රාවය

හංසයා කොකා පෙන්නීම

හංසයා කොකා පෙන්නීම

උපාලි කොළඹගේ

(2020 හා 20 වර්තමානයේ දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනාත්මකය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 දී දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බවට කරන ලද උද්වේගකර ප්‍රකාශයත්, ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වැනි සංශෝධනය ගෙන ඒමට සූදානමත් මෙම විශේෂත්වයට හේතු වී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව මුළු රටට ම සහතික කර කීවේ මීට තෙවසරකට පෙරය. එනම් 2015 ජනවාරි 8 පැවති ජනාධිපතිවරණ සමයේ ය. දැන් 2018 ය. මේ කාල පරාසය තුළ ජනාධිපතිවරයා දිවුරා පොරොන්දු වූ බොහෝ දෑ ඔහු ඉටු කර නැත. එසේ කරන පාටක්වත් නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට සපථය කළේ යහපාලනයේ පිය හිමියන් ලෙස සැලකිය හැකි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය අභියස දී දෑත් දෙපසට විහිදුවාලමින් මහත් අභිමානයෙනි. එහෙත් පසුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාදාමයට මහත් සේ අකුල් හෙළුවේ ද මෛත්‍රී සහභාගීත්වය දරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. නැත්නම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ අතේ නැටවෙන ට්‍රෝජන් අශ්ව අහිනයි.
මේ සම්බන්ධයෙන් වත්මන් ජනපතිතුමා බොහෝ අවස්ථාවලදි නිහඬතාව පළ කළේය. එහෙත් ඉඳහිට 19 සංශෝධනය මගින් තමා තමාගේම අත්තටු සිඳලාගත් බවට පාරම් බෑවේය. ඇතැම් පාර්ශ්වයන් විසින් 2020 දි යළි ජනාධිපති තරඟයට ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටි අවස්ථා බොහෝමයකදී එතුමා කේන්තියෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා මිස බුරුලක් පෙන්නුවේ නැත.
කෙසේ වූවත් මෙත්‍රීපාල සිරිසේන මහතා 2020 දි තමා දේශපාලනයෙන් විශ්‍රාම නොගන්නා බව පවසයි.
මෙම ප්‍රකාශය අප තේරුම් ගත යුත්තේ එතුමා රාජ්‍ය නායක කමට යළි තරඟ කරන බවයි. නොඑසේව ඔහු ප්‍රාදේශිය සභාවට තරඟ කරනවා විය නොහැක.
එය ඔහුගේ පෞද්ගලික කැමැත්තය. ඒ පිළිබඳව මේ අන්දමින් හෝ කරුණු දැක් වූයේ එතුමා අපේ රාජ්‍ය නායකයා නිසාය. එතුමා කියන දේ නොකරන මෙන්ම ප්‍රායෝගික නොවන යෝජනා ගෙනවිත් අසාර්ථක වී හෑල්ලුවට ලක් වූ අවස්ථා ද බොහෝය. එම ලැයිස්තුව බොහෝ දිග මුත් ඊට එක් උදාහරණයක් පමණක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.
එනම් එතුමා පළාත් පාලන මැතිවරණ අභියස ජනතාවට දුන් පොරොන්දුවකි. එනම් පළාත් පාලන ජන්දයෙන් පසු වහාම දූෂණ විරෝධී පෙරමුණක් හදන බවය. මෙම පොරොන්දුව ආකර්ශනීය එමෙන්ම හිස් පොරොන්දුවකි. විධායක ජනාධිපතිවරයකුට තරම් නොවන ප්‍රකාශයකි. විධායක ජනාධිපතිවරයෙකුට දූෂණ විරෝධී පෙරමුණු අවශ්‍ය නැත. මෙය රටේ සිවිල් ජනතාව සතු කාර්ය භාරයකි. විධායක ජනාධිපතිවරයකුට දූෂණයට එරෙහිව කටයුතු කිරීමට ඕනෑ තරම් බලතල තිබේ. ඒවා හරිහැටි ක්‍රියාත්මක නොකිරීම හා වංගු දමා හිතවතුන් බේරාගත් බවටය එතුමාට එරෙහිව චෝදනා නැගී ඇත්තේ.
දූෂණ විරෝධී පෙරමුණු කෙසේ වෙතත් සිය කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් සිද්ධියට කොටු වීමේ අබග්ගයකට ඔහුට මුහුණ පෑමට සිදුව ඇත.
මේ පුද්ගලයා ජනාධිපතිතුමාගේ හොඳම තෝරා ගැනීම විය යුතුය. රහස් පොලිසිය මොහු පසු පස ලුහු බැඳීමට පටන් ගෙන ඇත්තේ වසර 3 ක සිටය. එනම් යහපාලන ආණ්ඩුව මෙතෙක් ගෙවා ඇති සම්පූර්ණ නිල කාලයය. අමාත්‍යාංශ ලේකම් පදවියක් ද දරා ඇති සැකකරු අත ගසා ඇත්තේ ඔහුට තනිවම කළ හැකි කාරියකට නොවේ. ඉල්ලා ඇතැයි කියන අල්ලස් මුදල කෝටි 56 කි.
නීතිය කාටත් එකසේ සාධාරණ යැයි ආණ්ඩුව ආඩම්බර කතා කීවද රහස් පොලීසිය මොහු හා අනෙක් සගයා කුදලාගෙන යන තුරු දැන ගෙන සිටි බවක් අපට නම් පෙනෙන්නේ නැත. අනික් පුද්ගලයා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කිට්ටු වන්තයෙකු මෙන්ම දිගු කාලීනව එතුමියගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාය. අප මෙ ය සැලකිය යුත්තේ මේ ඔවුන්ගේ ප්‍රථම අල්ලස් ඉල්ලීම කියා ද? තම තමන්ගේ නිල වපසරියට එහායින් වූ කාර්යයන් ඉටු කර දීම පිණිසය අල්ලස් ඉල්ලා ඇත්තේ.
දේශපාලනඥයන් හා රාජ්‍ය සේවකයින් අතර තවත් මෙවැනි පුද්ගලයන් කොපමණ දෙනෙක් සිටිත්ද? නායකයන් විසින් තමන්ගේ අභිමානය පලුදු වන නිසා මෙවැනි අය කීදෙනකු නිතීයේ රැහැනට හසුවු පසු හා එසේ හසු වීමට පෙර මුදවා හැර ඇත්ද?
දූෂිතයන් හඳුනා ගැනීමේ ඉවක් රාජ්‍ය නායකයින්ට නැත් ද? මා පුබ්බර වාර්තාකරුවකුව සිටිය දී දූෂිත පොලිස් නිලධාරීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් එවකට පොලිස්පතිව සිටි ආනා සෙනවිරත්න මහතා මා හට කියා දුන් අයුරු අද මෙන් මතකය. ඔහු එදා මා හට අවධාරණය කර සිටියේ කෙනෙකු ගත කරන ජීවිතය ( වියදම් කරන අයුරු) දෙස වි්මසුම් ඇසින් බැලීමෙන් දූෂිත ද නැද්ද යන්න පිළිබඳ පූර්ව නිගමනයකට එළඹිය හැකි බවයි. වර්තමාන සංකීර්ණ සමාජයේ මෙම ක්‍රමවේදය තරමක් දුරට වෙනස් විය හැක. එහෙත් මූලික කරුණ අදත් එලෙසම පවතී යැයි විශ්වාස කරමි.
මේ මෑතදි සිදු වූ පොල්ගම්පොල සිද්ධිය කෙතරම් ජුගුප්සාජනකද? පොල්ගම්පොළට ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වීමට සිදු වූයේ ද ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා රාශියක් නිසාය. පසුව එම චෝදනාවලට අමතරව තවත් චෝදනා එල්ල විය.
අල්ලස් චෝදනා මත ඉවත් කෙරුණු රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති තනතුරට ඔහුව ම පත් කෙරුණි. මේ නොසැලකිලිමත්කම ද? නැත්නම් හිතාමතාම කළ පැහැර හැරීමක් ද? පිටතින් විශාල විරෝධයක් පැන නොනැගුණේ නම් සමහර විටෙක අනුරුද්ධ පොල්ගම්පොල තවමත් රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිය.
දූෂණයට එරෙහිව අප ඉදිරියේ ඇති ප්‍රහේලිකාවේ හිස් කොටු බොහෝය. ඒවා පිරවීමේදී ඉහළටම ඇඟිල්ල දිගු කිරීමට සිදු වීම වලක්වාලිය නොහැක. එමෙන්ම මේ පාලකයන් විසින් දූෂණ විරෝධී කාර්යාලය වසා දැමූ බවද අමතක කිරීමට බැරිය.
අගමැති රනිල් වික්‍රමසිංහට දූෂිත ගජ මිතුරන් රකින බවට චෝදනා එල්ල වූයේ යහපාලන ආණ්ඩුවේ මුල් කාලයේය. මහ බැංකු සිද්ධියෙන් එම චෝදනා තීව්ර විය.
එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ආණ්ඩුවේ මුල් කාලයේ මෙවැනි චෝදනා එල්ල වූයේ නැත. හංසයා ලකුණෙන් ජනාධිපති පුටුවට තරඟ කර ජය ගත් මෛත්‍රී මුල් කාලයේ හංසයෙකු ම විය.
ඔහු හරි හැටි හඳුනා ගැනීමට හැකි වූයේ ඉගිලෙන විටය. අප අභිමානවත්ව පිළිගත් හංසයා කොකෙකු දැයි දැන් අපට ද සිතේ.