ඩයස්පෝරාවටයි අපිටයි දැන් හරි මහන්සියි, මාධ්‍යවේදී – එන්. සරවනන්

විමලනාත් වීරරත්න
ඡායා : රවීන්ද්‍ර පුෂ්පකුමාර

එන්. සරවනන් දෙමළ සමාජය මෙන්ම සිංහල සමාජයත් හොඳින් හඳුනන ජනමාධ්‍යවේදියෙකි. සරිනිහර් පුවත්පතෙහි කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ හෙතෙම හිරු පුවත්පතටද සම්බන්ධව සිටියේය. වර්තමානයේදී ඔහු වීරකේසරී සහ තිනකුරල් යන පුවත්පත්වල තීරු රචකයෙකි. දේශපාලන අන්තවාදයට නොගිය නිසාම අවිනිශ්චිත දිවි සැරියක අතරමගදී ඔහුට විප්‍රවාසියකු වන්නට සිදුවූයේය. වැදගත්ම දේ වන්නේ සිංහල සමාජයේ දළ පිටපත ඔහුට දෙමළ සමාජයට නොවෙනස්ව කියන්නට පරිසමාප්ත හැකියාවක් තිබීමය. මේ, පසුගිය දවසක සරා හමුවූ විට අප’තර ඇතිවූ පිළිසඳරකි.

සරා විප්‍රවාසියක් වෙන්නේ මොකද?

මම ජනමාධ්‍යවේදියෙක් හැරුණු විට යම් යම් දේශපාලන කටයුතුවල නිරතවුණු කෙනෙක්. දෙමළ ජනයාගේ ප්‍රශ්න විසඳන්න එල්ටීටීඊය ගිය මාර්ගයෙන් පුළුවන් කියලා මම හිතුවේ නැහැ. විකල්ප වාමාංශික දේශපාලන මතිමතාන්තර එක්කයි මම වැඩ කරමින් හිටියේ. අපි ආණ්ඩුව පැත්තෙත් නැහැ. එල්ටීටීඊය පැත්තෙත් නැහැ. එතකොට මහ බරපතළ අනතුරක් දැනෙන්න ගත්තට පස්සේ තමයි මම 2000දී නෝර්වේවල දේශපාලන රැකවරණ පැතුවේ.

මව්බිම කියන අදහස තුළ මිනිහකුගේ රැකවරණය මෙන්ම සෙනෙහස ගැබ්වී තිබෙනවා. එකවරම ඒක අහිමි වුණාම මොකද හිතුණේ?

සමාජය වෙනුවෙන් යමක් කරන්න බැරිනම් මම ජීවත්වෙන්නේ නැහැ. එක්කෝ මාව කවුරුහරි මරන්න ඕනෑ, නැත්නම් මම මැරෙන්න ඕනෑ කියන මතයේයි මම හිටියේ. ලංකාවේදී මම වැඩ කරපු මූමන්ට් එකට එන තරුණ අයට මම ඒ විදියට කියලා තියනවා. මම සරිනිහර් පත්තරෙත් ෆුල්ටයිම් වැඩ කළා. පාටි එකෙත් එහෙමයි. පක්ෂයේ අය මම පත්තරෙන් දේශපාලනය කරන එකත් තරමක් දුරට හරි බලාපොරොත්තු වුණා. මම පත්තරෙන් හම්බවෙන වැටුප කෙළින්ම ගෙදරට දුන්නා. රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබුණු පරිවර්තන වැඩවලින් ලැබිච්ච මුදල් තමයි දේශපාලන වැඩවලට වියදම් කළේ. මම ටියුෂනුත් කළා. එහෙම සෑහෙන්න ක්‍රියාකාරීව ඉඳලා නෝර්වේ ගියාම මම ලොකු මානසික ආතතියකට ලක්වුණා. ඇයි ඉතිං කරන්න ලොකු වැඩක් නැහැනේ.

ලංකාවේ වැඩ කරපු පක්ෂය එක්ක තිබුණු සබඳතා ඉවර වුණාද?

මම ඒ පක්ෂයේ පත්තරේ එහේ ඉඳන් කෙරුවා. ඒකෙ පළවුණේ දේශපාලනය ගැන ටිකක් න්‍යායික කරුණු. මම සාහිත්‍යයට නැඹුරු නිසා දෙමළෙන් පළවෙන සඟරාවකුත් පටන් ගන්න මගපාදා ගත්තා. නෝර්වේවල මං යනකොටත් ශ්‍රී ලාංකික දෙමළ 15,000ක් විතර හිටියා. ඔස්ලෝවලම හත්අටදාහක් ඉන්නවා. ඊළඟට මං ඒ රටේ ලෙෆ්ට් කියන නමින්ම තියන වාමාංශික පක්ෂයකට සම්බන්ධ වුණා. හිනා යන වැඬේ කියන්නේ නමින් ලෙෆ්ට් වුණාට ඒ පක්ෂය අන්ත දක්ෂිණාංශිකයි.

ඔබේ සමාජ පසුබිම හා ලිවීම අතර කවර සම්බන්ධයක්ද තිබුණේ?

මම ලෝ කාස්ට් එකෙන් ආපු මිනිහෙක්. මම කුලය ගැන සරිනිහර් පත්තරේට තීරු ලිපියක් ලිව්වා. මම හුඟාක් දුක් විඳපු මිනිහෙක් හැටියට මගේ අත්දැකීම් හා ආකල්ප තමයි ඊට අඩංගු කළේ. ඉන්දියාවේ දලිත් ප්‍රජාවේ අඩුම කුල තුන තමයි පරයර්, නලවර් සහ සක්කිලි කියන්නේ.
මම දලිත් කියන වචනය මේ තීරු ලිපියට පාවිච්චි කළා. ඇත්තටම දෙමළ සමාජය කවුරුත් කුලය ගැන එළිපිට කතා නොකරපු කාලයක් ඒක.
දෙමළ සමාජයේ ඉහළම උගතකු වූ මහාචාර්ය සිවතම්බි වරක් මට කිව්වා දළිත් කියන වචනය ලංකාවේදී පාවිච්චි කිරීම සුදුසු නැහැ කියලා. සමහරවිට දලිත් කියන වදන ලංකාවේ පාවිච්චි නොකැරෙන නිසා වෙන්න ඇති. ඉන්දියාවේ දලිත් ප්‍රජාවට කුල තුනක් අයත් වුණාට ලංකාවේ ඒ ආශ්‍රිත පීඩිත කුල පහක් තිබෙනවා. ඒත් පසුව කොලම් එක දිගටම බලලා ඔහු මාව තවත් දිරිමත් කළා. ඒක ලියන්න. නෝර්වේ ගියාට පස්සේ එහේ අයත් කුලය පිළිබඳ කැරුණු සාකච්ඡාවලදී විශේෂඥයෙක් හැටියට මාව සහභාගි කරවා ගත්තා. විශේෂයෙන්ම යාපනය සමාජයේ කුල සාධකය ගැන මම දුටු දේවල් එම සාකච්ඡාවලදී කිව්වා.

දෙමළ ඩයස්පෝරාව සරාව පිළිගත්තේ කොහොමද?

මම නෝර්වේ ගිහිල්ලත් දෙමළ ජන අයිතීන් ගැන කතා කළාට, ලිව්වට ඩයස්පෝරාවට එකතු නොවී ඒක කෙරුවේ. ඔහොම ටික දවසක් යද්දී ඔවුන් හිතුවා මම ආණ්ඩුවේ ඔත්තුකාරයෙක් කියලා. එම්බසි එකේ වැඩකට ගියොත් ඔවුන් හිතුවා මම එල්ටීටීඊ ඔත්තුකාරයෙක් කියලා. අන්තිම භයානක තත්ත්වයකට මම මුහුණ දුන්නේ. එකතැනක ෆන්ක්ෂන් එකකදි ඩයස්පෝරාවේ කෙනෙක් මට කොඤැක් වීදුරුවකින් ගැහුවා මැහුම් අටක් දාන්න. තුවාල වුණේ ඇහැ ළඟ. එතනදි වුණේ ඇත්තටම එක්කෙනෙක් සිංහල සිංදුවක් කියන්න ගියාම දෙමළ පිරිසක් විරුද්ධවීමයි. මම කිව්වා සිංහල ජාතිවාදයයි කලාවයි පටලවා ගන්න එපා. එතකොටයි ඔය ප්‍රශ්නෙ එන්නේ කියලා. එතකොටම තමයි ගැහුවේ.

මව්බිම නැත්නම් මරණය කියන සිංහල දෙමළ දෙපාර්ශ්වයටම අදාළ වෙච්ච සටන් පාඨය ගැන මොකද හිතන්නේ?

ජේවීපී එක මේක ගත්තේ සමාජවාදය හා ජාතිකවාදය පැත්තෙන්. එල්ටීටීඊ එක ගත්තේ තනිකරම ජාතිකවාදය පැත්තෙන්. මම ගත්තේ අසමානතාව සමනය නොකර, ඒ වෙනුවෙන් වැඩ නොකර මම ඉඳලා වැඩක් නැහැ කියන අර්ථයෙන්. සමාජවාදය ආවම සියලු ප්‍රශ්න විසඳෙනවයි කියන තැන මම නැහැ. ජාතිවාදයෙන් සියලු ප්‍රශ්න විසඳෙන්නෙත් නැහැ. සමාජවාදය හෝ ඊලම කවදා ගොඩනැගුණත් පන්ති, කුලභේද, කාන්තා, ප්‍රදේශවාදය ආදී ප්‍රශ්න අපි හැකි ඉක්මනින් විසඳා ගතයුතු ප්‍රශ්න කියායි මම හිතන්නේ. ඔය පාර්ශ්ව දෙකේම මව්බිම නැත්නම් මරණය කියන සාටන් පාඨය ඒගොල්ලන්ගේ පැත්තට විතරක් ඇර ගත්තු කවුළුවක්. ඒ කවුරුත් කරලා තියෙන්නේ සටන් පාඨයෙන් ප්‍රශ්න වසා තබන එකයි.

දැන් උතුරේ අරගලය ඉවරද?

නැවතත් තමිල් ඊලාම් ජාතියේ අරගලයක් ගැන කාටවත් විශ්වාසයක් නැහැ. එහෙම දේකට අවස්ථාවක් නැහැ කියලත් කවුරුත් හිතනවා. හැබැයි යුද්ධය අවසන් වුණු මුල් කාලේ කවුරුත් හිටියේ ලොකු මානසික අවුලක. ඒ කවුරුත් හිතුවේ නායකයෝ මියගියේ නැහැ, නැවත ඇවිත් ෆයිට් කරයි කියලයි. ඇත්තටම එල්ටීටීඊ එක දෙමළ සාහිත්‍ය කලාවේ පවා ඒකාධිකාරයක් හදලයි තිබුණේ. ඔවුන්ගෙන් තොරව සාහිත්‍ය උත්සවයක් ගැනවත් හිතන්න දෙමළ ජනතාවට වෙන දොරක් ඇරලා තිබුණේ නැහැ. හැබැයි පසුව දෙමළ ජනතාව යථාර්ථයට මුහුණ දුන්නා. ඩයස්පෝරාවටත් මහන්සි දැනෙන්න ගත්තා. ඔවුන්ගේ දරුවෝ ඒ රටවල්වලම ලොකු මහත් වුණා. දැන් ඒගොල්ලො ඒ ජීවිතේට අදාළ වෙනම සතුටකට සෙට්වෙලා ඉවරයි. කොහොම වුණත් දෙමළ සමාජය විග්නේශ්වරන්ට යම් ප්‍රතිචාරයක් දක්වනවා. ඒ ඔහු නායකයකු ලෙස ඊලම වගේ දේවල් ගැ කතා නොකර දෙමළ ජන අයිතීන් ගැන කතා කරන නිසා.

යුද්දෙ ඉවර වුණාට ප්‍රශ්නෙ ඉවර වුණේ නැහැ. එහෙමනම් දෙමළ අරගලය ඉවර වෙන්න විදියකුත් නැහැ නේද?

මෙහෙමනේ එල්ටීටීඊ එක නැතිවුණාට පස්සේ දෙමළ අයගේ පැත්තෙන් කේවල් කිරීමේ බලය නැතිවුණා. මොකුත් ඩිමාන්ඞ් කරන්න ඔවුන්ට බැහැ. දැන් දෙමළ අය හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ ගිහින් තමයි මොනවාහරි කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දෙමළ ජනතාවට චාන්ස් එකක් ලැබෙනවා නම් ලැබෙන්නේ ජිනීවාවලින් විතරයි කියලා. ඔවුන් දැන් හිතනවා. ජිනීවා ප්‍රෙෂර් එක නිසානේ අතුරුදන්වූවන්ගේ කාර්යාලයට හරි ආණ්ඩුව අත්සන් කරන්නේ.

සම්බන්දන් ගැන දෙමළ සමාජයට තිබෙන ආකල්පය මොකක්ද?

කිසිම නායකයෙක් ගැන කිසිම විශ්වාසයක් නැහැ. සම්බන්දන් විපක්ෂ නායක විදියට ඒ රෝල් එක කරන්නෙත් නැහැ, දෙමළ සමාජයට මොකුත් කරන්නෙත් නැහැ. විපක්ෂ නායක කෙනෙක් කොහොමද ආණ්ඩුවෙ යාළුවෙක් විදියට ඉන්නේ කියලා දැන් ලාංකික ජනතාව අහන්න ඕනෑ. දෙමළ නායකයො දෙමළ පත්තරවලට කියන ඒවයි, සිංහල පත්තරවලට කියන ඒවයි සසඳා බැලුවම මේ රට කොහේ යනවද කියලා හිතාගන්න බැරිවෙනවා.

යුද්ධයෙන් පසු බිහිවන පරපුරේ පරමාදර්ශය මොකක්ද?

පිටරට යන එක. හැබැයි දැන් ඒ දොර වැසීයමින් තිබෙන්නේ. ඇයි දැන් යන්න හේතුවක් නැහැනේ. සමහරු මැරේජ් එක හරහා යන්න උත්සාහ දරනවා. ඒත් එහේ ඉපදිච්ච අය දැන් උතුරේ ඉන්න දෙමළ අය බඳින්න හිතන්නේ නැහැ. ඒගොල්ලෝ අතරෙම විවාහ සිද්ධ වෙනවා.
ඊළඟට පසුගිය කාලේ උතුරේ ඉන්න නෑයන්ට ඩයස්පෝරාවෙ අය සල්ලි එව්වා. යුද්දෙන් පසු කාලෙදි එහෙම නිකම්ම සල්ලි ලැබෙන කොට ඒවායින් සොමි කරන සමාජයකුත් උතුරේ නිර්මාණය වුණා. උතුරේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමත් ව්‍යාප්ත වුණා. ආණ්ඩු මේකට අනුබල දෙනවා කියලා දෙමළ ඇතැමුන් අතර අදහසක් තිබෙනවා. ඇත්තටම ආණ්ඩුව වර්තමාන උතුර දෙස වගකීමෙන් ක්‍රියා කරන බවකුත් පේන්න නැහැ. දැන් බලනකොට සටන් කළ කාලෙත් තරුණයො විනාශ වුණා. දැන් නිදහස්වීම ඇතුළෙත් වෙන්නෙ ඒකමයි. ඉස්සර සාමාන්‍ය පෙළ, උසස් පෙළ හොඳම ප්‍රතිඵල යාපනයේ. දැන් අධ්‍යාපනයත් හොඳටම පිරිහිලා.

දැන් දෙමළ සමාජය දකුණෙන් විසඳුමක් ඉල්ලනවද?

සිංහල සමාජය සේ ම දෙමළ සමාජයත් 2015දී මහින්ද පරාජය කළ යුතු බව සිතුවා. හැබැයි මේ දෙදෙනා ගැන ලොකු විශ්වාසයක් ඇතුව නෙවෙයි ඒ. රනිල් වික්‍රමසිංහ ගැන ප්‍රභාකරන් කිව්වෙ නරියෙක් වගේ කපටියි කියලයි. ඒ මතය දෙමළ සමාජය තුළ තිබෙනවා. මෛත්‍රී ගැන තවම දෙමළ සමාජයට තරහකුත් නැහැ, හැබැයි ලොකු විශ්වාසයකුත් නැහැ. මම 2017 වසරේදී පොතක් ලියන්න පටන් ගත්තා, ’99 years betrayl’කියලා. පොත ඇරඹෙන්නේ 1918න්. මේ වසරේ ඒක අවසන් කරනකොට මම කියන්න හදන විශ්වාසය ඝාතනයට වසර සියයයි. රනිල් මෛත්‍රී එකතුවෙන් වුවමනාව තිබුණා නම් ජාතික ප්‍රශ්නයට විසඳුමක් ගේන්න පුළුවන්. පක්ෂ දෙකම එකතු වෙලා හිටියා. තුනෙන් දෙකක් තිබුණා. ඉතිං මේ කාලේ ඒක කරන්න බැරිනම් මොන කාලෙද පුළුවන්.

ඔබ දකින හැටියට සිංහල සමාජය කොහෙද යන්නේ?

මම හිරු පුවත්පතට සම්බන්ධ වෙලා ඉන්න කාලේ හැමදාම උදේ හවස යන්නේ කොටහේන නුගේගොඩ අතරනේ. ඒ යනකම් එනකම් අවධානයෙන් මං දිහා බලන ඇස්වලින් ගැලවිලා බස්එකේ යන්නේ කොහොමද කියලයි මං හිතුවේ. කොටහේන මහරගම බස් යන්නෙ හරි හෙමින්. හෙමින් යන පැය එකහමාර ඇතුළෙ නිකම් යන එකේ පොතක් කියවන්න මම හරි කැමතියි. ඒත් දෙමළ පොතක් බස් එකේදි පෙරළ ගත්තොත් මිනිස්සු මා දිහා බලන්නේ කොටියෙක් කියන අර්ථයෙන්. කොන්දොස්තර එක්කවත් අනවශ්‍ය කතාවකට නොයන්න මම හරියටම මාරු කාසි අරගෙනයි බස්එකට නගින්නේ. සිංහල මිනිස්සු අතර එහෙම බියකින් මම ජීවත් වුණේ. ඒ තත්ත්වයම නේද අද වනවිට ලංකාව සිංහල බෞද්ධ ජාතිවාදය ඔඩු දුවා ගිය රටක් බවට පත්කරලා තියෙන්නේ. අධ්‍යාපනය, අධිකරණය ආදී සෑම වැදගත් දෙයක්ම ව්‍යුහාත්මකව සිංහල බෞද්ධ සංදර්භයක පවතින්නේ. අනෙකා පෙළන විදියට ඒක ක්‍රියාත්මකවීමයි නරක. සිංහල සමාජයත්, දෙමළ සමාජයත් රටේ ඉතිහාසය ඉගෙන ගන්නේ දෙවිදියකට. ඉතිහාස විෂය එහෙම වෙන්න බැහැනේ. දුටුගැමුණු රජතුමාගෙ නම් අලියගෙ ඉඳලා හැම පුංචි සතාම දිනන්න ඕනෑ. එළාරගේ ඉඳලා සේරම සතුරෝ. ඔවුන් පරදින්න ඕනෑ. සිංහල බෞද්ධකරණය අන්‍ය ජාතීන් වට්ටන එකක් බවට පත්ව තිබෙනවා. ඒක වැරදියි. එතකොට කොහොමද අප ලාංකීය ජාතියක් හැටියට ඉස්සරහට යන්නේ.

ප්‍රභාකරන්ට දෙමළ සමාජය නතුව තිබුණු නිසා ඔහු ඊලම දිනුවා නම් ලංකාව අතහැරලා ඊලමට දියුණු වෙන්න හැකියාවක් තිබුණද?

නැහැනේ. ප්‍රභාකරන් කොච්චර බලවත් වුණත් ඔහුටත් දෙමළ සමාජය ඇතුළෙ ජයගන්න බැරි ප්‍රශ්නයක් තිබුණා. ප්‍රභාකරන් අපිට නිදහස අරන් දෙන්න ඕනෑ. ඒත් නායකකම ඔහුට දෙන්න බැහැ කියලා දෙමළ ප්‍රභූ පන්තිය තුළ මුල් බැසගත් ආකල්පයක් තිබුණා. ආයුධ බලයෙන් ආකල්ප මරන්න බැරි නිසා මේ තත්ත්වය ඔහුට අනිවාර්යය බාධකයක් වෙනවා. රටක් දියුණු කරන්න නම් මේ එකක්වත් නෙවෙයි, දැනුම මූලික පදනම බවට පත්වෙන්න ඕන. නූතනත්වය පිළිබඳ ආකල්පවලින් සමාජය පරිපූර්ණ වෙන්න ඕනෑ. අපි නවීන මිනිසුන් බවට පත්වෙන්න ඕන. ගෝත්‍රික ස්වභාවයේ ප්‍රශ්නවල වලිග කපා දමපු දවසට අපි සමාජයක් ලෙස ඉස්සරහට යයි.