රාවය

මැලේසියාව හා ලංකාව

මැලේසියාව හා ලංකාව

ජයදේව උයන්ගොඩ

ගිය සතියේ පැවති මැලේසියානු මැතිවරණයෙන්, විපක්ෂ සන්ධානය ජයගැනීම නිසා ලංකාවේ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන අපේක්ෂා තරමක් ඉහළ ගොස් තිබේ. 2018 මැයි මාසයේ මැලේසියාවත්, 2019 අග හෝ 2020 මුලදී ලංකාවත් අතර කිට්ටු දේශපාලන සමාන්තරයක් ඔවුහු දකිති. දූෂිත සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන ලාංකික ඡන්දදායකයන්, මැලේසියාවේ හිටපු අගමැති 92 වියැති මොහමඞ් මහතීර් නැවත බලයට පත් කළ ආකාරයටම, 74 වයසට පත්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද යළි පැමිණ රට බේරාගැනීමට ආරාධනා කරනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෝ සතුටෙන් අනාවැකි පළ කරති.
ලෝකයේ මැතිවරණ ආශ්‍රිතව සිදුවන දේශපාලන වෙනස්වීම්වලට බලයේ නොසිටින විරුද්ධ පක්ෂ මේ ආකාරයට ප්‍රතිචාර දැක්වීම සාමාන්‍ය දෙයකි. ලෝක දේශපාලන ප්‍රවණතා සිදුවන්නේ තමන්ගේ වාසියට යැයි ඔවුහු සාමාන්‍යයෙන් දකිති.
එසේ වුවත් මැලේසියාවේ ගිය සතියේ සිදුවූ දේශපාලන වෙනස සහ ලංකාව සංසන්දනය කරන්නේ නම්, එය වඩාත් කිට්ටුවන්නේ ලංකාවේ 2015 ජනවාරි මාසයේ සිදුවූ දෙයටය. වෙනත් වචනවලින් කිවහොත් 2018 මැයි මාසයේ 9දා සිදුවූයේ, ඊට අවුරුදු තුන හමාරකට පමණ පෙර 2015 ජනවාරි 08දා ලංකාවේ සිදුවූ දේශපාලන සිදුවීම සීමිත ප්‍රමාණයකට නැවත සිදුවීමකි. මහින්ද රාජපක්ෂ මහතා 2020දී ජයගෙන අගමැති වුවහොත්, එය ගිය සතියේ මැලේසියානු සිදුවීමට සමානවන්නේ, එකම එක පටු අර්ථයකිනි. එය නම් කලින් බලයේ සිට, අවුරුදු කිහිපයක් බලයේ නොසිටි නායකයකු, නැවත මහජන ඡන්දයෙන් දිනා, අලුත් ආණ්ඩුවක නායකයා වී ඇත යන අර්ථයෙන් පමණි. එහෙත් එය තවමත් ලංකාවේ සිදුවී නැති දෙයකි.
2015 ජනවාරි ලංකාව සහ 2018 මැයි මැලේසියාව අතර නම් සමානතා කිහිපයක්ම තිබේ. ඉන් පළමුවැන්න නම් අවුරුදු 9ක්ම බලයේ සිටි, අතිශයින්ම මර්දනකාරී, අධිකාරිවාදී සහ දූෂිත පාලකයකු, අලුතෙන්, දුෂ්කරතා මැද පිහිටුවා ගත්, ජයගැනීමට ඒතරම් ඉඩකඩ නොතිබූ අලුත් විපක්ෂ සන්ධානයක් විසින් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් බලයෙන් නෙරපා දැමීමයි. 2009 සිට 2018 දක්වා බලයේ සිටි මැලේසියානු අගමැති නජීබ් රසාක් සහ ඔහුගේ පාලනතන්ත්‍රය, අධිකාරවාදය, බලය අයුතු ලෙස භාවිත කිරීම, දූෂණය සහ උද්ධච්ඡභාවය අතින් සමාන වන්නේ ලංකාවේ මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පාලනතන්ත්‍රයටයි. සිරිසේන – වික්‍රමසිංහ පාලනතන්ත්‍රය අගමැති රසාක්ගේ පාලනතන්ත්‍රයට හෝ මහින්ද රාජපක්ෂ පාලනතන්ත්‍රයට කිසිසේත්ම සමාන නැත. එය තමන්ටම සුවිශේෂ ගතිලක්ෂණ ඇත්තකි. ඒවා අතර ප්‍රධාන වන්නේ (අ) සාතිශය අකාර්යක්ෂමතාව, (ආ) දැඩි අභ්‍යන්තර අසමගිය සහ ආරාවුල්, (ඇ) ආණ්ඩුවේ නායකයන් දෙදෙනා ආණ්ඩුව දෙපැත්තකට ඇදගෙන යෑම (ඈ) තමන්ගේම දේශපාලන විනාශය තමන්ටම අවබෝධයක් නැතිවීම යන මේවාය.
මහතීර් යම්කිසි දුරකට මතුපිටින් හෝ සමානවන්නේ නම් සමාන වන්නේ ලංකාවේ මහින්ද රාජපක්ෂට නොව මෛත්‍රීපාල සිරිසේනටය. සිරිසේන, 2014 ඔක්තෝබර් දක්වා ශ්‍රීලනිප සාමාජිකයකුව සිට, ඉන් ඉවත්ව, අලුතෙන් හැදීගෙන ආ විපක්ෂ සන්ධානයකට එකතු වී, එහි ජනාධිපති අපේක්ෂකයා විය. මහතීර් 2003න් පසු දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටියේය. එහෙත් ඔහු 2016දී නැවත දේශපාලනයට පැමිණියේ, අගමැති නජීබ් රසාක්ගේ පාලනතන්ත්‍රයේ ක්‍රියා ඉවසා දරාගෙන සිටීමට බැරි පසුබිමකය. මහින්ද රාජපක්ෂ පාලනතන්ත්‍රය තරම්ම බලහත්කාරයෙන්ම බලයේ සිටි රසාක්ගේ පාලනතන්ත්‍රයට සාර්ථක ප්‍රජාතාන්ත්‍රික අභියෝගයක් ඉදිරිපත් කිරීමට, දේශපාලන වශයෙන් බෙදී ගොස් සහ දුර්වලව සිටි මැලේසියානු විපක්ෂයට නොහැකි විය. 2015දී පිහිටුවන ලද පකතාන් හරපාන් (Pakatan Harapan) නම් වූ අලුත් දේශපාලන සන්ධානය, මැලේසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම ප්‍රධාන අරමුණ කරගත් තරමක් දුරට වමට බර සහ දක්ෂිණාංශික නොවන දේශපාලන බලවේගවල මූලිකත්වයෙන් ගොඩ නැගුණු එකකි.
ඒකාබද්ධ විපක්ෂය 2018 මැලේසියාව හා 2019/2020 ලංකාව අතර සමාන්තරයක් දකින තවත් කරුණක් නම්, දූෂණය පිළිබඳ කාරණයයි. එය ජී.එල්. පීරිස් මහතා පුවත්පත් සාකච්ඡාවක විශේෂයෙන් අවධානය යොමුකර තිබුණකි. සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව දූෂිත ආණ්ඩුවක් බව නොරහසක් වනවා පමණක් නොව, තම ආණ්ඩුව දූෂිත එකකැයි ජනාධිපතිතුමාද ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරයි. දූෂණයට සම්බන්ධ කරුණෙහිදීද වඩාත් සමානතා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පාලනතන්ත්‍රයත්, හිටපු අගමැති රසාක් සහ ඔහුගේ පාලනතන්ත්‍රයත් අතරය. මලයාසියාවේ ගිය සතියේ අවසන් වූ මැතිවරණ ව්‍යාපාරයේදී, විපක්ෂයේ ප්‍රධානතම දේශපාලන අවියක් වූයේ අගමැති රසාක් සහ ඔහුගේ භාර්යාවද පවුලද සම්බන්ධ අතිවිශාල දුෂණ ක්‍රියා සම්බන්ධවය. රසාක් පවුල සහ රාජපක්ෂ පවුල සම්බන්ධව ඇති දූෂණ චෝදනා තරම් විශාල චෝදනා සිරිසේන – වික්‍රමසිංහ දෙදෙනාට පුද්ගලිකව එල්ල වී නැත. වික්‍රමසිංහට විරුද්ධව තිබෙන ප්‍රධාන චෝදනා එකකි. එය මහ බැංකු කොල්ලයයි. ඔහුගේ භාර්යාව හෝ පවුල ගැන දූෂණ චෝදනා, වික්‍රමසිංහට තදබල විරුද්ධ වෙබ් අඩවිවලවත් පළවී ඇති බවට ආරංචි නැත. ජනාධිපති සිරිසේනගේ දුව හා පුතා ගැන දූෂණ කතා පුවත්පත් සහ වෙබ් අඩවිවල තිබේ. ඒවා තවමත් සුළු පරිමාණ දූෂණ පිළිබඳ වාර්තාය. ඒවා රසාක් සහ රාජපක්ෂ පවුල් පිළිබඳ කතන්දර තරම්ම විශාල හා රසවත් ඒවා නොවේ.
අපේ මේ සාකච්ඡාවෙන් වැදගත් දේශපාලන කරුණක් මතුවේ. එනම් ලංකාව සහ මැලේසියාව අතර මතුපිට සැසඳීම් ජී.එල්. පීරිස් මහතාට එක් ආකාරයකිනුත්, මා වැනි කෙනකුට ඊට හාත්පසින් වෙනස් ආකාරයකින් කළ හැකි වුවත්, එවැනි සැසඳීම්වල ඒ තරම් දේශපාලන හරයක් හෝ වැදගත්කමක් නැත යන්නයි. නියම සැසඳීම කරන්නට හැකිවනු ඇත්තේ, තවත් අවුරුදු දෙකකට පමණ පසුවය. එනම් මැලේසියාවේ නව ආණ්ඩුවත් ලංකාවේ යහපාලන ආණ්ඩුවක්, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම, පුරවැසි නිදහස සහතික කිරීම, දූෂණයෙන් තොර ආණ්ඩු පාලනය පිහිටුවීම යනාදී පොරොන්දු ඉටුකිරීමේදී දක්වා ඇති හෝ නැති කාර්යය සාඵල්‍යය පිළිබඳ සාක්ෂි අප ඉදිරියේ තිබෙන විටය.
තුළනාත්මක අත්දැකීම්වලින් දේශපාලන පාඩම් ඉගෙන ගැනීම, මලයාසියාවේ අලුත් ආණ්ඩුව උනන්දුවක් දක්වන්නේ නම්, ඔවුන්ට ලංකාවේ යහපාලන ආණ්ඩුවේ අවුරුදු තුනක නිෂේධනීය අත්දැකීම් අතිශයින්ම වැදගත් ඒවාය. ප්‍රතිසංස්කරණ හා පරිවර්තනීය මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක කිරීම, පොරොන්දු දෙනවා තරම් පහසු නැත යන්න පළමුවැනි පාඩමය. ආණ්ඩුවක් සාර්ථක ලෙස පවත්වා ගැනීම, විපක්ෂ සන්ධානයක් මැතිවරණ ජයග්‍රහණයක් කරාගෙන යෑම තරම්, එනම් ආණ්ඩුවේ සිටීම විපක්ෂයේ සිටීම තරම්, පහසු නැත යන්න දෙවැන්නයි. තෙවැන්න වන්නේ දූෂණ විරෝධය මැතිවරණ සටන් පාඨයක් බවට පත්කිරීම පහසු වුවත්, ඇත්තටම දූෂණයට ගොදුරු නොවී සිටීම අභියෝගාත්මක අභියෝගයක්ය යන්නයි.