රාවය

විත්තිකරුවන් රහිතව මරණය ශේෂ කළ එන්ජියෝග්‍රෑම් පරීක්ෂාව

විත්තිකරුවන් රහිතව මරණය ශේෂ කළ  එන්ජියෝග්‍රෑම් පරීක්ෂාව

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

කොළඹ ජාතික රෝහලේ හෘදය රෝග ඒකකයේ රෝගීන් සිව් දෙනෙකු එකවර මියගොස් තිබූ බව 2016 වසරේ නොවැම්බර් මාසයේ දී වාර්තා වුවත් ඉන් පසු එම සිදුවීමට හේතු වූ කරුණ පිළිබඳ පැහැදිලි වාර්තාවක් එළියට ආවේ නැත. එසේ මියගිය පුද්ගලයින්ගේ පවුල්වල අය ද වගකිවයුතු ආයතන සහ පුද්ගලයින් වෙත යමින් ද ලිපි ලියමින් ද ඒ සම්බන්ධව දිගින් දිගටම විමසා මේ වනවිට හෙම්බත්ව සිටිති. එලෙස කොළඹ ජාතික රෝහලේ හෘදය රෝග ඒකකයේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයේ දී සිව්දෙනෙකු මියගිය අවස්ථාවේදී ඒ සම්බන්ධව කඩිනමින් විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත කමිටුවක් ද පත් කර තිබුණි. එහෙත් ඉන් අනාවරණය වූයේ කුමක් ද යන්න පිළිබඳ මියගිය අයගේ පවුල්වලට හෝ තොරතුරු අනාවරණයක් සිදුවී නැති බව එම පවුල්වල සාමාජිකයෝ පවසති.
කඩවත පදිංචි සුමේධ අල්විස් මහතාගේ භාර්යාව වන ඬේසි රත්නසේකර මහත්මිය (68) කොළඹ ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයෙන් පසුව මියගොස් තිබුණේ 2016 වසරේ නොවැම්බර් 27 වන දාය. “එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයේ දී හතර දෙනෙක් ඩයි එකක් විසවීම නිසා මිය ගිහින් තිබුණු බව මම දැනගත්තේ ඒ දිනවල මාධ්‍යවල ඒ ගැන ප්‍රචාරය වුණාමයි. පස්සේ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයෙන් විමසුවාම ඒ හේතුවෙන් මිය ගිය සිව්දෙනාට මගේ බිරිඳත් අයත් බව දැනගත්තා. එතැන් සිට මම මේ ගැන සොයනවා. අදාළ ආයතනවලට, අදාළ නිලධාරී හමුවෙන්න යනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය, අගමැති කාර්යාලයට පවා ලිපි ලීවා. පිළිතුරු ලිපි ලැබුණත් තවම කිසිම විසඳුමක් සාධාරණයක් නැහැ. 2016.11.26 රාත්‍රියේ ඇතිවූ හදිසි හෘදය රෝගයක් නිසා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළා. පසුවදා ඇයට එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් රාගම රෝහලේ ඊට පහසුකම් නැති නිසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලෙස රෝහල් බලධාරීන් දැනුම් දුන්නා. ඒ අනුව 27 වැනිදා දහවල් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළු කළා. එදාම එන්ජියෝග්‍රෑම් පරීක්ෂාව කරලා ප්‍රතිඵල ලැබෙන තෙක් සවස 4.30 වගේ වන විට දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා. පසුව ඇය හොඳින් කථාබහ කරමින් හිටියා. ඇයට අවශ්‍ය ආහාරපානත් එම ඒකකයේ කාර්ය මණ්ඩලය දැන්වූ ආකාරයට සපයා දුන්නා. 28වන දාත් ඇය හොඳින් සිටියා. එදා රාත්‍රී 7.15ට පමණ ඇයට අසාධ්‍ය බව කොළඹ ජාතික රෝහල දුරකථනයෙන් දැනුම් දුන්නා. අපි ගියාම රෝහල් කාර්ය මණ්ඩලය කීවා මගේ බිරිඳ මියගියා කියලා.” ඒ සුමේධ අල්විස් මහතාය. ඔහුගේ බිරිඳ වන ඬේසි රත්නසේකරගේ මරණය පිළිබඳව රෝහල් සහතිකයේ හා මරණ සහතිකයේ සඳහන්ව තිබූයේ එම මරණය හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වූ බව ඇගේ අවසන් කටයුතු 2016.11.30 දින සිදුකළ බව ඔහු පවසන්නේය. මෙම මරණ සිදුවූ තිබුණේ ඩයි වර්ගයක් විසවීමේ හේතුවෙන් බව ඔහු දැනගන්නේ මාධ්‍ය හරහා සිදුවූ ප්‍රචාරයන් නිසාය. මේ සම්බන්ධව ඔහු විසින් 2016.12.29 දිනැති ලිපියක් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත යොමු කළ ලිපියට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත 2017.01.06 දිනැති ලිපියකින් දන්වා තිබුණ ද මෙතෙක් තමන්ට මේ සම්බන්ධයෙන් කිසිවක් නෙදැන්වූ බව සුමේධ අල්විස් මහතා පවසයි.
එලෙස කොළඹ ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂාවේදී මියගිය සිව්දෙනාගෙන් බියගම බොල්ලගල පදිංචිව සිටි මහින්ද නවරත්න මහතාගේ බිරිඳ අයේෂා සුදර්ශනී පැවසුවේ මෙවන් කතාවකි. “2016 නොවැම්බර් මාසයේ මේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය සිදුකළාට පස්සේ මගේ මහත්තයා මියගිහින් තිබුණා. මහත්තයා මියගියාට පස්සේ රෝහලෙන් කීවා ගෙනියන්න කියලා. සවස 6ට විතර මියගියේ, රෑ නවය වෙද්දී මල් ශාලාවටත් ගෙනිහින් ඉවරයි. මරණය ගෙදර ගෙනාවාට පස්සේ එක එක අය ඇවිත් කීවා කොළඹ ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂාවේ දී හය දෙනෙක්ට අසාධ්‍ය වෙලා එයින් හතරදෙනෙක් මිය ගිහින් කියලා. අපි දැනගත්තේ එතකොටයි. පස්සේ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ගිහින් මේ ගැන පැමිණිලි කළා. ඒ අය ඒවා විමර්ශනයට දාලා තියෙන්නේ කියලා අපට කීවා. ඒවා ගැන බලලා මොනවාහරි දැනුම්දීමක් කරනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කීවා. ඒ විමර්ශනය භාර වෛද්‍ය නිලධාරිනිය වන ලක්ෂ්මී සෝමතුංග මහත්මිය අපිට හමුවුණේ නැහැ. අනෙක් නිලධාරීන් කීවා ඒ අය විමර්ශනයන්ට දාලා තියෙන්නේ ඒකෙන් පස්සේ දැනුම් දෙන්නම් කියලා. අපි ජනාධිපති ලේකම් කාර්යාලයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට හැම තැනටම කීවා. ඒවායෙන් ලියුම් ආවා. ඒත් තවම මේවාට නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. මට නිතරම අමාත්‍යාංශවලට යන්න පුළුවන්කමක් නැහැ. දරුවෝ හතරදෙනා තවම ඉගෙන ගන්නවා. ඉඳිආප්ප ටිකක් හදලා කඬේට දාලා තමයි දැන් ඒ හැමදේටම වියදම් සොයා ගන්නේ. මෑතකදීත් මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දුරකථනයෙන් විමසුවා. තවම විමර්ශන අවසන් නැහැ කියලා තමයි කියන්නේ.”
මෙම රෝගීන් සිව්දෙනා හදිසියේ මියයෑම සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට එම දිනවල දීම සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශයේ උපදෙස් මත වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ මෙහෙයවීමෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ද පත්කර තිබුණි. එම කමිටු සාමාජිකයින් ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සේවා වෛද්‍ය ලක්ෂ්මී සී. සෝමතුංග, අධ්‍යක්ෂ (රසායනාගාර සේවා) එම්.එම්.කේ.කේ.බී. කමල් ජයසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහණ ද සිල්වා යන මහත්ම මහත්මීහු කටයුතු කළහ. එම කමිටුවේ වාර්තාව පිළිබඳ වෛද්‍ය ලක්ෂ්මී සී. සෝමතුංග මහත්මියගෙන් විමසූ විට ඇය දැක්වූයේ මෙවන් අදහසකි. “එම සිදුවීම දැනගත් විගසම අපි කොළඹ ජාතික රෝහලට ගියා. ඒ ඩයි කාණ්ඩය වහාම නැවැත්වීමට අපි උපදෙස් දුන්නා. මොකද මේ රෝගීන් මියයාම උඩ තට්ටුවේ සහ පහළ තට්ටුවේ යන ස්ථාන දෙකේම සිදුවී තිබුණා. ඒ කියන්නේ ස්ථානයේ වරදක් වෙන්න බැහැ. ඒ වගේම ඒ ස්ථානවල කටයුතු කර තිබුණේත් එකම වෛද්‍යවරයා නෙමෙයි. ඒ නිසා වෛද්‍යවරයාගේ ප්‍රශ්නයක් නිසා මෙය සිදුවුණා වෙන්නත් බැහැ. මේක ඩයි එකේ ප්‍රශ්නයක් නිසා සිදුවූ දෙයක් විය යුතු නිසා අපි එම ඩයි කාණ්ඩය වහාම භාවිතය නැවැත්වීමට උපදෙස් දුන්නා. ඊළඟට ඒ සම්බන්ධව වහාම පරීක්ෂණයක් කිරීමට මහ රෝහලේ අධ්‍යක්ෂට කීවා. ඒ පිළිබඳ ඉන්පසු මම සොයා බැලුවේ නැහැ. මම කළේ ක්ෂණික ක්‍රියාමාර්ගවලට උපදෙස් ලබාදීම පමණයි. එම ඩයි කාණ්ඩය පිළිබඳව මේ රටේ පමණක් නොවෙයි පිටරටත් යවලා පරීක්ෂණ දෙක සසඳන්න කියලා මම උපදෙස් ලබා දුන්නා. ඒ පරීක්ෂණය කරන කණ්ඩායමේ මම හිටියේ නැහැ. එම පරීක්ෂණවල ප්‍රතිඵල මහ රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලැබෙන්න ඇති කියා මම හිතනවා.”
එහි අවසන් පරීක්ෂණයට සිදුවූයේ කුමක් ද යන්න පිළිබඳ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ එම පරීක්ෂණය පිළිබඳ කටයුතු කළේ වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග බවත් ඒ සම්බන්ධව ඇගෙන් විමසන ලෙසත්ය. එමෙන්ම මෙය 2016 වසර අවසානයේ සිදුවූවක් බැවින් ඒ පිළිබඳ තොරතුරු සොයා බැලිය යුතු බවත්ය.
කෙසේ වෙතත් මෙම පරීක්ෂණවල අවසන් ප්‍රතිඵල පිළිබද වෛද්‍ය ලක්ෂ්මී සී. සෝමතුංග මහත්මිය ද ප්‍රකාශ කළේ තමන් ඒ පිළිබඳව නොදන්නා බවකි. කොළඹ ජාතික රෝහලේ හෘදය රෝග අංශය තුළ එන්ජියෝග්‍රෑම් පරීක්ෂාවෙන් පසු රෝගීන් හය දෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත්ව ඉන් සිව්දෙනෙකු මියගොස් වසර දෙකකට ද වැඩි වුවත් තවමත් එම පවුල්වල සාමාජිකයින් සිදුවූ දේ පිළිබඳව හරියාකාරව නොදන්නවා සේම සිදුවූ වරද වෙනුවෙන් එම පවුල්වල සාමාජිකයින්ට කිසිදු සාධාරණයක් ද ඉටුවී නැත. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා ද සිදුවීම වූ අවස්ථාවේ මැදිහත් වුවත් අද එම පවුල්වල සාමාජිකයින් පිළිබඳ සියලුදෙනාටම අමතකව ගොස් ඇත. ඒ අතර ඔවුහු තමන්ට වූ අසාධාරණය පිළිබඳව පැවසිය හැකි සියලු ආයතනවලට යමින් වසර දෙකකට වැඩි කාලයක් කිසිදු පිළිතුරක් නොමැතිව බලා සිටිති.