකයක් දියත් නොවුණු බව හා විනිමය අනුපාතය ස්ථාවර නොවුණු බවය. අගමැතිවරයා ලංකාව මධ්‍ය ආදායම් සහිත ආර්ථිකයකින් සමන්විත රටක් බව නිතර කියන කතාව අමු කෙප්පයක් බව රුපියල මේ ආකාරයට බාල්දුවීමෙන් පෙනේ.
ඉන්ධන මිල වැඩි කිරීමෙන් ආණ්ඩුව තෙමේම අන්තිම ඇණේ ගසාගත් බව ඇතැම්හු කියති. කෙනෙක් එසේ කියන්නේ දේශපාලන වෛරයකට නොවේ. විශේෂයෙන්ම 2015දී දිවි පරදුවට තබා මෛත්‍රී ජනපති බවට පත්කිරීමට වෙහෙස වූවෝ එසේ කියන්නේ ඇත්තටම ජීවිතය අමාරු නිසාය. පෙළෙන දරිද්‍රතාවෙන් ජනයා ගොඩගැනීමට ආණ්ඩුව වසර තුනක් තිස්සේ කිසිවක් නොකළ නිසාය. කර්මාන්ත ඇති කිරීම කළ නොහැකි වුවත් මහජනයාගේ ආර්ථිකයේ කෙටිකාලීන ප්‍රබෝධය සඳහාවත් ආණ්ඩුවට කරන්නට වැඩ තිබුණි. විශේෂයෙන්ම ආර්ථික විෂය භාරගත් අගමැතිවරයා නියෝජනය කරන පක්ෂයේ අතීත නායකයෝ එවැනි කෙටිකාලීන ආර්ථික මාවත් රටට හඳුන්වා දුන්හ. එහෙත් වත්මන් අගමැතිවරයා තම සිත් ගත් කල්ලියක් සමග සිහින ලෝකයක සැරිසරමින් සිටිනවා විනා මහ පොළොවට බැස ජනයාගේ දුප්පත්කමේ දිග පළල ගැන විමසුම් ඇසින් සොයා බලන බවක් පෙනෙන්නේ නැත.
බස් ගාස්තු වැඩිවීම පවා මහත් බරක් ලෙස සාමාන්‍ය ජනයාට දැනෙන්නේ සැබැවින්ම ඔවුන් මුහුණ පා සිටින මේ දරිද්‍ර ආර්ථික පසුබිම නිසාය. ආණ්ඩුවට නොමැති වූයේ මේ අමාරුකම් තුනී කරන මගකි. ජනයාගේ ආර්ථිකය ශක්තිමත් නොකර, නව ආර්ථිකමය මාර්ග නොපාදා වෙන වෙන උපාය මාර්ගවලින් දැන් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකිය. ඒ බව මෙම වසර 1 1/2 තුළ හෝ ආණ්ඩුව තේරුම් ගැනීද නැද්ද යන්න සිතාගැනීම උගහටය.
ඉන්ධන මිල වැඩිකර ලබන ආදායමෙන් ‘ගම්පෙරළිය’ වැනි වැඩසටහන් හදිසියේ සැලසුම් කිරීම ගොඩ යන්නට මගක් ඇත්තේම නැතුව කරන දේවල් බව පෙනීයෑමත් නොවැළැක්විය හැකිය. ගම්පෙරළන්නට තිබුණේ ආණ්ඩුවේ පළමු වසර ඉක්මයෑමත් සමගය. දැන් ආණ්ඩුව තිබෙන්නේ අර්බුදයකත් කෙළවරකය.