අඳුරෙන් එළියට ඒමට ක්‍රමවේදයක්

වික්ටර් අයිවන්

රටේ උගතුන්ට තියුණු ලෙස කරුණු දැකීමට තිබෙන නොහැකියාව ලංකාවේ අර්බුදය එකතැනක පල්වීම කෙරෙහි බලපා තිබෙන වැදගත් සාධකයක් ලෙස සැලකිය හැකිය. සමාජ දේශපාලන සවිඥානකත්වය කෙරෙහි උගතුන් පළකරන අදහස් බලපායි. මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ අවශ්‍යතාව උගත්තු තේරුම් ගත්හ. ඔවුහු ඒ ගැන දරන අදහස් මහජනයා කෙරෙහි බලපෑවෝය. රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ ක්‍රියාවලිය තුළ ඇති කරගත යුතු ව්‍යුහමය වෙනස්කම් ගැන ලංකාවේ උගතුන්ට ප්‍රමාණවත් තරමේ අවබෝධයක් තිබුණේ නැත. ඔවුන් වැදගත් කොට සැලකුවේ මහින්ද පරාජය කරන ක්‍රමයක් ගැන පමණය. රට මුහුණ දී තිබුණු අර්බුදය ජයගැනීම සඳහා ඇති කළයුතු ව්‍යුහමය වෙනස්කම් ගැන ඒ උගතුන්ට කිසිම අවබෝධයක් නොතිබුණි. මහින්ද රාජපක්ෂ පරාජය කළ හැකි පුද්ගලයකු කරළියට ගෙන මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කොට ක්‍රියාවට නගන සරල ප්‍රතිසංස්කරණ වැඩසටහනින් පමණක් ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගත හැකිවේ යැයි ඔවුහු විශ්වාස කළෝය.
ඔවුහු රටේ අර්බුදය කෙරෙහි බලපා තිබෙන ප්‍රධානම සාධකය ලෙස දැක්කේද දූෂණයයි. දූෂණය පිළිබඳ එම විෂයේදී එම උගතුන්ට තිබුණේ අතිසරල අර්ථකථනයකි. ඔවුන් අතින් දූෂණය අර්ථකථනය කෙරුණේද එය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ඇතිවී වර්ධනය වූ දෙයක් වශයෙනි. ඊට පෙර පැවති චන්ද්‍රිකා, ප්‍රේමදාස හා ජේ.ආර්. ජයවර්ධන පාලනයන් තුළ එම පාලකයන්ගේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වූ දූෂණයක් තිබූ බව ඔවුහු හිතාමතාම වසන් කළෝය. සමහරවිට ඔවුන්ට එසේ කරන්නට සිදුවන්නට ඇත්තේ එජාප මහින්ද විරෝධී දේශපාලන අරගලයේ ප්‍රධාන බලවේගය බවට පත්ව තිබුණු නිසාත්, මහින්ද විරෝධී අරගලයට චන්ද්‍රිකා කුමාරතුංගද වැදගත් පංගුකාරයෙක් වී සිටීම තුළ ඒ සියලුදෙනාට පිරිසිදු පෙනුමක් ලබාදීමට අවශ්‍ය වූ නිසාත් විය හැකිය.

දූෂණ විරෝධය

2015 දේශපාලන සටන පැවතියේ දූෂිත හා දූෂිත නොවන දේශපාලන බලවේග දෙකක් අතර නොව දූෂිත දේශපාලන බලවේග දෙකක් අතරය. ඒ බලවේග දෙක අතරින් මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලවේගය වඩා දූෂිත වූවා විය හැකි වුවත් මහින්දට එරෙහිව තරග කළ දේශපාලන එකමුතුවද දූෂණ විෂයේදී පිරිසිදු බලවේගයක් නොවීය. රාජ්‍ය බලය ලබාගැනීම, රට පාලනය කරනවාට අතිරේකව මහා පරිමාණයෙන් රටේ පොදු වස්තුව කොල්ලකන ක්‍රමයක් ලෙස ස්ථාපිත වී තිබුණේ 1977 සිටය. අද දක්වා ක්‍රියාත්මකවන්නේ එම දූෂිත ක්‍රමයයි. 2015 ඇතිවූ ආණ්ඩු පෙරළිය රාජ්‍යයේ එම කොල්ලකාරී ස්වභාවය වෙනස් කරන දේශපාලන පෙරළියක් නොවීය. එම පෙරළියෙන් බලයට ආවේද රාජ්‍ය පාලනයේ නිත්‍ය අංගයක් බවට පත්ව තිබුණු වස්තු කොල්ලයට හුරුපුරුදුව සිටි දේශපාලන බලවේගයකි. පාලන බලය අහිමිවීම තුළ වස්තුව කොල්ලකෑමට තිබුණු අයිතිය ඔවුන්ට අහිමිව තිබුණු අතර ප්‍රතිපක්ෂයට හිමිවී තිබුණු වස්තුව කොල්ලකෑමේ බලය තමන් වෙත හිමිකර ගැනීමට ඔවුන්ගේ සැඟවුණු අභිලාෂයක් විය.
යහපාලන ආණ්ඩුවක් ඇතිකර ගැනීම සඳහා පෙනී සිටි හා බලයට පත්වන යහපාලන ආණ්ඩුව සඳහා සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සකස් කළ බුද්ධිමතුන්ට රට වෙලාගෙන තිබුණු දූෂණය අවසන් කිරීමට එක්කෝ අවංක අභිලාෂයක් නොතිබුණි. එසේත් නැත්නම් දූෂණ තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කළයුතු ප්‍රතිසංස්කරණ ගැන හරි අවබෝධයක් නොතිබුණි. ඔවුන් දූෂණය මුලිනුපුටා දැමීම සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රතිසංස්කරණ වැඩසටහන දැන හෝ නොදැන මහජනයා රැවටීම සඳහා ඉදිරිපත් කළ බොරු වැඩසටහනක් මිස දූෂණය මුලිනුපුටා දැමීමේ ඇත්ත හැකියාවක් ඇති වැඩසටහනක් නොවීය. ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් රටේ තිබෙන සියලු නරක නැති කොට රට යහපත් රටක් බවට පත්කොට රට කිරියෙන් පැණියෙන් ඉතිරෙන තත්ත්වයකට පත් කරනු ඇතැයි කියන වැරදි විශ්වාසය මහජනයා තුළ ඇති කිරීමට එම ප්‍රතිසංස්කරණ වැඩසටහන හේතුවිය.
දූෂණය ලංකාවේ අර්බුදය කෙරෙහි බලපා තිබුණු එක හේතුවක් මිස එකම හේතුව නොවේ. දූෂණය නැති කිරීමට අවශ්‍ය නම් අන් සියලු දේට පෙර දූෂණය නැති කිරීමේ අවංක ප්‍රබල අභිලාෂයක් පාලකයන්ට තිබිය යුතුය. යහපාලන ආණ්ඩුවේ නායකයන්ට ඒ සඳහා ප්‍රබල හා අවංක අභිලාෂයක් තිබීමේ ඇත්ත හැකියාවක් නොතිබුණි.

රටේ පවතින ව්‍යාකූලතාව

ආණ්ඩු පෙරළියක් දිනාගැනීමෙන් කිසියම් තාවකාලික මානසික සහනයක් රටේ ජනතාවට ලැබෙන්න ඇතත්, ඇතිවූ ආණ්ඩු පෙරළිය රටේ පැවති අර්බුදයට විසඳුමක් වූයේ නැත. ඉන් සිදුවූයේ ලංකාව වෙලාගෙන තිබුණු අර්බුදය සංකීර්ණ වී තවත් වටයකින් උග්‍රවීමය. දැන් රටේ උගතුන් සිටින්නේ නන්නත්තාරවූ තත්ත්වයකය. රටේ දේශපාලනය හැසිරවීමේ බලයක් ඔවුන්ට නැත. වෙන්න යන්නේ කුමක්දැයි ඒ කිසිවකුටත් පැහැදිලිව අදහසක් තිබෙන බවද පෙනෙන්නට නැත. සමහර උගතුන් නැවත මහින්ද රාජපක්ෂ පාලනයකට හෝ ගෝඨාභය රාජපක්ෂ පාලනයකට රට මාරුවනවා දකින්නට කැමතිය. තවත් සමහර උගතුන්ට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ නැවත රාජපක්ෂවරුන්ට පාලන බලය යන ආණ්ඩු මාරුවක් ඇතිවීම වළකන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. මේ ප්‍රතිපක්ෂ ධාරා දෙකේ සිටින උගතුන්ට ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ නියම ස්වභාවය ගැන තියුණු වැටහීමක් ඇති බවක් පෙනෙන්නට නැත.
දැන් රටේ අර්බුදය තිබෙන්නේ බලයේ සිටින ආණ්ඩුවකට පමණක් නොව ඊළඟට බලයට පත්වන කවර ආණ්ඩුවකට වුවද රට පාලනය කළ නොහැකි අවුල්සහගත තත්ත්වයකය. රටේ පාලන බලය වෙනස් නොකිරීම හෝ වෙනස් කිරීම ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත. ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන විධිමත් දැක්මක් පෙන්නුම් කිරීමට මේ දක්වා කවර දේශපාලන පක්ෂයක්වත් සමත් වී නැත.
රාජ්‍යයේ ප්‍රධාන බලමණ්ඩල තුන (ව්‍යවස්ථාදායකයේ විධායකය හා අධිකරණය හා ඒවාට අදාළ සියලු ආයතන ක්‍රම තිබෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයකය. රටේ දේශපාලනතන්ත්‍රය හා නිලධරතන්ත්‍රය තිබෙන්නේද හොඳටම කුණුවූ තත්ත්වයකය. ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා 20 වන සංශෝධනය නමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර තිබේ. ජනාධිපති ක්‍රමය නැති කිරීම හෝ තබා ගැනීම ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත. එවැනි වෙනසක් මගින් කුණුවී තිබෙන සමස්ත ආයතන ක්‍රමයේ යහපත් වෙනසක් ඇති කරන්නේ කෙසේද යන්න ඔවුන් පැහැදිලි කළ යුතුය. ජනාධිපති ක්‍රමය වෙනස් කළ පමණින් රාජ්‍ය ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීම වෙනස්වන්නේ නැත.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ද ඇතුළුව සියලුම දේශපාලන පක්ෂ හා ඒවාහි නායකයන් ඓතිහාසික වශයෙන් ලොකු බුද්ධිමය මුග්ධ භාවයට ඇද වැටී සිටින බව පැහැදිලිව කිව හැකිය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා කරළියට ගෙනා නීති සම්පාදනය ඒ සියලුදෙනා සමග ව්‍යවස්ථාදායකය, විධායක හා අධිකරණය බුද්ධිමය වශයෙන් ඇද වැටී තිබෙන බංකොළොත්භාවයේ තරම පෙන්නුම් කරන අවස්ථා 2ක් ලෙස සැලකිය හැකිය. එම නීති සම්පාදන දෙකට ව්‍යවස්ථාවට 20 වන සංශෝධනයක් ඉදිරිපත් කරන්නට යන ජවිපෙ හා අලුත් ව්‍යවස්ථා සම්පාදනයක මෙහෙයුම්කරුවා බවට පත්ව සිටින එජාපයද ශ්‍රීලනිපයේ මෛත්‍රී පිල හා මහින්ද පිලද, හෙළ උරුමය, දෙමළ මුස්ලිම් හා කඳුරට දෙමල යන සියලු දේශපාලන පක්ෂ කොටස්කරුවෝ ලෙස ක්‍රියා කළෝය. ඒ කිසිවකු එම නීති සම්පාදන දෙකක ඇති කරන්නට යන විකෘති ප්‍රතිඵල කල්තියා තේරුම් ගැනීමට සමත් වූයේ නැත. ආණ්ඩු පක්ෂය විරුද්ධ පක්ෂය ඇතුළු සියලු දේශපාලන පක්ෂ ඇද වැටී තිබෙන බුද්ධිමය බංකොළොත්භාවයේ තරම ඉන් තේරුම් ගත හැකිය. එම ධර්මතාව ලංකාවේ බුද්ධිමතුන්ටද අදාළය. 19 වැනි සංශෝධනය ඒ සඳහා දැක්විය හැකි නිදර්ශනයකි. එහෙත් එම නිදර්ශනය අදාළවන්නේ යහපාලන ආණ්ඩුවට සම්බන්ධ පක්ෂවලට, සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහන කරළියට ගෙන සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ බුද්ධිමතුන්ට හා එම වැඩසටහනට ආධාර කළ වෙනත් බුද්ධිමතුන් සඳහා පමණය.
මෙම නිදර්ශන දෙක ආශ්‍රයෙන් මතු කළ හැකි දේශපාලන අර්ථයෙන් ඉතා වැදගත් මූලික ප්‍රශ්නයක් තිබෙන්නේය. ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පක්ෂ, බලය ලබාගැනීමට සිහින දකින විරුද්ධ පක්ෂයට සම්බන්ධ පක්ෂ හා ඒ දෙක අතර තිබෙන පක්ෂ ඓතිහාසික අර්ථයෙන් සිටින්නේද පූර්ණ බංකොළොත්භාවයකට ගිය තත්ත්වයක නම් ඔවුන් රටේ අර්බුදයට විසඳුමක් දීමේ හැකියාව ඔවුන්ට තිබිය හැක්කේ කෙසේද? ඔවුන් රටේ අනාගතය ගැන හෝ ඉදිරි මැතිවරණ ප්‍රතිඵල ගැන කියන කතා විශ්වාස කරන්නේ කෙසේද? ඒ සියලුදෙනාගේ ඇස් අන්ධ නම් ඔවුන්ට ඉදිරිය දැකීමේ හැකියාවක් නැතිනම් ඔවුන් ඉදිරිය ගැන කියන කතා හෝ අර්ථකථන මහජනයා විශ්වාස කළයුත්තේ ඇයි? මහජනයා එම තත්ත්වය ගැන ඇතිකර ගන්නා යථා අවබෝධය රට මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීම සඳහා අත්‍යවශ්‍ය වැදගත්ම කොන්දේසියක් ලෙස සැලකිය හැකිය. ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය තියුණු ලෙස දැකීමේ හැකියාව හා එය ජයගැනීම සඳහා කුමක් කළයුතුද යන තීරණාත්මක ප්‍රශ්නය නිවැරදි ලෙස තේරුම් ගැනීමට අවශ්‍ය කරන දේශපාලන සාක්ෂරතාව හිමිකර ගැනීමට හා තේරුම් ගැනීමට මහජනයා සමත් වනු ඇත්තේ තීරණාත්මක වැදගත්කමක් ඇති එම ප්‍රශ්නය තේරුම් ගැනීමට පළමු කොට රටේ බුද්ධිමතුන්ද ඉන් පසු සාමාන්‍ය මහජනයාද සමත් වේ නම් පමණය.

අර්බුදය තේරුම් ගැනීම

ලංකාවේ අර්බුදය ජයගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සොයාගත හැකිවනු ඇත්තේ අර්බුදය කෙරෙහි බලපා තිබෙන හේතු හා අර්බුදයේ ස්වභාවය ගැන නිවැරදි වැටහීමක් ඇතිනම් පමණය.
මෙම අර්බුදය නිදහස ලබාගැනීමේදී සම්පූර්ණ කරගත යුතුව තිබුණු ඓතිහාසික කොන්දේසි සම්පූර්ණ කරගැනීමට අසමත්වීම නිසා ඇතිවී වර්ධනය වූ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. ධනේශ්වර ක්‍රමය කරළියට ඒමෙන් පසු යටත්විජිත තත්ත්වයක තිබූ රටක් එම යටත්විජිත තත්ත්වයෙන් නිදහස්වීමේදී ඒ රටේ යටත්විජිත කාලය තුළ ඇතිවී තිබුණ ජාතික රාජ්‍යයේ යහපැවැත්මට අවශ්‍ය නූතන ජාතිය ගොඩනගා ගැනීම අත්‍යවශ්‍යය. වර්ග, කුල හා ආගම් අනුව බෙදී සිටින සමාජයක් සමානතා පදනම මත ඒකාග්‍ර කළයුතු බව ඉන් අදහස් වේ. වර්ග, කුල හා ආගම්වලට බෙදී භේදභින්න වී තිබුණු පරණ සමාජය නවීන සමාජයක් බවට පරිවර්තනය වන්නේ එම ක්‍රියාදාමය ඔස්සේය. සමාජය ඒකාග්‍රතාවට අවශ්‍ය පොදු ජාතික දෘෂ්ටියක් සමාජය හිමිකර ගන්නේද ජාතිය ගොඩනගන එම ක්‍රියාදාමය ඔස්සේය.
ලංකාව නිදහස දිනාගන්නා ලද්දේ ඒ සඳහා දරන බලවත් සමාජ උත්සාහයකින් තොරවය. යටත්විජිත තත්ත්වයක තිබූ බොහෝ රටවල් ගැටුම් ඇති කිරීමට හේතුවිය හැකි බෙදීම් ලෙස සැලකිය හැකි වර්ග, කුල හා ආගම් භේද තුනී කොට භේදයකින් තොරව ඒ රටේ සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ලබාදෙන පදනමක් මත සමාජය ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස ජාතිය ගොඩනගා ගන්නේද එසේ ගොඩනගා ගන්නා ජාතියේ වුවමනාවන්ට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිත නූතන ජාතික රාජ්‍ය ගොඩ නගා ගත්තේද නිදහස දිනාගැනීමේ ක්‍රියාදාමය තුළය.
එහෙත් ලංකාව නිදහස දිනාගන්නා ලද්දේ සමාජ දේශපාලන අරගලයක් මගින් නොවන නිසාම ජාතිය ගොඩනගා ගැනීමට දරන උත්සාහයන්ද නොතිබුණේය. ජාතිය ගොඩනගා ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ගැන පවා අපේ රටේ සියලු ජාතික නායකයන්ට හරි වැටහීමක් පවා නොතිබුණි. ඒ නිසා පරණ සමාජයේ තිබූ වර්ග, කුල, ආගම් භේද තුනී කොට සමාජය ඒකාග්‍ර කිරීමට හේතුවන ලෙස ජාතිය ගොඩනගා ගැනීමක් සිදු නොවීය. නූතන රාජ්‍ය සඳහා අවශ්‍ය ආණ්ඩුක්‍රමයද නිදහස් අරගලයකින් පසු අප විසින් ගොඩනගා ගන්නා ලද දෙයක් නොව යටත්විජිත ස්වාමියා විසින් අප වෙත ප්‍රදානය කරන ලද දෙයක් විය. ඒ නිසා නිදහස ලැබුණද සාර්ථක ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය ජාතික රාජ්‍යයේ පැවැත්මට නැතිවම බැරි නූතන ජාතිය ගොඩනගා ගැනීමක් මගින් සමාජය ඒකාග්‍ර කරගැනීමක් හෝ සමාජයේ ඉදිරි ගමන සඳහා අවශ්‍ය පොදු ජාතික දෘෂ්ටියක් උරුම කරගැනීමක් හෝ සිදු නොවීය. ඒ නිසා නිදහසින් පසු රට ඉදිරියට ගියේ ජාතික රාජ්‍යයේ යහපැවැත්මට නැතුවම බැරි නූතන ජාතිය ගොඩනගා ගැනීමකින් තොරව හා පොදු ජාතික දෘෂ්ටියකින් තොරවය.
ඒ නිසා නිදහස ලැබීමෙන් කලකට පසුව වර්ග, කුල හා ආගම් භේද වර්ධනය වී ප්‍රචණ්ඩ ගැටුම් සමග ලොකු ලේ වැගිරීම් ඇතිවිය. එම ලේ වැගිරෙන ගැටුම් දීර්ඝ කාලයක් තිස්සේ පැවති අතර එම දීර්ඝ කාලය තුළ සමාජ දේශපාලන තලයේ පැවති අශීලාචාර වටාපිටාව සමාජ ක්‍රමය විකෘති කොට රාජ්‍ය හා එහි ආයතන ක්‍රමද දූෂිත හා කුණු කිරීමට හේතුවිය. අභ්‍යන්තර යුද්ධය අවසන් කරන හෝ ප්‍රචණ්ඩ ගැටුම් යුගය අවසන් කරන අවස්ථාව වන විට සමාජ ක්‍රමය තිබුණේ හොඳටම විකෘති වූ තත්ත්වයකය. රාජ්‍ය හා එහි ආයතන ක්‍රම තිබුණේද අකාර්යක්ෂම, දූෂිත හා කුණුවූ තත්ත්වයකය. එම තත්ත්වය ලංකාවේ අර්බුදය අලුත් තලයකට වර්ධනය කිරීමට හේතුවී තිබුණි.
ඉන්පසු එම අර්බුදය ජයගනිමින් සාර්ථක ඉදිරි ගමනක් සඳහා හොඳටම විකෘති වූ තත්ත්වයක තිබූ සමාජ ක්‍රමය සේ ම කුණුවූ තත්ත්වයක තිබූ රාජ්‍ය හා එහි ආයතන ක්‍රමයද ප්‍රතිනිර්මාණය කරගැනීමට හැකිවන ලෙස හා ජාතිය ගොඩනගා ගැනීමට හැකිවන ලෙස රට ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට යොමු කළ යුතුව තිබුණි.
එහෙත් අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයාගේ ආණ්ඩුවට සේ ම එම ආණ්ඩුව පරාජයට පත් කොට බලයට පත් යහපාලන ආණ්ඩුවටද විකෘති තත්ත්වයකට පත්ව තිබූ සමාජ ක්‍රමය හා කුණුවූ තත්ත්වයකට පත්ව තිබූ රාජ්‍ය හා එහි ආයතන ක්‍රම ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන හා ජාතිය ගොඩනගා ගැනීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ සඳහා වන ඉදිරි දර්ශනයක් නොතිබුණි. රට අරාජික තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවී තිබෙන වර්තමාන අර්බුදය එම නොහැකියාවේ හෝ අසමත්කමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇතිව තිබෙන අර්බුදයක් ලෙස සැලකිය හැකිය.

අර්බුදය ජයගැනීම

ලංකාව මුහුණදී තිබුණු අර්බුදය විවිධ ස්වරූපයක් ගනිමින් නිදහසේ සිට පැවත එන ක්‍රමයෙන් වර්ධනය වූ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. එම අර්බුදය මේ වන විට රට අරාජක තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවන අර්බුදයක් බවට පත්ව තිබෙන අතර සියලු දේශපාලන පක්ෂවලට හා දේශපාලන නායකයන්ට තිබෙන හැකියාව හා පිළිගැනීම අහිමි කිරීම එම අර්බුදය විසින්ම ඇති කර තිබෙන ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය. දැන් දේශපාලන පක්ෂවලට හෝ ඒවාහි නායකයන්ට ඉටුකළ හැකි විශේෂ කාර්යභාරයක් නැත. අර්බුදය විසින්ම සියල්ලෙහි පැවැත්ම අහෝසි කරමින් තිබෙන අතර සියලු නායකයන් මහජනයාගේ හාස්‍යයට හේතුවන විකටයන්ගේ තත්ත්වයට පත්කර තිබේ.
දැන් රට තිබෙන්නේ අන් සියලු දේවලදී සේ ම පාලන විෂයේදී වලංගු නායකයන් නැති අරාජක හා නන්නත්තාර තත්ත්වයකය. දැන් රටේ සියලු දේශපාලන නායකයන් සිටින්නේ ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීමේලා කිසිදු වැදගත් කාර්යභාරයක් ඉටු කළ නොහැකි ඓතිහාසික අර්ථයෙන් යල්පැනගිය තත්ත්වයකය. දැන් රට තිබෙන්නේද මහජන නියෝජිතයන් මගින් කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ එක ඓතිහාසික යුගයක් අවසන්වෙමින් තිබෙන ඓතිහාසික අවස්ථාවකය.
පූර්ණ අරාජක තත්ත්වයකට රට තල්ලු වීම වැළකිය හැක්කේ සංවිධානාත්මක හා ජාලගතවූ මහජනයාට පමණය. ඓතිහාසික අර්ථයෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් වෙනුවට කෙටිකාලීනව ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් රට ඉල්ලා සිටියි. රටේ ගමන් මගෙහි යහපත් වෙනසක් ඇති කිරීමට හැකිවනු ඇත්තේ රටේ මහජනයා ඉතිහාසය ඉල්ලා සිටින එම වගකීම සම්පූර්ණ කිරීමට සමත් වේ නම් පමණය. ලංකා සමාජය ඒකාග්‍ර කොට නවීන සමාජයක් බවට පරිවර්තනය වනු ඇත්තේද මහජනයා වෙත පැවරී තිබෙන එම ඓතිහාසික ක්‍රියාදාමය සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට සමත් වේ නම් පමණය.
ඒ සඳහා මේ මොහොතේදී ප්‍රායෝගිකව කළ හැකිව තිබෙන හොඳම දේ ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීමේ අරමුණ ඇතිව සියලු මහජන සංවිධාන එකට එකතු වී මහජන සංවිධානවල බලමණ්ඩලයක් ඇතිකර ගැනීමය. එය මහජන සංවිධානවල නියෝජිතයන්ගෙන් සමන්විත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන මූලධර්ම මත ගොඩ නගා ගන්නා ලද මහජන බල මණ්ඩලයක් විය යුතුය. එය වෘත්තීයවේදී සංවිධාන, වෘත්තීය සමිති, ගොවි හා ධීවර සමිති, වෙළෙඳ, කර්මාන්ත හා ව්‍යාපාරික සංවිධාන, ආගමික සංවිධාන, කලාකරුවන්ගේ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, විශ්‍රාමික සංවිධාන, කාන්තා හා තරුණ සංවිධාන, මරණාධාර සමිති දක්වා වන ග්‍රාමීය සංවිධාන එක බලමණ්ඩලයක් තුළ එකට ඒකරාශී කරන වැඩසටහනක් විය යුතුය.
එසේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ආකෘතියකට ගොඩනගා ගන්නා මහජන සංවිධානවල බලමණ්ඩලය මහජන පාර්ලිමේන්තුවක් සේ කාලසටහනකට හා න්‍යාය පත්‍රයකට අනුව රැස්වීම් පවත්වන මහා සභාවට අතිරේකව කාරක සභා ක්‍රමයක්ද ඇති ආයතන ක්‍රමයක් බවට පත්කරගත යුතුය. රට මුහුණදී තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය ප්‍රමුඛතා අනුපිළිවෙළක් අනුව හඳුනාගෙන ලැයිස්තුගත කොට ඒවාට සාකච්ඡාවට හා විවාදයට ලක් කළ යුතුයි. විශේෂඥයන් කැඳවා ඔවුන්ගේ අදහස් ලබාගන්නා ක්‍රමයක්ද ඇති කරගත හැකිය. සියලු සංවාදවල ප්‍රධාන අරමුණ විය යුත්තේ විකෘති වී තිබෙන සමාජ ක්‍රමය හා කුණුවී තිබෙන රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණ හඳුනාගැනීම හා එම ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා උපායමාර්ගික වැඩසටහනක් සම්පාදනය කර ගැනීමය. එය අදහස් පළ කරන, පත්‍රිකා ඉදිරිපත් කෙරෙන ඒවා මහා සභා හා කාරක සභා මට්ටමෙන් සාකච්ඡාවට ලක් කරවන හා අවසාන වශයෙන් තීන්දු ගන්නා මහජන ආයතන ක්‍රමයක් ලෙස සංවිධානය කළ යුතුයි. භේදයකින් තොරව ඕනෑම සංවිධානයක එකතුවී තිබීමේ හැකියාව තිබිය යුතු අතර ඒ සියලුදෙනාට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි. හැම තීන්දුවක්ම ගතයුත්තේ හොඳින් වාද විවාද කොට ඡන්ද විමසීමකට ලක්කිරීමෙනි.
එවැනි මහජන ආයතන ක්‍රමයක් ඇතිකර ගැනීමේ ඇත්ත හැකියාවක් තිබෙන අතර ඒ ඉලක්කය සපුරා ගැනීමට සමත් වේ නම් රජය අරාජක වන විට සමාජය සංවිධානය වීම තුළ පූර්ණ අරාජකත්වයකට රට තල්ලුවීම වළකා සමාජය තුළ වර්ග කුල හා ආගම් අනුව තිබෙන බෙදීම් දුර්වල කොට සමාජය ඒකාග්‍රවීමටත් රටේ ඉදිරි ගමනට අවශ්‍ය පොදු දෘෂ්ටියක් ගොඩනගා ගනිමින් රට මුහුණදී තිබෙන අර්බුදය ජයගැනීමට හේතුවන ශක්තිමත් සමාජ දේශපාලන වටපිටාවක් ඇතිකර ගැනීමට හැකිවනු ඇත.
මහජන සංවිධානවල එවැනි ශක්තිමත් බලමණ්ඩලයක් ඇතිකර ගැනීමට සමත් වේ නම් එය ක්‍රමානුකූලව රටේ ගමන් මග අධිනිශ්චය කරන බලමධ්‍යස්ථානය බවට පත්වනු ඇත. එසේම එය දේශීය විදේශ ජනමාධ්‍යවල අවධානය දිනාගන්නා ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්කර ගත හැකිය. රටේ ඕනෑම දේශපාලන නායකයකු කැඳවා අදහස් පළකරන ලෙස ඉල්ලා සිටීමේ හැකියාව ලැබෙනු ඇති අතර ව්‍යවස්ථාදායකයට, විධායකයට හා අධිකරණයට එය නොසලකා ක්‍රියාකිරීමේ හැකියාවද නැතිවනු ඇත.
මෙම බලමණ්ඩලයේ කෙරෙන සංවාද මුළු රටටම බලපානු ඇත. ඒවා මහජන සවිඥානකත්වය වැඩි දියුණු කොට නවීන ලෙස සිතන මතන සමාජයක් ඇති කිරීමට හේතුවනු ඇත. එකඟතාවක් ඇතිකර ගැනීමට අමාරු ප්‍රශ්න බවට පත්ව තිබෙන වර්ගය, කුලය සහ ආගම වැනි ප්‍රශ්න විසඳා ගැනීම පහසු කරනු ඇත.
මේ ලිපියේ එන අදහස් සංවාදයකට ලක්විය යුතුය. මහජන සංවිධානවල ක්‍රියාකාරීන්ට මෙහි එන අදහස් එම සංවිධාන තුළ සාකච්ඡාවට ලක් කළ හැකිය.