සිතිවිලි කැටිය පුපුරන තැනක් තිබෙනවා – ලක්ශාන්ත අතුකෝරල

දිනී ජයසේකර

කවියෙක් කවියක් රචනා කරනව කියන්නේ තම පාඨකයන්ට හිතන්න යමක් ඉතුරු කරනව කියන එකද? සහ කොහොමද පාඨකයන්ගේ රසය උද්දීපනය කරවන්නේ කවි රචනයේදී?

කවිය ගැන විවිධ අයට විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒක ඒ ඒ කෙනාගේ අයිතිය සහ නිදහස. “කවිය කියන්නේ රසවත් යමක්” කියන තැන අපට නවතින්නත් පුළුවන්. කෙනෙක් කවිය සටන් කරන අවියක් විදියට ගන්නත් පුළුවන්. ඒ නිසා මෙතැනදි අනෙක් මතවලට ගරු කරන අතර, කවිය ගැන මට දැනෙන විදිය කියන්න උත්සාහ කරන්නම්.
ඔහේ හිතට එන හැඟීම්, තමන්ට ඒ මොහොතේ දැනෙන ආවේගයන්, තමන්ට පෞද්ගලිකව තිබෙන ප්‍රශ්න, විරෝධතා, තමන් අවට ඉන්න අයගේ විශේෂතා ගැන ස්වයං නිර්මිත රැඩිකල් ප්‍රතිරූප ඉස්මතු කරමින්, මතුපිටින් ලියන දේවල් ‘හොඳ කවි’ වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒවායේ භාෂාව, උපමා-රූපක තියෙන්න පුළුවන්. ලියල තියෙන විදිය ලස්සන වෙන්න පුළුවන්. ඒත් මං හිතන විදියට, කවියක තිබිය යුතු ප්‍රධානතම ලක්ෂණයක් එහිදී ගිලිහෙනවා. ඒක තමයි කවියේ අත්දැකීම සහ ප්‍රකාශනය ‘පොදු වූ භාව කලාපයක පිහිටුවීම.’ කෙටියෙන් කිව්වොත් කවියක් විඳින්න ඒ කවියේ එන අත්දැකීම අපේ ජීවිතයේ තිබිය යුතු නැහැ. එසේ නොතිබීම තමයි වඩාත් හොඳ කියා මා හිතනවා. ඈතින් ඉඳගෙන ඒ කවියේ භාවයන් ආරෝපණය කරගෙන එය කියවීම ගැඹුරු වින්දනයක් ගෙන දෙනවා. එසේ වන්නේ එය ජීවිතය, සමාජය හෝ මානව හැඟීම් පිළිබඳ පොදු අඩවියක් නිර්මාණය කරනවා නම් පමණයි.
හොඳ කවියක තල කිහිපයක් තිබෙනවා. සෞන්දර්යාත්මක ලක්ෂණ, අපූර්ව ප්‍රකාශන විධිය, භාෂා උපක්‍රම ආදිය ඇතුළත් වෙන මතුපිට සන්නිවේදන තලය තමයි ‘කවියේ මුහුණ.’ එය තමයි පාඨකයා සමග සිනාවෙන්නේ; ඔහුව මුලින්ම ආකර්ෂණය කරගන්නේ. එය පමණක් සෑහෙන්නේ නෑ. එය තුළ තිබෙන ‘හදවත’ සහ ‘මනස’ අපට ක්‍රමයෙන් හඳුනාගන්න පුළුවන් විය යුතුයි. හදවත ප්‍රබල වූ කවියකට පුළුවන් අපිව කම්පනය කරන්න. එවැනි කවියක අවසානයේ හෝ යම් තැනක ඇස්වලට තෙතක් දැනෙන-පපුවේ හුස්ම පිරුණු ගැස්මක් ඇති කරන ස්ථානයක් තියෙනවා. එහෙමත් නැත්නම් යම් බුද්ධිමය හෝ දාර්ශනික කවි චින්තාවකට පුළුවන්, අපේ සිතුවිලි-ආකල්ප ගුහාව තුළට එකපාරට ෆ්ලෑෂ් ලයිට් එකක් එල්ල කරනව වගේ, එකවරම යම් වැටහීමක් ඇති කරන්න. ඒ තමයි කවියක තිබෙන්න පුළුවන් ‘මනස.’ මට හිතෙනවා, මෙන්න මේ හෘදය කම්පනය හෝ ආලෝක මනස ඇති කරන ක්ෂණයට තමයි අපි කියන්නේ කවියේ ‘මොහොත’ කියල. එය තමයි සිතිවිලි කැටිය පුපුරන ස්ථානය. කවියක යටි තලයේ අදහසක් තියෙනවා. වචනවලින් නොකියවෙන, වචන අතර දිවෙන හැඟුම් වැලක් තියෙනවා. එය දේශපාලන සාමාජීය යථාර්ථයක් විය හැකියි. චමත්කාරජනක වක්‍රාර්ථයක් විය හැකියි. නැත්නම් ජීවිතය පිළිබඳ ප්‍රබල ප්‍රකාශනයක් විය හැකියි.

ඔබ කවි රචනයේදි මුල්තැන දෙන්නේ පාඨකයා කවිය වැළඳගන්නා ආකාරය ගැනද? නැතිනම් ඔබ කවිය වැළඳ ගන්නා ආකාරයටද?

මං උත්සාහ කරන්නේ මගේ කවිය ලියන්නයි. පාඨකයන්ට පුළුවන් අවශ්‍ය නම් එය ඔවුන්ගේ කරගන්න.

සමහර කවියෝ එක ආකෘතියකට කොටුවෙලා ලියනවා. ඔබ ඒ සම්බන්ධව මොකද හිතන්නේ?

ඒ ගැන මට විවේචනයක් නෑ. විවිධ කවියන්ගේ ප්‍රවේශයන් වෙනස්. ඕනෑම කෙනකුට ඒ නිදහස තිබිය යුතුයි. ඇත්තටම ආකෘතිය නොවෙයි ඒක එකිනෙකාගේ නිර්මාණ වපසරිය වෙන්න පුළුවන්. කොහොම වුණත් සමහර නිර්මාණකරුවන් කවියේ ප්‍රවණතාවන් නොතකා තමන්ගේ මතවාදවල තරයේ එල්බගෙන ඉන්න අයුරු අපිට දකින්න පුළුවන්. ක්‍රමවත් අධ්‍යයනයන් ඔස්සේ යම් කාව්‍ය මාර්ගයක් තෝරාගත් අයත් ඉන්නවා. මේ කිසිවක් නැතිව තමන් තුළින් එන කවියට නිදහසේ ඉඩදී සිටින කවි කිවිඳියනුත් ඉන්න පුළුවන්. මේ අවස්ථාවන්වල සීමාවීම් තියෙනවා. ඇතැම් කවියන් ප්‍රේමය කියන මාතෘකාවේ පමණක්ම රැඳී ඉන්නවා. ඇතැමකුට තිබෙන්න පුළුවන්, සොබාදහමේ අංගයන් රූපක ලෙස ගෙන ජීවිතයේ අවස්ථාවන්ට සම්බන්ධ කිරීමේ ක්‍රමයක්. තවත් කෙනෙක් දෛනික ජීවිතයෙන් අනුභූතීන් අරගෙන පවත්නා සමාජ දේශපාලන ක්‍රමයට විරෝධය පෑමට තමන්ගේ කවිය භාවිත කරනවා. මේ කුමන ක්‍රමය තුළ වුණත් මං අර කලින් කිව්ව විදියේ මුහුණක්, හදවතක්, මනසක් සහිත කවියකට ඉඩ තිබෙන බවයි මගේ නම් පිළිගැනීම. විශිෂ්ට කවිය උදා කරන අයිතිකාර කඳු මුදුන් නෑ. එය බිහි කිරීමට වරම් ලැබූ තිඹිරි ගෙවල් නෑ.
ඔය සීමා වෙනවා කියන කාරණය ආවේණිකත්වය, අභ්‍යාස වෘද්ධිය නැත්නම් විශේෂීකරණය ඔස්සේත් පෙනී යන්න පුළුවන්. එතකොට ඒක යහපත් සීමාවීමක්නේ. ඒක මෙහෙමයි, කවිය කියන්නේ සූක්ෂ්ම සාහිත්‍ය නිර්මාණයක්. අමුවෙන් සෘජුව යමක් කීම නෙවෙයි. ඒක කවිය තුළ සවිඥාණකව අභ්‍යාස කරන අය ඉක්මනින්ම වටහා ගන්නවා. ඒ ඒ කවියා තමන්ගේ ආකල්ප ධාරාව ඇතුළෙ තමන්ගේම අප්‍රකාශිත ප්‍රමිති රාමුවක් හදා ගන්නවා කියලා මට හිතෙනවා. ඒක ඉබේම හෝ වෙනවා. එවිට ඔහු හෝ ඇය ඒ රාමුවෙන් එළියෙ ලියන්නේ නෑ. එය තමන්ගේ කවියෙ තිබිය යුතු ගුණාංග සම්බන්ධ සීමා නියම කරගැනීමක්. තමාට තරම් නොවන ලිවීම් ඔහු හෝ ඇය විසින්ම ඉවත් කරනවා. ඒක විය යුතු දෙයක්. ඒ තුළ තමයි කවියාගේ අනන්‍යතා ලක්ෂණ ඉස්මතු වෙන්නේ. ලිවීමේ පරිධිය සීමා කරන ගමන්, අනෙක් අතට කවියේ විෂය කලාපයන්, යොදා ගන්නා විධි ක්‍රම සහ නිර්මාණයෙන් පළකරන ඇඟවීම් සහ දර්ශනය වගේ අංශ තව තවත් පුළුල් කර ගන්නට පුළුවන්.

කවියෙක් බවට පත්වීමට නම් සමාජයේ හැම දෙයක්ම විවේචනය කළ යුතුද?

මං කලින් කිව්ව වගේ විවේචනය කිරීම හෝ නොකිරීම හෝ ඒ ඒ කවියාගේ නැත්නම් කිවිඳියගේ අභිමතයට යටත් දෙයක්. කවියා දරන මතය කවියෙන් එළියට ඒවි. හැබැයි මං හිතනවා කවියේදී විරෝධතාවන් දක්වනවා නම් එය කළයුත්තේ ඉඟි බසකින්, එහෙම නැත්නම් ව්‍යංගයෙන්. මං හිතන්නේ ඔබ අදහස් කරන්න ඇත්තේ හුදෙක් කවියකු ලෙස මතුවීම සඳහා විවේචනාත්මක ප්‍රවේශයක් පාවිච්චි කිරීම ගැන වෙන්න පුළුවන්. ඒක නං එච්චර සද්දෙ එන බජව්වක් නෙමෙයි. කවිය හෝ සැබෑ පාඨකයාව රවට්ටන්න බෑ. අනෙක් කාරණය තමයි එහෙම ලබා ගන්න තරම් අපේ රටේ කවියා කියන ප්‍රතිරූපය මහා පිළිගැනීමකට ලක්වෙන දේකුත් නෙමෙයි. කවියා මතුවිය යුතුත් නෑ. මතුවිය යුත්තේ කවියයි.