රාවය

සල්ලි නැතත් හරක් ඕනෑකර තිබේ.

සල්ලි නැතත්  හරක් ඕනෑකර තිබේ.

ටිරන් කුමාර බංගගමආරච්චි

හැම ආණ්ඩුවක්ම හරක් වැඩ කරති. රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම යහපාලන ආණ්ඩුවේද හරක් කෙරුවාව ගජරාමේට විය. ඒ අන් කිසිවක් නිසා නොව එය යහමින් මුදල් ගලා එන වැඩපිළිවෙළක් වූ නිසාය. තොණ්ඩමන් අමාත්‍යවරයාව සිටියදී මෙන්ම බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යටතේද මේ හරක් ජාවාරම යස අපූරුවට සිදුවිය.
යහපාලන ආණ්ඩුව ඒ තැනට දැමූ පුද්ගලයා ඉහත අය අබිබවා යන මට්ටමේ විය. ඒ, පී. හැරිසන් ඇමතිවරයාය. නොබෝදා අමාත්‍යවරයාගෙන් සිය අමාත්‍යාංශය ගැළවෙන මොහොතේත් මාධ්‍යවල දැන්වීම් පළවෙන්නේ තවත් කිරි ගවයන් 15,000ක් ආනයනය කරන බවටය. මෙතරම් හරක් මෙරටට ගෙන්වීමේ ආශාව කුමක්ද? ඒ ගැන අප ගිය සතියේ ලියූවෙමු. මේ ඒ ගැන දිගුවකි.
මෙවර එය වඩා තහවුරුවන්නේ විගණකාධිපති තම අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති නිසාය. එය මීට පෙර විගණන විමසුමක් ලෙස ආ කල අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් කොතරම් හේතු දැක්වූවද ඒ කිසිවක් පිළිගත හැකි මට්ටමේ හේතු නොවීය. එවන් පසුබිමක නැවත අහන්නට ලැබෙනුයේ තව තවත් හරක් ගෙන්වන පුවත්ය. මේ හරක් වැඩ නවත්වනුයේ කවදාද? මේ සියලු නාස්තිකාර වැඩ සිද්ධවන්නේ ජනතා මුදල් සමගය. එය ජනතාවට ඵල ප්‍රයෝජනයක් නැති හිස්වැඩවලට මෙතරම් මුදල් නාස්තිකරනුයේ කිහිපදෙනකුගේ යටිමඩි ගසා ගැනීම් වෙනුවෙනි.
මෙම ව්‍යාපෘතිය අසාර්ථක බැවින් මෙවර භාණ්ඩාගාරයෙන් කිරි හරක් මිලදී ගැනීමට කිසිදු මුදලක් වෙන් කොට නැත. එවන් තත්ත්වයකදී පවා නැවත කිරි හරක් ගෙන්වීමේ ගිවිසුම් අටවාගෙන අමාත්‍යවරයා අමාත්‍යාංශයෙන් නික්මෙන්නට පෙර සියලු ගිවිසුම් අහවර කරනුයේ කෙසේද? මේ හදිසිය කුමක්ද? ගිවිසුම් එළැඹීමෙන් පසු මුදල් වෙන් කරන්නැයි ඉල්ලීම් කරනුයේ කෙසේද? මේ දිනවල මහා භාණ්ඩාගාරයෙන් එම මුදල් ඉල්ලා කරන ඉල්ලීම්ද එමට බව වාර්තා වේ. රටේ මහජන මුදල් මෙවැනි නාස්තිකාර ක්‍රියාවලට වෙන්කරනවාද යන්න නැවත සිතිය යුතුය.
රාජපක්ෂ ආණ්ඩුව කළ සියලු නරක වැඩ ඊට වඩා සාර්ථකව යහපාලන ආණ්ඩුව කරන්නේ නම් එහි ඇති ප්‍රතිඵලය කුමක්ද? මේ නම් කිසිසේත්ම විය නොහැක්කකි. තවදුරටත් වැඩකට නැති කිරි ගවයන් ගෙන එනවාද? ඒ වෙනුවෙන් විශාල ධන නාස්තියක් කරනවාද යන්න සිතිය යුතුය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙවැනි වැඩ නතර කළ යුතුය. යහපාලන ආණ්ඩුව ප්‍රමාද වී හෝ මෙවැනි අවැඩ කිරීමෙන් වැළකිය යුතුය. එකම මෝඩකම නැවත නැවත නොකළ යුතුය.
මේ දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විගණකාධිපතිගේ අවසන් වාර්තාවේ නිගමන පහත පරිදිය. නැවත කිරි ගවයන් ගෙන්වනවාද? ඊට මුදල් වෙන් කරනවාද යන්න සිතන්නට පෙර එම නිගමන වෙත ඇස යොමු කිරීම වටී. මේ එම නිගමනය මේ සම්බන්ධයෙන් විමසීමට අපි පී. හැරිසන් අමාත්‍යවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළමුත් තමා කාර්ය බහුලව සිටින නිසා කතා කළ නොහැකි බව පැවසීය.
නිගමන
විධිමත්ව පිළියෙළ කර ඇති ජාතික වැඩපිළිවෙළට අනුගත නොවී පසුගිය වර්ෂ 7ක පමණ කාලය තුළ එනම් 2017 දෙසැම්බර් 31 දිනට කිරි ගව ආනයනය සඳහා ඇමරිකන් ඩොලර් 43,023,648ක් එනම් ආසන්න ලෙස රුපියල් බිලියන 7.9ක මුදලක් වැයකර ක්‍රියාත්මක කර ඇති මෙම ව්‍යාපෘතියෙන් නිසි ප්‍රතිඵල ලබාගත නොහැකිවීමට සහ ආර්ථිකමය අලාභයක් සිදුවන පරිදි ව්‍යාපෘතිය මෙහෙයවීම පිළිබඳව අදාළ බලධාරීන් වගකිවයුතු බව නිගමනය කරමි.
නිසි වෘත්තීමයභාවයකින් තොරව නිවැරදි නොවන හා අසම්පූර්ණව සක්‍යතා වාර්තා පිළියෙළ කිරීම පිළිබඳව එම අදාළ වාර්තා පිළියෙළ කළ පාර්ශ්වයන් විසින් වගකිවයුතු බව හා පළමු අදියර යටතේ කිරි ගවයන් ආනයනය කිරීම ඵලදායී නොවන බව අනාවරණය වී තිබියදී විධිමත්ව අවශ්‍ය ගැළපීම් සිදු නොකර දෙවන අදියර ක්‍රියාත්මක කිරීමද, එම දෙවන අදියරද ඵලදායී නොවන බව අනාවරණය වී තිබියදී එලෙසම එහි තෙවන අදියරද ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඒ සඳහා වූ තීරණ ගත් නිලධාරීන් වගකිවයුතු බව නිගමනය කරමි.
මෙම ව්‍යාපෘතිය සඳහා ලබාගන්නා වූ ණය මුදල් ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව නිසා ඇගැයීමකින් තොරව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නිසා මහා භාණ්ඩාගාරයට අමතර වැය බරක් දැරීමට සිදුවීම පිළිබඳව එම අදාළ තීරණ ගත් නිලධාරීන් විසින් වගකිවයුතු බව නිගමනය කරමි.
දේශීය කිරි ගවයින්ගේ ආරය ස්වභාවික හා කෘත්‍රිම සිංචනය මගින් උසස් කිරීමට හා ශ්‍රී ලංකාවේ දේශගුණයට වඩාත් ගැළපෙන උසස් ආරයේ කලාපීය කිරි ගවයන් ආනයනය කිරීමට ප්‍රමුඛතාව ලබා නොදී සෞම්‍ය කලාපීය කිරි ගවයන් ආනයනය කිරීම හේතුවෙන් සිදුවන අවාසිදායක තත්ත්වයන් පිළිබඳව අදාළ ඇගැයීම් හා තීරණ සඳහා දායක වූ නිලධාරීන් වගකිවයුතු බව නිගමනය කරමි.
කිරි ගවයන් ආනයනය කොට කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කර තිබූ නමුත් කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට කටයුතු නොකිරීම හා කිරි ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමට නොහැකිවීම පිළිබඳව සහ අදාළ ආයතනය අකාර්යක්ෂමව මෙහෙයවීම පිළිබඳව අමාත්‍යාංශය වගකිව යුතු බව නිගමනය කරමි.
ආනයනික කිරි ගවයන් මරණයට පත්වීම හේතුවෙන් රජයට සිදුවූ රු. 57,720,809 අලාභය ප්‍රතිපූර්ණය කරගත හැකි පරිදි රක්ෂණාවරණ ලබා නොගැනීම පිළිබඳ එම අදාළ නිලධාරීන් වගකිවයුතු බව නිගමනය කරමි.
නිරෝධායන වාර්තා මගින් ආනයනික සතුන්ගෙන් රටට වන හානිය පෙන්වා තිබියදීත් ඉතිරි සතුන් 15000ක් ආනයනයෙන් රටට විය හැකි හානිය සම්බන්ධයෙන් එම වාර්තා පිළිබඳ අවධානය යොමු නොකොට කටයුතු කරනු ලබන නිලධාරීන් විය හැකි හානි සම්බන්ධව වගකිවයුතු බව නිගමනය